ණය ගන්නවා සම්පත් විකුණනවා  හැරෙන්නට රනිල්ට දැක්මක් නෑ

0
65

ආණ්ඩුව යළිත් තහවුරු වීම සඳහා සීරුමාරුවට උපායමාර්ග තෝරමින් සිටිනවා. ගෝඨා ගෝ හෝම් බලවේගවලට කුමක් සිදුවෙයිද?

ආණ්ඩුව තහවුරු වීම සඳහා උපායමාර්ග සකස් කරමින් තිබෙන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර දෙමින් නොවේ. ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්න දිනපතා උග්‍ර වෙමින් තිබෙනවා. පැරණි අසාර්ථක ඩීල් සහ දේශපාලන බිළි බා ගැනීම් හරහා පාලනය ගොඩනැඟීමට සහාය ගන්න උත්සාහ ගනිමින් තිබෙනවා. එය තාවකාලික සංදර්ශනයක් පෙන්නුවත් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මෙය අසාර්ථක වන බව ස්ථිරයි. අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන සංස්කෘතිය වෙනස් කර වංචාවෙන්, දූෂණයෙන් එක්රැස් කර ගන්නා ලද ධනය නැවත පවරා ගන්නත් වංචනිකයන් හට දඬුවම් දීමත් මෙයින් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අරගලකරුවන්ගේ ඇත්ත අරගලය තව තවත් වර්ධනය වීම හැර කිසිසේත්ම දිය වෙන්නේ නැහැ.

වර්තමාන ආණ්ඩුව ඔබේ නිර්වචනයට අනුව කොහොමද හඳුන්වන්නේ? මේක සර්ව පාක්ෂික ආණ්ඩුවක්ද? අන්තර්කාලීන ආණ්ඩුවක්ද? තාවකාලික ආණ්ඩුවක්ද?

ජනතාවගේ උද්ඝෝෂණ සහ සාධාරණ ඉල්ලීම් හමුවේ ගෝඨාභය රාජපක්‍ෂත් රාජපක්‍ෂ පවුලත් බිත්තියටම හේත්තු වුණා. ආණ්ඩුවත් හිර කර ගනිමින් ව්‍යවස්ථා සංශෝධන සහ ජනතාවට අත්‍යවශ්‍ය ආර්ථික සහන ලබාදී නව පාලනයක් සඳහා ජන වරමක් ලබාගැනීමට හිර කිරීමක් තිබුණා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ඒ නැඟිටීම මුළුමනින්ම පාවාදී අගමැති බවට පත්වී සිටිනවා. ඒ නිසා මේ ආණ්ඩුව සර්ව පාක්‍ෂික  හෝ අන්තර්කාලීන හෝ තාවකාලික ආණ්ඩුවක් නොවෙයි. බැසිල් රාජපක්‍ෂගේ නූලට මුළුමනින්ම නැටවෙන  රූකඩ අගමැතිවරයෙක් සහිත ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේත් ජනාධිපතිවරයාගේත් ඉතිරි කාලය මුළුමනින්ම ගෙනයන්න ඔවුන් උත්සාහ කරනවා. මා හිතනවා මෙයට මේ රටේ ජනතාව ඉඩ නොදේවි කියලා.

මෙතෙක් ආන්‍ෙදා්ලනයකට තුඩු දුන් මුදල් ඇමැතිකම රනිල් වික්‍රමසිංහ භාරගත්තා. ඔහු පළමු වතාවට මුදල්  ඇමැතිකමක් භාරගත්තේ. ගොඩදායිද මේ අර්බුදය?

රනිල් වික්‍රමසිංහ මෙයට පෙර මුදල් ඇමැතිකම දැරුවාද නැද්ද යන කිසිවක් වැදගත් නැහැ. රනිල් වික්‍රමසිංහ  පාලනයේ සිටි කාලයේ පාස්කරලිංගම්, චරිත රත්වත්තේ වැනි අයගේ විවිධ කමිටු හරහා ආර්ථිකය මෙහෙයවූවා. අනෙකුත් පැරණි ආණ්ඩුද පාලනය මෙහෙයවූයේ රනිල් වික්‍රමසිංහලා විසින් ගොඩනැඟූ න්‍යාය පත්‍රය අනුව. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ ගැටලුවලට උත්තරයක් නොවේ. මෙම අර්බුදයේ නිර්මාණකරුවන්. ඒ නිසා අලුත් ආර්ථික උපායමාර්ගයක් හෝ අලුත් ආර්ථික ගමනකට ඔහුට කිසිම දැක්මක් හෝ වුවමනාවක් නැහැ. ඔහු කරනවා නම් කරන්නේ තව රටකින් ණය මුදලක් ගැනීම හා ජාතික සම්පත් විකිණීම හරහා ඩොලර් හිඟය මඟහරවා ගැනීමට උත්සාහ කිරීම පමණයි. එය නැවත වටයකින් අර්බුදය උත්සන්න කිරීමක්. 

