කාන්තාවන් අකර්මන්‍ය කරන ‘විෂාදයෙන්’ මිදෙන්නේ කොහොමද?

0
93

විෂාදය එසේත් නැතිනම් ඩිප්රෙෂන් Depression යනු වර්තමාන සමාජය තුළ නිතර කතාබහට ලක්වන මාතෘකාවකි. සෞඛ්‍ය සංඛ්‍යා ලේඛනවලට අනුව විෂාදය යනු ලංකාවේ දැනට තිබෙන අංක එකේ රෝගී තත්ත්වයන් සහ සමාජ ගැටලුවලින් එකකි. එය හෙට දවසේ මට, ඔබට ඕනෑම කෙනකුට වැලඳිය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා විෂාදයෙන් පෙළෙන පුද්ගලයන් මිලියන තුන්සියයක් පමණ ජීවත් වෙති. එම නිසාම මිනිසුන් අකර්මණ්‍ය කිරීමේ රෝගවලින් පළමු තැන හිමිවන්නේ විෂාදයටයි. විෂාදය ඕනෑම තත්ත්වයක, ඕනෑම වයසක පුද්ගලයකුට වැලඳිය හැකි රෝගයක් වන අතර එයට ප්‍රධාන වශයෙන්ම ගොදුරු වන්නේ කාන්තාවන්ය. එබැවින් අද Her අතිරේකය තුළින් ඔබට ගෙන එන්නේ කාන්තාවන් විෂාදයට ගොදුරු වීමට හේතුව, විෂාදයේ රෝග ලක්‍ෂණ සහ එයින් මිදීමට කාන්තාවන් වශයෙන් ගත යුතු පියවර කුමක්ද යන්න විමසා බැලීමයි.

විෂාදය හෙවත් ‘ඩිප්රෙෂන්’ (Depression) යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්පවලින් පීඩා විඳීමේ රෝගී තත්ත්වයකි. බොහෝ විට පාසල් යන තරුණියන් විෂාදීය රෝගී තත්ත්වයන්ට මුහුණ දෙනු ලබන අතර එයට ප්‍රධාන හේතු ලෙස,

– පෙම් සබඳතා ඇති කර ගැනීම

   සහ ඒවා බිඳී යෑම

– පවුලෙහි ඇතිවන අභ්‍යන්තර

   ගැටලු

– අධ්‍යාපන වැඩකටයුතුවලින්

   ඇතිවන මානසික පීඩනය

– විවිධ ඇබ්බැහිවීම්

– සමාජ ප්‍රතිරෝධය

ආදිය දැක්විය හැකිය. තරුණියක් ලෙස, බිරියක් ලෙස, මවක් ලෙස සමාජයේ විවිධ භූමිකා නිරූපණය කරන කාන්තාවන් හට විෂාදීය රෝගී තත්ත්වයන්වලට මුහුණ දීමට සිදුවනු ලබන්නේ නොසිතූ අවස්ථාවන්වලදීය. දරුවකු විෂාදීය වැනි රෝගයකට මුහුණ දෙන විට විශේෂයෙන්ම මවුපියන්ට එය හඳුනා ගැනීමේ හැකියාව තිබිය යුතුය. ලෝක පාසල් සමීක්‍ෂණයට අනුව ලංකාවේ නව යෞවනියන්ගෙන් 05%ක් කාන්සාවෙන් පෙළෙන බවත්, 09%ක් තනිකමෙන් පෙළෙන බවත් 06%ක් යහළුවන් නොමැතිකමින් පෙළෙන බවත් අනාවරණය වී ඇත. එය හඳුනා ගැනීම මවුපියන් සතු වගකීමකි. තරුණ දරුවකු විෂාදයෙන් පෙළෙන බව හඳුනාගත හැකි ලක්‍ෂණ ලෙස,

 – තද හිසේ කැක්කුමක්

      තිබෙනවා යැයි පැවැසීම.

 – පාසල් යෑමට අදිමදි කිරීම.

 – බඩ / බෙල්ල / පිට ආදිය

      රිදෙනවා යැයි පැවැසීම.

 – කෑම අරුචිය

 – නින්ද නොයෑම

 – ආහාර රටාවේ ඇතිවන

      වෙනස්කම්

ආදියෙන් දරුවා පෙළෙනවා නම් දරුවා පිළිබඳ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න. එමෙන්ම අධ්‍යාපනය අතින් ගත් කල අද රටෙහි පාසල් දරුවන්ගෙන් 48%කට විෂයානුබද්ධ ආතතියක් තිබෙන බව හෙළි වී ඇත. පාසල් ළමුන්ගේ පොත් පෙරළා බලද්දී ඒ පිළිබඳව හොඳින් පැහැදිලි වී ඇති අතර දරුවන් ඉගෙන ගන්නා විෂයන්වල ගුණාත්මකභාවය වැඩි කිරීමට ගොස් එය දරුවන්ටත් ඉගැන්විය නොහැකි තත්ත්වයකට ගුරුවරු පත්වී ඇත. එහි ප්‍රතිඵලය වන්නේ දරුවන් ටියුෂන් ආදියට යොමු වීමයි. එහිදී අමතර පන්ති ආදියට වැඩිපුර යොමුවන නිසා කෑමබීම, සෞඛ්‍ය ආදිය පිළිබඳ සිතීමට වෙලාවක් නැත. එයින් ශාරීරික මෙන්ම මානසික අපහසුතාවලට දරුවන්ට නිරන්තරයෙන් යොමු වීමට සිදුවෙයි.

