දේශපාලන පක්ෂ දැන්  කළ යුත්තේ කුමක්ද?

0
230

වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනයේ  ආන්‍ෙදා්ලනාත්මක සිදුවීමක් බවට පත්වූයේ  අගමැතිවරයාගේ පත්වීමය. හිටපු අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බලකරමින් මසකට අධික කාලයක් පුරා උද්ඝෝෂණ පැවතිණි. පසුගිය 09 වැනිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් පසු අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවිය. එනිසා  කැබිනට් මණ්ඩලය විසිරිණි. ඉන්පසු නව අගමැතිවරයකු පත් කරන බවත්, සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත්  ජනාධිපතිවරයා ජාතිය අමතා   ප්‍රකාශ කළේය.

නව  අගමැතිවරයා  ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා පත්වන්නේ මේ අනුවය. මේ පත්කිරීමත් සමඟම යම් යම් ආකාරයේ මතවාදයක් විවිධ අංශ තුළින් සහ විවිධ මට්ටම්වලින් ඉදිරිපත් විය. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීම ව්‍යවස්ථානුකූලද යන කාරණාව බොහෝ අය විසින් මතුකළ ප්‍රශ්නයකි. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් අගමැතිවරයා පත්කරලීමේ පූර්ණ බලය පවතින්නේ  ජනාධිපතිවරයාටය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලැබෙනවා යැයි කල්පනා කරන  පුද්ගලයකු අගමැතිවරයා වශයෙන් පත්කළ හැකිය. මෙහිදී පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ආසනය  දරන රනිල්  වික්‍රමසිංහ මහතා අගමැතිවරයා හැටියට පත්කරලීම පිළිබඳ ආන්‍ෙදා්ලනාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.

 ඔහු  ජනතා ඡන්දයෙන් පත්වී  පාර්ලිමේන්තුව නියෝජනය කළ පුද්ගලයකු නොවේ. එවැනි

ප්‍රතික්ෂේපිත පුද්ගලයෙක්  මුළු රටේම අගමැතිවරයා වශයෙන් පත්වීම කොතෙක් දුරට සදාචාරාත්මකද යන කාරණා මෙහිදී ගැටලු සහගත වේ. රටේ බොහෝදෙනකු ප්‍රශ්න කරන්නේද මේ තත්ත්වයයි. අගමැතිවරයාගේ පත්වීම බොහෝ දේශපාලන පක්ෂ විසින් ප්‍රතික්ෂේප කරලීම පමණක් නොවේ  බලාපොරොත්තු වන නව  සර්ව පාක්ෂික ආණ්ඩුවක් සකස් කරලීම සම්බන්ධයෙන් යෝජනාවට පවා  ධනාත්මක ප්‍රතිචාරයක් විරුද්ධ පක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ විසින් ලබාදී නැති බව පෙනේ.

වර්තමානයේ රටේ උත්සන්න වී ඇති දේශපාලන අර්බුදය තුළ ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ඉතාමත්ම  බරපතළ වගකීමක් පවතින බව කිව යුතුය. අද පවතින ආකාරයේ  යම් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ  යුතුකම හෝ  කාර්යභාරය හරිහැටි ඉටු නොකිරීම නිසා බව සඳහන් කළ හැකිය. මේ උද්ඝෝෂණ හමුවේ රටේ  මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, විද්වතුන්, විවිධ වෘත්තීය කොටස්, විවිධ සිවිල් සංවිධාන ඉල්ලා සිටියේ පැවති කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා ඉල්ලා අස්වී පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන  අන්තර්වාර ආණ්ඩුවක්  නැතහොත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසය. එනම් සියලු දේශපාලන පක්ෂවල  සහභාගිත්වයෙන් කෙටි කාලයකට ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන කාරණාවය.

නමුත්  පැවතුණු ආණ්ඩුවේ  අග්‍රාමාත්‍යවරයා මේ කාරණය දිගින් දිගටම කල් දමමින් සිටි අතර ඔහු ජන මතයට හෝ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන්නේය.  ඒ සමඟම  පවතින දේශපාලන තත්ත්වයට තාවකාලික විසඳුමක් ලෙස  සලකා හෝ  අනෙක් පක්ෂවල මැදිහත්වීමකට රජය ආරාධනා කළ විට ඔවුන්  විසින් විවිධ කොන්දේසි ඉදිරිපත් කළ ආකාරයක් දක්නට ලැබේ. එසේම ඔවුන් තමන්ගේ පෞද්ගලික පැවැත්ම හෝ පෞද්ගලික අභිමතාර්ථයන් මුල් කරගෙන රටේ අවශ්‍යතාව මඟහරිමින් සිටි බවක් පැහැදිලි විය. බොහෝ විට සමහර දේශපාලන පක්ෂ පෞද්ගලිකව කල්පනා කළේ මේ පවතින අර්බුදය තුළින් තමන්ට වඩා වාසිදායක තත්ත්වයන් නිර්මාණය කර හැකි වේවි සහ ඒ තුළින් අනාගතයේ රාජ්‍ය බලය තමන්ට ලබාගත හැකිය යන්නය.

