Motorbikes  වලට කෙල්ලන්ට වගේ සලකන චීන  හැඩකාරයා Wang Yibo

0
305

ආකර්ෂණීය තද දුඹුරු පැහැති ඇස් තිබෙන කඩවසම් චීන ජාතික තරුවක් ගැනයි අපි මෙවර Her තුළින් කතා කරන්නට සූදානම් වන්නේ. රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් ලෙසත් කටයුතු කරන ඔහුගේ නම වැන්ග් යී බෝ. දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් වශයෙනුත් නමක් දිනා සිටින ඔහුට ලොව පුරාම විශාල රසික පිරිසක් සිටිනවා. දකුණු කොරියානු ටෙලි කතා මාලාවලට වගේම චීන ටෙලි කතාවලටත් අපේ රටේ සිටින තරුණ පරම්පරාව ඇලුම් කරන නිසාම වැන්ග් යී බෝ ගැන ඔබ නොදන්නවා විය නොහැකියි.

1997 වසරේ අගෝස්තු 5 වැනිදා චීනයේ හේනාන්හිදී මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ වැන්ග් හන්ලිම් මල්ටි ආර්ට් පාසලෙන් සිය අධ්‍යාපනය හදාරා තිබෙනවා. රංගනයට හා ගායනයට අමතරව ඔහු රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නකු ලෙසත් නිරූපණ ශිල්පියෙක්, යතුරුපැදි ධාවකයෙක් ලෙසත් කටයුතු කරනවා. කුඩා කාලයේ පටන් නර්තනයට දස්කම් දැක්වූ වැන්ග් 2011දී IBD අන්තර්ජාතික නර්තන තරගයට සහභාගි වුණා. එම තරගාවලියේ හිප්-හොප් අංශයේ අවසාන 16 දෙනා අතරට පැමිණීමට වැන්ග් සමත් වුණා. ඉන්පසුව ඔහු Yuehua Entertainment ආයතනය යටතේ වසර 4ක පුහුණු වීමකට යොමු වුණා. මෙම පුහුණුව අවුරුදු 2ක් චීනයේ බීජිංහි සහ අවුරුදු දෙකක් දකුණු කොරියාවේදී සිදු කෙරුණා.

2014දී දකුණු කොරියානු සහ චීන සංගීත කණ්ඩායමක් වන UNIQ සමඟ සම්බන්ධ වන වැන්ග් Falling in Love කියන ගීතය ගායනා කරමින් ගීත ගායනයට පෙලඹුණා. ඒ අනුව UNIQ කණ්ඩායමේ ප්‍රධාන ගායකයා විධියට වගේම රැප් ගායකයා විධියටත් කටයුතු කිරීමට වැන්ග්ට අවස්ථාව ලැබුණා. UNIQ සංගීත කණ්ඩායමේ සිටින කටකාරම ගායකයා විධියට හැඳින්වෙන වැන්ග් Beatboxing සහ Krump Danceටත් විශේෂ දක්ෂතාවක් දක්වනවා.

මේ විධියට ගායන ක්ෂේත්‍රයට පිවිසුණු වැන්ග් රංගනයට පිවිසුණේ A chinese Odyssey Part III හි Red Boy නම් චරිතය තුළිනුයි. පසුව Unexpected, Love Live for Real, MBA Partners ආදී චිත්‍රපට තුළින් මෙන්ම Being a Hero, Super Talent, Private Shushan, Legend of Fei, The Untamed Gank Your Heart ආදී ටෙලි නාට්‍යවලත් රඟපා තිබෙනවා. එපමණක් නොවෙයි, 2019 සිට ඔහු වෘත්තීය යතුරුපැදි ධාවකයෙක් විධියටත් කටයුතු කරනවා.

