“මනුෂ්‍යත්වයේ නාමයෙන් O/L දිනවල පාරවල් වහන්න එපා”

0
145

විභාගයට මුහුණ දෙන දරුවන්ට හා රාජකාරි කරන ගුරුවරුන්ට බාධාවකින් තොරව විභාග ශාලාවලට පැමිණීම සඳහා මනුෂ්‍යත්වයේ නාමයෙන් අවකාශ සලසන්නැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ඉල්ලීමක් කළේ ය.

අනාගත දරු පරපුර පිළිබඳව සිතා ප්‍රචණ්ඩ ක්‍රියා හා පාර අවහිර කිරීම්වලින් වැළකී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (මැයි 22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

විසිදහසකට වැඩි විභාග රාජකාරි කරන පිරිසට අවශ්‍ය යටිතල පහසුකම් සපයාලීම සඳහා අවශ්‍ය කටයුතු ආණ්ඩුකාරවරුන් ද සම්බන්ධීකරණය කර ගනිමින් සලසා ඇතැයි ද ඔහු පැවසීය.

විභාග රාජකාරි කටයුතු කරන පිරිස අත්‍යවශ්‍ය රාජකාරි කරන පිරිසක් බව සඳහන් ලිපි නිකුත් කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කොට ඇති බව ද ඇමතිවරයා කීය.

මේ ඔස්සේ බාධාවකින් තොරව ඔවුන්ට ඉන්ධන හල්වලින් ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද ඔහු පැවැසීය.

විභාගය පැවැත්වෙන දින දහය තුළ යම් හෙයකින් ගැටලුවක් පැන නගින්නේ නම් ආණ්ඩුකාරවරු මගින් ඒවා විසඳාලීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කොට තිබෙන බව හෙතෙම සඳහන් කළේ ය.

ඛනිජ තෙල් සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනාගමන මණ්ඩලය, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, පොලිසිය, ආණ්ඩුකාරවරු ආදී ක්ෂේත්‍ර සියල්ල සම්බන්ධීකරණය කර ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිම සකස් කොට ඇතැයි ඔහු කීය.

දරුණු යුද්ධයක් පැවති සමයේ පවා කොටි ත්‍රස්තවාදීන් කිසිදු ප්‍රසිද්ධ විභාගයක් කඩා කප්පල් කිරීමට කටයුතු නොකළ බව ද ඇමැතිවරයා සිහිපත් කළේ ය.

මාර්ගය තැනින් තැන වසා දමමින් විරෝධතාවල නිරත වුවහොත් එහි ප්‍රමාදය විභාගයට මුහුණ දෙන දරුවන්ට වඩාත් තදින් බලපෑ හැකි නිසා එවැන්නකට ඉඩ නොතබන්නැයි ද හෙතෙම තවදුරටත් ඉල්ලා සිටියේ ය.