රහසිගත තැනකදී  මහින්ද CIDයට දුන් කට උත්තරය

0
98

පාර්ලිමේන්තුවේ කෝප්, කෝපා කමිටුවලට වැඩි බලතල

ඉකුත් 26 වැනිදා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නොවුවත්, සභානායක දිනේෂ් ගුණවර්ධන විශේෂ කාර්යයක් සඳහා කථානායක හමුවීමට පැමිණියේය. ඒ විශේෂ කාර්යයක් ඉටුකිරීම සඳහාය. ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය සඳහා වූ කෙටුම්පත කථානායකට භාරදීම සඳහාය.

එම සංශෝධන කෙටුම්පත කථානායකවරයාට භාර දෙමින් දිනේෂ් කීවේ “මම 20 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා. කෝප් කෝපා ඇතුළු සියලු කාරක සභාවල බලතල වැඩි කරන්න. ස්ථාවර නියෝගවලට සංශෝධන කඩිනමින් ගේනවා කියලා. ඒ වචනය ඉෂ්ට කරන්නයි මම ආවේ” යි දිනේෂ් නිලධාරීන්ට කීවේය.

දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා කථානායක සමඟ සිටි එම නිලධාරීන්ට මෙසේද කීවේය. “දැන් වෙලා තියෙන්නේ කාරක සභා වාර්තා ඉදිරිපත් කළාට, ඉන් එහා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට බලතල නෑ” කියායි.

දිනේෂ් Zoom තාක්‍ෂණයෙන් දිසාපතිවරු අමතයි

දිනේෂ් පසුගිය 25 වැනිදා රට පුරා සිටින සියලුම දිසාපතිවරුන්ද ‘Zoom’ තාක්‍ෂණය ඔස්සේ අමතමින්, රට පසුකරමින් සිටින දුෂ්කර කාලපරිච්ඡේදය තුළ ග්‍රාමසේවා නිලධාරීන්ගේ සිට ඉහළටම පැටවී ඇති වගකීම් සිහිපත් කර පොදු ජනතාව වෙනුවෙන් විශේෂයෙන් කළ යුතු වැඩ හඳුන්වා දීමටය.

දිනේෂ් නායකත්වය දෙන මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවද පසුගිය බදාදා රැස්විය. “ඇතිවෙමින් තිබෙන ආහාර අර්බුදයට අපි පක්‍ෂයක් හැටියට රජයේ ඉක්මන් අවධානය යොමු කරන්න ඕනෑ” යි මහජන එක්සත් පෙරමුණේ උප සභාපති හිටපු රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේය.

“ඒකට ආහාර නිෂ්පාදනය වැඩි කරන්න ගොවියාට සහන දීම වේගවත් කරන්න ඕනෑ” යි පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් යදාමිනි ගුණවර්ධන පවසද්දී පක්‍ෂ නායක දිනේෂ් මෙසේ කීය. “ඒ වගේම අත්‍යවශ්‍ය බෙහෙත් හිඟයකින් තොරව දෙන එකටත් ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ” කියායි.

ඒ අනුව පොදු ජනතාව වෙනුවෙන් ආහාර, බෙහෙත් අර්බුදයට ආණ්ඩුව දෙන විසඳුම වේගවත් කරවා ගැනීම උදෙසා මහජන එක්සත් පෙරමුණ මැදිහත් වීමට මෙහිදී තීරණය කෙරිණි.

රහසිගත තැනකදී මහින්ද දුන් කට උත්තරය

අරලියගහ මන්දිරයේ රැස්වීමකට පැමිණි පොහොට්ටු පක්ෂයේ පළාත් සභා, ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රිවරුන් ඇතුළු පක්ෂයේ සංවිධායක පිරිසක් පසුගිය 9 වැනිදා රැස්වීම අවසානයේ අරලියගහ මන්දිරය අසල වූ මයිනා ගෝ ගම හා ගාලුමුව‍ෙදාර පිහිටි ගෝඨා ගෝ ගම පරිශ්‍රයට කඩා වැදී එම ස්ථාන දෙකේ තිබූ ඉදිකිරීම් ඇතුළු දේපළ කඩා විනාශ කර ගිනි තබමින් එහි රැස්ව සිටි අහිංසක විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම ප්‍රකාශය සටහන් කර ගත්තේ මහින්ද රාජපක්ෂ ආරක්ෂක හේතූන් මත රැඳී සිටින කොළඹ පිහිටි ස්ථානයකදීය.

