කාලේ අමාරුයි තමයි දුවේ පුතේ කොහොමහරි O/L කඩඉමත් පනිමු

0
84

ආදරණීය දුවේ පුතේ, තීරණාත්මක විභාගයකට පෙනී සිටීමට සූදානම් වන ඔබ මේ ගත කරනුයේ අභියෝගාත්මක කාලසීමාවකි. සාමාන්‍ය පෙළ විභාගය යනු ඇත්තෙන්ම ඔබට හිමිවන අභියෝගයකි. පහ ශේ‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ඔබ මුහුණදෙන ඊළඟ තීරණාත්මක කඩඉම් විභාගය වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයයි. එනිසා මෙම විභාගය ඔබට ඉතාම සුවිශේෂයි. ඔබේ අනාගත මංපෙත් සකස් කර ගැනීම උදෙසාත්, අ.පො.ස. උසස් පෙළ කඩඉමට ඔබව සුදුස්සෙක් බවට පත් කරන්නේත් මෙම විභාගය මඟිනි. එනිසා මේ වනවිට ඉතා වැදගත් විභාගයක් වන සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ඔබත් පූර්ණ අවබෝධයක් ලබා සිටිනවා විය හැකියි.

Her අතිරේකයෙන් අද ඔබ වෙත ගෙන එන මෙම ලිපියේ අරමුණ වන්නේද නිරවුල් මනසකින් යුතුව ඔබ සා. පෙළ විභාගයට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.

මින් පෙර වසරවලදී ඔබගේ වයසේ පසුවන සා. පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ට සාපේක්ෂව මෙම වකවානුවේදී විභාගය සඳහා මුහුණදෙන ඔබ විභාගයට මුහුණ දෙන්නේ ඉතාම සංකීර්ණ, අභියෝගාත්මක වටපිටාවක ලබාගත් අත්දැකීම් සමුදායක මතකයන් රැසක් සමඟිනි.

වර්තමානයේදී රටේ පවතින තත්ත්වය හමුවේ ඔබ, ඔබගේ පවුලේ සියලුම දෙනා ඇතුළු සියලු රටවැසියන් මේ ගත කරනුයේ විවිධ දුෂ්කරතා රැසකට මුහුණදෙන අතිශයම අසීරු කාලවකවානුවකි. ආදරණීය දුවේ, පුතේ, රටේ තත්ත්වය එසේ වුවද, ඔබගේ වගකීම වන්නේ මෙම විභාගයට හොඳින් මුහුණ දී විභාගය හොඳින් සමත්වීමය. ඒ සඳහා බාහිර ලෝකයේ ඇති ප්‍රශ්න මොහොතකට අමතක කරන්න. ඔබ ඔබගේ අනාගතය, ඔබගේ ජීවිතය වෙනුවෙන් මේ අවස්ථාවේ බුද්ධිමත්ව දුරදිග සිතාබලා ක්‍රියාකළ යුතුයි. කුමන අභියෝගයන් හමුවේ වුවද මේ වනවිට ඔබ සැම සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වී අවසන් විය යුතුයි.

ඇත්ත වශයෙන්ම සාමාන්‍ය පෙළට මුහුණ දෙන ඔබ පසුවන්නේ, වගකීම් දැරීමට සමත් බුද්ධිමත්, හොඳින් සිතාබලා කරුණු අවබෝධ කරගෙන තීරණ ගැනීමට සමත් වයසකය. එනිසා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට අවශ්‍ය පසුබිම සකසා ගන්නට මේ උපදෙස් මාලාව ඔබටත් වැදගත් වේවි.

අද සිට ආරම්භ වන විභාගයට මුහුණදෙන ඔබ පළමුවෙන්ම සිදුකළ යුත්තේ, ඉදිරියේදී පැවැත්වෙන අනෙකුත් විෂයන් යටතේ අදාළ විෂය කරුණු පාඩම් කිරීම අවසන් කොට කරුණු නැවත ගොනු කර ගනිමින් විභාගයට සූදානම් වීමයි.

ඊට අමතරව ඔබේ විභාග අයැදුම්පත මේ වනවිට ඔබට ලැබී ඇති හෙයින් විභාගයට යන පළමු වැනි දින වන අද දිනයේ සිට ගැටලු ඇති නොවන ආකාරයට විභාග අයැදුම්පත හා හැඳුනුම්පත සූදානම් කොට තබා ගන්න. ඊට අමතරව විභාගයට ගෙන යන හොඳින් ලියවෙන පෑන් කිහිපයක්, පැන්සල, මකනය ඇතුළු අනෙකුත් සියලුම උපකරණ එකම මල්ලක බහා වෙනම සකස් කර ගෙන තබාගන්න.