අලුතෙන් දිවුරුම් දුන් ඇමැතිවරු කියන්නේ කුමන බාධක පැමිණියත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නිල කාලය අවසන් වන තුරු ඉවත්  නොවන බව?

මේ ඇමැතිවරු මොනතරම් වහසිබස් දෙඩෙව්වාද? මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය  ධුරයෙන් ඉවත් නොවන බව කීවා. පැවැති කැබිනට් මණ්ඩලය ඉදිරියට ගෙනයන බවට වහසිබස් දෙඩුවා. ජොන්ස්ටන්, මහින්දානන්ද, රෝහිත ඇතුළු චෞර අමාත්‍ය මණ්ඩලයක් අපේ රට ඉදිරියටම පාලනය කරන බව කීවා.

බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍ය ධුරයේ සිට අගමැති ධුරය දක්වාත් අගමැති ධුරයේ සිට ජනාධිපති ධුරය දක්වාත් යන සැලසුම් හැදුවා. ජනතාවගේ නැඟිටීම් හමුවේ ඒ සැලසුම් අලුයම ලූ කෙළ පිඬක් සේ නොසලකා හරින තත්ත්වයට පත්වී තිබෙනවා. ඒ නිසා ගෝඨාභයගේ කාලය අවසන් වනතුරු පාලනය කරනවා කියන කතා වහසි බස් දෙඩවීම් පමණයි. මේ රටේ දේශපාලනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැක්මක් නොමැතිකමේ ප්‍රතිවිපාක.

දේශපාලන අර්බුදය එන්න එන්නම උග්‍ර වෙමින් තිබෙනවා. විපක්ෂයේ අනෙකුත් බලවේගවලට නායකත්වය දෙමින් ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනඟන්න ජ.වි.පෙ. අසමත් ඇයි, ඔබලාට ඇත්තටම ඒ නායකත්වය ගන්න බයද?

අපේ රටට අද අවශ්‍ය වී තිබෙන්නේ කවර වර්ගයේ බලවේගයක්ද? දේශපාලන පක්‍ෂ නායකයන් වේදිකාවකට නැඟලා කරට අත දාගෙන යාළුයි අපි යාළුයි කියන බලවේගයක් නෙවෙයි. පසුගිය කාලයේ විවිධ දේශපාලන පක්‍ෂ එකට වේදිකාවට නැඟලා තිබෙනවා. එකට ආණ්ඩු හදලත් තිබෙනවා. 2015-2019 තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත් ඒකාබද්ධ වූ හයිබි්‍රඩ්  ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ගත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂයේ එකම මන්ත්‍රිවරයා සහ අනෙකුත් පක්‍ෂ එකතු කරගත් ආණ්ඩුවක්. තවදුරටත් අවශ්‍ය වී තිබෙන්නේ එවැනි තත්ත්වයක යාළුයි අපි යාළුයි කියන ආණ්ඩු නෙවෙයි.

නව ආර්ථික උපායමාර්ගයකට අපේ රට අවදි කරන්නත් ජරාජීර්ණ වූ වංචාව, දූෂණය, නාස්තිය සහ නීතිය නොසලකා හැරීම් වරප්‍රසාද කරගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බලවේගයක් අවශ්‍යයි. මේ තිබෙන ආර්ථිකයත් දේශපාලන සංස්කෘතියත් සමාජ කඩාවැටීමත් මුළුමනින්ම වෙනස් කොට නව දිසාවකට ගෙනයන ජනතා බලවේගයක් ගොඩනැඟීම අපේ අපේක්‍ෂාවයි. ඒ සඳහා එකතුකර ගත හැකි පුළුල්තම කණ්ඩායම් ජාතික ජන බලවේගය වටා එකතු කර ගැනීමට ක්‍රියා කරමින් ඉන්නවා.

දැන් අලුත්  කැබිනට් මණ්ඩලයක් පත් කර තිබෙනවා. රට කරවටක් ගිලී සිටින මොහොතේ එම ප්‍රශ්නවලින් ජනතාව බේරාගැනීමට නම්  ආණ්ඩුවට සහාය දිය යුතුයි. ඔබ සූදානම්ද?

ඔව්, මා දැක්කා බොහෝ අය කියනවා මේ ආණ්ඩුවට සහාය දිය යුතුයි කියලා. මේ ආණ්ඩුව අද නියෝජනය කරන්නේ මේ අර්බුදවල නිර්මාපකයන්. සැබවින්ම අවංක වුවමනාවක් මේ අර්බුදයෙන් ගොඩගැනීමට තිබෙනවා නම් මේ අපරාධයට හවුල් වූවන් අධිකරණය ඉදිරියට ගෙන යා යුතුයි. වංචා-දූෂණවලට හවුල් වූවන් අධිකරණය ඉදිරියට ගෙන යා යුතුයි. සොරකම් කරන ලද ජනතාවගේ දේපළ පවරා ගැනීමේ සැලසුම් සෑදිය යුතුයි. මහා පරිමාණ බදු – වංචාවල යෙදී සිටින චෞර වළල්ලෙන් බදු අය කර ගැනීම සඳහා සැලසුම් සකස් කළ යුතුයි.