අරලියගහ මන්දිරයට පොහොට්ටුවේ ආධාරකරුවන් මෙසේ කැඳවා තිබුණේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධව ඔහුට ගෞරවනීය සමු ගැනීමක් ලබා දීමට බව කියා තිබිණි. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ මහින්ද ඔහුට අගමැති ධුරයෙන් ඉවත්වන බවක් සෘජුව ප්‍රකාශ කළේ නැත.  ඔහු රැස්ව සිටි පිරිසගෙන් විමසුවේ මම අගමැති ධුරයෙන් යන්න ඕනෑ ද යන ප්‍රශ්නය පමණි.

කලබල කරන බවක් දැන හිටියේ නෑලු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහින්ද රැඳී සිටින ස්ථානයට ගොස් ප්‍රකාශය සටහන් කර ගනිද්දී ඔහු කිසිදු පැකිළීමක් නොමැතිව ප්‍රකාශ කර තිබෙන්නේ තමා මේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති බවයි. “එදා මම අයින් වෙන්නයි හිටියේ. කලබල කරන බවක් දන්නේ නෑ. දැනගෙන හිටියෙත් නෑ” කියායි.

එවැනි දෙයක් සිදුවන්නට යන බව දැනගෙන හිටියා නම් එසේ කරන්න එපායි තමා ඒ පිරිසට පවසන බවද මහින්ද සිය ප්‍රකාශයේදී සටහන් කරවා ඇත.

ප්‍රකාශය දෙන අවස්ථාවේ මහින්ද තරමක අසනීප තත්ත්වයකින් පසු වූ බවක්ද වාර්තා වේ.

“මම හිටියේ පාක්ෂිකයන් අමතලා යන්නයි. මෙවැනි තත්ත්වයක් ඇතිවේ යැයි දැනගෙන සිටියා නම් කිසිම පාක්ෂිකයකු අරලියගහ මන්දිරයට කැඳවන්නේ නෑ. තමා මෙවැන්නකට කිසිම පෙලඹවීමක් කරන්නේ නෑ. එහෙම සිද්ධියක් වන බව දැනගෙන සිටියා නම් එය වළක්වනවා” යැයිද මහින්ද සිය ප්‍රකාශයේදී පවසා තිබේ.

මහින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දුන් මේ ප්‍රකාශයට අදාළ පූර්ණ සටහනක් නීතිපතිවරයාට ඉදිරියේදී ලබාදීමට නියමිතය. ඉන් අනතුරුව නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහින්දගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටද නියමිතය.

තමිල්නාඩුවේ ජනතාව සතෙන් සතේ එකතුකර ලංකාවට ආධාර එවයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබාදෙන සහයෝගය තවදුරටත් ඒ ආකාරයෙන්ම ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ පසුගිය බදාදා එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන සමඟ මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී පවසා තිබේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උදාවී ඇති තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස පැවැති මෙම සාකච්ඡාවේදී ලංකාව මුහුණදෙන ආහාර හා බලශක්ති අර්බුදය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.

ඉතිහාසය පුරාවට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැතෙන මිතුදම පිළිබඳව මෙහිදී කරුණු දක්වා ඇති වජිර අබේවර්ධන පසුගියදා මෙරට ජනතාව අතර බෙදාදීම සඳහා තමිල්නාඩු ජනතාව පරිත්‍යාග කළ ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳව ඉන්දියානු රජයට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ ස්තුතිය පුද කළේය. ඉන්දියානු ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ආහාර ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා රජයට භාරදීම පසුගියදා කොළඹ වරායේදී සිදු කෙරිණි.

එම අවස්ථාවට ආහාර ද්‍රව්‍ය සැපැයීමේ කමිටුවේ සභාපති වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස්, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඉන්ධන හා ගෑස් සැපැයීම සොයා බලන කමිටුවේ සභාපති සාගල රත්නායක, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සෙන්දිල් තොණ්ඩමන්ද සහභාගි වූහ. ඉන්දීය රජය වෙනුවෙන් මෙම ආහාර තොගය පරිත්‍යාග කරනු ලැබුවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසිනි.