විරුද්ධ පක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් පුන පුනා පැවසුවේ ඊළඟ අවස්ථාවේදී ආණ්ඩු බලය ලබාගැනීම සඳහා තමන්ට  ජනතා වරමක් ලැබෙන බවය. ඒ පදනමේ සිටියා මිසක යම්කිසි විදිහක සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ  දේශපාලන පක්ෂ ඉදිරිපත් නොවුණි. එය කල් මරමින් සිටි බවක්ද පෙනෙන්නට තිබුණි. මැයි  නව වැනිදා  සිදුවූ  අවාසනාවන්ත සිදුවීමත් ආණ්ඩුව හා  මේ දේශපාලන පක්ෂවල යම්කිසි ආකාරයක මඟහැරීම නිසා මඟ පෑදුණු කාරණාවක් බව කිව යුතුය. අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලා අස්වීම මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ වහ වහා යම්කිසි ආකාරයේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට පියවර ගත්තා නම් එදා මුහුණ දුන් තත්ත්වය තරමකින්  හෝ 

වළක්වා ගැනීමට හෝ මඟ හරවා ගැනීමට බොහෝ දුරට  බොහෝ දුරට ඉඩ තිබිණි.

මීළඟට අවබෝධ කරගත යුතු කාරණාව වන්නේ මේ දේශපාලන පක්ෂ කැප කිරීමක්  කළ යුත්තේ ඇයිද යන්නය. ජන මතය තමන් කෙරෙහි පවතිනවා යන උපකල්පනය මත එක්තරා ආකාරයක ආත්මාර්ථකාමී ස්වරූපයෙන් කටයුතු නොකළ යුත්තේ ඇයි යන කාරණාව මෙහිදී අවධානය යොමු කළ යුතුය. ලංකාවේ ආර්ථික අර්බුදය ඉතාමත් දරුණු තත්ත්වයට පත්වී ඇති බව අප දන්නා  කරුණකි. එසේම  මෙය  නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ඇති වූ දරුණු කඩාවැටීමක් බව සියලු දෙනා දන්නා කරුණකි. අපේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර ඇති පරතරය මුල්කරගෙන හා එසේම අපනයන ආදායම බිඳ වැටීම හේතු කොටගෙන දරුණු විදේශ සංචිත හිඟයකට අප මුහුණදීමට සිදුවී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසට ඉන්ධන, ගෑස්, ඔෟෂධ හිඟය සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම වැනි ප්‍රශ්න ගණනාවක් ඇති ඇතිවුණි. මුල් කාලීනව ඇති වූ ආර්ථික ගැටලු නිසි ලෙස

කළමනා නොකිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ දැඩිව පීඩාවට පත්වූ  ආර්ථිකයක් බවට ලංකාවේ ආර්ථිකය  පරිවර්තනය වෙමින් පවතී.

 මේ තත්ත්වය පුද්ගලයකුට, පුද්ගල කණ්ඩායමකට, දේශපාලන පක්ෂයකට හෝ එක ජාතියකට, එක් ආගමකට බලපාන දෙයක් නොවේ. මේ සමස්ත ජාතියටම බලපාන අර්බුදයකි. ආර්ථික අර්බුයේ ඵල විපාක භුක්ති විඳින්නේ සමස්ත ජාතියමය. මේ  අර්බුදය යම්කිසි ආකාරයකින්  සමනය කිරීම සඳහා තමන්ගේ දායකත්වය ලබාදීමට වගකිවයුතු  දේශපාලන පක්ෂ ලෙසට  යුතුකමක් තිබේ.

