EXCLUSIVE: ඉන්ධන අර්බුදය නිසා පාපැදිය ගමන් සහකරු කර ගත් ජ’පුර මහාචාර්යවරිය (PHOTOS)

0
1824

රට තුළ උද්ගතව ඇති උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ බොහෝ පිරිස් ඉන්ධන භාවිතයෙන් තොර විකල්ප ප්‍රවාහන ක්‍රමවල සඳහා යොමු වී තිබේ.

ඒ අතර, පාපැදියට හිමි වී ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ද සිය ගමනාගමන කටයුතු සඳහා පාපැදිය භාවිතයට යොමු වී තිබේ.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, අද සිට සිය “ගමන් සහකරු” පාපැදිය බව ය.

ඒ අනුව, mawbima.lk වෙබ් අඩවිය ඇයගෙන් මේ පිළිබඳව විමසීමක් කළේ ය.

එහිදී ඇය ප්‍රකාශ කළේ, ඉන්ධන සඳහා පවතින ඉතා දිගු පෝලිම් හේතුවෙන් අහිමිවන කාලය පිළිබඳව සලකා තමන් මෙලෙස පා පැදියට යොමු වූ බව ය.

එමගින් තම කාලය බොහෝ සෙයින් ඉතුරු කරගත හැකි බව ඇය සඳහන් කළා ය.

මහාචාර්යවරිය ප්‍රකාශ කළේ, විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා කිලෝමීටර් 5ක පමණ දුරක් තමන් පාපැදියෙන් ගමන් කරන බව ය.

ඉන්ධන ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වා දීමට හැකි නම් පෝලිම් හේතුවෙන් ජනතාවට අහිමි වන කාලය ඉතිරි කර ගත හැකි බව ඇය පෙන්වා දුන්නා ය.

“දේශපාලනඥයින්ට නොතේරුණාට මනුස්සයෙක්ගේ කාලය කියන්නේ මිනිස් ශ්‍රමය.”

ආචාර්ය උපාධිය සඳහා ඩෙන්මාර්ක්හි ගත කළ වසර තුනක කාලයේ තම ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළේ ද පාපැදිය බව ඇය පැවසුවා ය. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පවා එරට ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නේ පාපැදිය බව ඇය සඳහන් කළා ය.

ඇය පෙන්වා දුන්නේ, පාපැදිය භාවිත කිරීම සෞඛ්‍යයට ද හිත කර බව ය.