දුවලා දෙන්නෙක් තනිකරලා  අම්මයි තාත්තයි යන්න ගිහින්

0
74

මවුපියන් හැර දමා ගොස් මිත්තණිය සමඟ ටකරන් සෙවිලි කරන ලද මඩුවක දුක්ඛිත ජීවිතයක් ගෙවන පාසල් දැරියන් දෙදෙනකු පිළිබද පුවතක් වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වෙයි.

මෙම වයෝවෘද්ධ මිත්තණිය හා වයස අවුරුදු 12ක හා 8ක දැරියන් දෙදෙනා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළවෙල පදිංචිව සිටී.

ඉහළවෙල ග්‍රාමයේ පදිංචිව සිටින එම්.පී. සීලවතී මහත්මියගේ වයස අවුරුදු 67කි. ඇයට පිරිමි දරුවන්ම දෙදෙනෙකි. වැඩිමහල් පිරිමි දරුවා ඒ ආසන්නයේ නිවෙසක් තනාගෙන විවාහ වී සිටියි. දෙවැනි පිරිමි දරුවාද විවාහකයෙකි. ඔහුට ගැහැනු දරුවන් දෙදෙනෙකි. දැරියන් දෙදෙනාගේ මව දරුවන් දෙදෙනා අධිකරණය මාර්ගයෙන් පරිවාසයට යොමු කොට වෙනත් පුද්ගලයකු සමඟ ගිය බව මෙම වයෝවෘද්ධ මව පැවැසුවාය.

පියා අසනීප තත්ත්වයකින් පෙළෙමින් සිටියදී ප්‍රදේශය හැර ගොස් තිබිණි. පසුව වයෝවෘද්ධ මව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ගැහැනු දරුවන් දෙදෙනා තම භාරයට ගෙන තිබේ. දැනට වැඩිමහල් දියණිය අඹේපුස්ස ප්‍රදේශයේ පාසලක 8 වැනි පන්තියේ ඉගනුම ලබන්නීය. දෙවැනි දියණිය එම ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක 3 පන්තියේ ඉගනුම ලබයි.

මෙම මිත්තණිය හා ගැහැනු දරුවන් දෙදෙනා ටකරන්වලින් වට කරපු හා ටකරන් සෙවිලි කළ මඩුවක අනාරක්ෂිතව ජීවත් වෙති. මිත්තණිය බීඩි ඔතා උපයන සොච්චම් මුදලින් හා අසල්වැසි ගෙවල්වලින් කෑම බීම ඉල්ලා දරුවන් පෝෂණය කරයි. ඔවුනට කියා වැසිකිළියක්ද නොමැත. අසල පදිංචිව සිටින ලොකු තාත්තාගේ වැසිකිළිය තිදෙනාම පාවිච්චි කරයි. දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලට උදවු උපකාර හා ආරක්ෂිතව ජීවත් විය හැකි නිවෙසක් තනා දෙන ලෙස වයෝවෘද්ධ මිත්තණිය පරිත්‍යාගශීලීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

එම්.පී. සීලවතී (67) මහත්මිය.

අපි බොහොම දුකසේ ජීවත් වෙනවා. අහල පහළ අය හුඟාක් උදවු කරනවා. බීඩියක් ඔතලා මම සුළු මුදලක් හොයා ගන්නවා. මට පිරිමි

ළමයි දෙන්නයි. ලොකු පුතා පහළ පදිංචිව සිටිනවා. දෙවැනි පුතාගේ දරු දෙන්නා සමඟයි මම ජීවත් වෙන්නේ.

දෙවැනි පුතාට අසනීපයි. එයා ගෙදර එන්නේ නෑ. බිරිය මේ දරුවන් දෙන්නා පරිවාසයට දීලා වෙනත් මනුස්සයෙක් එක්ක ගියා. දැන් ඒ මනුස්සයා එක්කත් නෑ කියලා ආරංචියි.

පස්සේ අධිකරණය මට මේ දරුවන් දෙන්නා දුන්නා. වැඩිමහල් දියණිය ලොකු පුතාගේ බිරිය සමඟ පාසල් යනවා. මම පොඩි දුව අරගෙන ගමේ පාසලට යනවා. පාසල් ගිහින් ආපසු එනකොට හවස 3 පමණ වෙනවා. ඊට පස්සේ බීඩියක්වත් ඔතාගන්න වේලාවක් නෑ.

මට මේ දරුවන් දෙන්නා කාටවත් දෙන්න බෑ සතියට දවස් පහේම මමත් පාසල් යනවා. සෙනසුරාදා ඉරිදා තමයි ගෙදර ඉන්නේ. එදාට තමයි මිදුලවත් අතුගා ගන්නේ. උදේට හාල් හුණ්ඩු දෙකක් උයලා, කොස් මාළුවක් හදා ගන්නවා. නැත්තම් අල්ලපු ගෙදරකින් මොනවා හරි ඉල්ලලා දරු දෙන්නට ගෙනත් දෙනවා.

පරිවාසයෙන් දරුවන් දෙන්නට පොත්පත් දුන්නා. ළමයි දෙන්නට ගවුම් දෙක ගානේ තියෙනවා. දවසක් ඇර දවසක් ඒවා අඳිනවා. පොඩි දුවට සපත්තු ජෝඩුවක් හම්බ වුණා. ලොකු දුවගේ සපත්තු ජෝඩුව කැඩිලා. මට ඕනෑම කුලී වැඩක් කරන්න යන්න පුළුවන් එතකොට මේ දරුවන් දෙන්නාගේ ආරක්ෂාවක් නෑ. සමහර දවස්වලට කොස් ඇට බැදලා දෙනවා. උදේට තේ එකක් දෙන්න බැරි වුණොත් කැඳ ටිකක් හදලා දෙනවා. මට නම් මොකවත් එපා. මේ දරු දෙන්නට ඉගෙන ගන්නයි, නොතෙමී ඉන්න ගේ කෑල්ලක් හදලා දුන්නොත් පින් සිද්ධ වෙනවා. මේ දවස්වලට හොඳටම වැස්ස. අපි ඉන්න ගේ කෑල්ල හොඳටම තෙමෙනවා යැයි ඇය පැවැසුවාය.

වැඩිමහල් දියණිය මෙසේ පැවැසුවාය.

අපේ කිරිඅම්මා තමයි මාවයි නංගිවයි රැක බලා ගන්නේ. කිරිඅම්මා අහල පහළ ගෙවල්වල වැඩකරලා හොයා ගන්න මුදලින් තමයි මටයි, නංගිටයි වේලක්වත් කන්න ගෙනත් දෙන්නේ. මම වගේම නංගිත් ආසයි ඉගෙන ගන්න. ඒත් අපට පහසුකම් නෑ. වහලයේ ටකරන් හොඳටම දිරලා. වැස්සට පොත් ටිකත් තෙමෙනවා. කෑම බීමත් අපට නෑ. සමහර දවස්වලට අපි පාසල් යන්නෙත් නෑ. ඉතින් මමයි, කිරි අම්මයි, නංගියි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ.

ඔවුන්ගේ ලිපිනය එම්.පී. සීලවතී, ඉහළවෙල, වරකාපොළය. ඔවුන්ට උපකාර කරන්න.

දමුණුපොළ – චමින්ද ජයලත්