ලෝක ආහාර හිඟයක් ඇති වේ යැයි යන පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පසුගිය සඳුදා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. වර්තමානයේ රටේ උද්ගතව තිබෙන තත්ත්වයන් සහ ඉදිරියේ ඇතිවීමට යන ආහාර හිඟය මෙන්ම ඊට මුහුණ දීම සඳහා ගත යුතු පියවරයන් සම්බන්ධයෙන්ද මෙහිදී

සාකච්ඡා විණි. ආහාර අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට අග්‍රාමාත්‍යවරයා යෝජනා කළ අතර එය කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසට උපදෙස් දුන්නේය.

මීට අමතරව පොහොර සැපැයීම, බීජ හා ඉන්ධන මෙන්ම අනෙකුත් ගැටලුද සාකච්ඡාවට බඳුන් කළ රනිල් එම ගැටලු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කෙටිකාලීන හා දිගුකාලීන පියවර සම්බන්ධයෙන්ද මෙහිදී උපදෙස් දුන්නේය.

මීට අමතරව මේ දිනවල ඉන්ධන ලබා ගැනීම සඳහා විශාල ජනකායක් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණ දින ගණනාවක් ඒවායෙහි රැඳී සිටින බව පෙන්වා දෙමින් ඒ කෙරෙහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සාකච්ඡාවට එක්ව සිටි පිරිසගේ අවධානය යොමු කළ ආහාර සැපැයුම් කමිටුවේ සභාපති වජිර අබේවර්ධන මහතා සෑම ඉන්ධන පිරවුම් හලකම ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඉන්ධන ලැබෙන වෙලාවල් හා තිබෙන ඉන්ධන ප්‍රමාණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වහා පියවර ගත යුතුව ඇති බව යෝජනා කළේය.

ආණ්ඩුවේ තනතුරු භාර නොගත් සජිත් ගහපු වංගුව

සජබ නායක සජිත් ප්‍රේමදාස රනිල් අගමැති ධුරය දරන අන්තර් කාලීන ආණ්ඩුවේ කිසිදු තනතුරක් නොගන්නා බව දිගින් දිගටම ප්‍රකාශ කළත්, විපක්ෂ නායකයා ලෙස ඔහු ආණ්ඩුවට සහාය දීමට අලුත් දේශපාලන ක්‍රමයක් ආරම්භ කළ බවක් පෙනෙන්ට තිබේ. ඔහු මේ දේශපාලන ක්‍රමයෙන් පෙන්නා දී තිබෙන්නේ ආණ්ඩුව ගැන නාමමාත්‍රයකින්වත් සඳහනක් නොකර රටේ සංවර්ධනයට සහාය දෙන සහාය දක්වන වැඩසටහනකි. ඔහු පසුගිය සතියේ මෙම කටයුත්ත ආරම්භ කළේය. එහි ආරම්භය වූයේ සංචාරක ක්‍ෂේත්‍රය නියෝජනය කළ නියෝජිත පිරිසක් මුණ ගැසීමෙනි.

ශ්‍රී  ලංකාවේ සංචාරක කර්මාන්තය අද වන විට මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ එම තත්ත්වයෙන් සංචාරක කර්මාන්තය ගොඩගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊට පසුදින එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී  ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් සහ යුනිසෙෆ් ශ්‍රී  ලංකාවේ නියෝජ්‍ය නියෝජිත එමා බි්‍රහාම් මහත්මිය හමුවීමට සජිත් කටයුතු කළේය.

වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුකොට ගෙන ළමා පරපුර මුහුණ දී සිටින ගැටලු පිළිබඳව මේ හමුවේදී අවධානය යොමුව ඇත. ශ්‍රී  ලංකාව ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සජිත් එම නියෝජිත පිරිසෙන් ඉල්ලීමක්ද කොට තිබේ. එදින සජිත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හනා සිංගර් සහ මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික පිරිසක්ද හමුවී ඇත.

හරීන්ට මනුෂට බුරුලක් දෙන්න එපාලු

මේ අතර පසුගිය සතියේ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද පැවැතියේ පක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙනි. සමගි ජන බලවේගයේ තීන්දුවට පිටුපා ස්වාධීන වී ආණ්ඩුවට එකතු වී ඇමැති තනතුරු ලබාගත් හරීන් හා මනුෂ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එහිදී කාවින්ද ජයවර්ධන දේශපාලනයට අලුත් කතාවක් කීවේය. “අද වෙනකොට ජන අරගලය දිය කරලා හරින්නට රනිල් මහත්තයා කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ඒක හරහා රාජපක්ෂලාට ආපසු රැකවරණය ලැබෙනවා.” කාවින්දගේ කතාවයි. හරීන් හා මනුෂ ආණ්ඩුවට එකතු වීම ගැනත් සඳහනක් කළ කාවින්ද පක්ෂයේ මතයට පිටින් ගියපු කිසිම කෙනෙක්ට බුරුලක් දෙන්න එපා යැයි නායකයාට කීවේය.