වැන්ග් සමඟ රඟපෑ සහ ඔහු සමඟ කටයුතු කළ බොහෝ දෙනෙක් පවසන්නේ ඔහු බොහොම නිහතමානී වැඩ කිරීමට ඉතාමත් පහසු පුද්ගලයෙක් බවයි. ඔහු තම කණ්ඩායම වන උව්ධ්ශ්‍රී හි සෑම සාමාජිකයෙක් සමඟම සහයෝගී, සමීපව කටයුතු කරනවා. ඔහු තමන්ගේ සහාය රංගන ශිල්පීන්ට සහ ගායකයන්ට වගේම ඔහුගේ රසිකයන්ටත් නිහතමානී ලෙස සලකන, ආදරය, ගෞරවය දක්වන කෙනෙක් බවයි පැවසෙන්නේ.

වැන්ග් කැමැති අකැමැති දේවල්,

ඔහුගේ ප්‍රියතම ගායක ගායිකාවන් වන්නේ Rihanna, Beyonce, A$AP, Kany West, Cris Brown යන අයයි. ඒවගේම රංගන ශිල්පී Eddi Pengටත් ඔහු කැමැතියිලු. වැන්ග්ගේ කැමැතිම චිත්‍රපට වන්නේ Fast and Furious සහ Spider Man චිත්‍රපට පෙළයි. ඩොබර්මන් වර්ගයේ බල්ලන්ටත් ඔහු විශේෂ ඇල්මක් දක්වනවා.

විනෝදාංශ විධියට යතුරුපැදි ධාවනයේ නිරත වීම ස්කේට්බෝඩින්ග් යෝ-යෝ සහ මැජික් උපක්‍රම අත්හදා බැලීමටත් වැන්ග් උනන්දු වන බව තමයි ඔහු පවසන්නේ.

වැන්ග් ගැන දන්න කියන අය පවසන්නේ වැන්ග් තමන්ගේ යතුරුපැදිවලට සලකන්නේ හරියට පෙම්වතෙක් තමන්ගේ ආදරවන්තියට සලකන විධියට බවයි.

LEGO සෙල්ලම් බඩුවලට වැන්ග් ඉතාමත් කැමැතියි. තම නිවෙසේ අසුරා ගැනීමටවත් නොහැකි තරම් විශාල ප්‍රමාණයක LEGO එකතුවක් ඔහු සතුව තිබෙන බවයි ඔහු පවසන්නේ. ඒ වගේම අත්ලෙහි තැබිය හැකි තරම් කුඩා සෙල්ලම් කාර් එකතු කරන්නත් ඔහු විශේෂ කැමැත්තක් දක්වනවා.

කළුවරට සහ හොල්මන්වලට වගේම කුඩා කෘමි සතුන්ටත් බියක් දක්වනවා කියලා තමයි ආරංචි වන්නේ. එපමණක් නොවෙයි බොහෝ දෙනෙක් කැමැති දෙයක් වන රෝලර්කෝස්ටර්වල යන්නත් වැන්ග් කැමැති නැහැලු.

සම්මාන සහ ඇගයීම්

2019 වසරේ ෆෝර්බ්ස් චයිනාහි ජනප්‍රියම පුද්ගලයන් 100 දෙනා අතරින් 71 වැනියා වූ වැන්ග්. 2021 ෆෝර්බ්ස් චයිනාහි ජනප්‍රියම පුද්ගලයන් 100 දෙනා අතරින් 2 වැනි ස්ථානයට පත්වුණා. එමෙන්ම දැනට සන්නාම නාමයන් 30ක් සමඟ හවුල්ව කටයුතු කරන ඔහු චීනයේ වැඩිම ඉල්ලුමක් තිබෙන බලගතු සන්නාම තානාපතිවරුන්ගෙන් කෙනෙක් වෙනවා. ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමය වන Audi හි Elite Clubහි සිටින ළාබාලතම සාමාජිකයා සහ ළාබාලතම සන්නාම තානාපතිවරයා වන්නේද වැන්ග් යී බෝය. සුප්‍රසිද්ධ ප්‍රංශ විලාසිතා මන්දිරය වන Chanelහි ළාබාලතම චීන සන්නාම තානාපතිවරයා වන්නේද වැන්ග්ය.

