රාජ්‍ය ආයතන තුළ  කැලෑ නීතියට  ඉඩ දෙන්න එපා

0
181

රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර ගැටුම් ඇති කර රාජ්‍ය මෙන්ම සෙසු ආයතන තුළද පරිපාලනය කඩා බිඳ දැමීමේ සැලැස්මක් ක්‍රියාත්මකව පවතින බැවින් රාජ්‍ය ආයතන තුළ කැලෑ නීතියට ඉඩ නොදෙන ලෙසට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ විසින් ජනාධිපති, අගමැති, අධිකරණ ඇමැති සහ ජනාධිපති ලේකම් වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

ඉකුත් 19 වැනි බ්‍රහස්පතින්දා ගුවන්විදුලි සංස්ථාවේ ඇති කළ සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම ලිපිය යොමුකර තිබේ.

මේ වනවිටත් විෂය භාර අමාත්‍යවරයකුගේ අමාත්‍යාංශ ලේකම්වරයකු ජනමාධ්‍ය අමාත්‍යාංශයට නොමැති බැවින් මෙම කරුණු ඔබතුමන්ලා වෙත යොමු කිරීමට තීරණය කළ බවද එම ලිපියේ සඳහන් කර ඇත.

පවතින වාතාවරණයන් තුළ විවිධ ආයතනවල කටයුතු අවුල් කර තම තමන්ගේ පෞද්ගලික කෝන්තර පිරිමහ ගැනීම සඳහා දේශපාලන කුමන්ත්‍රණකරුවන් සහ වෘත්තීය සමිතිවල සාමාජිකයන් යැයි කියා ගන්නා කොටසක් සිදුකරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම සිදුවීම පෙන්වා දෙන බවද එම ලිපිය මඟින් පෙන්වාදී තිබේ.

මෙවැනි කටයුතු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා, ලේකම් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව සාකච්ඡා කර ගනු ලබන තීරණයක් හෝ උපදෙසක් ක්‍රියාත්මක කිරීම මිස, කැලෑ නීතියට අවනත වීමට මා හට හැකියාවක් නැතැයිද එම ලිපියෙහි දක්වා ඇත.

“සේවකයන් එකතු වී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පන්නා දමයි” යන තොරතුර සම්පූර්ණ අසත්‍ය වන අතර මෙම සිද්ධිය සිදුවූ අවස්ථාවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සහ සභාපතිවරයා ආයතනයට ගෙන්වා ගනිමින්, ඔවුන් සමඟ සාකච්ඡා කර මා සංස්ථාවෙන් එළියට ගිය අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඒ බව ලිඛිතව වාර්තා කළ බවද චන්ද්‍රපාල ලියනගේ මහතා සිය ලිපියෙහි සඳහන් කර තිබේ.

ලියනගේ මහතා යවා ඇති එම ලිපියෙහි මෙසේද සඳහන් වෙයි.

“මහින්දගේ ච්ට් සේවකයෝ එළවා දමයි” යන මැයෙන් සමාජ මාධ්‍ය හා විවිධ වෙබ් අඩවිවල වාර්තා වූ ප්‍රවෘත්තිය පිළිබඳවත්, මෙදින සිදුවූ අකටයුත්ත පිළිබඳවත් ඒ සඳහා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිමින් මේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීම ඔබතුමන්ලා වෙත ඉදිරිපත් කරමි.

ගුවන්විදුලියේ සමහර අමිහිරි අතීත සිදුවීම්ද මෙම ලිපිය ආරම්භ කිරීමේදී මතක් කිරීමට සිදුවීම පිළිබඳව පළමුව කනගාටුව ප්‍රකාශ කරමි. මෙම ලිපියෙන් ඔබතුමන්ලා ඇතුළුව ගුවන්විදුලියේ සමස්ත කාර්ය මණ්ඩලයටත්, මහජනතාවටත්, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පළ කරනු ලැබූ සමාජ මාධ්‍ය පාර්ශ්වයටත් යම් අවබෝධයක් හා පිළිතුරක් ලෙස යොමු කරමි. ගුවන්විදුලියේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිබඳ පළ කර ඇති ‘ඉල්ලා අස්වී ගෙදර ගිය බවට’ කියැවෙන ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයකි. නමුත් පසුගිය බ්‍රහස්පතින්දා සවස ගුවන්විදුලියේ යම් පිරිසක් මා හට ඉල්ලා අස්වී යන ලෙස තර්ජනය කිරීම හා බලපෑම් කිරීම සත්‍ය සිද්ධියකි.

ගුවන්විදුලියේ හිටපු කීර්තිමත් අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ රිජ්වේ තිලකරත්න මහතාට එවකට පැවැති ආණ්ඩු පරිවර්තනයකින් පසු දින ඉතා අමානුෂික අයුරින් පහරදී අසූචි පවා එල්ල කර එළවා දැමූ ආකාරයත් එසේම ඒ හා සමානම සේවයක් ගුවන්විදුලි සංස්ථාව සඳහා ඉටුකළ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ නෙවිල් ජයවීර මහතාටද එවැනිම තාඩන පීඩන කර හූ කියා, පන්නා දැමූ අමිහිරි ඉතිහාසයක් ගුවන්විදුලිය සතුවේ. තවද හිටපු සභාපතිවරයකු හා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ තිස්ස කාරියවසම් හා මාලිමගේ යන අයවලුන්ටද මේ හා සමානම සිද්ධීන්වලට මුහුණදීමට සිදුවී ඇත. හිටපු සභාපතිවරයකු වූ ප්‍රවීණ ගී පද රචකයකු වූ සුනිල් සරත් පෙරේරා මහතාටද තනතුරෙන් ඉවත්ව යෑමේදී විවිධ කෙනෙහිලිකම් සිදුකර ඇත. තවද හඩ්සන් සමරසිංහ මහතාටද මීට ඉහතදී සංස්ථා සේවයෙන් නික්ම යෑමේදී හූ කියමින් අපහාස කර ඇත. ආණ්ඩු මාරුවීමක් හෝ යම් දේශපාලන පරිවර්තනයකදී පොදු සතුරා ලෙස ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් හෝ සභාපති ඉලක්ක වන දේශපාලන ගොදුර බවට පත්වන අතර එය ඉතිහාසයේ සිටම කරගෙන ආ පහත්, නින්දිත අවනීතිමය ක්‍රියාවක් බව මා හට පෙන්වා දුන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ නිව්ටන් ගුණරත්න මහතාය. ඒ මහතා ඊයේ මට හමු වූ අවස්ථාවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කළේ ‘ඔබ මෙතෙක් කල් ඔය මට්ටමෙන් හරි හිටියා ඇති’ යනුවෙනි.

කීර්තිමත් මාධ්‍යවේදියකු මෙන්ම ගුවන්විදුලියේ දක්ෂ පරිපාලකයකු වූ තේවිස් ගුරුගේ මහතා වෙඩි තබා මරා දැමූ අතර ප්‍රවීණ ගීත රචකයකු වූ රටම පිළිගත් සහ ආදරය කළ කලාකරුවකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වෙඩි තබා ඝාතනය කර දැමුවේද ගුවන්විදුලියේ සේවයේ නියුතුව සිටියදීය. එමෙන්ම දක්ෂ නිලධාරියකු ලෙස කටයුතු කළ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ එරික් ෆර්නෑන්ඩු මහතාටද තර්ජනය කර ඔහුගේ පුටුවත් සමඟම ඔහුව කාර්යාලයෙන් එළියට ඇද දමා තිබිණි.

