රට හදන තැන

0
96

ගාලුමුව‍ෙදාර පිටියේදී මැයි මස 09 වැනිදා සිදුවූ පහරදීම් සහ මැති-ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තැබීම් හා අලාභහානි කිරීමේ සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

(පාර්ලිමේන්තුව ජූනි 07 වැනිදා පෙරවරු 10.00ට යළි රැස්වෙයි)

මෝඩකමට කවුරුහරි කියනවා නම් මේවා ජ.වි.පෙ. වැඩ කියලා ඒවායින් අපට ඇති දේශපාලන වාසිය මොකක්ද? : – විජිත හෙරත්

මෝඩකමට කවුරුහරි කියනවා නම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා අපිට ඒකෙන් තියෙන දේශපාලන වාසිය මොකක්ද කියලා කියන්නැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.

අගමැති දිවුරුම් දුන්නා විතරයි. පිටි කිලෝවක් රුපියල් 30කින් වැඩි වුණා. හැම ආහාර ද්‍රව්‍යයකම මිල වැඩිවෙලා. මේක මිනිස්සුන්ට දරාගන්න බැහැ. මිනිස්සුට දේශපාලන  පක්‍ෂ භේදයක් නෑ. දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ගර්, මැලේ හැම ජනතාවක්ම මේ පීඩාවට හසුවී තිබෙනවා. ප්‍රශ්නයට ආණ්ඩුවෙන් උත්තර නැහැ. මොන අගමැතිවරු පත් කළත් මොන මාලිගා කුමන්ත්‍රණ ඇති කළත් ඇමැතිවරු අලුතින් දිවුරුම් දුන්නත් මේ ප්‍රශ්නෙට උත්තරයක් නැත්නම් ජනතා සටන නවත්වන්නේ නැහැ.

රාජපක්‍ෂ ආණ්ඩුව පිළිබඳ රටේ ජනතාවට තිබුණේ විශාල අප්‍රසාදයක්. එවැනි තත්ත්වයක් තුළ අපි ප්‍රචණ්ඩත්වය ඇති කරනවලු. අපිට එහෙම රුදාවක් නෑ. මෝඩකමට කවුරුහරි හිතනවා නම් ඒ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා කියලා අපිට ඒකෙන් තියෙන දේශපාලන වාසිය මොකක්ද? අපිට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ වැඩ කිරීමෙන් තියෙන වාසි පමණයි. මේ මෝඩ කතාව තවත් කියන්න එපා කියලා නිකන් සවුත්තු වෙන්නේ තමන්ම විතරයි.

මිරිහාන සිද්ධිය ඇති වෙච්ච ගමන් අපිට චෝදනා කළා. අද වෙනකන් එතන එක් ජ.වි.පෙ. පුද්ගලයෙක් අත්අඩංගුවට අරන් තියෙනවාද. මේක ගිනි තිබ්බේ මේ ආණ්ඩුවේ ඇමැතිවරු මන්ත්‍රිවරු. අද වෙනතුරු අපි ඒකට සම්බන්ධයි කියලා ඔප්පු කරලා නැහැ. 09 වැනිදා උදේ සිද්ධියක්  වුණා. ඒ සිද්ධිය ඉතා ම්ලේච්ඡ අමානුෂීය සිදුවීමක්. එතැන හිටපු අය කාන්තාවන්ට එදා පොල් පිත්තෙන් ගැහුවේ. නීති ක්‍රියාත්මක වුණේ නෑ. නීතිපතිවරයා දහවනදා නිකුත් කළා මෙතන අපරාධමය වරදක් තියෙනවා. ඒ අය වහාම අත්අඩංගුවට ගන්න. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. එක්කෙනයි ගත්තේ.