ගජමිතුරන්ට බදු සහන හරහා උපයා ගැනීමට දී තිබෙන සියලු ධනය අත්පත් කරගත යුතුයි. එහෙත් එවැනි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්න මේ ආණ්ඩුව සමත් නැහැ. එසේ වුවත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ ආණ්ඩුව යම් කෙටිකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා නම් විපක්‍ෂයේ සිට එම වැඩසටහනට සහයෝගය දීම කරන්න පුළුවන්. එසේ නැතිව ආර්ථික අපරාධකරුවන්, වංචනිකයන් ආණ්ඩුවට පත්කරගෙන ත්‍රාඩ ව්‍යාපාරවල යෙදෙන, රටේ සම්පත් විිනාශ කරමින් සිටින චෞර කණ්ඩායම් ආරක්‍ෂා කරන, වංචනිකයන් ආරක්‍ෂා කරන මේ මජර ගමනක් යන ආණ්ඩුවට එකතු වීමෙන් පලක් නැහැ. 

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාතික ජන බලවේගය සහාය දෙනවාද?

ඉදිරිපත් කර තිබෙන 21 වැනි සංශෝධනය 19 අහෝසි කරලා 20 ගෙනාපු අයටම දෛවයේ සරදමක්. ඒකට අත ඉස්සූ අයටම 21 කරේ තියාගෙන යන්න සිදුවීම දෛවයේ සරදමක්. මේ ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත පිළිබඳව අපි අධ්‍යයනය කරමින් සිටිනවා. මෙයට සංශෝධන බොහොමයක් ඇතුළත් විය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම පක්‍ෂ මාරු කරන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුර අහෝසි කිරීමේ වගන්ති, මන්ත්‍රිවරයා වරප්‍රසාදලත් කෙනෙක් වෙනුවට සාමාන්‍ය කෙනෙක් කිරීමේ සංශෝධන වගේම මේ සංශෝධනයෙන් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත්  බලතල පැවරෙනවා. නමුත් මේ තෝරාගෙන තිබෙන අගමැතිවරයා එවැනි බලතල ලබාදීමට සුදුසුකම් ඇති පුද්ගලයෙක් නොවේ. ඒ නිසා 21 වැනි සංශෝධනය ක්‍රියාවට නැඟෙන විට නව පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයෙක් පත්කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතුව තිබෙනවා. 

කඩිනමින් අගමැතිවරයෙක් පත් කර දේශපාලනය ස්ථාවර නොකළොත් තනතුරින් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපතිවරයා පවසා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාර ගත්තේ එවන් පසුබිමකයි. තීරණාත්මක මොහොතේ ඔබ මෙන්ම විපක්ෂ නායකවරයාද වගකීම පැහැරහැරියා නේද මේ මොහොතේ?

දේශපාලන ස්ථාවරභාවය අත්‍යවශ්‍ය  වී තිබෙනවා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට. අද මේ ආණ්ඩුවට 20 වැනි සංශෝධනයෙන් අධික බලයක් සහිත ජනාධිපතිවරයෙක් සිටීමත් පසුගිය අප්‍රේල් මාසය වෙන තෙක් 2/3 බලය තිබීමත් තුළින් විධායකයේත් පාර්ලිමේන්තුවෙත් ස්ථාවරභාවයක් තිබුණා. නමුත් ප්‍රශ්නය පැනනැඟුණේ ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් ජනතාව පිළිනොගැනීමෙන්. අද අපේ රටේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය යනු ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බහුතර ජනතාවක් නොපිළිගැනීමයි. මේ තත්ත්වය විසඳිය හැකි වන්නේ මැතිවරණයකින් නව ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීමෙන් පමණයි. එසේ නැතිව විපක්‍ෂ නායක හෝ වෙනත් කෙනෙක් හෝ එක් කරගෙන අටවා ගන්නා කුමන ආණ්ඩුවකින්වත් දේශපාලන අස්ථාවරභාවය විසඳෙන්නේ නැහැ.

සැප්තැම්බර් අග වන විට රටේ සහල් සියල්ල අවසන් බව අග්‍රාමාත්‍යවරයා ආහාර කමිටුවේදී ප්‍රකාශයට පත්කර තිබෙනවා. කන්නත් නැති රටක ජනතා විමුක්ති පෙරමුණට ඉදිරි කාර්යභාර්යක් සකසන්න පුළුවන්ද?

