රට බේරගන්නවා කියලා ජනතාවගෙන් එදා බලය ගත්ත පිරිසගෙන්  අද රට බේරගන්න වෙලා

0
112

අද රට බේරාගත යුතුව තිබෙන්නේ “අපි රට බේරා ගන්න ආවා” යැයි කියන කණ්ඩායමෙන්ම බව ජවිපෙ ප්‍රමුඛ  ජාතික ජන බලවේගයේ නායක   කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (22දා) නුවරඑළිය සමුළුව අමතමින් අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ යනු දූෂිත රාජපක්ෂලා ආරක්ෂා කිරීමට පමණක් පැමිණි රාජපක්ෂලාගේ එකම ගැලවුම්කරුවා බවත් රනිල්  යනු තනිකරම ජිල්මාට් එකක් පමණක් බවත් ජවිපෙ නායකයා පැවැසීය.

 මෙම අවස්ථාවට විශාල පිරිසක් රැස්ව සිටියහ.

 එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“අපේ රට දීර්ඝ කාලයක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාකය අද මුළු රටක්ම අත්විඳිනවා. ජනතාවට මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න බැරි වෙලා. දරාගන්න බැරි ජීවන වියදමක්. ඒ වගේම භාණ්ඩ හිඟයක් රටේ තියෙනවා. මේ පීඩනයට එරෙහිව ජනතාව පාරට බැස්සා. පාලකයා කිසිවක් ඒ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දුන්නේ නැහැ. එම ඉල්ලීම් හාස්‍යයට ලක්කළා. ජනතාව පාලකයන්ට එළියට බහින්න කියලා කිව්වා. එම ඉල්ලීම ඉතාම සාධාරණයි. ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, රාජපක්ෂ  පවුලට මේ ආණ්ඩුවටම ගෙදර යන්න කිව්වා.

ගෝල්ෆේස් එකේ දවස් 45ක් තරුණ අරගලයක් තියෙනවා. කවදාවත් පාරට බැහැපු නැති පිරිස් පවා අද  පාරට බැහැලා තියෙනවා. ඉතින් අද ගෝඨාභය රාජපක්ෂට පාරට බහින්න බැරි වෙලා. බංකරයක හැංගිලා ඉන්න වෙලා. මහින්ද රාජපක්ෂට විශේෂ ගුවන් යානාවලින් නාවික හමුදා කඳවුරක හැංගිලා ඉන්න වෙලා. රාජපක්ෂ පුතුන්ට රට හැර යන්න වෙලා. රාජපක්ෂලා හොරාකාපු දේපළ යළි පවරා ගෙන ආර්ථිකයට නව ගමනක් දෙන්න වංචනිකයන්ට දඬුවම් දෙන්න කියලා තමයි ජනතාව පාරට බැස්සේ. ගෝඨාභය – මහින්ද බිත්තියටම හේත්තු වෙලා හිටියේ. මේ විනාශකාරී පාලකයා බිත්තියටම හේත්තු වූ පසු හැමදාම රාජපක්ෂලාගේ ගැලවුම්කරු රනිල් අගමැතිකම ගත්තා මං ඕගොල්ලන් බේරගන්නම් කියලා. ජනතාව පුදුම වුණා. අපිට පෙන්නුවෙ මේ කණ්ඩායම් දෙක දේශපාලන කණ්ඩායම් දෙකක් කියලා.

මුළු රටම ගෝඨාභයට ගෙදර යන්න කිව්වා. එදා 2015දී රනිල් ගෙදර යැව්වා. ඒ වගේම අවුරුද්දක් තිස්සේ එජාප ජාතික ලයිස්තුවට මන්ත්‍රිවරයෙක් දැම්මෙ නෑ. හොරගල් ඇහිඳ ඇහිඳ  හිටපු රනිල් අන්තිමට පාර්ලිමේන්තුවට ආවා. රනිල්ගේ මන්ත්‍රිකමත් අහිමි වන තත්ත්වයට තමයි පත් වෙලා තිබුණේ. හැබැයි අන්තිමට ‍රනිල් අගමැති වුණා. කාලාන්තරයක් මේ දේශපාලන විගඩම අපි අත්වින්දා. මේ කණ්ඩායම් දෙක  සමාජයට කණ්ඩායම් දෙකක් වුණාට එකම කණ්ඩායමක්. රනිල් වික්‍රමසිංහ යුරෝපීය ඇඳුමෙනුත් මහින්ද රාජපක්ෂ ගිරවා පත්තුවේ සාටකයෙනුත් විතරයි වෙනස් වන්නේ. හැබැයි මේ දෙකම එකක්. දෙකක් නොවෙයි.

