මේ අරගලය අපි පාවිච්චි කරන්න ඕනෑ රටේ යහපත වෙනුවෙන්

0
99

(අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පළමු මන්ත්‍රිවරයාය. 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමැති ධුරය දරන්නේද ඔහුය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හා ඉදිරි දේශපාලනය ගැන ඔහුගේ අදහස් මෙසේය.)

සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්නොකිරීම හේතුවෙන් පර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් ඉදිරිපත් කරගන්න බැරිව කල්තැබීමේ විවාද පමණක් පැවැත්වුණා. වාචික ප්‍රශ්නවලට පිළිතුරුත් නෑ. දැන් ඒක වෙනස් වේවිද?

පහුගිය කාල සීමාව තුළ දේශපාලන අස්ථාවරත්වය නිසා පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම, ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ආදී හැමදේටම බාධා ඇති වෙලා තිබුණා. මේ වනවිට ඒ බාධකය ඉවත් කර කැබිනට්ටුවක් පත්කර තිබෙනවා. අපේ පළමු කැබිනට් රැස්වීම පැවැත්වුණා.

දැන් ඊළඟට ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ පත්කිරීම්වල අවසානය කවදද කියලා? රටේ ප්‍රශ්න විසඳන්නද කැබිනට්ටුව නැත්නම් මන්ත්‍රිවරුන්ගේ හිත සනසන්නද කියල මිනිස්සු අහන්නේ?

මම හිතන විදිහට තව දෙතුන් දෙනකු එක්වෙන්න ඉඩකඩ තිබෙනවා.

ජනාධිපති කැබිනට්ටුවෙදි කිව්වේ නැද්ද කී දෙනෙක්ද පත්කරන්නේ කියලා?

අපි ඒ ගැන කතා කළේ නෑ. මුදල් අමාත්‍යාංශය තමයි පවරන්න තිබෙන්නේ. ඒ අමාත්‍යවරයා නැති අවස්ථාවේදී ජනාධිපතිවරයා නිල වශයෙන් ඒ ඇමැති ධුරය දරනවා. තව දවස් දෙක තුනක් ඇතුළත ඒ අඩුපාඩු නිවැරැදි වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සඳහා වන යෝජනා ඇතුළත් කෙටුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ දහයේ කණ්ඩායමේ සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ කණ්ඩායම එක්ව කථානායකවරයා වෙත අප්‍රේල් 22 වැනිදා භාරදුන්නා. ඔබ කැබිනට්ටුවට දැම්මේ ඒකමද?

ඒ දීපු එකමයි. යම් යම් වැඩිදියුණු කිරීම් සහිතව නීතිපතිවරයාත් නීති කෙටුම්පත් සම්පාදකවරියත් සහභාගි කරගෙන ඒක වඩාත් ක්‍රමානුකූලව හදලා. හැබැයි ඒක කැබිනට්ටුවට මම භාරදුන්නේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් විදිහට නෙවෙයි. අමාත්‍යවරයාගේ කැබිනට් යෝජනාවක් විදිහට.

එහි සංයුතිය මොන වගේද?

මූලික වශයෙන් ජනාධිපතිවරයා සතු බලතල විශාල ප්‍රමාණයක් අපි පාර්ලිමේන්තුවට ගන්න ඕනේ. ඒ ගන්නකොට ඒවා ආයතන ගණනාවකින් ක්‍රියාත්මක කරනවා. එකක් තමයි ව්‍යවස්ථා සභාව, ඉහළ අධිකරණ විනිසුරන්, රජයේ නිලධාරීන් හා කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම වැනි බලතල ව්‍යවස්ථා සභාවට ලැබෙනවා. ඉන්පසු බලතල යම් ප්‍රමාණයක් අග්‍රාමාත්‍යවරයාට හා සාමූහිකව වගකියන කැබිනට් මණ්ඩලයට ලැබෙද්දී අනෙක් බලතල ඒ ඒ විෂයට අයත් මැතිවරණ කොමිෂන් සභාවට, අල්ලස් කොමිසමට බෙදී යා යුතුයි.  

ජනාධිපතිවරයගේ කප්පාදු වන බලතල මොනවද?

