මුලතිව් කුරුන්දි  රජමහ විහාරයෙන්  හමු වූ පුරාවස්තු මෙන්න

0
34

මුලතිව් කුරුදුමලෙයි ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කුරුන්දි රජමහ විහාර සංකීර්ණයේ පැවැති ප්‍රතිමා ගෘහයේ කැණීම් කටයුතු මේ වන විට අවසන් කොට ඇතැයි කුරුන්දි රජමහ විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සාන්තබෝධි නාහිමියෝ පැවැසූහ.

ගල්ගමුවේ සාන්තබෝධි නාහිමියන් පැවැසුවේ පසුගිය මාර්තු මාසයේ ඓතිහාසික කුරුන්දි රජමහ විහාර සංකීර්ණයේ පැවැති ප්‍රතිමා ගෘහයේ කැණීම් කටයුතු ආරම්භ කළ අතර මාස දෙකක කාලයක් තුළ ප්‍රතිමා ගෘහයේ කැණීම් කටයුතු අවසන් කළ බවයි.

සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන්ගේ සහයෝගය මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරීන් ප්‍රතිමා ගෘහයේ කැණීම් කටයුතු කොට තිබිණ. කැණීම් තුළින් මාබල් බුදු පිළිමයක කොටසක්, බුද්ධ ප්‍රතිමා කොටස් කිහිපයක්, රජ කෙනකුගේ යැයි සැක කරන ප්‍රතිමාවක්, විවිධ දේව ප්‍රතිමා, ලෝකඩවලින් නිමැවූ බෝසත් පිළිමයක් වැනි පිළිම රාශියක් හමුව ඇති බවද විහාරාධිපති නාහිමියෝ සඳහන් කළහ. මුලතිව් නාගචෝල වනාන්තරය තුළ පිහිටි කුරුන්දි රජමහ විහාරය උතුරු පළාතෙන් හමු වූ විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයක් වන අතර, සද්ධාතිස්ස රජුගේ පුතකු වූ ඛල්ලාඨනාග රජු කුරුන්දි විහාර සංකීර්ණය කළ බව පැවැසේ.

කුරුන්දි විහාර භූමිය ආශි්‍රතව එවක කාලිංග මාඝ සිය ප්‍රධාන බලකොටුවක් පිහිටු බව විද්වත් මතයක් වන අතර, යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බල සීමාවේ විහාර භූමිය පැවැතිණි.

මෙරට පවතින තනි කබොක් ගලෙන් නිමැවූ පද්මාකාර චෛත්‍ය සහිත එකම නිර්මාණය මෙම විහාරස්ථානයේ දාගැබ වන බැව්ද විහාරාධිපති නාහිමියෝ පැවැසූහ.

ප්‍රතිමා ගෘහයේ කැණීම් කටයුතු හා විහාර සංකීර්ණයේ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ජගත් සුමතිපාල මහතා ඇතුළු දායක පිරිසගේ දායකත්වයෙන් කළ බවද උන්වහන්සේ සඳහන් කළහ.

විහාර සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කරනු ලබන දාගැබේ ධාතු තැන්පත් කිරීම පොසොන් පොහොයට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

කුරුන්දි විහාර සංකීර්ණය පැවැති ස්ථානයේ හින්දු කෝවිලක් පැවැති බවට උතුරු පළාතේ විවිධ පිරිස් පසුගිය සමයේ විවිධ ප්‍රකාශ කොට තිබිණි.

වවුනියාව – එන් ප්‍රියදර්ශනී

 මුලතිව් – ශෂි කුමාර්