ලෝකෙට පේන්න  හිනාවුණාට  ජිවත් වෙන්නේ   අපායක නම්?

0
78

සාමාන්‍ය බැඳීමක ඉඳලා විවාහයකට යනවා කියන්නේ ඒක දෙන්නගේම ජීවිතය තුළ ඇතිවන ලොකු පිම්මක්. ඒ කියන්නේ මෙතෙක් ගෙවාගෙන ආ ජීවිතය වෙනස්ම විධියකට එක් අයකුට සීමා වෙලා. ඒ තුළ මානසික සතුට, ආදරය, වගකීම් සහ යුතුකම් වගේ දේවල් මත ජීවිතයේ ඉතුරු කාලය ගෙවා දමන්න සැකසුණු දෙයක්. අපේ සමාජය විශේෂයෙන්ම මේ විවාහය කියන දේ පිළිබඳ බොහෝම සංස්කෘතික කෝණයකින් යුතුව බලන පිරිසක්. ඒ කියන්නේ බහුතරයක් දෙනාට අනුව මේ විධියට නිවැරැදිව අදාළ කරුණු සම්පූර්ණ කරලා විවාහයකට ඇතුළු වීම සහ පවත්වාගෙන යා යුත්තක් පිළිබඳව සමාජය තුළ පවතින්නේ තරමක් දැඩි අදහසකි. නමුත් සියල්ලන්ම එසේ නොවෙයි.

ඒ කියන්නේ යම් විධියකින් විවාහය තුළ අසාර්ථක වුණොත් ඒ අය දිහා වෙනම කෝණයකින් බලන පිරිසකුත් මේ අපේ සමාජයේ සිටිනවා. මුහුණට නොකිව්වත් තැන් තැන්වල කතා කරන්න, ඒක මූලික මාතෘකාවක් කරගෙන වෙනස්ම විධියේ ආකල්ප සහ තමන්ගේ සිතට එන මත සමාජගත කරන්න සැකසුණු පිරිසකුත් අපේ සමාජය තුළ සිටිනවා. ඒක තමයි යථාර්ථය.

මේ හේතුව නිසාම යම් සාධාරණ කරුණු හේතුවෙන් විවාහ ජීවිතයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙන අය තමන්ගේ පෞද්ගලික ගැටලුවට අමතරව විවාහයෙන් ඉවත් වීමෙන් පසු සමාජය තමා දෙස බලන කෝණය සහ ඔවුන්ගේ විවේචන, චෝදනා, ඊළඟ බැඳීම් තුළදී තමන්ට ඇතිවෙන ප්‍රශ්න, උත්තර බැඳීම් මේ ආදී සියලුම දේවල් කල්පනා කිරීමෙන්ම පමණක්ම දැඩි මානසික පීඩනයට ලක් වී සිටිනවා. නමුත් දියුණු රටවල මිනිස්සුන්ට එවැනි පීඩනයක් නෑ. එයට හේතුව චෝදනා නඟන ජීවිතයේ යම් පියවරකින් වැටුණහොත් එතැනින් ඒ කෙනාව මනින නොදියුණු මානසිකත්වයක් ඔවුන්ට නැති නිසා.

මේ කියන්නේ ලංකාවේ විධිය හොඳ නැහැ කියන එක නෙමෙයි. වෙනත් රටවල නැති යම් සභ්‍යත්වයක්, සංස්කෘතික ස්ථාවර බවක් රඳා පැවතිලා එක් අයකුට සීමාවෙලා හොඳ ජීවිතයක් ගත කරන වටපිටාවක් අප රට තුළ නිර්මාණය වෙලා තිබෙන්නේ ඒ විධිය නිසයි. මොකද වෙන රටවල වගේ සීමා නොතිබුණා නම් බැඳීමක් රැකගන්න තැනට වැඩ නොකර සුළු දේකින් පවා ඉවත් වෙන්න බලන සමාජයක් ගොඩනැඟෙන්න ඒක හේතුවක් වෙන්නත් තිබුණා.