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් වූ ප්‍රතිපාදනවලට අපි අත තියලා නෑ. ජනමත විචාරණයකින් තොරව 19 ආකෘතිය යටතේ කළ හැකි ප්‍රතිසංවිධාන විතරයි කරලා තිබෙන්නේ. යම්කිසි තැනැත්තෙක්, යම්කිසි මන්ත්‍රිවරයෙක් යම් අමාත්‍යාංශයක් දරන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා දරන අමාත්‍යාංශයක් විදිහට සැලකෙනවා. ඒක ආණ්ඩුවල අන්තර්කාලීනව තිබෙන ප්‍රතිපත්තියක්.

ජනාධිපතිට මොන හේතුවක් නිසාවත් ආරක්ෂක අමාත්‍යාංශය තව කෙනකුට පවරන්න බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්ති අනුව පැහැදිලියි. රටේ සේනාධිනායකයකුයි, ආරක්ෂක ඇමැති කෙනකුයි දෙන්නෙක් ඉන්න විදිහක් නෑ. 2003දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳව අපට නඩු තීන්දුවක් ලැබී තිබෙනවා. ඒ අනුව ජනාධිපති ඒ තනතුර තව කෙනකුට පැවරුවහොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

ව්‍යවස්ථා සභා සංයුතිය කොහොමද?

කථානායක එහි සභාපතිවරයායි. අගමැති, විපක්ෂනායක ඇතුළත්. ඔවුන් තිදෙනා ඇතුළුව ප්‍රධාන දේශපාලන හා අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර පත්කිරීම් හතක් තිබෙනවා. ඒ හත් දෙනාට අමතරව සිවිල් සමාජයෙන් නියෝජන තුනක් තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔබට මීට අදාළව ලිපියක් යොමු කළා. ඔවුන්ගේ කරුණු දැක්වීම ගැන ඔබ මොනවද හිතන්නේ?

ව්‍යවස්ථා සභාවට ලේකම්වරුන් පත්කිරීමේ බලය දෙන්න කියලා ඒකෙ තිබෙනවා. ඒ ගැන මත දෙකක් තිබෙනවා. ඒ පිළිබඳව අපි සලකා බලනවා. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේදී ව්‍යවස්ථා සභාවට පත්කරන්නැයි ඉල්ලා තිබෙනවා. අපි කොහොමත් මහ බැංකු අධිපති පත්කිරීම යටත්කරලා තිබෙන්නේ.

ඒකත් හොඳ යෝජනාවක්. අපි ඒකත් සංශෝධනයට ඇතුළු කරන්න උත්සාහ කරනවා. තානාපති හා විදේශ සේවාවලට පත්කරද්දී ව්‍යවස්ථා සභාවට යන්න අනවශ්‍ය යැයි බහුතරයකගේ මතයක් තිබෙනවා. ඒ පිළිබඳව වෙනම උසස් නිලතල ස්ථාවර කාරක සභාවක් තිබෙනවා. ඒකෙ සභාපතිවරයාත් කථානායකතුමාමයි. ඒ ගැනත් සාකච්ඡා කරන්න පුළුවන්. කොමිෂන් සභාවල ස්වාධීනත්වය තහවුරු කරන්නැයි එහි තිබෙනවා.

අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කළා කෙටුම්පත පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරන බවට. කෙළින්ම සමස්ත පාර්ලිමේන්තුවටම ඉදිරිපත් නොකරන්නේ ඇයි?

පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කළානේ. ඒක පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් විදිහට හෝ දීලා සියලු දෙනාට ලැබිලා තිබෙන්නේ. දැන් ඒකෙ ස්වභාවය වෙනස් වුණානේ. රජයේ පනතක් විදිහට දැන් ඒක යන්නේ. සාමාන්‍ය ක්‍රමය කෙළින්ම මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක. එතකොට අනෙක් පක්ෂ හිතන්න පුළුවන් ඔවුන්ගේ අදහස් නොතකා අපට ඕනෑ විදිහට කරගෙන යනවා කියලා. ඊට වැඩිය හොඳයි අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කරන එක. ඒ උදවියගෙත් හොඳ අදහස් ඒවි. සියලු දේශපාලන පක්ෂවල අදහසුත් අරගෙන කළාම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් තිබෙනවා. අපි මේ උත්සාහ කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගෙනියන්නනේ.