 2015 විශාලතම ජනතා උද්ඝෝෂණ තිබුණා. රාජපක්ෂ හොර නඩය ගෙදර යවන්න, ඒ දේපළ පවරා ගන්න කියලා. නමුත් 2015 බලයට ආ රනිල් නැවත රාජපක්ෂලා ආරක්ෂා කෙරුවා. ඇවිත් මහ බැංකු මංකොල්ලය මහ දවාලේ කළා. ආර්ථිකයේ විශාල කඩා වැටීමකට මේක බලපෑවා.

රනිල් අත්අඩංගුවට ගන්නකම් මට නින්ද යන්නෙ නෑ කියලා මහින්දානන්ද අලුත්ගමගේ  කිව්වා අපිට මතකයි. මේ දේවල් මෙහෙමයි වෙන්නෙ කියලා  ජනතාව කලබල විය යුතු නෑ. තේරුම් ගන්න බැරි අපැහැදිලි දේශපාලනයක් මේ දෙගොල්ල අතර නැහැ. මේ ඔක්කොම යාළුවෝ. ඩීල්කරුවෝ. ඒ මොහොතේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. ගෙදර යන්න ගෝඨා කියලා ගෝඨාභය  රාජපක්ෂගේ ගෙදරට අද  රනිල් යනවා. ගෙදර යන්න කියපු ගෝඨාභයගේ ගෙදරට හරීන් යනවා. මනුෂ යනවා. මේකේ තේරුම් ගන්න බැරි දෙයක් නැහැ.

රනිල් අගමැති වෙලා  ආවා. රාජපක්ෂලා හිටි තැන්වලින් ඔළු එළියට දාන්න ගත්තා. බැසිල් පාර්ලිමේන්තුවට ආවා. ගෝඨාභය ඇමැතිකම් බෙදනවා. රනිල් කිව්වා මම ආවේ රට බේරගන්න කියලා. මේවා අලුත් කතා නෙමෙයි. එදා කරු ජයසූරිය ඇතුළු 17ක කණ්ඩායමක්  මහින්ද ගාවට ගියෙත් ඕක කියලා. රාජිතලා ගියේත් රට බේරගන්න කියලා. 2015 මහින්දගේ කට්ටිය රනිල් ගාවට ගියෙත් රට බේරගන්න කියලා. දැන් තව කණ්ඩායමක් ගෝඨාභය  එක්ක එනවා රට බේරගන්න කියලා. දැන්  රට බේරගන්න වෙලා තියෙන්නෙ  අපි රට බේරගන්නවා කියන අයගෙන්මයි.

අපිට මෙහෙම වුණේ ස්වාභාවික ව්‍යසනයක් නිසාද? ඉඩෝරයක් නිසාද? එම නැත්තම් චණ්ඩ මාරුතයක්  හෝ සුනාමියක් නිසාද? නෑ. මේක අහඹුවක් නෙමෙයි. දීර්ඝකාලීනව  අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය හින්දා. ඒකෙ ගොදුරක් බවට අපි පත්ව තිබෙනවා. 2019 මුදල් අච්චු ගැහුවා කෝටි 400ක්. පසුගිය මාස විස්සට විතරක් කෝටි එක්ලක්ෂ තිස් හත්දාහට වඩා  සල්ලි අච්චු ගැහුවා.

උද්ධමනය වැඩි වෙන්නේ නෑ කිව්වා කබ්රාල්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අනුව තමයි රටක මුදල් අච්චු ගහන්න ඕනෑ. හැබැයි කබ්රාල්  උද්ධමනයට අනුව උද්ධමනයේ මුදල් අච්චු ගැහුවා. මේක අහඹු ප්‍රතිඵලයක්ද. 2020 භාණ්ඩාගාරයට ජාතික ආදායමෙන් ආවේ සියයට නවයයි. රාජපක්ෂලා රටේ තුනෙන් එකක පංගුවකට බදු සහන දීලා  මේ රටට රුපියල් කෝටි 65,000ක්  අහිමි කළා. රුපියල් අච්චු ගහලා  ගහලා උත්තර හොයන්න බැහැ. තව තව අර්බුද මතු වුණා. රුපියල් අච්චු ගැහුවට ඩොලර් ඉපයුවේ නැහැ. මේකත් අහම්බයක්ද?