නමුත්, ඇතැම් තැන්වල මේ සංස්කෘතියම යම් පිරිසකට ලොකු මානසික පීඩනයක් ඇති කරනවා. ඇතැම් තැන්වලදී එයාගේ කිසිම වරදක් නැතුව ස්වාමිපුරුෂයාගේ නැත්නම් බිරියගේ වෙනස් හැසිරීම් සැලකිය යුතු කාලයක් අත්විඳින්න සිද්ධ වීම නිසා සාධාරණව ඒ විවාහයෙන් ඉවත් වෙන්න අවශ්‍යතාව තිබෙන අය සිටිනවා. ස්වාමිපුරුෂයාගේ වෙනත් සබඳතා, පරුෂ වචන, පහර දීම් හමුවේ, ව්‍යාකූල හැසිරීම් හමුවේ වුවද සමාජයට මුහුණ දෙන්න බැරි නිසා දරුවෝ නිසා ජීවිතය තුළ නොමැරී මැරෙන, අද දවස ගෙවාගන්න හීන දකින කාන්තාවන් විශාල පිරිසක් ඔබ නොදන්නවා වුණත් මේ ලංකාවේ දැනටත් ජීවත් වෙනවා. මොකද දිනපතා උපදේශනවලදී මට එන සේවාලාභීන් මඟින් එය 100%ක්ම තහවුරු වෙනවා. ඒ වගේම වෙනත් උපදේශකවරුන් කරා යන, නැත්නම් කිසිම උපදේශනයක් නොගෙන තනිව දරාගෙන සිටින, සමාජයට හිනාවෙලා සිටින මිනිස්සු අනන්තවත් මේ සමාජයේ අදටත් ඉන්නවා. මේ දැනටත් දුක් විඳිනවා.

ඇතැම් විට කිසිදු වරදක් නොකරපු අහිංසක මිනිස්සු ස්වාමියාගේ වසර ගණනාවක සිට සිදුවුණ අනපේක්ෂිත හැසිරීම් දරාගෙන අදටත් එයාව හදාගන්න කැමැත්තෙන් සෑම කැපකිරීමක්ම කරන කාන්තාවන් මේ සමාජයේ සිටිනවා. ඒ වගේම බිරියගේ විවිධ හැසිරීම් නිසා දරුවො එක්ක තනිවෙලා නැත්නම් තනිවම දුක් විඳින ස්වාමිපුරුෂයන් විශාල පිරිසක් මේ සමාජයේ අදටත් සිටිනවා. නමුත් මෙවැනි තත්ත්වයන් නිසා පීඩා විඳින අයගෙන් වැඩි පිරිසක් කාන්තාවන්. ඇතැම් අය අදටත් තමන්ගේ ස්වාමියා, බිරිය මේ වරද කරනවා කියලා නොදැන රැකියාව කරන, දරුවන් බලාගන්න, පවුල වෙනුවෙන් කැපවුණු මිනිස්සු ඉන්නවා. සමහරු අවුරුදු ගණන් තමන්ට නොදැනී තමන්ට වෙන අසාධාරණය අදටත් දන්නේ නැහැ. ඔවුන්ට පෙනෙන්නේ බාහිරින් පෙනෙන යම් වෙනස්කම් පමණයි.

මේ හැමෝම වැරැදි කරලා දුක් විඳින අය නෙමෙයි. ඇතැම්විට සබඳතාව පටන් ගත්ත කාලෙදිම එයාගේ මේ හැසිරීම දැකලත් ඇබ්බැහි වීම නිසා (ආදරය නිසා) ඒ තුළ විවාහයක් දක්වා ආපු අය, සමහරු තමන්ගේ ජීවිතයේ වැදගත් කඩඉම් අත්හැරලා විවාහය තුළ ඉන්න අය සමහරු උගත් හොඳ රැකියාවන්වල නියුතු අය. කවදාවත් රැකියා ස්ථානයේ සිටින අය සිතන්නේ නැහැ මේ මනුස්සයට මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා කියලා. ඒ තරම් හොඳට ඇතුළාන්තයෙන් දුක් විඳිමින් විසඳගන්න බැරි අවුල් ජාලයක පැටලිලා පිටතින් ලස්සනට හැඳ පැලඳගෙන හිනාවෙලා සිටින්න මිනිස්සු හැම තැනම සිටිනවා.