එහෙම තියෙද්දී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා 18 වැනිදා මේ පාර්ලිමේන්තුවට කියනවා 450ක් අත්අඩංගුවට ගත්තා 150ක් ජ.වි.පෙ. කියලා පොලිස්පතිතුමා කිව්වා කියලා. පට්ටපල් බොරුවක් කිව්වා. පොලිස්පතිවරයා එහෙම දෙයක් කියලා නෑ. 18 වැනිදා උදේ වෙනකොට 883 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. එතකොට අරුන්දික ප්‍රනාන්දු කියනවා 450ක් අත්අඩංගුවට අරන් ඉන් 150ක් ජේ.වී.පී. කියලා. එවැනි දේශපාලන පසුබිමක් තියෙනවාද කියලා මම පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඇහුවා. එතුමා කිව්වා නෑ කියලා. එහෙම දෙයක් දන්නේ නෑ

කියලා.

මට දේශපාලනය අප්පිරියයි ආයේ නම් පාර්ලිමේන්තුව  පැත්ත පළාතේ  එන්නේ නෑ : – අලි සබි්‍ර

මම නම් මේ සම්පූර්ණ දේශපාලන සංස්කෘතිය ගැන ඉන්නේ අප්පිරියාවෙන්, ආයේ මේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එන්නේ නෑ යැයි අමාත්‍ය, ජනාධිපති නීතිඥ  එම්. යූ. අලි සබි්‍ර පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අපේ රටේ ඉතිහාසයේ තියෙනවා විශාල  ආර්ථික අර්බුදයක්. මේ සත්‍ය අපි පිළිගන්න ඕනේ. එළියේ මිනිස්සු ප්‍රශ්නවලින් මිරිකෙනවා. ගෑස් නෑ, තෙල් නෑ, විදුලිය නෑ. දැඩි පීඩනයක මිනිසුන් ඉන්න බව අපට පේනවා. කොහොමද මේකෙන් එළියට එන්නේ? මේ ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් අප එළියට ආ යුතුයි. අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන ගියොත් විජය ආ දවස වෙනකන් ඇඟිල්ල දිගු කරන්න වෙයි. මේ මිනිස්සුන්ට මේ ඇත්ත  කියන්න ඕනෑ.

සමහරු මගෙන් අහනවා ඔයා බයද කියලා. ඔව් මම බයයි. මම යුද්ධ කරන්න නෙවේ මේ දේශපාලනයට ආවේ. මම වෙනුවෙන්, මගේ දරුවෝ වෙනුවෙන්, මවුපියන් වෙනුවෙන් මම බයයි. මම සතයක් හොරකම් කරලා නෑ. මම මේ වෙනකොට මිලියන 42ක් බදු ආදායම් ගෙවලා තියෙනවා. රටට දෙයක් කරන්න ඒ අපි මෙතෙන්ට ආවෙ. ඉගෙන ගත්තා කියන අය අර අලි සබි්‍ර මහතාගේ ගෙදර ගිනි තිබ්බම උජාරුවෙන් හිටියා. සමහර නීතිඥයන් පවා.  බුදුන් වැඩිය රටක් මේ. සියලු සත්ත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන රටක මොකක්ද මේ ලබන කාලකණ්ණි සතුට? මම පිළිගන්නවා අපි ආර්ථිකය සෙවීමේදී කියැවීමේදී අපිට යම් යම් අර්බුද තිබූ බව. ඒත් කාටද අයිතිය තියෙන්නේ නීතිය අතට ගන්න. මිනිස්සුන්ට ගහන්න? මේවා ගැන වරදක් වුණා නම් ඒ ගැන සොයා බැලිය යුතුයි.

අගමැති රනිල් රටට ඇත්ත ප්‍රකාශ කළා වගේම රාජපක්ෂලා එක්ක ඇති ඩීල් එකත් හෙළි කරන්න  : – ශානක්‍යයන් රාසමානික්කම්

“අගමැති රනිල් වික්‍රමසිංහ රටට ඇත්ත ප්‍රකාශ කළා වගේ ඔහු රාජපක්ෂලා සමඟ ඇති ඩීල් එකද රටට හෙළිකරන්නැයි” දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රි ශානක්‍යයන් රාසමානික්කම් පැවැසීය.