ජනාධිපතිවරයා කරගෙන ආපු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩේ මේ සමඟ අවසන් වෙනවද?

විශේෂඥ කමිටුවක් පත්කරලා ඊට අදාළ පනත් කෙටුම්පතක් හදලා තිබෙනවා. පහුගිය පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාදායක මණ්ඩලයක් විදිහට රැස්වෙලා අපි හදපු වාර්තා තිබෙනවා. ඒ සියල්ල ඉදිරිපත් කරලා මම ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා අවසාන වශයෙන් අපට සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මොකක්ද කියලා තෝරලා දෙන්න.

සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කළ ප්‍රමුඛයෙක් ඔබ. හැබැයි විපක්ෂයේ ප්‍රධාන පක්ෂ චෝදනා කරන්නේ මේක එහෙම එකක් නෙවෙයි, හිටපු අයම නැවත නියෝජනය කරන ආණ්ඩුවක් කියල. ඇත්ත නේද කතාව?

ඕක අපේ රටේ දිගින් දිගටම කතා කරන පහත් බොළඳ තර්කයක්. ඔය චෝදනාව ඕන නම් මටත් කරන්න පුළුවන්. මොකද හැම ආණ්ඩුවේම නායකයොත් එක්ක හැප්පිල මම එළියට ගිහින් තිබෙනවා. පාර්ලිමේන්තුවට ගියාම අපේ ඩියුටිය පක්ෂයයි, නායකයයි, පවුලකුයි රකින එක කියලා අපේ රටේ මතයක් තිබෙනවා.

ඒක තමයි හෙණේ. පාර්ලිමේන්තුවේ මුලින්ම ස්වාධීන වුණේ මම. අවුරුද්දකට කලින්. ඊට පස්සේ විමල්, වාසු, ශ්‍රී ල.නි.ප. ය ඇතුළු තිහක කණ්ඩායමක් එක්ක අපි තිස් එකක් වුණා. ඊට පස්සෙ තව දහ දෙනෙක් ආවා 41ක් වුණා. ජනතාව පාරට බහින්න කලින් අපට දුර දැක්මක් තිබුණු නිසා තමයි මම සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩු යෝජනාවක් කළේ. ඒකට නිසි පිළිගැනීමක් නොදුන් නිසා අවසානයේදී මුළු රටම පාරට බැස්සා.

සමගි ජන බලවේගය නම් කියන්නේ මේක පක්ෂ හයිජැක් කරලා හදපු ඩීල් ආණ්ඩුවක් කියලා.

මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ආණ්ඩුව ගන්න සුජාත අයිතියක් තිබෙන්නේ ප්‍රධාන විපක්ෂයට නිසා ආණ්ඩුව භාරගන්න යැයි අපි සජිත් ප්‍රේමදාස මහතාට කිව්වා. ඒකට බැහැයි කිව්වම අපි එතුමාට ආණ්ඩුව කරගෙන යන්න කොන්දේසි විරහිතව සහාය දෙනවා කිව්වා. ඊට පස්සේ අපි 41යි ප්‍රධාන විපක්ෂයේ පනස් ගණනයි එකතු වෙලා ආණ්ඩුව හදන්න යෝජනා කළා. ඒකත් ප්‍රතික්ෂේප කළාම මට තිහක කණ්ඩායමක් හිටියා නම් ආණ්ඩුව හදනවා යැයි මම කිව්වා. සජිත් ප්‍රේමදාස මහතාට ඕනෑ තරම් අවස්ථා තිබුණා.

ඒත් ඒ වෙලාවේ විපක්ෂයටත් 19 වැනි සංශෝධනයට සහාය දෙන්න සිදුවුණා. මහජන මතය එතැනට හැදුණා. දැන් තිබෙන්නේ 2015 වගේ තත්ත්වයක් කියල ඔබ හිතනවද?