එමෙන්ම 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ නිල ක්‍රීඩා ඇඳුම් සහකරු වන Anta ක්‍රීඩා ඇඳුම් සන්නාමයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාම තානාපතිවරයා වන්නේද ඔහුයි. 2020 වසරේ SuperELLE සඟරාවේ කවර පිටු තුනම අලංකාර කළ පළමු චීන ජාතිකයා වන්නේද වැන්ග් යී බෝය. එපමණක් නොව චීනයේ ස්කේට්බෝඩින්ග් ප්‍රවර්ධන තානාපති ලෙසත් 2022 වසරේ සිට චීන නර්තන ප්‍රවර්ධන තානාපතිවරයා ලෙසත් වැන්ග් කටයුතු කරනවා.

2021 වසරේ Weibo Tv Series සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය එම වසරේම Weibo Starlight සම්මාන උළෙලේ විදේශීය රසිකයන් අතර වඩාත් ජනප්‍රියම නළුවා සම්මානයද දිනා ගැනීමට වැන්ග් සමත් වුණා. එම සම්මාන උළෙලේම Hot Figure of the Year සම්මානයද ඔහුට හිමි වුණා. 2020 Tencent Video All Star සම්මාන උළෙලේ VIP Star සහ Allrounder Artist of the year යන සම්මාන ද්විත්වයම දිනා ගැනීමටත් වැන්ග්ට අවස්ථාව හිමි වුණා. ඊට අමතරව 2020 Sohu වාර්ෂික විලාසිතා උළෙලේ Charming Man of the Year සම්මානය ආදී වශයෙන් නිරූපණයට, රංගනයට වගේම ගායනය සඳහාත් සම්මාන බොහෝමයක් ලබා ගැනීමට වැන්ග් හට හැකිවී තිබෙනවා.

පෙම් සබඳතා

වයස අවුරුදු 24ක් වන වැන්ග්ට මේ වන විට නම් පෙම්වතියක් නොමැති බවයි ආරංචි වන්නේ. චීන ජාතික ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියක් වන Emily Qi Mehi සමඟ වැන්ග්ගේ පෙම් සබඳතාවක් තිබෙන බවට කටකතාවක් ප්‍රචාරය වී තිබෙනවා. නමුත් මෙය හුදෙක් කටකතාවක් පමණක් බවයි වැන්ග්ගේ ආයතනය පවසන්නේ. එම කටකතා කෙසේ වෙතත් වැන්ග් පවසන්නේ විශ්වාසවන්ත හුරුබුහුටි සහ සරාගී පෙනුමක් තිබෙන ගැහැනු ළමයෙක් තමන්ගේ පෙම්වතිය කර ගන්න තමන් කැමැත්තෙන් සිටින බවයි.

සමාජ සේවා

ගිනි නිවීම්, මහජන සුබ සාධනය, ඉර්ණීඉ ළමා ගම්මාන සහ වෙනත් විවිධ සුබසාධන කටයුතු වෙනුවෙන් වැන්ග් තමන්ගේ ප්‍රතිරූපය භාවිත කරනවා. WildAid, China Green, Carbon Foundationවැනි ආහාර කෘෂිකර්ම සංවිධාන සඳහාත් වැන්ග් සිය අනුග්‍රහය දැක්වීම සිදුකරනවා. ඒ වගේම සාහිත්‍ය කෘති කියවීම ආරම්භ කිරීමට යෞවනියන් තුළ උනන්දුවක් සහ උදේ‍යාගයක් ඇති කිරීම අරමුණු කරගත් වැඩසටහන් සඳහාද වැන්ග් සිය දායකත්වය ලබා දෙනවා. කොවිඩ් වසංගත සමයේ වූහාන් නගරය වෙත සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සහ මුදල් පරිත්‍යාග කිරීම ආදී බොහෝමයක් සමාජ කටයුතු සඳහා වැන්ග් තමන්ගේ නොමසුරු දායකත්වය ලබා දෙනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර