නිදන් හොරු පන්සල කඩන කොට බහිරවයෙක් ඇවිත් ගම්මු කූද්දපු හැටි..!

0
150

බහිරවයකු දුන් තොරතුරුවලට අනුව කටයුතු කිරීමට ගොස් තම බලප්‍රදේශයට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හා කෝරලයක් උරුම වූ රසවත් කතාවක් රජරට සීමාවට අයත් පලාගල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. 1958 වසරේදී බහිරවයා දුන් මෙම පණිවුඩයට අනුව කටයුතු කිරීමට ගිය 15 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමේ සෙසු සියලු දෙනාම පාහේ මේ වනවිට මියගොස් ඇතත්, සිද්ධියට සම්බන්ධ කතානායකයා පමණක් තවමත් ජීවත්ව සිටියි. අපි දුරුකතර ගෙවා ඔහු සොයා ගියෙමු

ඔහු අතීතයේ පලාගල ගම් සභාවේ මැම්බර්වරයා ලෙසත් පසුව ගම් සභාපති ලෙසත් අනතුරුව උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාත් ලෙසත් කටයුතු කළ නෑගම්පහ, මානේරුව, ඉපුල්වැහැර ජේ.එම්.ඒ. ජයතිලක මහතාය.

දැනට 86 වැනි වියේ පසුවන හෙතෙම සිද්ධිය විස්තර කළේ මෙසේය.

“උපුල්වෙහෙර කියන අපේ ගමේ අය රෑට නිදාගෙන ඉන්නකොට කවුරු හරි හූ කියාගෙන ගම වටේ යනවා ඇහිලා තියෙනවා කියනවා.

පහුවදා ගමේම අය ඒ ගැන කතා වුණත්, ඒ කවුද කියලා හොයා ගන්න බැරි වුණා.

ඊට දවස් කිහිපයකට පස්සේ කවුදෝ කෙනෙක් ගමේ කිහිපදෙනකුම නින්දෙන් ඇහැරවලා පස්සේ කවුද කෙනෙක් “පන්සලේ චෛත්‍යය හොරු කඩනවා බේරා ගනියව්!” කියලා ගිහින් තියෙනවා.

පස්සේ ගමේ 15 දෙනෙක් විතර එකතු වෙලා උපුල්වෙහෙර පන්සලට ගියා. පන්සලේ ඉඳලා කහලු කන්ද මුදුනේ තිබෙන චෛත්‍යයට යන්න සැතපුමකට වඩා දුරක් අමාරුවෙන් කන්ද නැග්ගා. ඉස්සරලාම ගියේ කළුබණ්ඩා අයියා, එයා ගිහින් කෑ ගහලා කිව්වා. හොරු ඉන්නවා කියලා. පස්සේ අපි එතැන්ට දිව්වා.

ඒ යනකොට උන් යවුල්, යකඩ ඉනි, උදලු, ගොටු දීමට ගෙනා දේවල් එතැනම දාලා කහලු කන්ද පැත්තට පැනලා ගියා.

උන් දවස් ගාණක් තිස්සේ උයාගෙන කකා බිබී රැඳිලා ඉඳලා හෙමින් සීරුවේ චෛත්‍යය බිඳලා තිබෙන බව අපි දැක්කා.

නිදන් කඩනකොට එක එක වේසයෙන් අවතාර එනවා කියනවානේ. ඒ ආව අවතාරවල සියල්ලටම ගොටු පිදේනි දීගෙන ඒ අය මෙල්ල  කරගෙන නිධානය ගන්නම සූදානම් වෙන වෙලාවේ තමයි බහිරවයා මනුස්සයන්ගේ පිහිට පතා ගමට ඇවිත් තියෙන්නේ කියලා අපිට වැටහුණා.

ඉතින් අපි සිද්ධිය ගැන කැකිරාව පොලිසියට දැනුම් දුන්නා. පොලිසියෙන් ඇවිත් එතැන තිබුණු සියල්ල නඩු බඩු විධියට රැගෙන ගියා. කවුරුත් අත්අඩංගුවට ගන්න නම් බැරි වුණා.

ඔය අතරේ මං මැම්බර් වශයෙන් ඉන්න වෙලාවේ සංස්කෘතික ඇමැති ඊ.එල්.බී. හුරුල්ලේ මහතා රැස්වීමකට ආවා. මම මේ සිද්ධිය එතුමට කිව්වා. පස්සෙ දවසක එතුමා පුරාවිද්‍යා කොමසාරිස් සද්ධා මංගල මහත්තයාත් එක්ක ඇවිත් මේක බලලා ගියා.

ඊටත් පස්සේ දවසක නිකවැරටිය පැත්තේ ගොවි මහත්තයෙක් කුඹුරු කොටනකොට උදැල්ලේ ගැටිලා සෙම්බුවක් මතුවෙලා තියෙනවා.