ගෝඨාභය රාජපක්‍ෂ කළ ප්‍රධානම හානිය අපේ කෘෂිකර්මාන්තයට සිදුකළ විනාශයයි. ඔහු මෙම තනතුරෙන් එළවන්න ඒ හානිය පමණක් වුවද ප්‍රමාණවත්. පසුගිය මහ කන්නයේ අපේ වී නිෂ්පාදනය 30%කින් පමණ අඩුවී තිබෙනවා. මේ යල් කන්නයේ වගා කටයුතු තාමත් ආරම්භ වී නැහැ. දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්තවලින් පෙන්වන්නේ සහල් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ පවතින බවයි. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවා ගත නොහැකි අර්බුදයකට අප මුහුණදී සිටිනවා. ඒ නිසා නුදුරේදීම සහල් අර්බුදයක් පැමිණීමේ ඉඩකඩ තිබෙනවා. මේ ආණ්ඩුව හිතාමතාම සැලසුම් සහගතව කරන ලද අපරාධ මේවා. එහෙත් පුරවැසියන් බඩගින්නේ සිටිය යුතු නැහැ. හැකි පමණ තම ආහාර අවශ්‍යතාව වෙනුවෙන් නිෂ්පාදනයේ යෙදීමට ක්‍රියා කිරීම අවශ්‍යයි. අපේ පක්‍ෂය ඒ සඳහා කාර්යභාරයක් ඉටු කරන්න සූදානම්.

නැවත රුපියල් ටි්‍රලියනයක් අච්චු ගහන්න යන බව මුදල් ඇමැති රනිල් ප්‍රකාශ කළා?

අපේ රටේ ආණ්ඩුවලට දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් තිබුණේ නැහැ. 1996දී දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 23%ක් රජයට ආදායම් ලැබුණා. පසුගිය අවුරුද්ද වනවිට එය 9% දක්වා අඩුවී තිබුණා. හැබැයි අපේ වියදම් වැඩි වුණා. භාණ්ඩාගාරයට ලැබෙන ආදායමත් වියදමත් අතර විශාල පරතරයක් නිර්මාණය වුණා. එයට විසඳුම් හැටියට කළේ මුදල් අච්චු ගැසීමයි. එයින් අපේ රටේ ගැඹුරුතම ආර්ථික අර්බුදයක් නිර්මාණය කළා. රනිල් වික්‍රමසිංහ යළිත් තෝරාගෙන තිබෙන්නේ මුදල් අච්චු ගැසීමයි. ඔහු යෝජනා කරන මෙම මුදල් ප්‍රමාණයම අච්චු ගැසුවහොත් අපේ රටේ උද්ධමනය දරාගත  නොහැකි තරම් ඉහළ යනවා.

මන්ත්‍රිවරුන්ගේ ගෙවල් ගිනි තැබීම අනුමත කරන්නේ නැතැයි දේශපාලනඥයන් බහුතරයකගේ මතය වුණත් ජන සමාජයේ සියයට 90%ක් පමණ කියන්නේ හොඳ වැඩේ ඕකුන්ට කියලයි. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නේ  ඒ බහුතර ජනතාවගේ පැත්තේ නේද?

දේශපාලන සටන ජාතික තලයේ තිබීම අපට වඩාත් වාසිසහගතයි. ගැටුම්කාරී, ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් වර්ධනය වීම අපි අනුමත කරන්නේ නැහැ. එය අපි වැනි දේශපාලන සංවිධානයකට ඉතාමත් අහිතකරයි. අප දිගින් දිගටම පෙනී සිටියේ අපි යෙදී සිටින්නේ මතවාදී-මතවාදී අතර සටනක. භාවිතාව-භාවිතාව අතර සටනක. එවැනි සටන් ගිනිකෙළි සටන් බවට පත් නොවිය යුතුයි. අපේ ස්ථාවරය ඒක. ආණ්ඩුව පහුගිය කාලයේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්කර තිබුණා පමණක් නොවෙයි, මේ ආණ්ඩුව ජනතාව හෑල්ලුවට පත් කළා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන සංවේදීතාවක් දැක්වූයේ නැහැ. මාලදිවයිනේ ජල ක්‍රීඩා කරන, ඩුබායිවල හෙලිකොප්ටර්වල ඉඳලා පනින ඇමැතිවරු හැදුවා.

කිරිපිටි නැතිව ජනතාව ඉඳිද්දී ගුවන් යානා හයර් කරගෙන අගමැතිවරයා තිරුපති වඳින්න යනවා. මහා පරිමාණ වංචා-දූෂණවලට හවුල් වුණු අය අධිකරණවලින් එළියට එනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම නඩු ඉල්ලා අස්කර ගන්න තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ජනතාවගේ කෝපය වේගයෙන් බුර බුරා නඟින තත්ත්වයක් තිබුණා. පසුගිය 09 වැනිදා සිදුවුණේ එවැනි තත්ත්වයක්. එවැනි ප්‍රචණ්ඩකාරීත්වයක් කිසිසේත්ම අපේ රටට නොතිබිය යුතු බව අපි අවධාරණය කරනවා.

