කොලිවුඩයේ යෝධයන් සමඟ මොලිවුඩයේ වීරයන්  ගැටෙන සාදය

0
630

කොලිවුඩයේ පතාක යෝධයන්, මොලිවුඩයේ වීරයන් සමඟ ගැටෙන එපික් චාරිකාවක් අත ළඟයි මිතුරනි! අද අපි කතා කරන්නට සූදානම් වන්නේ ළඟදීම සිනමා ශාලා අතික්‍රමණයට සැරසෙන‘Vikram චිත්‍රපටය ගැනයි. ‘Lokesh Kanagaraj’ ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ නළු ‘Kamal Haasan’ විසිනුයි. මීට අමතරව දමිළ නළු ‘Vijay Sethupathi’ මෙන්ම මලයාලම් නළු ‘Fahadh Faasil’ වද මෙහිදී දැක ගැනීමට ලැබේවි. මේ නම් තුන එකම නිර්මාණයක දැක ගැනීමම එක්තරා විධියක විස්මයක් බව සිනමාවේ කරක් ගැසූ ඔබට මම අමුතුවෙන් මතක් කරන්න ඕන නැති වෙයි.

චිත්‍රපටයේ ටීසරය අපට ප්‍රබල ඇක්ෂන් ත්‍රිලර් නිර්මාණයක ආගමනයක් පිළිබඳව බලාපොරොත්තුවක් රැගෙන එනවා. ටීසරය ඇරඹෙන්නේ ‘Kamal Haasan’ නිවෙසක් තුළ ප්‍රිය සාදයක් සඳහා සූදානම් වන දර්ශනයකින්. නමුත් ඒ සාදය පිරී ඇත්තේ ආහාර පානවලින් පමණක් නම් නොවෙයි. නිවෙස පුරා තැනින් තැන සඟවන ආයුධ අපට කියන්නේ මේ නම් සාදයකට එහා ගිය ගනුදෙනුවක් බවයි! නිවෙසේ සාදයට පැමිණෙන මුහුණු ආවරණය කරගත් මිනිසුන් කවුද? ටීසරය තුළදී අවතාරයක් ලෙස හඳුන්වන ‘Vikram’ යනු කවරෙක්ද? ‘Kamal Haasan’ විසින් කැමරාව දෙසට එල්ල කරන පොරෝ පහරවල් දෙකක් සහ අද්භූත සිනාවක් සමඟින් නිමාවන ටීසරය අපට ඉතිරි කරන්නේ ඒ කුතුහලය විතරමයි!

‘Kaithi’, ‘Master’ වැනි චිත්‍රපට ඔස්සේ කොලිවුඩය කලඹවන්නට සමත් වූ ‘Lokesh’ මෙවරත් සූදානම් වන්නේ වෙනස්ම වූ ආකාරයකට නරඹන්නා වෙත සමීප වීමටයි. ‘Kamal Haasan’ වැනි විශිෂ්ට නළුවකුගෙන් මීට පෙර නොදැකපු අන්දමේ රංගනයක් මේ ඔස්සේ දකින්නට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වනවා. චිත්‍රපටයේ නමද 1986 වර්ෂයේදී ‘Kamal Haasan’ විසින්ම රඟපෑ චිත්‍රපටයකට සමාන වීම තවත් විශේෂත්වයක්. එකම නමකින් තිරගත වන චිත්‍රපට දෙකෙහිද සමානත්වයක් තිබෙනවාද යන්න දැන ගැනීමට නම් තවත් ටික දිනක් ඉවසා සිටින්නට සිදුවනවා.

‘Vikram’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ ‘Anirudh Ravichander’ විසින්. ‘Why This Kolaveri Di’ නම් අතිශය ජනප්‍රිය වූ ගීතය නිර්මාණය කරමින් ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු මේ වනවිට තමන්ගේ නම නොමැකෙන ලෙස කොලිවුඩය තුළ සටහන් කර අවසානයි. මෑත කාලයේදී ‘Beast’ චිත්‍රපටය සමඟ ජනප්‍රියත්වයට පත් වූ ඔහු මේ ඔස්සේ තවත් අඩියක් ඉදිරියට තබාවි.

මෙලෙස සිනමා ක්‍ෂේත්‍රයේ දැවැන්ත චරිත බොහොමයක් එක්තැන් කරමින් නිපදවෙන මෙම චිත්‍රපටය කොලිවුඩයට වෙනස්ම වූ අත්දැකීමක් රැගෙන එනු ඇතැයි සිතිය හැකියි. ඉතින් මේ ත්‍රාසජනක සිනමාත්මක චාරිකාවේ පහස විඳගන්න තවත් ටික දිනක් ඉවසා සිටින්න!

ඉෂාන් ජනිත් දිසානායක