මේ අවස්ථාවේදී පළමුවෙන්ම ඔබේ සිත සැහැල්ලුවෙන් තබා ගැනීම ඉතා වැදගත්. සිතේ සන්සුන් බව මත ඔබ පාඩම් කරගත් කරුණු අවශ්‍ය අවස්ථාවේදී නිරවුල්ව ඔබේ මනස තුළ පෙළ ගස්සවා ගෙන පිළිතුරු ලිවීම කළ යුතුයි.

විශේෂයෙන්ම විභාගයට පෙර විභාගය පිළිබඳ පූර්ව නිගමනවලට එළැඹීමෙන් වළකින්න. එනම්,

විභාගය අමාරු වේවි.

මට හොඳට ලියාගන්නට පුළුවන් වේවිද දන්නේ නැහැ?

ලැබෙන ප්‍රතිඵලය කුමක් වේවිද දන්නේ නැහැ.

 A පාස් හෝ B පාස් කොපමණ ප්‍රමාණයක් ලබාගත හැකි වෙයිද?

ගණිතය, විද්‍යාව, ඉංගී්‍රසි වැනි විෂයයන් අමාරු වේවිද? එම විෂයයන් අනිවාර්යයෙන් පාස් වීමට හැකි වේවිද?

 ආදී වශයෙන් විවිධාකාරයේ ප්‍රශ්න ගැටලු ඔබගේ සිතට මේ අවස්ථාවේදී නැඟිය හැකියි. නමුත් එවැනි දේවල් පිළිබඳව සිත කලබල කර ගැනීම මේ අවස්ථාවේදී නොකළ යුතුයි. මේ අවස්ථාවේදී ඔබ කළ යුත්තේ අදාළ විෂයට අනුව ඔබ ඉගෙන ගත් විෂය නිර්දේශය යටතේ පාඩම් කළ විෂය කරුණු කාරණා නැවත මෙනෙහි කර ගැනීම සිදු කිරීම ඉතාම සුදුසුයි. මේ අවස්ථාවේදී ඍණාත්මක කරුණු සිතට නොගෙන ඒවා බැහැර කොට සෑම විටම ධනාත්මක සිතුවිලි වර්ධනය කරගත යුතුයි.

එමෙන්ම ආගමානුකූල පරිසරයක සිත පහන් වන ආකාරයෙන් කටයුතු කළ හැකි නම් වඩාත් සුදුසුයි. හැකිනම් තමන් අදහන ආගමකට අනුව ආගමික වතාවත්වල යෙදී සිතට සහනය සන්සුන් බව ළඟා කරගත හැකි නම් වැදගත්.

මේ අවස්ථාවේදී විෂය කරුණු නැවත මුල සිට පාඩම් කිරීම කළ නොහැකියි. එනිසා ඔබට එක් එක් විෂයට අදාළව ඔබ සකස් කොට ගෙන ඇති කෙටි සටහන් නැවත අධ්‍යයනය කළ හැකියි. විශේෂයෙන්ම පසුගිය කාලය පුරාවට ඔබ වෙහෙස මහන්සි වී පාඩම් කළ විෂය කරුණු සියල්ල ඔබේ යටි සිතේ හොඳින් තැන්පත් වී තිබේ. එනිසා කලබලයකින් තොරව ඔබට කාල වේලාව ලැබෙන ආකාරයට, ඉඩක් ලද සෑම මොහොතකම එලෙස මතක තබාගත් විෂය කරුණු නිරවුල් ආකාරයට නැවත මතක් කර ගැනීමද ඉතාම වැදගත්.

ආදරණීය දරුවනි, මේ මොහොතේ ඔබ, ඔබවම පමණක් විශ්වාස කරන්න. වෙනත් අයථා ක්‍රම ඔස්සේ විභාගයට පෙනී සිටීමටත්, විභාගය සමත් වීම පිළිබඳවත් නොසිතන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව තම සිතට එකඟව විභාගයට මුහුණ දෙන්න.

විභාගයට එතැයි හැඟෙන, ඔබ පාඩම් නොකළ යම් විෂය කරුණු කොටසක් වෙතොත් එය නිරවුල් මනසින් යුතුව අධ්‍යයනය කළ හැකියි. එය මේ මොහොතේ ඔබට ප්‍රයෝජනවත් වේවි.

තවද ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙකුත් විෂයයන්වල යම් ආකාරයකින් ගැටලු සහිත පාඩම් කොටසක් වෙතොත් ඒවා ඒ ඒ විෂයන්ට අදාළ ඔබගේ ගුරුභවතකු වෙතට යොමු කොට නිරාකරණය කර ගන්න. ඒ සඳහාත් ඔබ තවම ප්‍රමාද නැහැ.