එවැනි ඉතිහාසයක් තිබෙන ගුවන්විදුලිය වර්තමානයේ ඇතිවුණු විවිධ දේශපාලන වෙනස්කම්වලටත් වඩා ගෝල්ෆේස් අරගලය හා සම්බන්ධ සිදුවීම මුල් කරගනිමින් රටේ මතු වූ දේශපාලන හා සමාජීය අරාජිකත්වය සහ අස්ථාවර බව හමුවේ විවිධ පිරිස් කැලෑ නීතියට අනුව කටයුතු කිරීම වර්තමානය පුරා දක්නට ලැබෙන තත්ත්වයයි. මෙවැනිම ක්‍රියාවක් සැලසුම් සහගත ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (2022.05.19) මෙම ආයතනයේ ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා ගෝඨාගෝ ගම හා සම්බන්ධ වී සිටින සංස්ථා සේවකයන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිති සාමාජිකයන්ද සම්බන්ධ විය. ආයතනයේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවට බොරු ප්‍රචාරයක් යවා එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සාමාජිකයකු විසින් කාර්ය මණ්ඩලය දැනුවත් කර යම් පිරිසක් මෙම ස්ථානයට ගෙන්වාගෙන මෙම අප්‍රසන්න ක්‍රියාව සිදුකරන ලදී. මෙම රැස්වීමේදී සභාපති හඩ්සන් සමරසිංහ මහතාද කතාවක් පැවැත්වූ අතර සේවකයන් හා කාර්ය මණ්ඩලය කුලප්පු වන ආකාරයෙන් කාර්ය මණ්ඩලයට අයත් දේශපාලන පක්ෂ නියෝජිතයන් කතා පවත්වා අනතුරුව ඔවුන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාලයට බලහත්කාරයෙන් කඩාපනින ලදී.

මේවනවිට මහජන නියෝජිතයන් පමණක් නොව ඊට සමගාමීව කටයුතු කරන බොහෝ පිරිස්ද මෙම කැලෑ නීතියේ ගොදුරු ලෙස මුහුණ දීමට සිදුවීම පැහැදිලිව දක්නට ඇති තත්ත්වයයි. මේ පිළිබඳ වගකීමට කිසිවකු නොමැති අතර සියලුම පොලිස් නිලධාරීන් තමන්ගේ වගකීම අතහැර දමා ඇත්ද යන සැකය ජනතාව තුළ තවදුරටත් පවතී. එය රඹුක්කන සිදුවූ සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන් හට මුහුණ පෑමට සිදුවූ තත්ත්වයද මෙයට බලපා ඇතැයි සමාජ කතිකාවක් පවතී. එසේම මැයි 09 වැනි දින ගෝල්ෆේස් පිටිය සහ ඉන් පසුව රට පුරා ඇති වූ කලහකාරී භීෂණ තත්ත්වය හමුවේද පොලිසිය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා මෙම ක්‍රියාකාරකම් රජයේ ආයතන තුළටද සෙමින් සෙමින් කාන්දුවන බවක් නිරීක්ෂණය වේ. රට තුළ පරම්පරාගත දේපොළ නිවාස හිමිව තිබුණු ජනතා නියෝජිතයන් හා තවත් පිරිස්වලට නිවෙස් හා දේපළ මහජනතාව දහස් ගණනක් බලාසිටියදී ගිනි තබා විනාශ කිරීමෙන් පසුවද එම ප්‍රචණ්ඩකාරී මානසිකත්වය නිමාවීමක් නොපෙනේ.

පසුගිය 09 වැනිදා ගෝල්ෆේස් ගැටුම ආරම්භ වූ දිනයේ සිටම සංස්ථාවෙන් එයට සම්බන්ධ වී සිටි පිරිස් මා හට විවිධ තර්ජන කරමින් අන්තර්ජාල පණිවුඩ යොමුකර තිබිණි. මීට අමතරව ව්‍යාජ තොරතුරු සකස් කර ඒවා විවිධ ලෙස ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබිණි. අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් මා වැඩ භාර ගැනීමෙන් පසු ගතවූ වසර තුනකට ආසන්න කාලය මා කටයුතු කරනු ලැබුවේ විවිධ අභියෝග හා දුෂ්කරතා මාධ්‍යයේය. 2020 ආරම්භයේ සිට කෙටි කලක් තුළ රට පුරා ව්‍යාප්ත වූ වසංගත රෝග තත්ත්වය නිසා රටම අඩපණව පවතින ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද සියලු කාර්ය මණ්ඩල කළමනාකරණය කරගනිමින් පැය 24 පුරාම මෙම අභියෝගාත්මක වසර තුනකට ආසන්න කාලය සාර්ථකව මෙහෙයවමින් ගුවන්විදුලිය පවත්වාගෙන යෑම ස¼දහා සම්පූර්ණයෙන්ම වෙහෙස මහන්සි වී කටයුතු කරනු ලැබුවේ මා විසිනි.