මුලින්ම එදා ප්‍රචණ්ඩත්වයෙන් ඝාතනයට ලක් වූ ඒ මන්ත්‍රිට අනෙක් පහරකෑමට ලක්වූ අයටත් මගේ ශෝකය ප්‍රකාශ කරනවා. එදා ගෝඨා ගෝ ගමටයි, මයිනා ගෝ ගමටයි කරපු ප්‍රහාරය තරයේ හෙළා දකිනවා. ඒක රජය විසින් කළ ප්‍රහාරයක් බව ඉතා පැහැදිලියි. ඒක කළ බව රජයේ මැති ඇමැතිවරුන්ම පිළිගෙන හමාරයි.

ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට එවන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නම් ජනතාව නියෝජනය කරන්න, මේ පාර්ලිමේන්තුව ඇතුළෙ කතා කරන්න ඒ ගැන. හැබැයි ඒ මන්ත්‍රිවරු පහුගිය කාලය තුළම ජනතාවගේ වගකීම ඉෂ්ට නොකිරීම නිසා තමයි මන්ත්‍රිවරුන්ගේ ගෙවල්වලට, වාහනවලට ප්‍රහාර එල්ල කළේ. අපි පැහැදිලිව පිළිගන්න ඕනේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට එව්වේ ජනතාව නියෝජනය කරන්න කියන එක මිස රාජපක්ෂ පවුල නියෝජනය කරන්නවත්, රාජපක්ෂ පවුලේ කැම්පේන් එක ගෙනයන්න හෝ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ ආරක්ෂා කරන්නවත් නෙමේ.

අලි සබි්‍ර ඇමැතිතුමා ඔය විදිහටම ජනතාව ඉස්සරහට ගිහිල්ලා කියන්නකෝ 20 ගැන. ඒක කියන්න බෑ ජනතාවගේ ජනවරම පාවා දුන්නා. අදටත් සමහර මන්ත්‍රිවරු හැදිලා නෑ. ජනාධිපතිවරයාට විරුද්ධව කතා කරන්නේ නැහැ. අපි ජනාධිපතිට අප්‍රසාදය ගෙනාපු යෝජනාවට සහාය දෙන්නෙ නෑ. ඒ කියන්නේ ඔවුන් ජනතාව වෙනුවෙන් හිටගන්න කැමැති නැහැ ලෑස්ති නෑ කියන කාරණය පැහැදිලිව තියෙනවා.

මට තියෙන ප්‍රශ්නය මේ ලක්ෂ ගාණක තරුණ තරුණියන් කළ අරගලය පාවාදීමයි. වැඩිකල් යන්න කලින් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්න ඉඩ තියෙනවා. නාමල් රාජපක්ෂ විපක්ෂ නායක වෙන්නත් ඉඩ තියෙනවා. මේ වගේ මොනවා හරි ඩීල් ටික ඔබතුමා කරයි. ජාතියට කරපු අවංක ප්‍රකාශය වගේ මේ ටිකත් කියන්න. ඔබ මොන පදනම මතද තනතුර භාර ගත්තේ කියලා කියන්න.

රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක් ඕන දෙයක් කරකවන්න පුළුවන් එයාට විතරයි මොළේ තියෙන්නේ කියන වගේ කියන මිනිස්සුන්ගෙන් මම ප්‍රශ්න කිහිපයක් අහනවා. පළමුවැනි එක තමයි අද මෙතන ඉන්නේ රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ ලංකාවේ පැරැණිම පක්ෂ නායකයා. අනූවක් විතර හිටපු පක්ෂය අද එතුමා තනියෙන්. අද ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ හිරකරුවා. ඔහු රනිල් වික්‍රමසිංහට පුළුවන්ද මේ හොරු අල්ලන්න.

