තෙලෙන් බැදෙන ජනතාව

0
121

තෙල් මිල ආයෙත් වරක් ඉහළ නැඟ ඇත. ජනතාව පෝලිම්වල පැය ගණන්, දින ගණන් රස්තියාදු වෙද්දී ලක්ෂ පහකට වැඩි සිසු පිරිසක් ජාතික විභාගයකට පෙනී සිටින්නට පාරට බැස සිටියහ. ප්‍රවාහන පහසුකම් සපයන බවට කතිකා කරමින් සිටියදීම විඳ දරා ගන්නට බැරි තරමටම තෙල් මිල ඉහළ දමා ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාට පසුව පොලු මුගුරු ගෙන වටකර ගෙන පහර දෙන්නට පටන් ගත් ගානටය.

නව මිල වැඩි වීම බල පැවැත්වෙන බව කියන්නේ ඊයේ පෙරවරු 3.00 සිටය. ඒ කියන්නේ රෑ නින්දට ගිය උදවිය උදේ ඇහැරෙන්නටත් පෙරය. පෙරවරු 3.00ට ඉන්ධන පිරවුම්හල් ළඟ සුපුරුදු පෝලිම්ය. විභාගයට යන්නට උදෙන්ම ඇහැරුණු පාසල් සිසුන්ටද ආණ්ඩුව ප්‍රවාහන පහසුකම් සැලසූ හැටියි මේ. ත්‍රීවීලර්වලින් යන්නට හිටි අයට කලින් සිතූ ගණන්වලට වඩා වැඩි මුදලක් ගෙවන්නට සිදුවීම වළක්වනු බැරිය. සංගමය කියන්නේ පළමු කිලෝමීටරයට රුපියල් 100ක්ද දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80 බැගින්ද වැඩිවන බවය. බස් ගාස්තුවද වැඩි කරන්නට සිදුවන බව බස් ගැමුණු කියද්දී කීයටවත් වැඩි කරන්නට ඉඩ නොදෙන බව අංජන කියයි. මේ කවුරුන් මොනවා කිව්වත් පොදු ප්‍රවාහන සේවය ආයෙත් නැඟිටුවන්නට ලෙහෙසි නැත.

ලංකා පෙට්රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 420කි. සාමාන්‍යයෙන් මෝටර් සයිකලයකින් රැකියා ස්ථානයට යන්නට තෙල් ලීටර් දෙකක් වැයවෙනවා යැයි සිතමු. එක් ලීටරය 420 ගාණේ ලීටර් දෙකට රුපියල් 840කි. අවම වශයෙන් දින 20ක් වැඩට ගියොත් තෙල්වලට රුපියල් 16,800කි. සාමාන්‍ය වැටුප රුපියල් 30,000ක් ලැබෙන සේවකයකුට වැටුපෙන් අඩකටත් වඩා වැය කරන්නට සිදුවන්නේ ගමනටය. මෝටර් රථයකින් ගමන් කළොත් ඒ ගාණ තවත් කිහිප ගුණයකින් වැඩිය. මේ රටේ ආර්ථිකය ගොඩනංවන්නට මිනිස් ශ්‍රමය අත්‍යවශ්‍යය. වැඩ කරන පැය ගණන අඩු වීම රටේ සමස්ත ආර්ථිකයටම බලපායි. ජනතාවගේ වෙනත් විවිධ අවශ්‍යතා සම්බන්ධයෙන්ද මේ මිල වැඩිවීම අනිවාර්ය බලපෑමක් ඇති කරයි. ආහාර ද්‍රව්‍ය මිල තවත් ඉහළ යෑම වළක්වනු නොහැකිය. ඒ සියල්ල ප්‍රවාහනය මත රඳා පවතින බැවිනි.

සාම්ප්‍රදායික ග්‍රාමීය ආර්ථික රටාව වර්තමානයේ ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් තිබේ. පාසල් ගමන, රැකියා ගමන, වෙළෙඳාම් කටයුතු මේ හැම දෙයක්ම අද වන විට ප්‍රවාහනය මත රඳා පවතී. ප්‍රවාහනයේ සීමා මායිම් තීරණය වන්නේ ඉන්ධන සපයා ගැනීම මතය. ආණ්ඩුව පැත්තෙන් අවශ්‍ය තරමට ඉන්ධන සපයා ගැනීමට ඩොලර් නැති බව කියයි. රටේ ඉන්ධන සංචිතයක් නැතිවීම අර්බුදයේ මූලික හේතු සාධකය බව කියයි. මේ ගැටලු විසඳන්නට ආණ්ඩුව අපොහොසත් වීම හේතු කොටගෙන බලවත් ජනතා විරෝධයක් පැනනැඟී තිබේ. තරුණ අරගලය පැනනැඟුණේද මේ සියලු අර්බුද හමුවේ රටේ පාලකයන් වෙන වෙනත් පටු අරමුණු ඉටු කරගන්නට අර අදින්නට වීම නිසාය.