මාගේ රාජකාරි කාලය තුළ ජනමාධ්‍ය භාරව කැබිනට් අමාත්‍යවරු හතර දෙනකු පත්වුණු අතර (පළමුවෙන්ම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාද, දෙවැනුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාද, තුන්වැනුව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාද, හතරවැනිව නාලක ගොඩහේවා අමාත්‍යවරයාද, වර්තමානයේ කැබිනට් අමාත්‍යවරයකුද නොමැතිවද) සංස්ථා සභාපතිවරු සත්දෙනකු සමඟද කටයුතු කිරීමට සිදුවිය. (පළමුව වැඩබලන සභාපතිවරයකු ලෙස රමණි ගුණවර්ධන මහත්මිය, දෙවැනුව වැඩබලන සභාපතිවරයා ලෙස චූලානන්ද පෙරේරා මහතා, තුන්වැනුව සංස්ථා සභාපති ලෙස රෝහණ දේව මහතාත්, ඉන්පසු ජගත් වික්‍රමසිංහ මහතාත්, ඔහුගෙන් පසු වැඩබලන සභාපතිවරයා ලෙස එච්. හේවගේ මහතාත්, අනතුරුව ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාත් මේ වනවිට සභාපති හඩ්සන් සමරසිංහ මහතාත් වශයෙනි.)

මෙම කාලය තුළ ආයතනයේ ප්‍රතිපත්ති තීරණ ගැනීම, පරිපාලන කටයුතුවල මෙන්ම සෙසු ක්‍රියාමාර්ගවලදී ඇති වූ පරස්පරතා සහ බාධකවලට මුහුණ දෙමින් ආයතනයේ මෙහෙයුම් ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යෑම සිදුකරන ලදී.

මෙහිදී යම් යම් පොදු අඩුපාඩු පැන නැඟීම පොදු ලක්ෂණයකි. ආයතනයට මා පැමිණෙන විට සෑම වර්ෂයක් අවසානයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු වාර්ෂික වාර්තාවත්, 2016 වසරේ සිට සකස් කර නොතිබූ අතර එම සියලු කටයුතු යාවත්කාලීන කිරීම මෙන්ම අනාගත ව්‍යාපාරික හෝ ආයෝජන සැලැස්මක් සකස් කිරීමට කටයුතු කර නොතිබුණු අතර එම ක්‍රියාවලිය මාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගයෙන් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යන ලදී. එමෙන්ම ගුවන්විදුලියේ සෑම අංශයකම කාර්යක්ෂමතා ඉලක්ක සහ ආදායම් ඉලක්ක සකස් කර ලබාදෙමින්, ඔවුන්ව ආයතනයේ සක්‍රිය ක්‍රියාවලියට දායක වීමට සුදුසු වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාවලිය සඳහා වරින් වර පත්වූ ඇමැතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහාය ලබාදුන් අතර එය සාර්ථක කර ගැනීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද විශාල සහයෝගයක් ලබාදෙන ලදී. ජනාධිපතිවරයා ලෙස ඔබතුමන් රජයේ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් යෝජනා කළ අදහස් මෙන්ම දේශපාලනයට පක්ෂග්‍රාහී නොවී ස්වාධීනව කටයුතු කරන ලෙස ලබාදුන් උපදෙස් අනුවද ඉතා සාර්ථක ප්‍රවේශයක් ආරම්භ කිරීමට හැකිවිය.

