මනෝභාවයන්ට පාට දෙන සිත්තරාවිය

0
80

මනස මුල් වූ තේමාවන් අත්හදා බලමින් චිත්‍ර අඳිමින් සමාජ මෙහෙවරක නිරත වන දක්‍ෂ සිත්තරාවියක් ලෙස ඇය හඳුදුනාගන්න පුළුවන්. තමන් උගත් දේද ලබාගත් දැනුමද අත්හදා බලමින් ප්‍රායෝගිකව භාවිත කරන්නෝ අල්ප වෙති. ඒ අතරින් සිතිවිලි හරි අපූරුවට කියාපාමින් මිනිසුන්ගේ මානෝභාවයන් තම චිත්‍ර මඟින් මැනවින් නිරූපණය කිරීමට ඇය ගන්නා උත්සාහය පැසසිය යුතුමයි.

මේ වන විටත් චිත්‍ර විෂය මැනවින් දරුවන්ට අකුරු කරන ගුරු තරුවක් වන ඇය 2021 වර්ෂයේ දී සමස්ත ලංකා සිතුවිලි සිත්තම් ගුරුවරුන්ගේ පෝස්ටර් චිත්‍ර තරග අංශයෙන් තෙවැනි ස්ථානය ලබයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මනෝ විද්‍යාව සම්බන්ධ පොත් කියවීමට වැඩි උනන්දුවක් දක්වන ඇය ඒවාහි ඇතුළත් කරුණු වැඩි වශයෙන් තේමා කරගනිමින්  චිත්‍ර ඇඳීමට පසුකාලීනව යොමු වෙයි. MUDDLED MIND Solo Art  Exhibition by Rasadi Jayalath චිත්‍ර ප්‍රදර්ශනය එහි ප්‍රතිඵලයක් වේ. සිතුවිලිවලට පණ දෙන අපූරු සිත්තරාවියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය රසාදි සුදර්ශිකා ජයලත්ය. ඇයගේ තොරතුරු බෙදා ගන්න අපත් සමඟ කතා බහට එක් වූයේ මේ අයුරිනි.

ඔබට චිත්‍ර අඳින්න පසුබිම සැකසුණේ කොහොමද?

මම පෙර පාසල් යන කාලේ ඉඳලම චිත්‍ර අඳින්න කැමැතියි. පාසල් යන කාලයේ පාසල් මට්ටමින් සහ සමස්ත ලංකා මට්ටමින් චිත්‍ර තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණ ලැබුවා. 2007 වර්ෂයේදී සමස්ත ලංකා පාසල් මට්ටමේ චිත්‍ර තරගයෙන් ද 2009, 2010 වර්ෂවල රාජ්‍ය ළමා චිත්‍ර තරගයෙන්ද ජයග්‍රහණය කරන්න හැකි වුණා. දහම් පාසලේ චිත්‍ර අංශයේ තරගවලටත් සහභාගි වෙලා ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණා. ඊට අමතරව අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විෂයක් විදිහටත් හැදෑරුවා.

ඔබ අඳින චිත්‍රවල තේමාවන් පිළිබඳව අදහස් දැක්වූවොත්?

කාලයක් තිස්සේම මම මනස මුල්වූ තේමාවන් ඔස්සේ අත්හදා බලමින් චිත්‍ර අඳිනවා. මම අඳින චිත්‍රවල මිනිසුන්ගේ චිත්ත ස්වභාවයන් නිරූපණය වෙනවා. පසුගිය කාලයේ සිට මේ දක්වා රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වයන් සලකා බලා මිනිසුන්ගේ සිතුවිලි ක්‍රියා කරන  ආකාරයන්  ගැන අවධානය යොමු වුණා. එවන් මානසික තත්ත්වයන් තේමා කරගෙන චිත්‍ර අඳින්න උත්සාහ කළා. විශේෂයෙන් මානසික රෝග තත්ත්ව තේමා කරගෙන ඒවා චිත්‍ර මඟින් නිරූපණය කරන්න උත්සාහ ගත්තා. මනෝ විද්‍යාව සම්බන්ධව ඇති පොත් කියවීමට යොමු වීමත් මනස මුල් වූ තේමාවන් ඔස්සේ අත්හදා බලමින් චිත්‍ර අඳින්න උනන්දුව වැඩි වුණා.

MUDDLED MID solo art Exhibition by Rasadi Jayalath චිත්‍ර ප්‍රදර්ශනය ඔබේම අදහසක්ද?

ඔව්, මගේම අදහසක්. මගේ චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය මාර්තු 20-21 දිනවල බොතේජු මාවතේ පිහිටි ට්චතතඥපර ජ්ධභපතඪටඥ හිදී පැවැත්වුණා.

art Exhibition එකට ඇතුළත් චිත්‍ර ඔබේම චිත්‍ර පමණද?

ඔව්, මෙය මගේ පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය. සියල්ලම මා විසින් නිර්මාණය කරන ලද චිත්‍ර නිර්මාණයන්.

චිත්‍ර මඟින් ඔබ සමාජයට දෙන්න බලාපොරොත්තු වෙන පණිවුඩ මොනවාද?