 රට පුරා ඇවිළී ගිය ආණ්ඩු විරෝධී කැරලි ජවිපෙ ගිණුමට බැර කරන්න පොහොට්ටු මැති ඇමැතිවරු උත්සාහ  කළා කියලා ඔබලා චෝදනා කරනවා. නමුත් පොහොට්ටු නායකයන්, පාක්ෂිකයන් මෙය ජවිපෙ ප්‍රචණ්ඩකාරී ක්‍රියා බවට චෝදනා කරනවා?

ආණ්ඩුව එවැනි අසාර්ථක උත්සාහයක යෙදෙනවා. එපමණක් නොවෙයි, පොලිසිය උපයෝගී කරගෙන ආණ්ඩුවේ ක්‍රියාකාරිකයන් ලබාදෙන නාමලේඛන මත ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් අත්අඩංගුවට ගන්න දැන් කටයුතු කරමින් තිබෙනවා. අපි පෙනී හිටියේ ප්‍රචණ්ඩකාරී දේශපාලනයක් වළක්වන්න. එදා අරලියගහ මන්දිරයට රට පුරා මැර කණ්ඩායම් ගෙනත් බොන්නදී පොලුදී පහර දීමට අනුබල දුන් මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස මෙම ප්‍රචණ්ඩත්වයේ නිර්මාණකරුවන්.

අපිට මේ ක්‍රියාවලට සම්බන්ධයි කියන අය අතර සමහර අය මිනීමැරුම්වලට හිරේ සිටි අයයි. සමහර අය වර්තමානයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වී රිමාන්ඩ් භාරයේ සිට පාර්ලිමේන්තුවට ඇවිත් අපිට චෝදනා කරනවා. තවත් සමහර අය අධිකරණයේ ඇප මත එළියේ ඉන්නන්. තවත් අය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් සැඟවී කට්ටි පනිමින් ඉන්න අය. මේ වගේ අය තමයි අපිට ඔය චෝදනා නඟන්නේ. ඇත්තටම ප්‍රචණ්ඩකාරීත්වය ඕනෑ මේ ආණ්ඩුවට. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු ප්‍රචණ්ඩකාරීත්වයකට, කෝප ගැන්වීමකට ලක් නොවන ලෙසයි.

නිර්පාක්ෂික ජන අරගලයේ පහනෙන් එළිය බලන්නට ජවිපෙ කළ උත්සාහය ව්‍යර්ථ වුණා නේද?

අරගලයෙන් බැබළීමට හෝ එළිය ලැබීමට අපට කිසි සේත්ම අවශ්‍යතාවක් නැහැ. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අපි අරගල කරමින් ඉන්නවා. අපේ ගොවි සංවිධානය, වෘත්තීය සමිති ව්‍යාපාරය, අපේ තරුණ සහ ශිෂ්‍ය ව්‍යාපාරය, කාන්තා ව්‍යාපාරය ජනතාවගේ පීඩාවට එරෙහිව හැමදාමත් අරගල කරමින් ඉන්නවා.

ඒ අරගලයෙන් ආලෝකය ලැබීමේ අලුත් වුවමනාවක් අපට නැහැ. එම අරගලයේ පැවැත්ම පවතින්නේම එහි තිබෙන නිර්පාක්‍ෂිකභාවය නිසයි. සියලු පක්‍ෂවල දේශපාලන ක්‍රියාකාරිකයන්, දේශපාලනය  නොකරන කණ්ඩායම් යන හැම දෙනාම එම අරගලයේ යෙදී සිටිනවා. ඊට අවශ්‍ය පසුබිම විසින්ම නිර්පාක්‍ෂික ස්වභාවය රැක ගනිමින් ඉදිරියට යෑමට ඉඩ හැරීමයි අපගේ ක්‍රියාමාර්ගය වුණේ.

ඔබ එසේ අදහස් කළත් මුළු රටම දැක්කා හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රිවයා කළ ප්‍රකාශය. මේකෙන් පෙන්නුම් කරන්නෙ පක්ෂය තුළ  එක් මතයක් නොමැති බව නේද?

නැහැ, කිසිදු පරස්පරතාවක් නැහැ. ප්‍රචණ්ඩත්වයට කිසිසේත්ම සම්බන්ධ නොවන පිරිස් දේශපාලන දඩයමක් ලෙස අත්අඩංගුවට ගනිමින් තිබෙනවා. මෙන්න මේ දේශපාලන දඩයම නතර කරන්න කියන එකයි අපේ ස්ථාවරය.