චමින්ද විජේසිරි ද මේ දෙදෙනාගේ වෙන්වීම ගැන කීවේ “අපිට දුක අපි සමඟ බොහොම ආදරයෙන් හිටපු අපේ දෙදෙනකුත් රාජපක්ෂලාගේ ආරක්ෂකයන්ගේ ගොඩට එකතු වෙච්ච එක ගැන”යි කියායි.

මේ දෙදෙනාගේ වෙනස්වීම ගැන නලීන් බණ්ඩාර ද රාජපක්ෂලාට පහර එල්ල කරමින් “අද වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම රාජපක්ෂලා ආපසු කරළියට එන එක. බිත්තියට හේත්තු වෙච්ච ගෝඨාභය ආයේ සුරක්ෂිත වුණේ කොන්දේසි විරහිතව ගිහින් එයාලට සහාය දුන්න රනිල් වික්‍රමසිංහ නිසයි” කීවේය.

සජිත්ට අගමැති පදවිය භාරගන්නැයි ජනාධිපතිගෙන් ලද ඉල්ලීම ගැනද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දීර්ඝව සාකච්ඡා විණි. එහිදී ගයන්ත කරුණාතිලක කීවේ “ඔබතුමා ගත්තු තීන්දුව හරියටම හරි කියලා අද ඔප්පු වෙලා තියෙනවා. මේ ආණ්ඩුව කරන්නේ ප්‍රෝඩාවක් බව දැන් මුළු රටම දන්නවයි” කියායි.

මේ සාකච්ඡාවේදී හෙක්ටර් අප්පුහාමිද අදහස් දක්වමින් “සමහරු කියනවා ඔබතුමා අගමැතිකම ගන්න ගියා කියලා. හැබැයි ඒ අය අමතක කරනවා අගමැතිකම ගන්න ගියේ රාජපක්ෂලා ගෙදර යන්න ඕන කියලා කොන්දේසිය උඩ කියලයි කියලා.”

සජබ මන්ත්‍රිවරුන්ගේ අදහස්වලට පිළිතුරු දෙමින් සජිත් මෙසේ කීවේය.

“සමහරු කියනවා මම අභියෝග භාර ගන්න බයයි කියලා. තමුන්නාසේලාට මතක ඇති යහපාලන කාලයේදී මට අගමැතිකම ගන්න කියලා කියනකොට අදට වඩා එදා රට හොඳ තැනක තිබ්බේ. හැබැයි එදා මම ඒක නොගත්තේ ඒ වෙලාවේ ඒක ව්‍යවස්ථානුකූල නැති නිසා. ඒ වගේම නීත්‍යනුකූල අගමැතිවරයා හිටපු නිසා. ඒ විතරක් නෙවේ, මම මගේ නායකයාට පිහියෙන් අනින දුෂ්ට මිනිහෙක් නොවෙන නිසා. අදත් ඒකම තමයි. පස්සා ‍ෙදාරෙන් අගමැතිකම් ගන්නවත් තනතුරු ගන්නවත් මට පුළුවන්කමක් නෑ. මහජන නියෝජිත තනතුරු දෙන්නේ ජනතාව.

ජනතාවගේ පරමාර්ථවලට පිටින් ගිහිල්ලා වැඩ කරන්න මට බෑ. ඒ විතරක් නෙවෙයි, මගේ කිසිම මන්ත්‍රිවරයෙක් අහිමි කරගන්න මම කැමැති නෑ. අපි හැමෝම වැඩ කළේ එක අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණේදී විවිධ මතගැටුම් තිබුණා. හැබැයි ඒ සේරටම වඩා අපේ අරමුණු වැදගත් වුණා. මේ රටේ ජනතාව කීවේ ගෝඨාභය go home කියලා. මේ රටේ ජනතාව කිව්වේ රාජපක්ෂලාට ගෙදර යන්න කියලා. හෘද සාක්ෂියක් තියෙන මනුස්සයෙක් හැටියට මම කොහොමද ඒක පාවලා දෙන්නේ.”