මෙම අරමුණු කරා ගමන් කිරීමේදී තිබෙන බාධක අතුරින් ප්‍රධානතම බාධකය වූයේ, සංස්ථාවට අවශ්‍ය කරන සමස්ත ආදායම ලබාගැනීමට නොහැකි වීමත්, කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය සේවයේ රැකියාව වරප්‍රසාදයක් ලෙස සිතමින් කටයුතු කරන පිරිස් සමඟ සහ සාම්ප්‍රදායික රාජ්‍ය සේවය යනු ආණ්ඩුවේ මුදල්වලින් තමන්ට වැටුප් ගෙවිය යුතුය යන මානසිකත්වයෙන් කටයුතු කරන පිරිසක් සමඟ කටයුතු කිරීම නොවේ. නමුත් ආයතනයේ යම් පිරිසක් නව්‍යකරණයට යමින් ආයතනයේ දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීම සතුටට කරුණක් විය.

මෙම ආයතනයේ දියුණුව හා සංවර්ධනයට වඩා කාලයක් තිස්සේ සිදුවී ඇත්තේ ආයතනය කඩා වැටීමකි. කිසිදු උසස් වීමක් හෝ ස්ථීර පත්වීමක් නොලබා, ආයතනය වෙනුවෙන් ඉතා දිගු කාලයක් සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සාධාරණයක් ඉටු කිරීම ආයතනයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකා විවිධ උත්සාහයන් දැරුවද, ආයතනයේම විවිධ කණ්ඩායම්වල බලපෑම් හේතුවෙන් ඒවා අඩපණ විය.

1980 දශකය පසු රාජ්‍ය ගුවන්විදුලිය සඳහා තිබූ ඒකාධිකාරය අහෝසි වීමෙන් පසු තරගකාරිත්වයට මුහුණ දෙමින් සියලු අංශවල නව්‍යකරණයක් සිදුවී නොමැත. එම නිසා තරගකාරිත්වයෙන් හුදෙකලා වී, යැපීම් මානසිකත්වයෙන් කටයුතු කිරීමට හුරු වී තිබීම පොදු ලක්ෂණයකි. මෙවැනි ආයතනයක් වෙනස් කිරීමට යෑම” අරටුවක් නොකැඩෙන ලෙස නවන්නට උත්සාහ කිරීමක්” වැනි කටයුත්තකි. එසේ වුවත් සියලුදෙනාගේ සහයෝගයද ඇතිව 2021 වර්ෂයේදී ගුවන්විදුලිය මෑත ඉතිහාසයේ වැඩිම ආදායම උපයා ගැනීමට සමත් විය. එය රුපියල් මිලියන 971කි. මෙය ක්‍රමවත් ව්‍යාපාරික සැලැස්මක ප්‍රතිඵලයකි. දැනට ගුවන්විදුලිය 96 වසර පසුකරන අතර වසර 100 සපුරන විට ප්‍රශස්ත ප්‍රමුඛ ආයතනයක් ලෙස දියුණු කිරීම මාගේ ප්‍රමුඛ අරමුණ වී තිබිණි. නමුත් අවස්ථාවාදීන් කිහිපදෙනකු මෙය කඩාකප්පල් කිරීම නිරන්තරයෙන් සිදුවිය.

පසුගිය කොරෝනා වසංගත සමය තුළ රට වැසියන්ගේ මානසික සුවය පහත වැටුණු අවස්ථාවේදී ධර්මය තුළින් අප රටට, රටවැසියන්ට හා සමස්ත ලෝකයටම සුව පතා දිවයිනේ සියලුම පළාත් හා දිස්ත්‍රික්ක ආවරණය වන අයුරින් සජීවී ලෙස වසරක් පුරා පැවැත්වූ රතන සූත්‍ර දේශනා වැඩසටහන ගුවන්විදුලි ඉතිහාසයේ සාර්ථකම වැඩසටහනක් විය. මෙම වැඩසටහන වෙනුවෙන් අපගේ අසල්වැසි ඉන්දියාව සහ චීනය සුබ පැතුම් පවා එක්කර තිබිණි. කොරෝනා වසංගත සමයේදී ගුවන්විදුලි සංස්ථාව සතු නාළිකා 13නේම දිනපතා අවම වශයෙන් පැය 2ක් හෝ පැය 4ක් අධ්‍යාපන වැඩසටහන් විකාශය කරමින් දැයේ දරුවන්ගේ දැනුම වෙනුවෙන් කටයුතු කරන ලදී. මෙහි දෙවැනි පියවරක් ලෙස ලංකාවේ කිසිදු ගුවන්විදුලි ආයතනයක් මින් පෙර සිදුනොකළ, කැබිනට් මණ්ඩල තීරණ දෙකක් මඟින් හා අධ්‍යක්ෂ මණ්ඩල තීරණ මත දරුවන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් විදුලි නාළිකාවක් ආරම්භ කරන ලදී. එම නාළිකාව විෂන් එෆ්.එම්. ලෙස ඉතාමත් සාර්ථකව පවත්වාගෙන ගිය අතර මැයි මස 9 වැනි දින සිට හේතුවක් නොමැතිව නතර කර ඇත.