කොහොම වුණත් පිකටින්, උද්ඝෝෂණ, විරෝධතා පා ගමන්, පෙළපාළි මොනවා කළත් ඊට ආණ්ඩුව ඇහුම්කන් දෙන බවක් පේන්නේ නෑ. මිනිසුන්ගේ  කාලයක් තිස්සෙ  ආ පීඩනය සෝඩා බෝතලයක් කැඩුවා වගේ ඒ පීඩනය පිපිරුවා. එවැනි තත්ත්වයක ජවිපෙ ඉදිරි ක්‍රියාමාර්ග තෝරන්නේ කෙසේද?

අපේ ඇස් ඉදිරිපිට තිබෙන්නේ ඉතාමත් බිහිසුණු චිත්‍රයක්. ජනතාවට එල්ල වී තිබෙන පීඩාව කුමන ආකාරයකින්, කුමන දිශාවකින් පුපුරා යයිද කියන අනතුර අප ඉදිරියේ තිබෙනවා. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අප උත්සාහ කරමින් සිටින්නේ ජනතාව විඳින වේදනාව, කෝපය මොන තරම් උත්සන්න වුණත් ප්‍රචණ්ඩකාරී හැසිරීමකට නොයා යුතුයි කියන එක. එවැනි ප්‍රචණ්ඩකාරී හැසිරීම් කිසිසේත්ම පුරවැසියන්ට හිතකර වෙන්නේ නැහැ. දේශපාලන ව්‍යාපාරවලට හිතකර වෙන්නේ නැහැ. ප්‍රචණ්ඩකාරී හැසිරීමක් අවශ්‍ය වී තිබෙන්නේ ආණ්ඩුවට. ජනතාවගේ සාධාරණ ඉල්ලීම් තුළට ආණ්ඩුවේ ප්‍රකෝපකාරී කණ්ඩායම් යොදවා ගැටුම් නිර්මාණය කිරීමේ සැලසුමක් තිබිය හැකි බවට සාධාරණ සැකයක් තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  ප්‍රකෝප වෙන්න එපා, සාමකාමී වෙන්න කියලා. ඒ තමයි අපි මේ අවස්ථාවේ තෝරන සහ ජනතාවගෙන් යළි යළිත් ඉල්ලා සිටින ක්‍රියාමාර්ගය.

ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු හමුවේ ඔවුන් පාර්ලිමේන්තුවේ 225ට එල්ල කරන චෝදනාවලින් ජවිපෙට ගැලවෙන්න බෑ.

ඔව්. ජනතාව 225ම එපා කියන එක ඇතුළේ තිබෙන්නේ පවතින දේශපාලන සංස්කෘතිය එපා කියන එකයි. මහජනයාගේ දේපළ හොරා කන මන්ත්‍රිවරුන් එපා. මහජනයාගේ ධනය නාස්ති කරන දේශපාලනයක් එපා, නීතියට උඩින් ඉන්න දේශපාලනයක් එපා, පුරවැසියන්ට වඩා වරප්‍රසාද ලබන දේශපාලනයක් එපා, අපරාධවලට හවුල් වන දේශපාලනයක් එපා යනාදී ගුණාංග ඇතුළත් වෙනවා. පස් ගොඩ දැමීම, වැලි ගොඩ දැමීම, බාර් පවත්වාගෙන යෑම රටේ මුළුමහත් සම්පත් විනාශ කරන දේශපාලනයක් එපා කියන දේ මේ තුළ තිබෙනනවා. 225ම එපා කියන දේ තුළ තිබෙන්නේ  මේ දේශපාලන සංස්කෘතිය එපා කියන එකයි. මේ දේශපාලන සංස්කෘතියට අපි ඇතුළත් වෙන්නේ නැහැ.

ඔබ මොනවා කිව්වත් තරුණ ජනයා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් ඉවත් වෙමින් සිටිනවා කියලා හිතෙන්නේ නැද්ද?

පසුගිය කාලයේ තරුණ පරම්පරාව දේශපාලනයට උනන්දුවක් දැක්වූයේ නැහැ. අන්තර්ජාලයෙන් තාක්‍ෂණික ලෝකයේ විවිධ දැනුම බෙදා හදාගනිමින් අලුත් ලෝකයකට ඇතුළු වෙමින් හිටියා. වැඩිහිටියන්ගේ දේශපාලනයක් තිබුණේ. දේශපාලනය තමන්ගේ වැඩිහිටියන්ට භාරදී තරුණයන් අලුත් ලෝකයට ඇතුළු වී එය අත්විඳිමින් හිටියා. නමුත් ඒ වැඩිහිටියන්ගේ වැරදි සහ අත්තනෝමතික ජරාජීර්ණ දේශපාලනය විසින් අර තරුණයන්ගේ අනාගතය මුළුමනින්ම විනාශ කොට තිබෙනවා.