“ඔබතුමා ගත්ත මතය හරි කියන එක අද ඔප්පු වෙලා ඉවරයි. අපි දැන් කළ යුත්තේ ඉතාම ඉක්මනින් පක්ෂය ප්‍රතිසංවිධානය කරලා මේ රටට ජයග්‍රහණය අත්පත් කරලා දෙන එක.” යැයි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

කට නිසා හරීන්ට වෙච්ච දේ

සජබෙන් ඉවත්ව ස්වාධීන වූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මහත් අප්‍රියාවකින් ජනාධිපතිගේ මූණවත් නොබලා පත්වීමේ ලිපිය ලබාගත් බවයි. ජනාධිපතිට මුහුණ හරවා පත්වීම් ලිපිය ගත් හැටිද ඔහු මුහුණ හරවමින් කළ රඟපෑමද රූපවාහිනි ඔස්සේ දකින්නට ලැබිණි.

ජනාධිපතිගෙන් ඇමැති තනතුරුවලට පත්වීම් ලිපි ලබාගත් හරින් සහ මනුෂ එම අවස්ථාව ඡායාරූප ගත කළත්, ඒවා මාධ්‍ය වෙත නිකුත් නොකරන්නැයි ඉල්ලීමක්ද කර තිබිණි. ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය ඒ දෙදෙනා දිවුරුම් දීමේ අවස්ථා මාධ්‍යයට නිකුත් කිරීම ප්‍රමාද කර තිබිණි.

හරින් හා මනුෂ සහභාගි වූ මාධ්‍ය හමුවේදී හරින් අප්‍රියාවෙන් පත්වීම් ලිපිය ලබාගත් බව හා ජනාධිපතිගේ මූණවත් නොබැලූ බව රූපවාහිනිය හරහා ප්‍රචාරය වීමත් සමඟ ජනාධිපති මාධ්‍ය අංශය හරින් දිවුරුම් දී පත්වීම් ලිපිය ජනාධිපති සමඟ හොඳට සිනාසෙමින් සතුටින් භාරගත් අවස්ථාව දැක්වෙන ඡායාරූපය මාධ්‍යයට නිකුත් කළේය. පසුව රූපවාහිනිය එම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කළේය.

එම ඡායාරූපය රූපවාහිනි ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු හරින් ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්විය.

දින 52 ආණ්ඩුව කාළේ කෝටි එකහමාරකට පැත්ත මාරු කළ ඇමැති

දින 52 ආණ්ඩුව කාලයේ සිදුවූ මුදල් ගනුදෙනුවක් ගැන දේශපාලන කරළියට නැවත ඇද වැටීමක් සිදුවීම වර්තමානයේ දේශපාලන කතා බහට උචිත බවක් පෙනෙන බැවින්  එහි පුරවෘත්තය සටහන් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මේ සටහනට මාතෘකාව වන්නේ මන්ත්‍රිවරුන් දෙදෙනකු පසුගියදා කැබිනට් ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමේ පසුබිමකි.

මේ දෙදෙනාගෙන් එක් අයකු එදා නියෝජනය කළේ එජාපයයි. අනෙක් මන්ත්‍රිවරයා නියෝජනය කළේ රාජපක්ෂවරුන්ගේ පක්ෂයයි. එජාප මන්ත්‍රිවරයා රාජපක්ෂවරුන්ගේ මන්ත්‍රිවරයා සමඟ පවත්වාගෙන ආ සම්බන්ධතාව හරහා සිය සගයා වූ මන්ත්‍රිවරයා ඔහු නියෝජනය කළ පක්ෂයට බඳවා ගන්නට කටයුතු කළේය.

ඔහුගේ කොන්ත්‍රාත්තුව සාර්ථක විය. ඒ කොන්ත්‍රාත්තුව අනුව එජාපයට ගිය මන්ත්‍රිවරයාට සන්තෝසමක් ලෙස රුපියල් ලක්ෂ 150ක් දුන් බවට කතාවක්ද පැතිර ගියේය.  එම මුදල් දුන් අවස්ථාවේ එය සතුටින් භාරගත් සගයා, මිතුරා ඉදිරිපිට මුදල කොළින් කොළය ගණන් කර  සාක්කුවේ දමා ගත්තේය. ඩීල් එක දාපු මන්ත්‍රිවරයා ‘අනේ යකෝ ලක්ෂ 150 ගත්ත මූ මට ලක්ෂ 50ක් වත් දුන්නේ නෑ’යි නෝක්කාඩුවක්ද කියා තිබේ. අදටත් මේ දෙදෙනා ගජ මිතුරන් ලෙස ආශ්‍රය කරති.

