බිරිය මියගිය දුකට ලොරියකට පැන්න  සැමියා දින 12කට පසු අවසන් ගමනේ

0
51

සිය බිරිය මියගිය පුවත අසා ලොරියකට පැන දිවිනසා ගන්න ගිය පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් දින 12ක් තිස්සේ කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා 20දා මරණයට පත්ව ඇතැයි හලාවත පොලිසිය පවසයි.

අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ බංගදෙණිය, දෙමටපිටිය පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකි. මරණකරුගේ බිරිය වන  බංගදෙණිය පදිංචි දෙදරු මවක ඉකුත් 08දා මවුවරුන්ගේ දිනයදා පෙරවරුවේ තම නිවෙසට ආසන්න පාළු නිවෙසක් තුළ ගෙල වැලලාගෙන මරණයට පත්ව තිබිණි. එදිනම රෝහලට ගිය මරණකාරියගේ ස්වාමියා නැවත සිය නිවෙසට එමින් සිටියදී එකවර හලාවත – කොළඹ මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරි රථයකට පැන ඇතැයි  පොලිසිය සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

බරපතළ තුවාල ලැබූ තුවාලකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇත. දින 10ක කාලයක් කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ තුවාලකරු ඉකුත් 20දා සවස  මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මරණකරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම සිදුවීමත් සමඟ පාසල් අධ්‍යාපනය ලබන මරණකරුවන් දෙදෙනාගේ පිරිමි දරුවන් දෙදෙනා මහත්සේ පීඩනයකට හා අසරණ තතත්වයක පත්ව සිටී. හලාවත පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණඩාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් ඉරෝෂ ප්‍රියංකර (61136) ඇතුළු පොලිස්  නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

වීහේන අනුරාධ