අද තරුණයන් කරළියට ඇවිත් කියන්නේ පාරම්පරික වැඩිහිටි දේශපාලනය අපේ රටේ ජීවිත විනාශකර තිබෙන බවයි. ඒ නිසා නව  දේශපාලන ව්‍යාපෘතියක් අවශ්‍යයි කියන එක තරුණයන්ගේ ඉල්ලීම. අපේ දේශපාලනයේ වුවමනාවත් ඒ තරුණයන්ගේ ඉල්ලීමත් ඉතාමත් සමපාත වී තිබෙනවා. ඒ නිසා එම වුවමනාව නියෝජනය කරන තරුණයන්ගේ මධස්ථානයක් බවට ජාතික ජන බලවේගය පත්වී තිබෙනවා.

පසුගිය 9 වැනිදා ගෝල්ෆේස් පිටියේදී ජවිපෙ වසන්ත සමරසිංහලා ප්‍රකාශයට පත් කළ සමස්ත මහා වැඩවර්ජනයට මොකද වුණේ. ඔබ හිතනවද හැඟීම්බර වූ පමණින් වැඩවර්ජන දියත් කරන්න පුළුවන් කියා?

මහ දවල් මාධ්‍ය ඉදිරිපිට යකඩ පොලු ගත් මැර කණ්ඩායම් ආණ්ඩුවෙන් සංවිධානාත්මකව යොදවා ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරනකොට ඊට එරෙහිව වැඩවර්ජනයක් දියත් කළ යුතුයි. වැඩ කරන ජනතාව නිකම් සිටිය යුතු නැහැ. ඒ අවස්ථාවේ අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය අනෙකුත් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට ඉතාමත් නිවැරදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළා. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ක්‍රියාමාර්ගවලට ක්‍ෂණිකව දැක්විය යුතු ප්‍රතිචාරයක් ඒක.

ආණ්ඩු විරෝධී වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ සමඟිය ගොඩනඟනවා වෙනුවට ජවිපෙ කට්ටිවාදී වැඩපිළිවෙළක් ගෙනියන බවට චෝදනා එල්ල වෙනවා.

කිසිසේත්ම නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සහ අපේ රටේ ඉතාමත් ප්‍රබල වෘත්තීය සමිති ඒකාබද්ධව ලංකාවේ ප්‍රබලතම වෘත්තීය සමිති මධ්‍යස්ථානය ගොඩනඟා තිබෙනවා. හැබැයි සමාජ පිළිගැනීමක් නැති සමාජ අවධානයක් නැති කුඩා දේශපාලන ව්‍යාපාරයක් මේ වෘත්තීය සමිති ව්‍යාපාරය බෙදන්න උත්සාහ කරමින් ඉන්නවා.

අද අපේ වසන්ත සමරසිංහ සහෝදරයා පෙනී සිටින්නේ ලංකාවේ මෙතෙක් එකතු වුණු දහසකට වඩා වැඩි වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධ කළ වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයන් විදිහටයි. ඒ නිසා ඇත්තටම කට්ටිවාදීව කටයුතු කරමින් ඉන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරවල බලයක් නැති ඉතාමත් කට්ටිවාදී දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ක්‍රියා කරන කණ්ඩායමක් විතරයි. වෘත්තීය සමිති පොදු මධ්‍යස්ථානයක් බිහි කිරීමේදී අපේ වෘත්තීය සමිති විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා.

රට කරවටක් ලෝකෙට ණය වෙලා දැන් ලංකාවට ණය ගෙවන්න රටවල්  ඉදිරිපත්  වෙන්නෙ නෑ. ඉදිරි මාස කිහිපය අපි ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද ?

අපේ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය දීර්ඝ කාලයක් තුළ ඉපයූයේ නැහැ. අපේ සම්පත් විකුණලා හෝ ණය අරගෙන ඩොලර් අවශ්‍යතාව ආවරණය කර ගත්තා. නමුත් 2020 වනවිට අපට ණය දෙන්නේ නැතිව ගියා. මේ නිසා අන්තිමේදීී විශාල ඩොලර් හිඟයක සිරවි සිටිනවා.

දැන් ඩොලර් අර්බුදය තවත් තීව්‍ර වෙමින් තිබෙනවා. මීට ක්‍ෂණික විසඳුම යළි ණය ගැනීම, ගෙවීමට තිබෙන ණය කල් දමා ගැනීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් වැඩිකර ගැනීම, සංචාරක ව්‍යාපාරය ක්‍ෂණික නැග්මක් ගැනීම, අපේ ජීවන රටාවේ වෙනස්කම් කරගැනීම, අපේ ආනයන ක්‍ෂණිකව යම් සීමාවකට ගැනීම වගේ දේවල්. එහෙත් එය ස්ථාවර විසඳුමක් වෙන්නේ් නැහැ. ස්ථාවර විසඳුමක් වන්නේ අපට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගන්නා ආර්ථිකයක් ගොඩනැඟීමෙන් පමණයි.