එතුමට පුළුවන්ද හොරකම් කරපු සල්ලි ගන්න. කොල්ලුපිටිය වාලුකාරාමයට ගිහිල්ලා දිවුරුම් දීලා ආශීර්වාද ගන්නකොට වික්‍රමසිංහ මහත්තයා ළඟ හිටියා දයා ගමගේ හිටපු මන්ත්‍රිවරයා. ඔහු මහජන බැංකුවට බොල් ණය තිබුණ කෙනෙක්. එහෙව් කෙනෙක්ගෙන් මේ රටේ ණය ගෙවන්න කීයක් හරි ඉල්ලාගන්න පුළුවන්ද මෙතුමට. මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට පරීක්ෂණ පටන් ගන්න පුළුවන් නම් ඒ සල්ලි ආපහු ගන්න පුළුවන්ද? බෑ.

ද්විත්ත්ව පුරවැසියනට පාර්ලිමේන්තුව එන්න බැහැ කියන එක සම්මත කරගන්න පුළුවන්ද? ඒකට විරුද්ධ කතා කරන්න පුළුවන්ද? ඒ වගේම ඩොලර් මිලියනයක්වත් රටට නැති මොහොතේ ඇමැතිවරුන් පඩි නැතිව වැඩ කරනවලු. ඇමැතිවරුන්ට සංවර්ධන කටයුතු කරන්න කොහෙන්ද සල්ලි?

විදෙස් සංචිත ඉහළ දමන්න දැන්වත් නිවැරැදි ක්‍රියාමාර්ග ගත යුතුයි  : – වසන්ත යාපා බණ්ඩාර

අපට තිබෙන්නේ විදෙස් සංචිත ප්‍රශ්නයක්. එබැවින් සංචිතවල ප්‍රමාණය වහාම ඉහළ දැමීමට දැන්වත් නිවැරැදි ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර පැවැසීය. “අපි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දහදෙනෙක් ඉල්ලීමක් කළා සර්ව පාක්ෂික ආකාරයට රටේ පාලනය ගෙනිගිහිල්ලා එළියේ ඉන්න ජනතාවට විශ්වාසය තබන්න පුළුවන් ආකාරයට පාලනයක් ගෙන ආ යුතුයි කියලා. නමුත් අපි කිව්වා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ අගමැතිවරයකු යටතේ තමයි මේ සර්ව පාක්ෂික එකතුව ගොඩනඟන්න ඕනෑ කියලා. නමුත් අපි කියපු ආකාරයට නෙවෙයි මේ ගොඩනැඟීම සිදු වුණේ.

අපි කිව්ව ආකාරයට නොවුණත් මේ වෙලාවේදී අපි කියන්න ඕනෑ මේ ගොඩනැඟෛන පාලන තන්ත්‍රය කඩා බිඳ දමන්න, ඒකට අකුල් හෙළන්න අපි උත්සාහ කරන්නේ නෑ. මේ ගොඩනැඟෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයත් එක්ක ආණ්ඩු පක්ෂයේ අපේ මන්ත්‍රිවරුන්, විපක්ෂයේ මන්ත්‍රිවරුන් මේ එක්ව ගොඩනඟන තන්ත්‍රය තුළ අපි විශ්වාස කරනවා ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ එළියේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙයි කියලා.”

ගෝල්ෆේස් අරගලයට පහරදීම හා ගෙවල්වලට ගිනි තැබීම ගැන සොයන්න කමිටුවක් පත්කරන්න : – මහින්දානන්ද අලුත්ගමගේ

ගෝල්ෆේස් අරගලයට පහරදීම හා ගෙවල්වලට ගිනි තැබීම ආදී සියල්ල පිළිබඳව පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුව ඇතුළේ වෙනම කමිටුවක් පත්කරන්නැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය. 

