අර්බුදයේ අභියෝගය

0
124

අර්බුදයේ වර්තමාන කතාව හැමෝම දනිති. එහෙත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව එය නොදන්නා සේ කටයුතු කරමින් සිටිති. රනිල් අගමැතිකම භාරගත්තේ හුණුවටයේ නාටකය සිහියට ගෙන වැල්පාලමේ ගමන දුෂ්කර බව කියමිනි. ඔහු අර්බුදය යම් තරමකට තේරුම්ගෙන ඇත. එහෙත් එයින් ගොඩඑන වැඩපිළිවෙළ ගැන නම් තවමත් අන්දමන්දව සිටින සෙයකි. දැන් මුදල් ඇමැතිකමද ඔහු අතය. අර්බුදය විසඳන්නට ඔහුගේම කැමැත්තෙන් තෝරා බේරා ගත් කැබිනට් මණ්ඩලයකි.

පළමු විසඳුම දී ඇත. ඒ නව අමාත්‍ය තනතුරුවලට වැටුප් නැති බවය. එහෙත් දීමනා වරප්‍රසාද ගැන නිහඬය. රටේ ධන සම්පත් අපතේ  යන්නේ නොනිසි අය අතට ඇමැතිකම් ගිය විටය. ඉතිහාසයේ එහෙම දේවල් ගැන ඕනෑ තරම් සාක්‍ෂි ඇත. අත්දැකීම් ඇත. අර්බුදය තමා විසින් ඇති කරන ලද දෙයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කීවත් තමාගේ ආණ්ඩුව ඊට වගකිව  යුතු නැති බවක් නොකියයි. ආණ්ඩුව පමණක් නොව නිලධාරි පිරිස ද අර්බුදයේ වගකිව යුත්තෝ වෙති. ඔවුන් කවුරුදැයි වහා සෙවිය යුතුය. පෙරේදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් වත්මන් ආර්ථික අර්බුදයේ වගකීම් පැහැරහරින ලද නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් ගැන පරීක්‍ෂණ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවට නිර්දේශ කොට තිබේ.

ආර්ථිකය මෙහෙයවූ කිහිපදෙනකුගේ තීරණ නිසා මුළුමහත් රටක් විශාල අර්බුදයකට පත්ව ඇති බවත් එය අපරාධයක් බවත් ඒ ගැන සලකා කඩිනමින් මේ සම්බන්ධව පරීක්‍ෂණ කළ යුතු බවත් කෝප් කමිටු සභාපති අවධාරණය කරයි. එහෙත් මේ රටේ පරීක්‍ෂණ කමිටු සම්බන්ධව ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. ඒ සම්බන්ධ වැඩි අෑතට යායුතු නැත. පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත් කළ කොමිෂන් සභා කමිටු වාර්තා කොපමණද? පැවැත්වූ පරීක්‍ෂණ කොපමණද? එහෙත් එම සාහසික අපරාධයේ වින්දිතයන්ට මේ මොහොත වනතුරුත් යුක්තිය ඉටුවී ඇති බවක් නම් අසන්නට නැත.

රට පුරා තවමත් සැතපුම් ගණන් දිග ඉන්ධන පෝලිම්ය. තවත් තැන් කිහිපයක ගෑස් පෝලිම්ය. කිරිපිටි පෝලිම් කිහිපයක් ගැනද තොරතුරු වාර්තා වී තිබේ. සමහරුනට පෝලිම්වල කල්ගෙවමින් සිට තෙල් ලැබුණේ නැතත් හදිසි රෝගාබාධා මෙන්ම මරණයද ළඟා වූ බව රහසක් නොවේ. පෝලිම්වල ඇති වූ ගැටුම්ද රැසකි. ජනතා පීඩනය ඉවසනු බැරි තැන මතුවුණු ජන අරගලද නිමක් නැත. අරගල නිසා රට පුරා සිදුවුණු ගිනි තැබීම් පහරදීම් මෙන්ම ගහ මරා ගැනීම්ද අසන්නට, දකින්නට ලැබිණි. මේ වනවිට ඒ සම්බන්ධව උසාවියේ පරීක්‍ෂණද පැවැත්වෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන ආකාරයට ඊයේ සවස වන විට 1877 දෙනෙක් අත්අඩංගුවට පත්ව සිටියහ. ඒ අතර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ කිහිපදෙනෙක්ද වෙති.