ගතවූ කාලයේ මෙන්ම වර්තමානයේ  පවතින  ස්වභාවයන් හේතුවෙන් මිනිසුන්ගේ පොදුවේ පවතින මානසික පීඩනයන් නිසා ඇතිවිය හැකි මනෝභාවයන් මම අඳින චිත්‍රවලින් මූලික වශයෙන් නිරූපණය කරන්න උත්සාහ කළා. එහිදී වේදනාව, චිත්ත පීඩාවන්, භීතිකාව වගේ වත්මන් මිනිසුන්ගේ සිතෙහි ඇති වෙලා තිබෙන ව්‍යාකූල ස්වභාවයන් හොඳින් නිරූපනය වෙනවා. ඒ වගේම සමාජයේ දකින්න ලැබෙන මානසික රෝග පහක් සම්බන්ධව දැනුවත් කරන්න චිත්‍ර ඇඳීම සිදු කළා. ඒවා නම් කාය රූප ආබාධය, පශ්චාත් ක්ලමත අක්‍රමිකතාව, භීතිකා තත්ත්වයන්, භින්නෝන්මාදය සහ ග්‍රස්ථිය අක්‍රමිකතාව.

ඊට අමතරව මානසික සිතිවිලි නිරූපණය කිරීමට සංකේතයක් ලෙස සමනලයකුගේ  හැඩතලයන් භාවිත කළා. විශේෂයෙන් මානව ජීවිතයට ගැටලුවක් වන අවස්ථාවකදී මිනිසුන්ගේ මනස ක්‍රියා කරන ආකාරය චිත්‍ර මාධ්‍ය කරගෙන ඒ මඟින් නිරූපණය කරමින්  සමාජයට පණිවුඩයක් ලබා දෙන්න මම උත්සාහ කලා.

චිත්‍රවලට ඔබ යොදන වර්ණ ගැන සඳහන් කළොත්?

වර්ණ මාධ්‍ය ලෙස සීමිත වර්ණවලින් යුතු ජෙල් පෑන් සහ දියසායම් භාවිත කරනවා. මනස මූලික තේමාවලට චිත්‍ර ඇඳීමේදී වර්ණ තෝරා ගනිද්දී මිනිසාගේ මනසේ ස්වභාවයන් නිරූපණය කිරීමට පහසු වන ආකාරයට ඒවා තෝරා ගැනීමට  සැලකිලිමත් වෙනවා. ඒ අතර රතු, රෝස, නිල් කළු වර්ණ බහුලව භාවිත කරනවා.

ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්?

2011 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වෙනවා. කැලණිය විද්‍යාලයෙන් සිවුවසරක දෘශ්‍ය කලාව හා සැලසුම්කරණය පිළිබඳව ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය හදාරා නිම කරලා 2016 වසරේ උපාධි සහතිකය ලබා ගන්නවා. චිත්‍ර කලාව සම්බන්ධව උසස් අධ්‍යාපන දැනුම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලබා ගන්නවා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදී චිත්‍ර විෂය සම්බන්ධ පොත්  නිතරම කියවා දැනුම ලබා ගත්තා.

ඊට අමතරව නිදහස් කාලයක් ලැබුණම පොත් කියවීම පුරුද්දක් වුණා. විශ්වවිද්‍යාල අධ්‍යයන කාලයේ ඉගෙන ගෙන ලබාගත් දැනුමත් පොත් කියවා ලබා ගත් දැනුමත් අත්හදා බලමින් චිත්‍ර අඳින්න හුරු වෙන්න බෙහෙවින් උදවු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේම  2014 වර්ෂයේදී VISTA නමින් Group Art Exhibition එකක් කළා. ඊට අමතරව මම 2016දී රාගම රණවිරු සෙවණේදී public Art එකක් කළා.

Art Exhibition එකට ඔබට සහාය වන්නන් ගැන සඳහන් කළොත්?

මගේ අම්මා, තාත්තා, අක්කා ඇතුළුව පවුලේ සැමගෙන්, හිතවත් ගුරුවරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් නොඅඩුවම සහාය ලැබෙනවා.

චිත්‍ර කලාව පිළිබඳව ඔබ දරන අදහස කුමක්ද?

තමන්ගේ සිතුවිලි නිදහස්ව කියා පෑමට පුළුවන් මාධ්‍යයක්.

ඔබේ පවුල, පාසල ගැන සහ අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කළොත්?

පවුලේ අම්මයි, තාත්තායි, අක්කයි, මමයි. අක්කා විවාහ වෙලා ඉන්නේ. මම 1 වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වාම මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විදුහලෙන් අධ්‍යාපනය හදාරනවා. පසුව අ.පො.ස. උසස් පෙළ සඳහා ගම්පහ සිද්ධාර්ථ බාලිකා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවා.

මම මේ වන විටත් රජයේ පාසලක චිත්‍ර විෂයභාර ගුරුවරියක් ලෙස සේවය කරනවා. කලාව සම්බන්ධ දේ තවදුරටත් අධ්‍යයනය කරමින් ඉදිරියටත් චිත්‍ර කලා ක්ෂේත්‍රයෙන් සමාජයට සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මනස මුල්වූ තේමාවන් ඔස්සේ අත්හදා බලමින් චිත්‍ර අඳිනවා.

සංවාදය සහ සටහන: ටී. නිපුනි සමෝද්‍යා වත්තෙගම