පාරක ගියත් අපි එහෙම අයව දකිනවා. ඒ පිටින් විතරයි. ඔයා වුණත් මොන දුක තිබ්බත් ඇතුළෙන් තමන් දැවුණට පිටතට ඒක පෙන්නන්නේ නෑ වගේ. තමන්ට විශ්වාසවන්තම කෙනෙක් ළඟ ඒ දුක පිට කරනවා වගේ, තමන්ගේ පවුලට, දරුවන්ට, මවුපියන්ට, සැමියාට, බිරියට හානියක් වෙයි කියලා පිටතට නොපෙන්වා ඊටත් වඩා දුක් විඳින මිනිස්සු මේ සමාජය තුළ සිටිනවා.

අපි කතා කළේ අපේ සමාජය හැදිලා තිබෙන විධිය පිළිබඳවයි. දැන් කතා කරමු යථාර්ථය. එනම් සත්‍ය වශයෙන්ම කළ යුත්ත.

මිනිස්සු මොන දේ කිව්වත් කොහොම බැලුවත්, එයාලා පැය 24ම ඔයාගේ සිද්ධිය ඔළුවේ තබාගෙන ඉන්නේ නැහැ. ඒක අපේ සංස්කෘතියෙන් අතීතයේ සිටම මිනිස්සුන්ගේ මනස තුළ දුවන Pattern එකක්. ඔවුන් විමසා බලනවා හැර. ඔයා දුක් විඳිනවා නම්, ඒකේ යථාර්ථය මොකක්ද? ඒ තත්ත්වයට ඔයා වැටෙන්න හේතුව මොකක්ද? සිටින තත්ත්වයට අදාළ මනෝවිද්‍යාත්මක කියවීම මොකක්ද? 

ඔයා ඇතුළාන්තයෙන් විඳින දුක. මේ මිනිස්සුන්ට මේ දේවල් පිළිබඳ දැනීම අඩුයි. බලන්න ඒ වගේ මානුෂීයව බලන්නේ මේ සමාජයේ සුළුතරයක් පමණයි. බහුතරයක් පිටින් පෙනෙන දේ මත සිතට එන හිතළුවලින් Judge කරන්න තමයි බලාගෙන සිටින්නේ. ඒ නිසා යථාර්ථය තුළ ඔයා දුක් විඳිනවා නම් ඉස්සරහට ජීවත් වෙන්න තිබෙන අවුරුදු ගණන සතුටින් ඉන්න වැඩපිළිවෙළක් හදනවා මිස, මිනිස්සු මොනවා හිතයිද කියලා තමන්ට හානි වෙනකන් දරාගෙන සිටීම අනවශ්‍යයි.

සත්‍ය වශයෙන්ම විවාහය තුළ සැලකිය යුතු කාලයක් සතුටක් නැතුව විඳවනවා නම්, සැලකිය යුතු කාලයක් එයාව වෙනස් කරන්න උත්සාහ දරලා දැන් තමන්ට තමන්ගේ ජීවිතය නීරස වීගෙන එනවා නම්, එයාට විවෘතව පවුල පිළිබඳ සිතලා ඒ වරද හදාගන්න අවශ්‍යතාවක් නැත්නම්, අඩුම තමන්ට තනිව පාලනය කරගන්න බැරි නම්, අවබෝධයෙන් තමන් පිළිබඳ මෙනෙහි කරමින්, මගේ මේ හැසිරීමෙන් ඇතුළාන්තයෙන් දැවෙමින් ජීවත්වන බිරිය ගැන සැමියා ගැන සිතලවත් අවශ්‍ය උපදේශන හෝ වෙනත් ප්‍රතිකාරවලට යොමු වෙන්නවත් වුවමනාවක් නැත්නම් අවසන් ප්‍රතිඵලය ඉවත් වීම හෝ මනසින් ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ.