රට තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව මුලින්ම පෙන්නුම් කළේ කහ හිඟයෙනි. එයින් පසු හාල් හිඟයක් එයි. අනතුරුව පොහොර ගැටලුවය. රටේ ආර්ථිකයට සැලකිය යුතු සවියක් දුන් තේ දල්ලටද තර්ජන එල්ල වෙයි. ඒ අතර විදුලිය, ඉන්ධන ගැටලුය. බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ නගිද්දී ගෑස් පිළිබඳ ගැටලුවද කරළියට එයි. සියල්ලෙහි අවසානය උද්ඝෝෂණ, විරෝධතා හා මහජන කැලඹිලි මැද මතුවුණු බරපතළ දේශපාලන අර්බුදයයි. දේශපාලන අධිකාරියට මෙන්ම එම දේශපාලන අධිකාරියට කොටුවුණු නිලධාරි පිරිසටද අර්බුදයේ වගකීමෙන් කර අරින්නට නොහැකිය. එසේ වුවද ඇතැම් අමාත්‍යවරුන්ගේ අත්තනෝමතික අදූරදර්ශී තීරණ හමුවෙහි ජනතා විරෝධී දේශද්‍රෝහී ක්‍රියාදාමයන්ට මැදිහත්වන්නට අකැමැති වූ කොන්ද පණ ඇති නිලධාරි පිරිසක්ද ඉකුත් සමය තුළ සිටි බව අප අමතක කළ යුතු නැත.

අර්බුදයේ බරපතළකම කියාපාන පැහැදිලි දසුන වී ඇත්තේ තෙල් පෝලිම්ය. මෙරටට ගෙන්වන ඉන්ධනවලින් 80%ක්ම ප්‍රවාහන කටයුතු සඳහා භාවිතයට ගන්නා බව පෙනෙයි. විදුලි උත්පාදනයට හා කර්මාන්ත සඳහා ඉතිරි 20% තරම් වූ ප්‍රමාණයක් භාවිත කෙරෙයි. බොහොම අමාරුවෙන් රට රටවලට ණය වී මෙරටට ගෙන්වන තෙල් ටික වාහනවලට ගහගෙන එහේ මෙහේ ගිය ගමන් බිමන් ගැන ඇමැතිවරුන්ගේ ගමන් බිමන්වලදී පරිවාර රථ පිරිවරාගෙන බිමින් පමණක් නොව උඩින්ද ගිය ගමන් ගැන නැවත හිතා බලන්නට කාලය එළැඹ තිබේ.

ලෝක බැංකුව යළි යළිත් අවධාරණය කොට තිබෙන්නේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට අලුතින් මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් කරන්නේ නැති බවය. රටේ ජනතාවගේ දෛනික ජීවිතය ගැන සැලකිලිමත් වන අතරම ආර්ථික ස්ථාවරභාවය හා එහි පුළුල් ඉදිරි ගමනකට අවශ්‍ය ප්‍රතිපත්ති වහා ක්‍රියාවට නැඟිය  යුතු බවද ලෝක බැංකුවේ මූල්‍ය ප්‍රදාන කටයුතු හා සම්බන්ධ විශේෂඥයෝ පෙන්වා දෙති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා තවමත් බලා සිටින්නේ මේ රට නිසි තැනට පත්වන බවට පෙරනිමිති දකින්නටය. ගත් ණය පවා නිසි ලෙස නොගෙවන රටකට තවත් ණය ලබා දෙන්නට ඉදිරිපත් වන්නේ කවුරුද? ණය ලබා ගැනීම සඳහා විශේෂඥ සමාගම්වල පිළිසරණ අයදින්නට මෙරටට සිදුවී තිබෙන්නේ දැන් ඉතින් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග නොපෙනෙන නිසාය.

කෝප් කමිටු හෙළිදරව් අනුව අර්බුදය වඩාත් තීව්‍ර වන්නේ 2020 වර්ෂයේ සිටය. රට විනිමය හිඟයකට මුහුණ දෙන්නට ඉඩ ඇති බවත් එයින් මිදෙන්නට වහා ක්‍රියාමාර්ග ගත යුතු බවත් පෙන්වා දී තිබියදී ආණ්ඩුව ගත් අනුවණ තීරණ නිසා රටේ මූල්‍ය කළමනාකරණය අවුල් වියවුල් වී ගියේය.

අනවශ්‍ය ලෙස බදු සහන ලබාදීමට පියවර ගැනීමෙන් රටට හිමිවිය යුතු ප්‍රතිලාභ රැසක්ම අහිමි  වී ගියේය. සීමාවක් ප්‍රමාණයක් ගැන නොසිතා මුදල් අච්චු ගැසීම නිසා රටේ ආර්ථිකයට සිදුවුණු බලපෑම හිතකර නැත. දේශපාලන පක්‍ෂ හදා ජනතාව සංවිධානය කොට මැතිවරණ දිනන්න සමත්වීම මූලික සුදුසුකම ලෙස සිතා රටේ ආර්ථිකය දුර්වල කිරීමේ ප්‍රතිවිපාක විඳින්නට දැන් ජනතාවට සිදුවී තිබේ.

වෙන්නේ කුමක්දැයි හරියට දැන කියා ගන්නට පුළුවන් වන්නේ වුණේ කුමක් දැයි සොයා බැලූ විටය. අර්බුදයට වගකිව යුත්තන් කවුරුදැයි සොයා බලා ඔවුන් යළිත් රටේ පාලනයට හවුල් කර නොගෙන රට විපතින් ගොඩ ගන්නට පියවර ගැනීම වහා කළ යුතුව තිබේ.