2015 දිහා බලන්න. අපට හිටියේ 41යි. ජනාධිපතිතුමා ගෙනාවේ 6 දෙනයි. 47යි. හැබැයි අවුරුදු 30කට කලින් හදල සම්මත කරගන්න බැරිව හිටපු ඔෟෂධ ප්‍රතිපත්ති පනත, අවුරුදු විස්සකට විතර කලින් හදපු තොරතුරු දැනගැනීමේ පනත, සාක්ෂිකරුවන් හා වින්දිතයන් සුරැකීමේ පනත සම්මත කරගත්තේ. ඒ වෙලාවේ තුනෙන් දෙකේ බලය තිබුණු ආණ්ඩුවලට බැරි වූ ඒවා සම්මත කරගත්තේ.

ඒ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවද කියන එක මම නම් කිසිසේත් ගණන් නොගන්න සංකල්පයක්. රටට හිතකර ඒවා ඔක්කොම සම්මත වුණේ සුළුතර ආණ්ඩුවලින්. 17 සම්මත වුණේ සුළුතර ආණ්ඩුවකින්. 18 ගෙනැල්ලා ඒක විනාශ කළේ තුනෙන් දෙකේ ආණ්ඩුවකින්. 19 ගෙනාවේ සුළුතර ආණ්ඩුවකින්. 20 ගෙනැල්ලා ඒක විනාශ කළේ තුනෙන් දෙකේ බහුතර ආණ්ඩුවකින්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ අපි හිතට අවංකව ගෙනෙන පනත් ජනතාවාදී නම් මහජන නියෝජිතයන්ට විරුද්ධ වෙන්න බෑ. එහෙම වුණොත් ඒක ජනතාව බලාගනීවි.

ද්විත්ව පුරවැසිභාවය දරන්නන්ට පාර්ලිමේන්තු පැමිණීමට වැට බැඳීම 21 වැනි සංශෝධනයේ ප්‍රධාන කොන්දේසියක් බවට පත්ව තිබෙනවා. ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට බලය හිමි පාර්ලිමේන්තුවකින් මේක සම්මත කර ගන්න පුළුවන්ද?

අරගල හරහා තමයි හොඳ දේවල් නිර්මාණය වෙන්නේ. මැග්නාකාටාව ආවේ රජ්ජුරුවොයි පාර්ලිමේන්තුවයි අතර ලොකු ගැටුමකින්. ඉතින් මෙතැනදිත් මේ අරගලය අපි පාවිච්චි කරන්න ඕනෑ රටේ යහපත වෙනුවෙන්. බැසිල් රාජපක්ෂ මහත්තය නියෝජනය කරන පක්ෂයමයි මමත් නියෝජනය කරන්නේ.

හැබැයි බැසිල් මහත්තයට මේ රටේ කවුරුවත් එක ඡන්දයක්වත් දීලා නෑ. මට එක්ලක්ෂ විසිදාහක් කොළඹ ජනතාව ඡන්දය දීලා තිබෙනවා. එතකොට ජනතාව කියනවා නම් ද්විත්ව පුරවැසිකම් තියෙන අය කරුණාකරලා ගිහින් තමන්ගේ රටේ වැඩක් බලාගන්න කියලා. ඒකට සවන්දෙන එක ඕනෑම මන්ත්‍රිවරයකුගේ වගකීම. ඒකට පටහැනිව යනවා නම් ඒ මන්ත්‍රිවරයාත් එක්ක ගනුදෙනුව ජනතාව බලාගනීවි.

ඔබ නොකියා කියන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ මහජන හඬ තවම වැදගත් කියලද?

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම මහජන හඬනේ. අපි හැට නව ලක්ෂයක් ඡන්ද ගනිද්දි පොරොන්දු වුණේ නෑනේ එයාට මුදල් ඇමැතිකම දෙනවා කියලා. ඒක එහෙම නම් ඊට පස්සෙ මහජන මතයට විරුද්ධව කරපු දෙයක්නේ. දැන් ඒක ජනාධිපතිතුමාම පිළිගන්නවනේ. එහෙම නම් ඒක නිවැරැදි කරන එක නේද අපේ වගකීම.

විරෝධතාකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා නීතිඥ කණ්ඩායම් කරන මැදිහත්වීම් පාර්ලිමේන්තුව තුළ ඇතැම් මන්ත්‍රිවරුන්ගේ විවේචනයට ලක්වෙනවා. ඇතැමුන් කෙළින්ම කිව්වා නීතියේ කන්‍යාවිය දැන් ඉන්නේ දෑස් බැමි ලිහලා. ඒ නිසා අපට අධිකරණයෙන් යුක්තියක් පතන්න බෑ කියලා. විෂය භාර ඇමැතිවරයා හැටියට මේ විවේචන ගැන ඔබ මොකද්ද හිතන්නේ?

