ඉන්ධන මාෆියාව

0
136

අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දෙහැවිරිදි බිලිඳියක රෝහල වෙත කැටුව යෑම පමා වීමෙන් අසරණ දරුවා මරණයට පත්වීමේ සංවේදී පුවතක් ඊයේ වාර්තා විය. ප්‍රශ්නයට තුඩුදී තිබුණේ පවතින ඉන්ධන අර්බුදය නිසා රෝහල වෙත දරුවා ගෙන යෑමට ත්‍රීවීලරයක් හෝ සොයා ගැනීමට මවුපියන්ට නොහැකි වීමය.

හල්දුම්මුල්ල සොරගුණේ දෙහැවිරිදි දියණියගේ මරණය ඉන්ධන හිඟය නිසා රටේ ජනතාව මුහුණ දී සිටින ඛේදජනක තත්ත්වය පැහැදිලි වූ එක් අවස්ථාවක් පමණි. ඇතැම් පළාත්වල පිරවුම් හල් සඳහා එක දිගට සතියක් දෙකක් ඉන්ධන නොලැබී යෑමෙන් ජන ජීවිතය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ. හදිසියේ අසාධ්‍ය රෝගියකු රෝහල වෙත කැටුව යෑමට දිවයිනේ බොහෝ පළාත්වල ඇති එකම පිළිසරණ රෝද තුනේ දෙවියාය.

ඉන්ධන නොලැබුණොත් ග්‍රාමීය ජන දිවිය සියවසක් ආපස්සට යා යුතුය. ඒ සඳහා කරත්ත තවලම් මේ වන විට කිසිදු ප්‍රදේශයක නැත. එබැවින් මරණය අපේක්ෂාවෙන් රෝගියා නිවෙසේ තබාගෙන බලා සිටීමට සිදු වෙයි.

ඉන්ධන ප්‍රශ්නය නාගරික ජනතාවට එපරිද්දෙන්ම නොදැනුණද ඔවුන්ද සිටින්නේ අනතුරේය. වෛද්‍යවරුන්ට කලට වේලාවට රෝහලට ළඟාවීමට නොහැකි වූවොත් රෝගීන් රෝහල් ඇඳ මතම මියෙනු ඇත. ශල්‍ය වෛද්‍යවරුන් ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් රෝහල කරා ළඟා වීම පමා වී ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාද වාර්තා විය.

මේ හැම සිදුවීමකින්ම පෙනී යන්නේ ඉන්ධන ප්‍රශ්නය මතුපිටින් පෙනෙන මුහුණුවරට වඩා බෙහෙවින් සංකීර්ණ බවය. පොලිසියත්, හමුදාවත් දෙකම පාරට බස්සන්නට සිදුව තිබෙන්නේ ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් යුද පිටි බවට පත් වී ඇති නිසාය. ප්‍රධාන ප්‍රශ්නය ආණ්ඩුවේ ප්‍රකාශ කෙරෙහි මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටී තිබීමය.

රට ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින බව ජනතාව දනිති. ගෑස්, ඉන්ධන, ඖෂධ ප්‍රශ්න පිට ප්‍රශ්න මතුවීම එම අර්බුදයේ ප්‍රතිවිපාක බව මිනිසුන් වටහා ගෙන සිටිති. ණය හෝ සහනාධාර වශයෙන්  රටට ලැබෙන ඩොලර් කළමනාකරණය කර ගැනීම පැත්තෙන් ආණ්ඩුව අසමත් බවද පුරවැසියන්ට වැටහී තිබේ. ඒ නිසාම ඉන්ධන අර්බුදය ලබන සතියේ හෝ ඊළඟ සතියේ අවසන් වේ යැයි කිසිවකු තුළ විශ්වාසයක් නැත. එවැනි විශ්වාසයක් ගොඩනැඟීමට බලශක්ති ඇමැතිවරයාද අසමත්ව තිබේ.

එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ රට පුරා ඉන්ධන මාෆියාවක් බිහිවීමය. ඇතැම් ආත්මාර්ථකාමී මිනිසුන් පෝලිම්වල රැඳී සිට ඉන්ධන ටැංකි පුරවා ගෙන ගොස් ඒවා වෙනම ගබඩා කර ගනිමින් නැවත පෝලිම්වල රැඳීම පුරුද්දක් කරගෙන තිබේ. එම පුරුද්ද සමාජගත කළේ ආණ්ඩුවේම ඇමැතිවරියකි. මගේ ගෙදර මාසෙකට සෑහෙන්න පෙට්රල් ගබඩා කරගෙන තිබෙනවා යැයි ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. එය පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් විය.

වාර්තා වන අන්දමට බොහෝ ප්‍රදේශවල පෙට්රල් ලීටරය රුපියල් 500ට 600ට අලෙවි කරන බවද වාර්තාවේ. තවත් සමහර ප්‍රදේශවල උද්ඝෝෂකයෝ පාරවල් වසා දමන්නටත් වෙනත් ප්‍රදේශ කරා යන බවුසර් අතරමඟ නතර කර ගන්නටත් උත්සාහ කළ අවස්ථා වාර්තා විය. මේ හැම සිදුවීමක්ම එකම ප්‍රශ්නයේ කොටස්ය. ප්‍රශ්න පැටව් ගසනවා, නැත්නම් ඔඩු දුවනවා යැයි කියන්නේ කඩිනමින් මූලික ප්‍රශ්නය විසඳාගැනීමට අසමත් වීමය.

හේතුවට විසඳුම් නොදී ඵලය පස්සේ ලුහුබැඳ යෑමෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත. අවම වශයෙන් ඉන්ධන මාෆියාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් හදන්නට හෝ බලශක්ති ඇමැතිවරයාට මේ දක්වා හැකි වී නැත.

ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් දෙක තුනකට වඩා දිවිය නොහැකි සුපිරි වාහන තවමත් රජයේ මැති ඇමැතිවරු පාවිච්චි කරති. අමාත්‍යාංශවල ලොක්කෝ පාවිච්චි කරති. සංස්ථා මණ්ඩලවල ලොක්කෝ පාවිච්චි කරති. ඔවුහු කක්කුට්ටන් මෙන් ඇදේට යන ගමන් ජනතාවට කෙළින් යන්න කියති.

ජනාධිපති අගමැති පවත්වන සාකච්ඡා සඳහා සහභාගිවන මැති ඇමැතිවරු පැමිණෙන  අවුඩි, ජගුවර්, බී.එම්.ඩබ්ලිව්, බෙන්ස් සුපිරි වාහන දකින විට රටේ ඉන්ධන අර්බුදයක් පවතී යැයි සිතිය නොහැකිය. පාලකයන් අරාබි මහාරාජාවරුන් මෙන් පෙට්රල් බොන සුපිරි යාන වාහනවල ගමන් කරන ලෝකයේ එකම බංකොලොත් රට ලංකාව විය හැකිය.