2021 ඩොලර් කෝටි 2,060 භාණ්ඩ  ආනයනයට ගිහින් තියෙනවා. හැබැයි අපනයනය බාගෙට බාගයක් අඩුයි. මම මේ කිව්වේ උදාහරණ දෙක තුනක් විතරයි. ඩොලර් හොයන්න රටේ ඉතිරි දේපළ ටිකත් විකුණන්න හදන්නෙ. ඩොලර් ඕනෑ වෙන්න වෙන්න ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විකුණලා ණය ගත්තා. අපි ණය ගන්නවා. විකුණනවා. අන්තිමට අපිට ණය දෙන්නේ නැතිව ගියා. එතැන තමයි අපි හිර වුණේ. ජාත්‍යන්තර rating සමාගම් ලංකාවට ණය දීම අවදානම් කියලා තීරණය කළා. අපි හැම ලෝකෙටම ණයයි. මහ බැංකුව සතු ඩොලර් සංචිත ටිකත් හිඳිලා ගියා. රනිල් වික්‍රමසිංහ කිව්වා එයා අගමැතිකම ගද්දි මිලියන 5යි ඉතිරි වෙලා  තිබුණෙ කියලා. ඒකත් පතුලටම හිඳුණා. දැන් විකුණන්න කියලා ලොකු ලොකු දේවල් රටේ නෑ. ඔක්කොම විකුණලා ඉවරයි. ඉතින් දැන් ඩොලර් නෑ. බඩු ගෙන්නන්න බෑ. ණය ගෙවන්නයි බඩු ගෙන්නන්නයි සල්ලි නැහැ. දැන් ගෑස් ගෙන්නන්න බැහැ. තෙල් ගෙන්නන්න බෑ.

සියලු ආනයනික භාණ්ඩ මිල ඉහළ ගියා. ඩීසල්, පෙට්රල්, කිරිපිටි, ගෑස් පෝලිම් විශාල ලෙස රටේ නිර්මාණය වුණා. ඕක තමයි අපිට වුණු අවාසනාව. මේකට උත්තරයක් ලෙස රනිල් තෝරාගෙන තියෙනවා. සමහරු හිතනවා මහින්දට ණය ගන්න බැරි වුණාම රනිල්ට ලෝකෙ ණය දෙයි කියලා. එහෙම යාළුකම්වලට ලෝකෙ රටවල් ණය දෙන්නෙ නෑ. ඉන්දියාවෙන් මම වෙලාවක ඇහුවා ණයක් දෙනවද කියලා. ඔවුන් කිව්වා ඉන්දියාවේ ජනතාවගේ සල්ලි තමයි ණය වශයෙන් දෙන්නේ, ඒ සල්ලි අපිට ආපහු ගෙවයිද කියලා විශ්වාසයක් ගොඩනැඟෙන්න ඕනෙ කියලා. රනිල් කියන්නේ කිසිම තෙතමනයක් නැති මිනිහෙක්.

ඕන දෙයක් විකුණනවා. වරාය විකුණන්න ගිය වෙලාවෙ එදා චීන තානාපති කාර්යාලයෙන් චෙක්පත ගත් ආකාරය  ඔබට මතකද? ලෝක කුසලානයක් ගනිද්දි  චෙක් පත ගන්නවා වගේ තමයි රනිල් වික්‍රමසිංහ ඒ චීන චෙක්පත ගත්තේ. ඉන්දියානු ඔයිල් සමාගමෙන්  තුනෙන් එකක්ම වික්කෙ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු ගොඩක් දේපළ වික්කෙ රනිල්. රක්ෂණ සංස්ථාව වික්කා. යන්තම් නඩුවකින් ඒක බේරගන්න හැකිවුණා.