ඒ විවේචන කරන්න ඒගොල්ලන්ට යම් පදනමක් තිබෙනවා. දෙපැත්තම බලන්න ඕනනේ. විශාල වශයෙන් ඔවුන්ගේ ගෙවල්, දේපළ විනාශ වෙලා. මේ විනාශ කළ හැම දේපළකම බර දරන්න වෙන්නේ ජනතාවටනේ. පුච්චපු බස් ටික ගන්න ඩොලර් එකතු කරද්දි සීනි රාත්තලෙන්, පරිප්පු රාත්තලෙන් ඇරෙන්න ගන්න වෙන ක්‍රමයක් නෑනේ. රක්ෂණ සමාගම් ඕවට ගෙවද්දී ලාභය අඩුවුණාම බදු ගෙවන ප්‍රමාණය අඩුවෙනවනේ. ඒ කාලසීමාවේදී අපේ රටේ ආරක්ෂක අංශ අවශ්‍ය මට්ටමට සක්‍රිය වුණේ නෑ. මේවා වළක්වාගන්න තිබුණා. ඉතින් ඒ වේදනාවත් එක්ක ඒගොල්ල කියනවා.

ඒ නිසා තමයි අපි පැහැදිලිව ගෝල්ෆේස් අරගලකරුවන්ට කියන්නේ සාමකාමීව සිටිද්දී පහර දුන් අයටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නීතිය අතට අරගෙන දේපළ හානි කළ අයටත් නීතිය සමානවම ක්‍රියාත්මක වෙන්න ඕනේ. දෙකම අපරාධ. මේ කළ අරගලවල භයානක ප්‍රතිඵලය ජනතාව දැන් භුක්ති විඳිනවා. අපට ගිය ජනවාරි-පෙබරවාරි වෙද්දී රුසියාවෙන් විශාල වශයෙන් සංචාරකයන් එන්න ගත්තා. ඒ රටේ දැන් යන්න දෙන්නේ රටවල් තුනටයි. ඒක අපට ධන උල්පතක් කරගන්න තිබුණා. අපට කරදරයක් නැතිව මාසෙකට රුසියාවෙන් ලක්ෂ දෙක තුනක් ගෙන්නගන්න පුළුවන්. මොකද රුසියාවේ සංචාරකයෝ ගොඩක් වියදම් කරන උදවිය.

මේ කලබැගෑනි නිසා විදේශිකයන් මඟ බස්සලා පාරේ ඇවිද්දවලා ගුවන් තොටට ගෙනියපුවා. මාධ්‍යයෙන් දැක්කාම ඔවුන් එන්නේ නෑ. සංචාරකයන් එන්නේ නැති වුණාම අපට ඩොලර් නෑ. ඩොලර් නැති වුණාම තෙල් ටික මිලදී ගන්න බැරිව නැව් මුහුදේ තිබෙනවා ඊට පස්සේ හිඟය නිසා ජනතාව නැවත පෝලිම්වල ඉන්න ඕනේ. ආණ්ඩුවේ වගේම තම තමන්ගේ අතින් වෙන වැරැදි ගැනත් මිනිස්සු රටක් විදිහට හිතන්න ඕනේ. අපට ඒ සඳහා අවශ්‍ය නායකත්ව පරිසරයක් නිර්මාණය නොවීම තමයි ප්‍රශ්නය. ඒ ගැන අපට ලොකු කනගාටුවක් තිබෙනවා.

ගෝඨා ගෝ හෝම් තමයි අරගලකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨය වුණේ. රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් වුණොත් සෙසු පිරිස් සමඟ සම්මුතියෙන් සාකච්ඡාවෙන් ආණ්ඩුකරණයට එළැඹෙන්න හැකි බව කියමින් ඔවුන් තවමත් විරෝධතාවේ නිරත වෙනවා. අලුත් ආණ්ඩුව ඔවුන් සමඟ ගනුදෙනු කරන්නෙ කොහොමද?

අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණේ ජනපති, අගමැති යන්න ඕනෑ කියන එක. අලුතින් හදන ආණ්ඩුවේ පවුලේ අය ඉන්න බෑ. අපිත් ජනාධිපතිවරයාට කළේ ඒ ඉල්ලීම් තමයි. ජනාධිපතිවරයා ඒවාට එකඟ වුණා. 21 වැනි සංශෝධනය ගේන්න දෙනවා නම් අපි ආණ්ඩුවට සම්බන්ධ වෙන බව කිව්වා.

ජනාධිපතිවරයා ඒකට එකඟ වුණා. ඒ අනුව මූලික පියවරක් විදිහට 21 ගෙනැල්ලා රට සන්සුන් කරලා ප්‍රශස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනැල්ලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනෑ නම් ඒකටත් මගේ ආශීර්වාදය දෙන බව ඔහු කිව්වා. අපට දිනාගන්න බැරිව හිටපු ගොඩක් දේවල් අරගලකරුවන් පාරට බැහැලා කළ අරගලය නිසා දිනාගන්න අපට හැකිවුණා. දෙසිය විසිපහ එපා නම් අපි දෙසිය විසිපහම වුණත් යන්න සූදානම්. මමත් සූදානම්. එතකොට රටට මොකද වෙන්නේ. ඒ නිසා අපි ප්‍රායෝගික වෙන්න ඕනේ.

එකපාරම විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා දැම්මම රටට මොකද වෙන්නේ. රටේ ජාතික ආරක්ෂාව ඔක්කොම වගකීම් භාරදීලා තියෙන්නේ ජනාධිපතිටනේ. එකපාර ඒ තනතුර අයින්කරලා දැම්මම රට අරාජික වෙනවා. එහෙම තනතුර අහෝසි කරනවා නම් අපි ඊට කලින් මැතිවරණ ක්‍රමය හදන්න ඕනේ. 13 වැනි සංශෝධනය සඳහා සුදුසු වැඩපිළිවෙළක් හදන්න ඕනේ එහෙම නැතිව මේක මේ උඩින් පාත්වෙලා මේක කරන්න කියන්නේ රට විනාශ කරන්න වගේ අදහසක්නේ.

ඔබ පෞද්ගලිකව විශ්වාස කරන හැටියට විධායක ජනාධිපති ක්‍රමයද පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයද වඩා හොඳ?

මේ දෙකම හොඳයි. ඉන්දියාවේ තිබෙන්නේ අගමැති ක්‍රමයනේ. නාමමාත්‍රික ජනාධිපති ඉන්දියාවට නරකක් වෙලා නෑනෙ. ඇමෙරිකාවේ, ප්‍රංශයේ ඉන්නේ විධායක ජනාධිපති කෙනෙක්. නරකක් වෙලා නෑනෙ. මහා බි්‍රතාන්‍යයේ අගමැතිට බලය. රැජිනට නාමමාත්‍රිකයි. නරකක් වෙලා නෑනේ. මේක මේ රටේ දේශපාලන සංස්කෘතියත් එක්ක දේශපාලනය කළ හැකි අවබෝධයක් තිබෙන වැදගත් පිරිසක් එකතු වෙලා කරන්න ඕනෑ.

අරගලකරුවන් කියන්නේ රාජපක්ෂලා සමඟ සාකච්ඡාවකට යෑම පලක් නැති බවයි. සාකච්ඡාව පවා පාවිච්චි කරන්නේ නැවත බලය තහවුරු කරගැනීමේ උපක්‍රමයක් හැටියට යැයි ඔවුන් කරන චෝදනාව වැරැදිද?