සංස්ථාවේ රාජකාරි ආරම්භ කළදා සිට මේ දක්වා මාගේ පෞද්ගලික කටයුතුද පසෙකලා මෙම ආයතනයට යම් සාධාරණයක් ඉටු කළ යුතුය යන, පරම අධිෂ්ඨානයෙන් කටයුතු කළ අතර ආයතනයට එහි ප්‍රතිලාභ ඉදිරියේදී භුක්ති විඳීමට නම් මෙම කටයුතු අතරමඟ නතර නොකර ඉදිරියට ගෙන ආ යුතුය. මා ගුවන්විදුලි සංස්ථාවේ සේවයට පැමිණයේ ආධුනිකයකු ලෙස නොවන අතර වසර 25කට වැඩි මාධ්‍ය පිළිබඳ කළමනාකරණ පළපුරුද්දක් හා සුදුසුකම් සහිත විෂය සම්බන්ධයෙන් දැනුම සහිතව ආ අයකු වශයෙනි. එමෙන්ම මෙම ආයතනය යම් මට්ටමකට ගොඩනඟන ලෙස බොහෝදෙනා ඉල්ලීම් කරනු ලැබීය. කෙසේ වෙතත් මෙම පැහැදිලි කිරීම සිදුකරනු ලබන්නේ ආයතනයේ අභ්‍යන්තර හා බාහිර තත්ත්වයන් පිළිබඳ කේන්ද්‍රීය අවබෝධයක් නොමැතිව යම් කිසි සිද්ධියක් පිළිබඳව ඒකපාර්ශ්වීය තොරතුරක් සමාජගත වීමෙන් සමාජයට යන වැරදි පණිවුඩය සඳහා යම් කිසි පිළිතුරක් දීම සඳහාය.

ආයතනය තුළ තිබිය යුතු සාමය පලුදුවන ආකාරයෙන් සේවකයන් උසිගන්වා මෙම ක්‍රියාව සිදුකිරීම පිළිබඳව හා මා හට කරන ලද තර්ජනයන් පිළිබඳව කුරුඳුවත්ත පොලිසියේ මා විසින් පැමිණිල්ලක් ගොනුකළ අතර ඒ පිළිබඳ නීතිමය කටයුතු ඉටු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

මැයි මස 9 වැනිදායින් පසු ආයතනයේ සිටින දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනකු සහ එක් අධ්‍යක්ෂවරයකු මා හට බොරු චෝදනා හා තර්ජනය කරමින්, ඔවුන්ගේ මුහුණු පොත් පිටුවල “දැන් ඇති මහින්දත් එකක් තෝත් පල” විවිධ අපහාසාත්මක ප්‍රකාශයන් පළ කර තිබිණි. මීට අමතරව මෙම තැනැත්තන් විසින් “අපි තෝව බලන්න එනවා” වැනි ප්‍රකාශ ඔවුන්ගේ මුහුණු පොත්වල සටහන් කර තිබිණි. දහසකට ආසන්න සමස්ත කාර්ය මණ්ඩලයෙන් කිහිපදෙනකු පමණක් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සැලසුම් කළ අතර, මෙයට සහභාගි වූයේ සුළු පිරිසකි. එහි පැමිණි කීපදෙනකු අපහාසාත්මක දේ කියමින් තර්ජනය කරමින් කලබල කිරීමට කටයුතු කළේ “අපි මීට කලිනුත් සභාපතිලා, අධ්‍යක්‍ෂ ජනරාල්ලා කනෙන් ඇදලා එළවලා තියෙනවා, අපිට ඒවා සුළු වැඩ, විනාඩි 20ක් දෙන්නම් යන්න” යනුවෙන් තර්ජනය කරමිනි.