අගමැතිකම ගත්තා කියලා මේ අර්බුදය විසඳන්න බෑ. රනිල් කියන්නේ තනිකර ජිල්මාට් එකක්. බිත්තියටම හේත්තු කරලා හිටපු රාජපක්ෂලාගේ ගැලවුම්කරු රනිල් බවට පත්වුණා.  ප්‍රංශ බස්, ගුවන් යානා මිලදී ගන්න ගනුදෙනුවලදී රනිල් වික්‍රමසිංහ හැසිරුණු ආකාරය අප නැවත මතක් කළ යුතු නැහැ. පැන්ඩෝරා පේපර් එළියට ආවා. මේවා තමයි ඩොලර්. එවකට චීන සමාගම් මහින්ද රාජපක්ෂට ඩොලර් මිලියන ගණන් චීන සමාගම් කිහිපයකින් දීලා තියෙනවා. අඩුම තරමේ හම්බන්තොට ඉදිකළ රෝහලකින් පවා පගා ගත්තු කට්ටිය මේ රාජපක්ෂලා.

 රනිල් වික්‍රමසිංහගෙන් අපි අහනවා එදා ඔබේ ආණ්ඩුවේදී ඩොලර් බිලියනයක් ඩුබායි බැංකුවක සඟවාගෙන තියෙනවා කියලා එවකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී රවී විද්‍යාලංකාර හා අල්ලස් දූෂණ කොමිසමේ දිල්රුක්ෂි ඩයස් ඇතුළු ප්‍රසිද්ධ නීතිඥවරයෙක් ඒ ගැන පරීක්ෂණ කරන්න ඩුබායි ගියා. ඒ පරීක්ෂණයට මොකද වුණේ?  කියලා රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්න. ඉන්දියාවේ වටේ චීන වටේ ජපානය වටේ යන්න ඕනේ නැහැ. මේ පරීක්ෂණ ගැන මොනවද වෙන්නේ කියලා අපිට කියන්න. ඒ වගේම අපි ෆයිල් තොගයක් පහුගියදා එළියට දැම්මා. තව තව ඒවා ළඟදීත් මට ආවා. ගෙවල් ගත්ත ඒවා ගෙවල් වික්ක ඒවා. එදා ෆයිල් එළියට දාපු දවසේ උදෑසනත් මගේ දුරකථනයට පුද්ගලයෙක් මිග් ප්‍රහාර ගනුදෙනු ගැන නවතම තොරතුරු ටිකක් ලබාදුන්නා.

මේ ආණ්ඩුවේ ඇමැතිකමක් අරන් කරන්න බැරිද කියලා සමහරු අහනවා. මේ හොරු එක්ක  ආණ්ඩුවක  ඇමැතිකම් කරන්න පුළුවන්ද? ඒ ආණ්ඩුවට මම ගියොත් මම විතරක් ඉතිරිවෙයි. අනෙක්් ඔක්කොම හිරේ ඉඳියි. ඇමැතිකමක් බන්දේසියක  තියලා අනුර මේක ගන්න කියල දෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයට පමණයි වංචනිකයන්ට දඬුුවම් දිය හැක්කේ. මේ අර්බුදය මේ වංචාවල විශාල පංගුවක්. රටක් හැටියට ඩොලර් බිලියන 33ක් ණයයි. ඒ ඇතුළේ ඉන්දියාව දුන් ක්‍රෙඩිට් ලයින් එක ඇතුළු තව කිහිපයක් මෙම ණයවලට ඇතුළත් නැහැ. ඒ ඔක්කොම එකතු කළොත් ඩොලර්  බිලියන 36 පනිනවා. අපේ වරායවල් තිහක් ණයයි. ආසන්න වශයෙන් බලාගාරවල් තිස්හතක් ණයයි. රටේ ණය කන්දක් ගොඩගැහිලා. අපිට ඒ ණය කන්දෙන් ගොඩඑන්න සැලැස්මක් තියෙනවා. රනිල්ට දැන් අප සතු ජනබලය පෙන්වන්න ඕනේ.

එදා මැදමුලන ළඟින්  යනවිට හයියෙන් හුස්මක්වත් නොගත්ත අය අද  මැදමුලන වට කරනවා. කාල්ටන් එක ගාවින් යනකොට කිවිසුමක්වත් නොයවපු අය අද කාල්ටන් නිවෙස වටලනවා. එවැන ජනතාවගේ සාමූහික බලයෙන් ගොඩනැඟිච්ච දෙයක් මේ. හතුරාට එරෙහිව අපි ශක්තිමත් වෙන්න ඕනෙ. මේ හතුරා එච්චර ප්‍රබල හතුරන් නෙවෙයි. අපි ජනතාව සියලුදෙනා සංවිධානාත්මකව පෙළගැස්විය යුතුයි. ඊට ජාතික ජන බලවේගය සූදානම්.”

අනුරාධා හේරත්