ලංකාවේ දේශපාලන අර්බුදය උග්‍රවීම තුළ ඇති විය හැකි භයානකම  පැතිකඩ වන්නේ රටේ  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති අවිනිශ්චිතභාවයයි.  ආර්ථිකය බිඳවැටීම තුළ ලෝකයේ බොහෝ රටවල ජනතා නැඟිටීම්, කැරලි කෝලහාල, හමුදා පාලන වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී අහිතකර දේශපාලන ප්‍රවණතා ඕනෑතරම්  ගොඩනැඟී තිබේ. අප ඒ තත්ත්වයට  යා යුතු නොවේ.  තවමත් යම්කිසි ආකාරයකින් අපේ ආර්ථිකය යහපත් මට්ටමක  ළඟාකර ගැනීමට ඕනෑ තරම් අවස්ථා තිබේ. ඒ  තුළින් සියලු දේශපාලන පක්ෂවලට තමන්ගේ  අනාගත දේශපාලන පැවැත්මද නිර්මාණය කරගැනීමට ඉඩකඩ ලැබේ.

මේ ආර්ථික ගැටලුව විසඳීම සඳහා තම සහයෝගය හා යෝජනා ලබාදිය හැකි බවට පක්ෂයන්ට දායකවිය  හැකිය. ආර්ථිකයේ බරපතළකම පිළිබඳ මහ බැංකු අධිපතිවරයා ද සඳහන් කර තිබිණි. එයින් පැහැදිලි වන කාරණයක් නම් කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණියද මේ ආර්ථික අර්බුදයට පහසුවෙන් විසඳුම් සෙවිය නොහැකිය යන කාරණයයි.  එය මිථ්‍යාවක් මෙන්ම  ජනතාව මුළා වීමකි. මේ ආර්ථික අර්බුදය නිර්මාණය වී ඇත්තේ  අපේ අපනයන ආදායම සම්පූර්ණයෙන්ම  පිරිහීමට ලක්වීම නිසාය. මේ තත්ත්වය හමුවේ විශාල වශයෙන් විදේශ ණය ලබා ගැනීම් හා ලබාගත් විශාල ණය ප්‍රමාණයන් ආපසු ගෙවීමට සිදුවීමේදී මතුවුණු ගැටලුකාරී තත්ත්වයන්ද මෙම   අර්බුදය උත්සන්න කර තිබේ.

 ගැටලුව විසඳාගත හැකි වන්නේ    ජාත්‍යන්තරමය  සහයෝගය මතය.  අපනයන ආදායම අඩු නම් අපනයන ආදායම ක්ෂණිකව රටේ නිර්මාණය කළ නොහැකිය. ඩොලර් අච්චු ගැසිය නොහැකිය. ඩොලර් ඉපයිය යුත්තේ විදේශ වෙළෙඳපොළෙනි. විදේශ ආකර්ෂණය අපට අවශ්‍ය වේ. එවැනි තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට සිදුවන්නේ ජාත්‍යන්තර සහයෝගය මතය.

මෙහිදී පවතින ගැටලුවට ඉක්මන් ප්‍රවේශයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම එක්  පිළිතුරක් වශයෙන් සඳහන් කළ හැකිය. ණය ගෙවීම කල්තබා ගැනීමට එම ණය දුන්  ආයතන සමඟ සාකච්ඡා කර ඔවුන් සමඟ යම් විශ්වාසයක් ගොඩනඟා ගැනීම අවශ්‍ය වේ. එවැනි කාර්යභාරයක් කළ හැක්කේ ලෝකයම පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනයකට පමණි. එවැනි ආයතනයක සහයෝගය ලබා ගැනීම ප්‍රශ්නයේ එක් කොටසකට විසඳුමක් විය හැකිය. නමුත් මෙහිදී වෙනත් අතුරු ප්‍රශ්න නිර්මාණය වීමටද  ඉඩ තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් සහනදායි පිළිවෙත් අනුගමනය කිරීමේදී   විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීමට පුළුවන. මේවා සමහර විටෙක අපට  පිළිගත නොහැකි,  බලාපොරොත්තු නොවූ  කොන්දේසි විය හැකියි. නමුත් ඒවාටද අපට මුහුණ දිය යුතුව ඇත. ආර්ථික අර්බුදය යම්කිසි දුරකට තාවකාලිකව  යහපත් ආකාරයකට සකසා ගැනීමට ලැබුණහොත්, දේශපාලන පක්ෂ ඉල්ලන  මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගත හැකිවනු ඇත.  බොහෝ දෙනා පිළිගන්නා කාරණාවක් නම් පවත්නා තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීමට තරම් රටේ ආර්ථික තත්ත්වය යහපත් මට්ටමක නොමැති බවය.