මා 1986 වර්ෂයේ වාණිජවේදී උපාධිධාරියකු ලෙස අධ්‍යාපනය හදාරමින්ද, 1994 වර්ෂයේ සිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරියකු ලෙස එක්වී විවිධ ක්‍ෂේත්‍රවල හා විවිධ ආයතනවල හා විවිධ තනතුරුවල කටයුතු කරමින් ලබාගන්නා දැනුම හා පළපුරුද්ද සහිතව කටයුතු කරන අයකු වේ. දේශපාලන, සාමාජීය හා ආර්ථික වශයෙන් සමස්ත සමාජ ක්‍රමයම අර්බුදයට ලක්ව ඇත්තේ හුදෙක් දේශපාලනඥයන්ගේ වැරැද්දෙන්ම පමණක් නොවේ. රාජ්‍ය සේවකයන් වන අප සියලු දෙනාම එම වගකීමට බැඳී සිටින අතර රටේ රාජ්‍ය සේවය හා වෘත්තීය සමිති මේ රට කඩාවැටීමට අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. යැපුම් මානසිකත්වයෙන් රාජ්‍ය ආයතනයක සිටිමින් ආයතනයේ මහ භාණ්ඩාගාරයෙන් යැපීම තුළ මේ වන විට බරපතළ ප්‍රතිවිපාක අපි භුක්ති විඳිමින් සිටිමු. දීර්ඝ කාලයක් තිස්සේ කඩාවැටුණු ආයතනයක් එකවර නඟාසිටුවීමට නොහැකි අතර වෘත්තියෙන් ඒකාකාරීව සිටින කාර්ය මණ්ඩලයක් වෙතින් එකවර කාර්යක්‍ෂම සේවයක් බලාපොරොත්තු විය නොහැකි බව මම තේරුම් ගත් අතර, රජයට බරක් නොවී ආයතනයේ ආදායම වැඩි කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන ලදී.

* මෙවැනි දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට සිදුවූයේ වැරැදි තොරතුරු, සැලසුම් සහගතව ප්‍රචාරය කිරීමට පිළිතුරක් වශයෙනි. ගතයුතු අනුමැතියකින් තොරව කිසිදු ක්‍රියාවක් මා විසින් සිදුකර නොමැත. මා විසින් ඉටුකර ඇති සියලුම කාර්යයන් සඳහා නියමිත නිල අනුමැතිය තිබෙන අතර ඒ පිළිබඳ යම් විමර්ශනයක් අවශ්‍ය වන්නේ නම් ඒවා නියමිත පරිදි සිදුකළ යුතුය.

* එමෙන්ම මෙම අසහනකාරී සමාජ වටපිටාව යටතේ විවිධ අවස්ථාවාදී පිරිස් ආයතන තුළ කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය සම්පූර්ණයෙන් නතර කළ යුතුය. ස්වාධීන රූපවාහිනිය, දෙහිවල සත්ත්ව උද්‍යානය හා තවත් බොහෝ ආයතනවල කාර්ය මණ්ඩලවලට මෙලෙස හිරිහැර කරමින් සිටී. එබැවින් මෙම තත්ත්වය වෙනත් ආයතනවලට පූර්වාදර්ශයක් ලෙස ක්‍රියාත්මක වීම වැළකී සිටීම සියලු දෙනාගේ වගකීමයි. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා නිවැරැදි ක්‍රමවේදය ආයතනවල කාර්යක්‍ෂමව පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබතුමන්ලාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එම ලිපියෙහි පිටපත් ජනමාධ්‍ය ලේකම්,  පොලිස්පති, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩලය, සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජික මණ්ඩලය, සියලු විද්‍යුත් හා  මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති කර්තෘවරුන් හා අධ්‍යක්‍ෂවරුන්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වෙත යවා ඇත.