දියණියගේ මඟුල් උළෙලේ්දී හකීම් සිපගත් නසීර් පසුදා ආණ්ඩුවට ගිය හැටි

පසුගිය 23 වැනිදා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට නියමිතව සිටි මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිෂාර් අහමඩ්ට එදින ජීවිතයේ වාසනාවන්ත දිනයක් විය. ඒ වාසනාව වූයේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පරිසර ඇමැති ධුරය හිමි වීමයි.

පසුගිය මහ මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂකයකු ලෙස තරග කොට ජයග්‍රහණය කළ එකම මන්ත්‍රිවරයා වූයේ අහමඩ් මහතායි. මඩකළපු දිස්ත්‍රික්කයට තරග කළ ඔහු මුස්ලිම් කොංග්‍රසයේ එකම මන්ත්‍රිවරයා ලෙස තේරී පත්විය.

ද්විත්ව පුරවැසි භාවය දරන අයට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය දැරීමට ව්‍යවස්ථාව අනුව බලයක් නැති බවට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාව ඉවත් කිරීමට පොහොට්ටු ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනයට විරුද්ධව ඡන්දය දීමට මුස්ලිම් කොංග්‍රසය තීරණයක් ගෙන තිබියදී එයට පටහැනිව නෂීර් අහමඩ් මහතා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම නිසා ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි තීරණය වූයේ පසුගිය 23 වැනිදා ඔහු සාමාජිකත්වයෙන් නෙරපා හැරීමටය.  එසේ වූයේ නම් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයද අහිමිවීමට නියමිතව තිබිණි.

එසේ තිබියදී අහමඩ් මහතා එම තීරණයට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ඔහු මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීමට මුස්ලිම් කොංග්‍රසයට එම අධිකරණ තීන්දුව ලැබෙනතුරු ක්‍රියාමාර්ගයක් ගැනීමට අවකාශයක් නොතිබිණි.

තත්ත්වය මෙසේ පැවතියදී අහමඩ් මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යය යෙදී තිබුණේ පසුගිය 22 වැනිදාටය.  එදින කිරුළපොන මුස්ලිම් පල්ලියේ විවාහ මංගල කටයුතු සිදුවූ අතර එයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු මෙන්ම මැති ඇමැතිවරු පැමිණ සිටියහ. මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාද එම අවස්ථාවට සහභාගි වීමට පැමිණ සිටි අතර ඔහු අහමඩ් මහතා  සිප වැලඳගෙන පිළිගත්තේය. අනතුරුව රාත්‍රි භෝජන සංග්‍රහය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පැවැත්විණි.

පොහොට්ටුව 21 සංශෝධනයට පොල්ල හරස් කරයි

ජනාධිපති බලතල කප්පාදු කිරීමට හා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තහනම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුගිය 23 වැනිදා සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගත්තේය.

එම සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ විසිනි. එම සංශෝධනය පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් වෙත ඉදිරිපත් කොට ඒ ගැන සාකච්ඡා කිරීමටත්, අනතුරුව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් තීරණය වී තිබේ.

ජනාධිපති බලතල කප්පාදු කළ යුතු බවට දේශපාලන පක්‍ෂ බහුතරයේ ඉල්ලීමක් වී තිබූ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ නිල කාලය තුළ එහි යම් වගන්ති කිහිපයක් ස්ව කැමැත්තෙන්ම ඉවත් කර ගැනීමට කටයුතු කර තිබිණි. වර්තමාන ජනාධිපතිවරයාද ජනාධිපතිට හිමි විධායක බලතල ඉවත් කර ගැනීමට කැමැත්ත පළ කර තිබූ අතර වර්තමාන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමත කර ගත්තේ ඔහුගේද අනුමැතිය ඇතිවය.