අපි හැමෝම මේ විදිහට හිතන්න ගියොත් ඒ කණ්ඩායම හැමදාම මේ රටේ බලයේ ඉඳීවි. එහෙම නම් කවුරු හරි මේකට ආරම්භයක් දෙන්න එපැයි. 19 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ දෙවැනි දවසේ විවාදය කරලා හවස පහ වෙනකොටත් ඡන්ද 47යිනෙ අපට තිබුණේ. ඊට පස්සෙ කථානායක චමල් රාජපක්ෂට කියලා මම ඡන්ද වෙලාව සවස හයේ සිට හත දක්වා දීර්ඝ කරගත්තා. ඒ පැය දෙකෙත් මම නායකයන්ට රට වෙනුවෙන් හිතලා ඡන්දය දෙන්නැයි ආයාචනා කළා. හැබැයි ඒ පැය දෙක වැඩ කළානේ. ඡන්ද 215ක් හම්බවුණානේ. මේ ආණ්ඩුව තුනෙන් දෙකට මන්ත්‍රි 156 හදාගන්න යම් යම් දේවල් දුන්නට මන්ත්‍රි 47ක් හිටපු අපි 19 වැනි සංශෝධනයට ඡන්ද 215ක් ගත්තේ එක තේකක්වත් දීලා නෙවෙයි.

රාජ්‍ය පාලනයේ විනාශය ගැන ඔබ පොත් පවා ලිව්වා. චීන ණය උගුල හා ඉන්දීය මැදිහත්වීම් ගැන ලිව්වා. කැබිනට්ටුවත් හයිජැක් කළ ගිවිසුම් ගහපු ඉන්දියාව දැන් පෙර නොවූ විරූ උපකාර කරමින් වෑයම් කරන්නේ කල දුටු කල වළ ඉහගන්නද?

ඔබ කියන අනතුර ස්ථිර වශයෙන් තිබෙනවා. මම ඒක 2007 සිට කිව්වේ. හම්බන්තොට වරායට අධිපොලී අනුපාතිකයට ණය ගන්න කාලේ ඉඳලා මං කිව්වේ හම්බන්තොට වරාය චීනෙට දෙද්දි මම කළ කතාව නිසා ඇමැතිකමින් අයින් කරල මාව එළියට දැම්මා. ඒත් සත්‍යය මරන්න බෑනේ. එදා මම කැබිනට් මණ්ඩලයෙන් එළියට ආවෙත් අපි මේක චීනෙට දුන්නොත් ඉන්දියාව ඇවිත් කොළඹින් ජැටියක් ඉල්ලාවි. ඇමෙරිකාව ත්‍රිකුණාමලෙන් ඉල්ලාවි.

මේවා නොදුන්නොත් රට ලේ විලක් වෙනවා කියලයි. වුණේ නැද්ද? පාස්කු ප්‍රහාරයට මාස විසි නවයකට කලින් මේවා ඔක්කොම එකට ගැට ගැහිලා තියෙනවා කියල කිව්වම මාව ජාතිවාදියෙක් විදිහට සලකලා කොච්චර ප්‍රහාර එල්ල කළාද? සත්‍යය තේරුම්යන්න කාලයක් ගතවෙනවා. නමුත් ඒක අත්හැරලා හිටියොත් හැමදාම බොරුවනෙ රජවෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලේ ඇත්තටම විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ නෑනෙ.

නිකන් ගජමිතුරු ආශ්‍රයක් විතරයිනෙ තිබුණේ. ඒ නිසා අපි මධ්‍යස්ථ විදෙස් ප්‍රතිපත්තියක් හදන්න ඕනෑ. ඉන්දියාව අපට කිසිසේත් අෑත් කරගන්නත් බෑ. මොකද ඉන්දියාවේ ආශීර්වාදය නැතිව අපේ රටට ඉදිරියට යන්න බෑ. චීනයත් කිසිසේත් අෑත්කරන්න හොඳ නෑ. මොකද චීන ආර්ථික ශක්තිය අපට ලබාගැනීම අපහසු කාරණයක් නෙවෙයි. ඒ නිසා අර මැතිනිගේ කාලෙ තිබුණු මධ්‍යම ප්‍රතිපදාව, නොබැඳි පිළිවෙත අපි අනුගමනය කරන්න ඕනේ.

යහපාලන කැබිනට්ටුවෙන් ඔබ ඉවත්කරද්දී මහින්ද රාජපක්ෂට සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට එරෙහි නඩු ප්‍රමාද කරන බවටත් ඔබට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල වුණා. අල්ලස් කොමිසමේ රාජපක්ෂලාගේ නඩු හිරවෙලා තිබෙද්දි තමයි නැවතත් ඔබ ඒ ධුරයට පත්වෙන්නේ. මේ පසුබිම ගැන ඔබ සැලකිලිමත්ද?