ඔබ ක්‍රමානුකූලව ඔබගේ විෂයන්වලට ආදළව විෂය කරුණු හොඳින් අධ්‍යයනය කළ අයෙක් නම්, ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම ස¼දහා බිය නොවන්න. ඔබ පාඩම් කළ විෂය කරුණු විභාගය හොාඳින් සමත් වීමට ප්‍රමාණවත්. එනිසා මවුපිය _ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම ආශීර්වාදය ශක්තියක් කොට ගෙන සතුටු සිතින් විභාගයට මුහුණ දෙන්න.

විභාගය පැවැත්වෙන දින 09 ජයග්‍රාහීව පසුකිරීමට කැපවීමෙන් වගකීමෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.

විභාගය පැවැත්වෙන දිනවලදී නියමිත වේලාවට පෙර විභාග ශාලාවට යෑම ඉතාම වැදගත්. විභාගය නිමාවූ විටදීත් මිතුරන් සමඟ තැන්තැන්වල සතුටු සාමිචියේ නොයෙදී හැකි ඉක්මනින් නිවෙස් කරා යෑමත් සුදුසුයි. කාලයෙන් හැකි පමණින් උපරිම පල ප්‍රයෝජන ලබා ගැනීමට ඔබ සිතට ගත යුතුයි.

ඉන්පසුව විභාග ශාලාවට ගිය පසු ප්‍රශ්න පත්‍රය අතට ලැබුණු විගස කලබල වන්නට එපා. මඳ වේලාවක්  ගෙන ප්‍රශ්න පත්‍රය හොඳින් කියවා බලා සඳහන් කර ඇති ආකාරයට අවශ්‍ය උපදෙස් අනුව පිළිතුරු ලිවීම ආරම්භ කළ යුතුයි.

එහිදී ඔබට වඩාත්ම පහසු ඉක්මනින්ම පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්න ඉදිරියේ සලකුණක් යොදා ගන්න. ඉන්අනතුරුව එම ප්‍රශ්නවලට පළමුවෙන්ම පිළිතුරු ලිවීම ආරම්භ කරන්න. විස්තරාත්මකව පිළිතුරු ලිවිය යුතු ප්‍රශ්න වේ නම් ඒ සඳහා අවශ්‍ය ආකාරයට පිළිතුරු ලබාදෙන්න. එමෙන්ම කෙටි පිළිතුරු ලිවිය යුතු ප්‍රශ්න වේ නම් ඒ සඳහාද අවශ්‍ය උපදෙස් අනුගමනය කිරීමට වග බලා ගන්න.

මේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේදී එක් එක් ප්‍රශ්නයට ආදාළව කොපමණ කාලයක් ගත කළ යුතුද යන්න පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුතුව කාලය කළමනාකරණය කොට ගෙන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදෙන්න. ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව ඇති ආකාරයට අදාළ ප්‍රශ්න ප්‍රමාණයට පමණක් පිළිතුරු ලිවීමත් අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න වේ නම් ඒවා අනිවාර්යයෙන්ම කිරීමටත් මතක තබා ගත යුතුයි.

පිළිතුරු ලියා අවසන් කළ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මිතුරු මිතුරියන් සමඟ පිළිතුරු සාකච්ඡා කිරීම නොකළ යුතුයි.

ඔබේ සැලකිල්ල සහ කැපවීම මත ඔබේ අනාගතය සකසා ගත යුත්තේ ඔබමය. වත්මන් සංකීර්ණ සමාජ ආර්ථික රටාව තුළ ඔබට යහපත් අනාගතයක් උදාකර ගත හැක්කේද ඔබටමය. එනිසා කැපවීමෙන් මහන්සියෙන් යුතුව කටයුතු කළහොත් ඉසුරුමත් අනාගතයක් උදාකර ගැනීමට ඔබටත් හැකියාව ඇත. වයස අවුරුදු 16ක් පමණ වන ඔබට, වත්මන් සමාජ තත්ත්වය පිළිබඳ මනා දැනුමක් හා වැටහීමක් ඇත.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට ඔබ සැම, ඉහත අප සඳහන් කළ සියලු කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් විභාගය සඳහා සූදානම් වී ඇතැයි අපි විශ්වාස කරන්නමු. එමෙන්ම මෙම අභියෝගාත්මක කාලසීමාවේදී සාමාන්‍ය පෙළ විභාග කඩඉම ජයග්‍රහණය කරන්නට ඔබ හට මෙම ලිපිය මඟින් කුමන හෝ ආකාරයකින් අත්වැලක් ලැබෙනු ඇත. එසේ නම් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන ඔබ සැමට ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්ය හා වාසනාව ලැබේවායිද අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

දිනූෂා මනෝරි නිශ්ශංක

උදයන්ති අමරතුංග

ආචාරිනි

බණ්ඩාරවෙල ශාන්ත

ජෝෂප් විද්‍යාලය