ඒක රත්රන් සෙම්බුවක්! රජයේ වගකිවයුතු අය ගිහින් ඒක ඉල්ලුවා. නමුත් කාටවත් දීලා නෑ. සංස්කෘතික ඇමැති හුරුල්ලේ මහතා ආවොත් විතරක් දෙනවා කිව්වලු.

පස්සේ හුරුල්ලේ මහතා ආවා. ඒ වෙලාවේ ඒ රත්රන් සෙම්බුව අතට අරගෙන දෙන්න ගිය ගොවියා සිහි විකලෙන් ඇමැතිට මෙහෙම කිව්වලු.

“මේක අරගෙන යන්න! ආරක්ෂා කරන්න ! මේ වගේම රත්රන් තියෙන චෛත්‍යයක් කලා වැවට දකුණු දිශාවෙන් තිබෙන උපුල්වෙහෙරෙ තියෙනවා. ඒකත් දිවි හිමියෙන් ආරක්ෂා කරන්න ඕනෑ.”

ඒ වෙලාවේ හුරුල්ලේ ඇමැතිවරයා මේ පන්සල තියෙන්නේ කොහේද කියලා කලාවැව ආසනය භාරව හිටපු ඒ.එම්.එස්. අධිකාරි මන්ත්‍රිවරයාගෙන් ඇහැව්වාලු.

“මං ඔය ගම ගැන දන්නේ නෑ. කැකිරාවේ ආසනයේ ඉන්න ජී.ඩී. මහින්දසෝම මන්ත්‍රිගෙන් අහන්න” කියලා අධිකාරි මහතා කිව්වලු.

ඒ ගැන මහින්දසෝම මහතාගෙන් අහනකොට කිව්වලු “මේක ගැන අහන්න සැබෑ සුදුස්සා තමයි ගම් සභාපති ජයතිලක මහත්තයා කියලා මං ගැන කිව්වලු”

එවිට හුරුල්ලේ මහතාට මතක් වුණාලු ඉස්සරලා ඇවිත් බලලා ගියපු පන්සල තියෙන තැනට තමයි මේ කියන්නේ කියලා. ආයෙත් පුරාවිද්‍යා කොමසාරිස් සද්ධා මංගල මහත්තයත් එක්ක එතුමා මේ ගමට ආවා.

කන්දේ චෛත්‍යය අසල සෙල් ලිපියක් තියෙනවා. ඒක සද්ධා මංගල මහතා කියැව්වා. “කඳු මුදුනට පෙනෙන තෙක් මානයේ ගම්මානවල ඉන්න අය පන්සලට බදු ගෙවිය යුතුයි” කියලා එහි සඳහන්ව තිබෙනවා කියලයි ඔහු කිව්වේ.

දෙවන පෑතිස් සමයේ ඉදිවුණු මේ පන්සල වළගම්බා රජු දවස ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මේ හාස්කම් සහිත පන්සල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා දීමට ඒ වෙලාවේ හුරුල්ලේ ඇමැතිවරයා කටයුතු කෙරුවා. ඒ වනවිට පලාගල පැත්ත අයත්ව තිබුණේ ඉපලෝගම ඩී.ආරෝ. කාර්යාලයට. ඒ වාගෙම මේ ගම් සීමාව පාලනය වුණේ කිරළව කෝරලය යටතේයි.

අවසානයේ පලාගල කියලා ඩී.ආරෝ. බල ප්‍රදේශයක් අලුතින් හදලා ඉපලෝගමෙන් කැඩුවා. ඒ එක්කම කිරළව කෝරලයට අයත්ව තිබූ පලාගල බටහිර කිරළව කෝරලය කියලා කඩලා වෙන්කර දීමටත් ඊ.ඇල්.බී. හුරුල්ලේ මහතා පියවර ගත්තා.

අද පවුල් 200ක් විතර මේ ගමේ හිටියාට එදා ගමේම පවුල් 30ක් 40 ක් විතර තමයි හිටියේ. බහිරවයාට පින් සිද්ධ වෙන්න ගමේ පන්සල හින්දා ප්‍රදේශයක් (දැනට ග්‍රාම සේවා වසම් 34ක් යටතේ පාලනය වන පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය) හා කොට්ඨාසයක් (බටහිර කිරළව කෝරලය) ලෙසට කඩන්නට අපි හැකියාව ලැබුණා.

බහිරවයෙක් නිසා දායාද වුණු පලාගල කොට්ඨාසයේ හා බටහිර කිරළව කෝරලය අද වනවිට යම් සුගතියක් ඇතත් ඊට මුල් වුණු හාස්කම් තිබෙන පන්සලේ මතු පරපුරට දායාද කළ හැකි බොහෝ දෑ විනාශ වෙමින් තිබෙන බවත් එය සංරක්ෂණය කළ යුතු බවත් උපුල් වෙහෙරේ විහාරාධිපති දාගම ධම්මාලංකාර හිමියෝ පැවැසූහ.

විස්තර හා ඡායාරූප –  පොල්පිතිම නන්දන කැලේගම