එහෙත්, දැන් එම සංශෝධනය පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීමට පොහොට්ටුවේ ප්‍රබලයකුගෙන් දේශපාලන පොල්ලක් හරස් වී තිබෙන බව වාර්තා වේ. දැනගන්නට ඇති අන්දමට ඒ පොල්ල හරස් වී තිබෙන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ අනියම් ලෙස ලියාපදිංචියක් දරන කළු කුරුල්ලකුගෙනි. කුරුල්ලා වෙන කවුරුත් නොව බැසිල් රාජපක්‍ෂය. 21 වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අඩංගු කොටස ඉවත් කළයුතු බවය. මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට වළක්වන්නට ඔහු සිය පක්‍ෂය, පොහොට්ටු පක්‍ෂය යොදා ගැනීමට දැන් සිටම සැලසුම් කරන බවද වාර්තා වෙයි.

කළු කුරුල්ලාගේ මේ අසුබ ක්‍රියාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විරෝධය පළ කර තිබෙන බවත්, 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී ද්විත්ව පුරවැසිභාවයට අදාළ කොටස අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුම බවත් පවසා ඇත. පුදන කොටම කාපි යකා කිව්වාක් මෙන් කළු කුරුල්ලාගේ කණකොක් හඬ ප්‍රතික්‍ෂේප කළ අග්‍රාමාත්‍යවරයා පසුගිය 23 වැනිදා රාත්‍රියේ එජාපයේ ප්‍රධානීන් කිහිපදෙනකු කැඳවා මේ පිළිබඳව විශේෂ සාකච්ඡචාවක් පවත්වා තිබේ.

කැබිනට් එක තීරුවට වාර්තා වන අන්දමට මේ සාකච්ඡාවට හත්දෙනකු සහභාගි වී තිබේ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සෘජුවම 21 සංශෝධනයට ඇතුළත් ප්‍රධාන කොටස් සියල්ල (ද්විත්ව පුරවැසිභාවයට අදාළ කොටසද සමඟ) ඉදිරිපත්කොට සම්මත කරගත යුතු බවත් එසේ නොවුණහොත් දේශපාලන වශයෙන් තමාට දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවත්ය. එම තීරණය කුමක්ද යන්නද අග්‍රාමාත්‍යවරයා මේ හමුවේදී පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බවද දැනගන්නට ඇත. මොනම හේතුවක් නිසාවත් තමා රාජපක්‍ෂ කෙනකු වන්නේ නැතැයි මෙහිදී රනිල් පැවැසූ බවද දැනගන්නට ඇත.

අනාගතයේදී සිදුවන්නට යන අසුබ දේ ගැන මේ සාකච්ඡාවට සහභාගි වූ එජාප ප්‍රධානියකු පසුදින එනම් 24 වැනිදා ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිවරයකු මේ පිළිබඳව දැනුවත් කළ බවද වාර්තා වේ.

කළු කුරුල්ලාගේ කණ කොක් හඬ

කළු කුරුල්ලාගේ කණකොක් හඬ ලත් තැනම ලොප් කරන්නට ආණ්ඩුව තුළ යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමක් තිබෙන බවද වාර්තා වේ. මේ වනවිටත් කිසිවකුගේ නමක් නොකියා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සටනට මුලපුරා තිබෙන බවක් පෙනෙන්නට තිබේ. පසුගිය 24 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විද්වත් වෘත්තිකයන් පිරිසක් ඇතුළු එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ජනපති බලතල කප්පාදු කිරීමට ගෙනෙන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දී රටේ ජනතාව මෙන්ම අරගලකරුවන් බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට මැදිහත් වන්නැයි සියලු පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධනයට අදහස් හා යෝජනා ලබාදීමට පක්‍ෂ නායකයන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් ඒ අනුව සාධනීය යෝජනා කෙටුම්පතට ඇතුළත් කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින බැවින් එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ඔහු ඉල්ලීමක් කර තිබිණි.

ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ගන්න අවශ්‍ය කාටද?

කවුරුන් හරි මෙම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අකැමැති නම් එයින් පැහැදිලි වන්නේ ඔහුට හෝ ඇයට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ තියාගන්න අවශ්‍ය කියන කාරණයයි. එයාලා මේකට විරුද්ධ වන්නේ ද්විත්ව පුරවැසියන්ගේ අවශ්‍යතාව මත කියන එක එයින් පැහැදිලියි. ද්විත්ව පුරවැසියන් සමඟ ඩීල් තියෙන අය කවුද කියලා එතැනදී ජනතාවට බලාගන්න පුළුවන් බවද විජේවර්ධන කියා තිබිණි.