මියගිය අමරකීර්ති අතුකෝරල  මන්ත්‍රිවරයා වෙනුවෙන් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඔහු ඉතාමත්ම ම්ලේච්ඡ  ආකාරයට තමයි පහරදීලා මැරුවේ. ඒ වගේම එදා උද්ඝෝෂණයේදී ගහපු ඒ කාරණය අපි අනුමත කරන්නේ නැහැ. මේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුවීම් 812ක් සිදුවී තිබෙනවා. 1051ක් අත්අඩංගුවට අරන් තියෙනවා. 473ක් අත්අඩංගුවේ ඉන්නවා. ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු 8ක්, සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ පක්ෂ  සංවිධායක මගේ කාර්යාලය ගිනි තියන්න ආවේ.  ඔහු ඇතුළු  මන්ත්‍රිවරුන් 4 දෙනෙක් ඉන්නවා.

අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ ප්‍රබලයන් විශාල පිරිසක් අත්අඩංගුවේ ඉන්නවා. මේ පිළිබඳව නම් කියන්න ගත්තොත් අලව්ව ප්‍රාදේශීය සභාවේ ජවිපෙ නන්දසිරි මන්ත්‍රිවරයා  වීරකැටිය මන්ත්‍රි මොරටුව නගර සභාවේ සභාපතිට ගහන්න ආවේ ජවිපෙ මන්ත්‍රිවරයා, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රි කුරුණෑගල නගරාධිපති ගෙදරට ගිනි තිබ්බේ. මම මේ තොරතුරු  සභාගත කරනවා. අනුරාධපුරයේ ජවිපෙ මන්ත්‍රිවරු ඇතුළු ක්‍රියාකාරීන් මීට සම්බන්ධයි. ඒවා ඔක්කොම  සභාගත කරනවා.

මගේ ළඟ තියෙනවා පොතක්. මේ තොරතුරු  ඔක්කොම තියෙනවා මේ පොතේ. මම විපක්ෂ නායකතුමාට මේ පොත දුන්නා. මම ඒක අනුර දිසානායක ජවිපෙ මන්ත්‍රිතුමාට දෙනවා. එතුමා අද මෙතන නෑ.  විජිත හේරත් ඉන්නවා. මම එතුමාට මේ පොත භාර දෙනවා. මේ තමයි තමුන්නාන්සේලා එකතුවෙලා කරපු දේවල්. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙ, ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ, අහිංසක මිනිසුන්ගේ ගෙවල් ගිනි තියපු හැටි මේ සියල්ලම අපි ඒකරාශී කරලා හදලා තියෙනවා. කිසි දවසක මෙහෙම කරලා නෑ.

මට මතකයි 1977 ඒ අපි පැරදිලා  මගේ අප්පච්චි එදා පාර්ලිමේන්තු මන්ත්‍රි. අපේ ගෙදරට තුන් පාරක් ගිනි තිබ්බා. මට අවුරුදු හයයි. මට මතකයි මට මගේ කලිසමේ මුත්‍රා ගියා ඒක දැක්කා. අපි සති ගණන් කැලෑවල හැංගිලා හිටියා. මේ රටේ යුග පුරුෂයෝ හිටියා. මහින්ද රාජපක්ෂ කියන්නෙත් එවන් යුග පුරුෂයෙක්. අවුරුදු 30ක යුද්ධය අවසන් කරලා මේ රටට සාමය උදාකරලා මේ රටේ මහා දැවැන්ත පරිවර්තනයක්, නව යුගයක් බිහි කරපු ඒ ගෞරවනීය නායකයාගේ සමුගැනීම අපේම හිටපු අදෘශ්‍යමාන බලවේගයක් විසින් අවාසනාවන්ත තැනකට පත්කළා.

රටේ ඇති වූ ආර්ථික පීඩනය වැඩි වී ‘ගෝඨාගෝගම’ කියන තේමාව හැදුණා : – කාවින්ද ජයවර්ධන

“ආර්ථික වශයෙන් රට තුළ ඇති වූ පීඩනය වැඩිවීම මඟින් ‘ගෝඨාගෝගම’ කියන තේමාව නිර්මාණය වුණා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන පැවැසීය.