නෑ මට එහෙම කිසිම චෝදනාවක් තිබුණේ නෑ. මට එකම එක නඩුවක් සම්බන්ධයෙන් චෝදනාවක් තිබුණා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කරුණු තියෙනවද නැද්ද කියන එකේදි මම මතයක් කිව්වා. නීතිපති ඇතුළු සෙසු අයත් පසුව ඒ මතයේ හිටියා. අවසානයේදී කොහොමහරි ඒ කරුණ ත්‍රිපුද්ගල මහාධිකරණයට ගියා. මහාධිකරණයත් මෙතැන වරදක් නෑ කිව්වා. එහෙනම් මං කිව්ව එක හරිනෙ.

අල්ලස් හෝ දූෂණ කොමිසමට මැදිහත්වීමක් කරන්න මට කිසිම අයිතියක් නෑ. ඒක සම්පූර්ණයෙන් ස්වාධීනයි. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම ඒකට කරපු එකම දේ ඒගොල්ලන්ට අවශ්‍ය නීති සම්පාදනය කරල සංශෝධන හදලා දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුව නඩු පැවරුවා. ඇත්තටම මම ඉන්න කාලේ තමයි නඩු පැවරුවේ. මම ගියාට පස්සෙ තමයි නඩු පැවරීම නතර වුණේ. ඒවා මේ ඊයේ පෙරේදා උපාලි අබේරත්න විනිශ්චයකාරතුමාගේ කොමිෂන් සභාවේ නිර්දේශයක් කියලා අස්කරගත්තේ දැන් ඉන්න නීතිපතිවරයායි.

මොන්ටිසෝරි ළමයකුවත් නොකරන විදිහට බදු කප්පාදුවෙන් ඇති හැකි අයට සහන දීලා ආර්ථික අර්බුදය වේගවත් කරගත්තා යැයි ඔබ ජනාධිපතිවරයාව විවේචනය කළා. දැන් අන්තර්කාලීන ආණ්ඩුවත් තෙල් මිල අහස උසට නග්ගලා. ගජ මිතුරන් අතෑරලා මහජනයාම පෙළන්නේ ඇයි?

අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙන්නේ. ජනාධිපතිවරයා බලයට ආපු ගමන්ම පී.බී. ජයසුන්දර තමයි ලේකම් බවට පත්වුණේ. මහ බැංකු අධිපති වුණේ කබ්රාල්. මම දිගින් දිගටම නඩුවලින් පවා මේ දූෂිතයන් ගැන ඔප්පු කරල තිබෙනවා. යම් හේතුවක් නිසා ඒක අපේ පාලනයෙන් තොරයි. මේ සියලු දෙනාට තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයගේ හයිය. ඒ තනතුරුවලට ගිහින් ජනාධිපතිවරයාව නොමඟ යවලා මේ කොළඹ ඉන්න ව්‍යාපාරිකයෝ කිහිපදෙනකුයි, පී.බී. ජයසුන්දරයි, කබ්රාලුයි එකතු වෙලා බදු කපාහැරියේ ධනපතීන්ට සහනයක් දෙන්න. බදු ගෙවන්නන් විදිහට මට පවා ඒකෙන් වාසියක් ආවා. හැබැයි ඒක අපි කවුරුවත් ඉල්ලුවේ නෑ.

ඒකෙන් වුණේ රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වුණා. මම ගණන් බැලුවාම පහුගිය අවුරුදු දෙකයි එක කාර්තුවක් සඳහා අපට ඒ බදු කප්පාදුවෙන් අහිමි වූ මුදල ඩොලර් බිලියන 7කට වැඩියි. අපි දැන් ණය ඉල්ලන්නේ බිලියන දෙක තුනක්. ඉතින් අපි අලුත් අය-වැයක් ඉදිරිපත් කරනවා. ඒකෙදි අපට රටේ ඉහළ ආදායම් ලබන අයට බදු වැඩි කරන්න අනිවාර්යයෙන් සිද්ධවෙනවා. අඩු ආදායම්ලාභීන් මත පැටවෙන බද්ද අවම කරමින් ඉහළ ආදායම්ලාභීන්ට බදු ගහන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා.

සංවාද සටහන –  බිඟුන් මේනක ගමගේ