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට ඩොලර් මිලියන 500ක් සම්බන්ධව බරපතළ චෝදනාවකි. මුදල් ඇමැතිකම් දරමින් රටේ ආර්ථිකය හසුරුවන්නට ගිය කිහිප දෙනෙක්ම වසුරු හල හලා දැඟලුවත් අන්තිමට මුළු රටම ණය උගුලකට ඇද දමා තිබේ. දැන් ඉතින් මේ රට ගොඩගන්නට ලෙහෙසි නැති බව ඇත්තය. අඩු තරමින් මේ රටේ ජනතාවට රැකියාව කරගෙන යන්නට හැකියාව ලබාදිය යුතුමය. තෙල් මිල ඉහළ දැමීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නට ඇත්තේ පෝලිම් කෙටි කිරීමදැයි සැක සිතේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ට පෝලිම් එක පාරටම නැති කරන්නට බැරි වුණත් ඒවා කෙටි කරන්නට පුළුවන් බව කීවේය.

දැන් ඉතින් කෙටි වන්නේ පෝලිම් පමණක් නොවේ. හැම දේම කෙටි වෙයි. ගමන බිමනද කෙටි වෙයි. රටේ ආර්ථිකය පොහොසත් කරන්නට කරන කැපවීම්ද කෙටි වෙයි. කලට වේලාවට පහසුවෙන් රෝහලකට යන්නට බැරි වුණොත් අසාධ්‍ය රෝගියකුගේ ජීවිතයද කෙටි වනු ඇත. ඊයේ පෙරේදා වෙලාවට වාහනයක් සොයා ගන්නට බැරිව බිලිඳු ජීවිතයක් අකල්හි මරු තුරුලට ගියේය. රටේ ඉදිරි ගමනද මෙහෙම කෙටි වන්නට ගියොත් අන්තිමට අපට රටක්ද අහිමි වී යනු ඇත.

මංගලගේ ඉන්ධන මිල සූත්‍රයේ වටිනාකම මේ ආණ්ඩුවේ වගකිව යුත්තන්ට වැටහෙන්නට පටන්ගෙන තිබෙන්නේ දැන්ය. කල් පසු වෙලාය. කල් තබා මේ සූත්‍ර ක්‍රියාවට නැංවූවා නම් අද වාගේ බරපතළ තෙල් අර්බුදයක් පැනනොනඟින්නට ඉඩ තිබිණි. මිල සූත්‍රයට පයින් ගැසූ බලධරයන් කළේ ලෝක වෙළෙඳපොළේ  තෙල් මිල අඩුවන හැමවිටම ඒ වාසිය අත යට තබා ගැනීමයි. ජනතාවට ඒ සහන දෙන්නට පියවර ගෙන තිබුණා නම් අදවන විට උද්ගතව තිබෙන බරපතළ අර්බුද පැනනොනඟින්නට ඉඩ තිබිණි. ප්‍රමාණවත් තෙල් සංචිතයක් පවත්වාගෙන යන්නට ඉඩ තිබිණි. එහෙත් කිසිවක් ගැන මෑත කාලයේ කාගෙවත් අවධානය යොමු වූයේ නැත.

වෙනදා නම් තෙල් මිල නංවන්නේ යක්කු ගස් නඟින වෙලාවටය. ඒ කියන්නේ මකරාගේ වෙලාවටය. ඊයේ තෙල් මිල වැඩි කළේ අරුණ නැඟෙන්නට හෝරා දෙක තුනකට පෙරය. මේ කුකුළා හඬලන වෙලාවය. කුකුළාගේ හැඬලීම සුබ ලකුණක් වුණත් මේ හඬා තිබෙන්නේ කණ කොකාය. රටේ ජනතාවට දැන් කටඋත්තර නැත. ගමනක් බිමනක් යන්නට ලෙහෙසි නැත. එදාවේල සරි කරගන්නට ක්‍රමයක් නැත. හැම පැත්තෙන්ම ගැටලුය. සම්බාධකය. අඩු තරමින් තෙල් මිල හෝ අඩු කර ජනතාවට සහන සලසන්නට වහා පියවර ගත යුතුමය.