“21 වැනි සංශෝධනයට තමන්ගේ සංශෝධන ඉදිරිපත් කරන්න. යෝජනා අදහස් ඉදිරිපත් කරන්න. එහෙම නැතිව අරයා කියපු එක මෙයා කියපු එක නෑ කියලා මේ අවස්ථාවෙන් පැනලා යන්න එපා. මේ මල් වට්ටියට අත ගහන්න. එහෙම නොකර ජනතාව තවදුරටත් අමාරුවේ දාන්න එපා” යැයි එජාප නියෝජ්‍ය නායකයා පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

මේ අතර කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දුන් මධ්‍ය හමුවේදී පැවැසුවේ හෙට (30දා) පැවැත්වීමට නියමිත ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම සංශෝධනය ගැන සාකච්ඡා කරන බවයි.

චීන තානාපති කිඹුලන්ට බියේ ආපසු හැරෙයි

ශ්‍රී  ලංකාවේ චීන තානාපතිවරයා ගෙවී ගිය සතියේ මඩකළපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විශේෂ චාරිකාවක යෙදුණේය. ඔහු එම දිස්ත්‍රික්කවල අඩු ආදායම් පවුල්වල සාමාජිකයන්ට වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සලය බැගින් පාර්සල් දස දහසක්ද බෙදා දීමට කටයුතු කළේය.

චීන තානාපතිවරයා සිය බිරියද සමඟ මඩකළපුව දිස්ත්‍රික්කයේ සංචාරය කරද්දී මඩකළපුව දිස්ත්‍රික්කයේ පිහිටි කියාන්කර්නි කුඩා දූපතටද ගියේය. එම ගමනට නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියද එක්වූවාය. කියාන්කර්නි දූපත ආසන්නයේ පැරැණි වරායක්ද තිබී ඇත. එම දූපතත්, වරාය පිහිටි බිමත් යා කිරීම සඳහා ගලින් පාලමක්ද ඉදිකර තිබූ අතර එය හඳුන්වා තිබෙන්නේ තේගිල් පාලම යනුවෙනි.

කුඩා දූපතින් ඔබ්බේ එම පාලම පිහිටි කළපුව වැනි ප්‍රදේශයට යෑමට චීන තානාපතිවරයා දැඩි උනන්දුවක් දක්වා ඇති අතර එම පාලම දැකගන්නට ඇති කැමැත්ත ආණ්ඩුකාරවරියට දැනුම් දී ඇත.

ඒ අනුව එම පැරැණි වරාය පිහිටි ස්ථානයේ බෝට්ටු දෙකක් ගමනාගමනය සඳහා රඳවා තිබුණු අතර එම බෝට්ටුවකින් ගල් පාලම පිහිටි ප්‍රදේශයට යෑමට කටයුතු කළේය. චීන තානාපති, සිය බිරිය සහ ආණ්ඩුකාරවරිය එක් බෝට්ටුවකට නැඟ ගල් පාලම පිහිටි ස්ථානයට යාත්‍රා කර ඇත. අනෙක් බෝට්ටුවේ ගොස් තිබෙන්නේ ආරක්ෂක නිලධාරීන්ය.

චීන තානාපති ඇතුළු පිරිස ටික දුරක් යද්දී ආණ්ඩුකාරවරිය බෝට්ටුව පදවන්නාගෙන් මෙම කළපුවේ කිඹුල්ලු සිටීදැයි විමසා ඇත. කිඹුල්ලු සිටින බව ඔහු ආණ්ඩුකාරවරියට දැනුම් දී ඇත. ඒ දැනුම්දීම ගැන දැනගත් චීන තානාපතිවරයා ආණ්ඩුකාරතුමියගෙන් කිඹුල්ලු ගැන විමසීමේදී ජලාශයේ එම සතුන් සිටින බව පවසා ඇත.

ඒ දැනුම්දීමත් සමඟ කලබල වූ චීන තානාපතිවරයා එහෙනම් අපි ඉක්මනට ආපසු යමුයි යෝජනා කළේය. චීන තානාපතිවරයාගේ ඉල්ලුමට කන්දෙමින් ඔවුන් රැගත් බෝට්ටුව හනි හනිකට ආපසු පදවාගෙන ආවේය.

බෙනට් රූපසිංහ