තමිල්නාඩු ආධාරත් පිල්ලි ගහයි ද?

0
126

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති එම්.කේ. ස්ටාලින් විසින් සංවිධානය කරන ලද මානුෂීය ආධාර වැඩපිළිවෙළ යටතේ තමිල්නාඩු පුරවැසියන් විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ආහාර සහ ඔෟෂධ රැගත් නෞකාවක් ඉකුත් සතියේ චෙන්නායි වරායෙන් පිටත්ව කොළඹ වරාය කරා පැමිණියේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ලෝකයට රහසක් නොවේ. දිනකට එක් වේලකින් පමණක් කුසගිනි නිවා ගන්නා ලංකාවේ දුගී දුප්පත් ජනයා පිළිබඳ ක¾දුළු කතාව තමිල්නාඩුවේ ජනතාවට රහසක් නොවේ. ලංකාවේ පුරවැසියන් මුහුණ දෙන දුක්බර තත්ත්වය මෙරට වෙසෙන දමිළ ජනතාව තමිල්නාඩුවේ දමිළ ඥාතීන්ව නිතර දැනුවත් කරති.

තමිල්නාඩු ජනයාට ද ප්‍රශ්න තිබේ. අගහිඟකම් ද තිබේ. එසේ වුවද ලංකාවේ දරුවන් නිරාහාරව නින්දට යන බව අසන්නට ලැබීම අපේ සමීපතම අසල්වැසි රාජ්‍යයේ ජනයාට දරා ගන්නට අසීරු පුවතකි. ඔවුන්ගේ හිත් උණු වූයේ ඒ නිසාය.

තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති එම්.කේ. ස්ටාලින් සඳහන් කර තිබුණේ, සිය ප්‍රාන්තයේ පුරවැසියන් තමාගෙන් පළමුව ඉල්ලා සිටියේ ලංකාවේ උතුරේ ජනයාට මානුෂීය ආධාර යවන්නට කටයුතු යොදන ලෙස බවය. එහෙත් උතුරේ දෙමළ ජනතාව ඔවුන්ගෙන් ඉල්ලා තිබුණේ ආධාර එවනවා නම් දකුණේ ගම්මානවලටත් ආධාර දීම හොඳ බවය. ඒ අදහස තමිල්නාඩු ජනතාවද හිස් මුදුනින් පිළිගෙන තිබිණ.

මහ ඇමැතිවරයා පවසා තිබුණේ එවැනි ඉල්ලීමක් අසන්නට ලැබුණු තමාගේ දෙනෙත් කඳුළින් තෙත් වූ බවය. ලංකාවේ දකුණේ වෙසෙන අන්තවාදී පිරිස් විශ්වාස කරන්නේ තමිල්නාඩුවේ සිටින්නේ කොටි හිතවාදීන් කියාය. තලියේ කිඹුලන් දකින ඇතැම් සිංහලයන්ට තමිල්නාඩුවේ හැම දෙමළ මිනිසාම කොටියෙකි. මේ ආධාර එකතු කර ඒවා තිබෙන්නේ ඒ කොටින් විසිනි.

තමිල්නාඩුවේ අෑත පිටිසර ගමක කෝවිකා ශ්‍රී නමැති එකොළොස් හැවිරිදි දැරියක් බයිසිකලයක් මිලදී ගැනීම සඳහා ඇය දිගු කලක් එකතු කළ කැටයේ තිබූ ඉන්දීය රුපියල් 2,000ක මුදල ලංකාවේ අයියලාට, අක්කලාට කෑම බීම ගන්න යවන්නැයි ප්‍රාන්ත ආණ්ඩුවට භාරදී තිබිණි. ලංකාවට ආධාර කරන්න යැයි ඉල්ලා තමිල්නාඩුවේ ඈත පිටිසර ගම්මානවල තේ කඩවල කැට තබා තිබිණි. අපට නැවක් පිරෙන්නට බඩු  රැගෙන ආවේ ඒ මානුෂීය හදවත් ඇති කුලුණුබර මිනිසුන්ගේ පරිත්‍යාගවලිනි.

සහල් මෙටි්‍රක් ටොන් 900ක්, කිරිපිටි මෙටි්‍රක් ටොන් 50ක්, අත්‍යවශ්‍ය ඖෂධ මෙටි්‍රක් ටොන් 30ක්ද සහිත මුළු ආධාර තොගයේ වටිනාකම රුපියල් බිලියන 2කට වැඩිය. මනුෂ්‍යයන් ලෙස අප අගය කළ යුත්තේ දෙරට අතර ගොඩනැඟෙන පුරවැසියන්ගේ සංහිඳියාවය. ඊනියා යුද ජයග්‍රහණ ඔසවා තැබීමෙන් සංහිඳියාවට කිසිදු පිටිවහලක් ලැබෙන්නේ නැත.

කොළඹ වරායේදී මෙම භාණ්ඩ භාර ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන සහ සාගල රත්නායක ගොස් සිටි අන්දම අපි දුටුවෙමු. කිසියම් නිලධාරිනියක විසින් බුලත් හුරුලු දී ඔවුන් පිළිගත් අන්දමද මාධ්‍යවල පළවිය. අඩු තරමින් බුලත් හුරුලු දී පිළිගන්නට තිබුණේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේවය.

ඉන්දියානු මානුෂීය ආධාර බෙදාදීම වුවද විනිවිදභාවයකින් සිදුවේ යැයි මෙරට පුරවැසියෝ විශ්වාස නොකරති. මනාප රැස්කරන කාලකණ්ණි දේශපාලනය විසින් කුසගින්නේ සිටින්නාට ලැබිය යුතු බත් පත ඇති හැකි මිනිසාගේ පිඟානට බෙදන්නට ඉඩ තිබේ. අපේ රටේ දේශපාලකයන්ට මෙන්ම නිලධාරීන්ටද ඇත්තේ එවැනි අපකීර්තිමත් ඉතිහාසයකි.

ශ්‍රී ලංකාව ලෝකයේ රාජ්‍යයන් අතර භූමි ප්‍රමාණයෙන් කුඩා වුවද සොරුන් සහ සොරකම් සම්බන්ධයෙන් ප්‍රකට රාජ්‍යයකි. සොරකම් සම්බන්ධයෙන් නඩු වැටී තිබෙන්නේ රටේ පුරවැසියන්ට වඩා පාලකයන්ටය. ඉන්දියාවෙන් ලැබුණු මානුෂීය ආධාර පිල්ලි ගසා රටේ මිනිසුන්ට ලජ්ජා නොකිරීමට වගබලා ගන්නා  මෙන් අපි එම කටයුතු භාර වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.