විශේෂයෙන්ම දරුවන් නැත්නම් ඒ පියවරට ඉතා පහසුවෙන් යන්න පුළුවන්. දරුවන් සිටිනව නම් උපදේශන සේවාවන් මෙන්ම නීතිඥ සහාය ලබාගෙන ඉදිරිය සැලසුම් කරන්න පුළුවන්. ඉතින් මේ පියවර සඳහා කවුරුත් එක පාර යන්නේ නැහැ. කරන්න පුළුවන් හැමදේම කරලා මැරෙන්න බැරිකමට, තිබෙන පීඩනය  දරාගන්න බැරිකමට ඒ පියවරයන්ට යන්න සිද්ධවෙලා තිබෙනවා. නිරාකරණය කරන්න පුළුවන් සාමාන්‍ය තත්ත්ව නම් අපි ඒවා කළමනාකරණය කළ යුතුයි. නමුත් දරාගත නොහැකි අඛණ්ඩව අනපේක්ෂිත හැසිරීම් තම ස්වාමිපුරුෂයාගෙන් හෝ බිරියගෙන් සිද්ධ වෙනවා නම් ඊට අදාළ යම් පියවරයන්ට යන එක ගැන කාටවත් විවේචන එල්ල කරන්න බැහැ.

හැම මනුස්සයෙක්ටම මානසික සැනසීමෙන් තමන්ට උචිත සාධාරණ අන් අයට හා සමාජයට හානි නොවන ජීවිතයක් ගත කිරීමේ අයිතිය තිබෙනවා. ඒ තුළ ඒ අය ගන්න තීරණ ගැන සමාජය විවේචන ඉදිරිපත් කරනවා නම් එය බොළඳ මානසිකත්වයක්. මොකද අපි හැමෝම මිනිස්සු. මේ වගේ ඕනම අනපේක්ෂිත තත්ත්වයක් මටත් මේ ඕනම කෙනෙක්ටත් ඕනම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්.

පළමු, දෙවැනි විවාහයෙන් පසුවත් නැවතත් සාර්ථක වුණු බැඳීමක් මඟින් අතිසාර්ථක වුණ පිරිස් ඕන තරම් මේ සමාජයේ සිටිනවා. ඒ වගේම විවාහයෙන් ඇති වන ප්‍රශ්න අභිප්‍රේරණයක් කරගෙන ඉහළම තැන්වලට ගියපු මිනිස්සු ඕන තරම් මේ සමාජයේ සිටිනවා. සමහර විට අර ප්‍රශ්න ඔවුන්ට නොවුණා නම් එවැනි දෙයක් සිද්ධ නොවෙන්න තිබුණා වෙන්න පුළුවන්.

එක කඩඉමක සාර්ථකත්වයකින් හෝ පසුබෑමකින් මිනිස්සුන්ව මනින්න අයිතියක් අපට නැහැ. ඔවුනට නිශ්ශබ්දව හෝ සහාය වෙනවා හැර, ප්‍රශ්නෙකින් තවත් ප්‍රශ්නෙකට ඇද දමන සමාජයක් බිහි නොවිය යුතුයි. විවාහය කියන්නේ කෙනෙක්ට එයාගේ ජීවිතයේ මූලික කඩඉමක් වුණාට විවාහය කියන්නේ, එයාගේ ජීවිතයේ අවසානය නෙමෙයි.

නන්දිමාල් එදිරිසූරිය

මනෝ උපදේශක

(Relationship – Breakup)