ඉදිරි මාස 3 ආර්ථික දරුණු තත්ත්වය  ඉතා බරපතළ බව අගමැති කිව්වා. හිටපු මුදල්  ඇමැති අලි සබි්‍ර කිව්වා ඉදිරි මාස 6,9,12 ඉතා අසීරු බව. ඔබ මෙය දකින්නේ කොහොමද?

සබි්‍ර මේ ඊයේ පෙරේදා කියන්න පටන් ගත්තේ අපි හැමදාමත් කියපු දෙයක්. මේ ගොල්ලෝ හැමදාමත් ආර්ථිකයේ ඇත්ත තත්ත්වය යට ගහලා, අර්බුදය හැමදාමත් යට ගහලා උඩින් අයිසිං කරලා මේ දක්වා ආවා. ඒ ප්‍රතිවිපාකවලට තමයි අද මුහුණ දෙමින් සිටින්නේ. ඒ නිසා සබි්‍රලා මේවා කියනවා වෙනුවට තමන්ගේ නායකයන් තමන්ගේ ආණ්ඩු තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය යන ඔක්කොම එකතු වෙලා මේ රටට කළ අපරාධය ගැන අඬන්න ඕනෑ.

අගමැති රනිල්  කියන ප්‍රකාශ, පොරොන්දු  ජනතාව පිළිගනියි කියලා ඔබ හිතනවාද?

රනිල් වික්‍රමසිංහ මේ රටට කොච්චර දේවල් කියලා තියෙනවාද. ඒ කිසිවක් ඉටු නොවූ දේවල්. අවලංගු වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ පොරොන්දු විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහත් අවලංගු වූ දේශපාලකයෙක්. රනිල් වික්‍රමසිංහ හැම විටම අපේ රටේ ජාතික සම්පත් විකිණීම සඳහා කරළියට ආ නායකයෙක්.

රනිල්  වික්‍රමසිංහ  ප්‍රසිද්ධියේම කියනවා අනුර කුමාර මට ඉතා ළෙන්ගතුයි, හිතවත් කියලා. ඔය ළෙන්ගතුකම එක්ක බැරිද ඔබටත් ආණ්ඩුවේ වගකීමක් අරන් මේ ජනතාව  අසීරුවෙන් මුදා ගන්න.

මෙවැනි චෞර රැලක් ඉන්න ආණ්ඩුවකින් මට පෞද්ගලිකව යමක් ලබාගත හැකි වේවි. නමුත් රටට කිසිවක් ලබාගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ අවලංගු වූ කාසියක්. ඔහුත් එක්ක රට ගොඩනැඟීමක් පිළිබඳව සිහින දැකීම මිරිඟුවක් විතරයි.

ලොකු ප්‍රසිද්ධියක් දීලා එළියට දැමූ රාජපක්ෂලාගේ දූෂණ ජවිපෙ හැමදාමත් කතා කරන එක ආකාරයේම ඒවා වුණෙත් ඇයි? කවුරුත් බලන් හිටියා අනුර කුමාර බෝම්බය පත්තු කරයි කියලා.

අපි හැමදාමත් මේ වංචා – දූෂණවලට විරුද්ධව හඬ නැඟුවා. වංචා – දූෂණ හෙළිදරව් කළා. දේශපාලන ව්‍යාපාරයක් සහ පුද්ගලයෙක් හැටියට වංචා – දූෂණවලට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මේ ක්‍රියාමාර්ග ඉදිරියට යන්න නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි මෙහෙයවා මේ පරීක්‍ෂණ ශක්තිමත් කොට අවශ්‍ය කරුණු නිවැරදිව තහවුරු කොටගෙන අධිකරණය හමුවට පැමිණවිය යුතුයි. ඒ ක්‍රියාමාර්ග තිබෙන්නේ ආණ්ඩුවේ පාලනය යටතේයි.

එසේ නොමැතිව දේශපාලන ව්‍යාපාරයකට හෝ පුද්ගලයකුට නෙවෙයි. අපට තිබෙන ප්‍රබලම දේ මේ වංචනිකයන්ට, දූෂිතයන්ට එරෙහිව මහජන මතයක් ගොඩනැඟීමයි ඒ මහජන මතය. මහජන බලයක් කර ඒ.ඒ වංචා  – දූෂණවලට දඬුවම් දෙන ආයතන ශක්තිමත් කර ගැනීමට පෙලඹවීමයි අප හමුවේ තිබෙන කාර්යභාරය. ඒ කාර්යභාරය අපි නිවැරදිව ඉටු කරමින් සිටිනවා.

සංවාදය – අනුරාධා හේරත්