වර්ධනය වන ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා මේ දේශපාලන පක්ෂවලට විශාල වගකීමක් පවතින බව පිළිගත යුතුය. නිර්මාණය කිරීමට බලාපොරොත්තු නව සර්වපාක්ෂික ආණ්ඩුවට සහයෝගය දක්වන ලෙස  අගමැතිවරයා විසින් ඉල්ලීම් කර තිබුණු  නමුත් මේ හැම විරුද්ධ දේශපාලන පක්ෂයක්ම සඳහන් කළ කාරණය වන්නේ, ඔවුන් රජයට සම්බන්ධ නොවන බවත් විරුද්ධ පක්ෂයේ සිට රජයට සහයෝගය ලබාදෙන බවත්ය. ඒ නිසාම  ඇමැති මණ්ඩලය සර්වපාක්ෂික වන්නේද නැත. මෙය බලාපොරොත්තු වූ තත්ත්වය නොවේ. මෙයට වඩා දුරගිය ජාතික දායකත්වයක්  මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ විසින් ලබාදිය යුතුයි.

අවම වශයෙන් වසරක් සදහා වූ කාල පරිච්ජේදයක් සඳහා  පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ඒකරාශී වී යම්කිසි ආකාරයක අන්තර්වාර ආණ්ඩුවක්  පිහිටුවීමට උත්සාහ දරනවා නම් එය  මේ අවස්ථාවේදී  රටේ දේශපාලන පැවැත්ම මෙන් ම රටේ ආර්ථිකය නැවත ගොඩනැඟීම සඳහා පදනම නිර්මාණය  කරවා ගැනීමට පිටිවහලක් විය හැකිය. මෙසේ  ලබාගන්නා යහපත් ආර්ථික තත්ත්වය  තුළ ඉක්මනින්ම මැතිවරණයකට යෑමට හැකි  පරිසරයක්  ලංකාවේ නිර්මාණය විය හැකිය. නමුත් අද මේ දේශපාලන පක්ෂවල හැසිරීම සලකා බලද්දි ඔවුන් කල්පනා කරන්නේ පවතින  දේශපාලන අර්බුදය තුළ තමන්ට සුවිශේෂී ජන බලයක් ගොඩනැඟෙමින් තිබෙනවා යන කාරණයයි. සඳහන් කළයුතු යථාර්ථය නම් ලංකාවේ ජනගහනයෙන් බහුතරය එනම්  සියයට 60කට ආසන්න පිරිසක් දේශපාලනය අතින්

නිෂ්ක්‍රියය.  ඔවුහු ඡන්දය භාවිත කළද  ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවලට  සහභාගි නොවී සිටිති.  ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය සඳහා බෙහෙවින් බලපාන්නේ එම නිෂ්ක්‍රිය වශයෙන් සිටින ජනකොටසගේ මතයයි. පසුගිය මැතිවරණ පිළිබඳ විමසිමේදී පැහැදිලි වන කාරණයක් නම්   ක්‍රියාකාරි දේශපාලනයේ තිබුණු තත්ත්වයන්වලට වඩා රටෙි මැතිවරණ ප්‍රතිඵලය තුළ ඒ ඒ දේශපාලන පක්ෂ ලබාගෙන තිබූ ජනමතය වෙනස් බවය.

මේ  නිසා සෑම දේශපාලන පක්ෂයක්ම තමන්ගේ ජයග්‍රහණය පිළිබඳ  අධිතක්සේරුවකින් කටයුතු කරනවාට වඩා දැනට ලංකාවේ ආර්ථිකය මුහුණ දී ඇති තත්ත්වයෙන්  ගොඩ ඒම සඳහා යම්කිසි විදිහකින් දායක වෙනවා නම් පොදුවේ තම තමන්ගේ දේශපාලන කටයුතු වඩා හොඳින් ඉදිරියේදී  කරගෙන යෑමේ නිදහස් පරිසරයක්ද නිර්මාණය විය හැකිය.  ඉදිරි මාස 6ක කාලපරිච්ඡේදයක් හෝ වසරක කාල පරිච්ඡේදයකට රජයක් නිර්මාණය කිරීම සඳහා තමන්ගේ දායකත්වය ලබාදීමෙන් ශ්‍රී ලංකාව වැටී ඇති මෙම ආර්ථික අගාධයෙන් ගොඩඒමට යම්කිසි ආකාරයක සහයෝගීව කටයුතු කිරීම වඩා යථාර්ථවාදී වේ.

කැලණිය විශ්වවිද්‍යාලයීය දේශපාලන විද්‍යා අධ්‍යායන අංශයේ මහාචාර්ය

ඔසන්ත එන්. තල්පාවලි

සාකච්ඡා කර ලීවේ-රසිකා එස්. රණවීර

සන්නවේදන හා මාධ්‍ය ඒකකය කැලණිය විශ්වවිද්‍යාලය.