“අද බොහෝදෙනා මේ ගෝඨාගෝගම ගැනත් මේ අරගලය ගැනත් කතා කරනවා. හැබැයි අපි මේ ‘ගෝඨාගෝගම’ නැති නම් ‘මයිනාගෝගම’ මේ අරගලය පිළිබඳව කතා කිරීමේදී ප්‍රශ්නය මුලට යන්න සිදුවෙනවා. 2019 ජනාධිපතිවරණය අවසන් වෙලා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වෙනකොට ඔහුගේ මැතිවරණයට සහයෝගය දුන්න කෝටිපති ව්‍යාපාරිකයන්ට බදු සහනාධාර දුන්නා. වැට් එක අයින් කළා.

ඒවා එක්ක රාජ්‍ය ආදායම කඩාවැටුණා. රුපියල් බිලියන 2,000ක්ව තිබුණු අය _ වැය ආදායම රුපියල් බිලියන 1000 දක්වා අඩු වුණා. මේ සමඟම රටේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න විදිහක් නෑ. රාජ්‍ය ආයතන නඩත්තු කරන්න විදිහක් නෑ. රජය ටි්‍රලියන තුනක් අච්චු ගැහුවා. මේවා සමඟ රටේ උද්ධමනය වැඩි වුණා. රටේ ජනතාවට අධික මිලක් අනවශ්‍ය භාණ්ඩවලට ගෙවන්න සිදු වුණා. ජනතාව දිලිඳු වුණා. අපි කිව්වා මේ දේවල් කරන්න එපා කියලා.

දරුවන්ගේ විභාගය කඩාකප්පල් නොවන්න කටයුතු කරන්න : – බන්දුල ගුණවර්ධන

මේ විදුලිය කැපීම නවත්වන්න කටයුතු කළ යුතුයි. නව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා සමඟ එක්ව සඳුදා සිට දරුවන්ට බයෙන් සැකෙන් තොරව විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය වටපිටාව සලසන්න.

උද්ඝෝෂණකරුවන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ විභාගය කඩාකප්පල් නොවෙන්න කටයුතු කරන ලෙස.

පාර්ලිමේන්තුවේ පළමු පැය ‘කාලකණ්ණිගේ හෝරාව’ කියා මා හඳුන්වනවා : – ඩලස් අලහප්පෙරුම

“පාර්ලිමේන්තුවේ පළමු පැය ‘කාලකණ්ණිගේ හෝරාව’ කියලා හඳුන්වනවා” යැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවැසීය.

මම ඉල්ලීමක් කරනවා මේක මොන්ටිසෝරියක් බවට පත් වෙයි මෙහෙම ගියොත්. කථානායකතුමා වෙනුවට මොන්ටිසෝරි ගුරුතුමා කියලා ඔබතුමාට කියන්න පටන් ගනී. ඒ නිසා ස්ථාවර නියෝගවලට පමණක් සීමා වී ඔබතුමා දැඩිව කටයුතු කරන්න. විශේෂයෙන්ම පළමු පැය ඇතුළත පාර්ලිමේන්තුව මෙහෙයවීමේදී විශ්වසනීයභාවය පිළිගැනීම ව්‍යවස්ථාවේ තියෙන උත්තරීතරභාවය නාම විශේෂණයක් පමණක් නොකර පවත්වාගෙන යෑම සඳහා ඔබතුමා ඒකට නායකත්වය දෙන්න.

කිසිලෙසක අර සජීවීව විකාශය වෙන රූපවාහිනි නාළිකා දිහා බලලා කටයුතු නොකළ යුතුයි. අපි මේ සති හතරක් තිස්සේ කතා කළා. එකිනෙකාට ඇඟිල්ල දික් කළා. කෑම ගැන කතා කළා. වරප්‍රසාද ගැන කතා කළා. බැනගත්තා. කිසි දෙයක් මෙම සති හතර අවසානයේ සිදුවී නැහැ, පාර්ලිමේන්තු සහෝදරයෙක් ඝාතනය වීම හැර.

අනුරාධා හේරත්,
සඳුනි ගමාරච්චි