තරුණ දියණියන් විෂාදයට ලක්වන අනෙක් ප්‍රධානම කරුණ වන්නේ පෙම් සබඳතාවන්ය. නොදැනුවත්කම නිසා ඇති කරගන්නා පෙම් සබඳතා නිසා බොහෝ විට තරුණ තරුණියන් තම අධ්‍යාපන කටයුතු අඩාල කර ගනියි. පසුව එයින් ඇතිවන මානසික පීඩනය සහ ගුරුවරුන්ගෙන්, මවුපියන්ගෙන් එල්ලවන චෝදනා නිසා දරුවෝ මානසික පීඩනයන්ට ගොදුරු වෙති. එහිදී ඔවුන් කුමන තීරණයකට එළැඹේවිදැයි සිතා ගත නොහැකියි. බොහෝවිට පාසල් කාලයේදී ඇතිකර ගන්නා පෙම් සබඳතා හේතුවෙන් සියදිවි නසා ගැනීම් පවා වාර්තා වී තිබේ. බොහෝ විට පවුලෙහි තිබෙන අර්බුදකාරී තත්ත්වයන් නිසාද එයින් ඇතිවන මානසික පීඩනය නිසාත් දරුවන් විෂාදය ආදී රෝග තත්ත්වයන්වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය.

වර්තමානයේ ඇතිවී තිබෙන තවත් ප්‍රධානම ගැටලුවක් වන්නේ තරුණ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබීමයි. මේ නිසාද ප්‍රධාන වශයෙන් විෂාදීය තත්ත්වයන්ට මුහුණ දෙන පාසල් දරුවන් එයින් මුදාවා ගැනීමට ඇතැම් විට පුනරුත්ථාපනයට පවා යොමු කිරීමට සිදුවේ.

මවකගේ භූමිකාව ගත් කල ඇයට බොහෝ වශයෙන් විෂාදීය තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. කාන්තාවන්ට ඇතිවන විෂාදයේ ලක්‍ෂණ ලෙස,

 – නින්ද නොයෑම.

 – අක්‍රමවත් නින්ද.

 – සුපුරුදු වෙලාවට වඩා පැය

      කිහිපයකට පෙර අවදිවීම.

 – ප්‍රීතිජනක අවස්ථාවලදී

      ශෝකානුකූලව සිටීම.

 – අශුභවාදී සිතුවිලි පහළ වීම.

 – බාහිර පෙනුම පිළිබඳ

      සැලකිල්ලක් නොදැක්වීම.

 – හිසකෙස් නොපිරීම.

 – ඇසිපිය හෙළන වාර ගණන

      අඩුවීම.

 – බලාගත් අත බලාගෙන සිටීම.

  • නුරුස්සනසුලු ස්වභාවය.

 – කෑම අරුචිය සහ බර අඩුවීම.

 – ලිංගික ක්‍රියාවලට කැමැත්ත

      අඩුවීම.

 ද කලබලකාරී ස්වභාවය.

ආදී ලක්‍ෂණ දැක්විය හැකිය. ගර්භණී සමයේදී දරුවා ලැබී ගතවන වසරක පමණ කාලසීමාව තුළදීත් කාන්තාවකගේ චිත්තාවේග පුළුල් පරාසයක විහිදෙනු ලබයි. කනස්සල්ල, මූලිකව හට ගන්නා හැඟීම, නොරිස්සුම, අධි සංවේදී බව වැනි මානසික ස්වභාවයන් මේ කාලයේදී බොහෝ විට දැකගත හැකිය. දරු ප්‍රසූතියෙන් පසු එළඹෙන දින කිහිපය තුළ ආතතිය බහුලව ඇතිවන පොදු තත්ත්වයකි. මවුවරුන් අතරින් 80%ක පිරිසක් මෙම විෂාදීය තත්ත්වයන්ට මුහුණ දෙන බව කියැවේ.

එයට හේතුව වන්නේ දරුවා බිහි කිරීමෙන් පසු සිරුරේ සිදුවන හෝමෝන වෙනස්වීමයි. සිරුරේ කොටිසෝල් සාන්ද්‍රණය ඉහළ යෑමත්, ප්‍රසූතිය අතරතුරදී සිදුවන ආසාදන තත්ත්වයනුත් දරුවාගේ මුල් වයස් කාලයේදී මවගේ වගකීම් වැඩිවීම් මත ඇතිවන අවිවේකී බවත් මෙයට හේතු කාරණා වේ. මෙම කාරණාවලට අමතරව ආර්ථික ගැටලුවලට මැදිවන කාන්තාවන් බිලිඳාගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට යෑමේදී ඒ මත විඳින්නට සිදුවන පීඩාවන්ද මානසික ව්‍යාකූලවලට පෙරනිමිති වේ.

පසු ප්‍රසව මානසික වික්‍ෂිප්තභාවය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය ප්‍රසූතියෙන් පසු මුල් සති දෙන තුන තුළ ඇතිවන තාවකාලික තත්ත්වයකි. හැඩීම, නුරුස්සනාසුලු බව, මානසික අවපීඩනය ඇති වීම වැනි ලක්‍ෂණ පෙන්නුම් කරන අතරම මේ සඳහා ස්වාමිපුරුෂයාගේ, පවුලේ අයගේ සහයෝගය, ආදරය, කරුණාවන්ත බව ලැබීම වැදගත් වේ. එමෙන්ම සති දෙකකට වඩා පවතී නම් පසු ප්‍රසව විෂාදීය තත්ත්වයට පත්විය හැකිය.

මෙම කාලයේදී මවට ප්‍රසව විෂාදය එනම් ප්‍රසවයෙන් හටගත් සයිකෝසිස් වැනි තත්ත්ව ඇති වීමට වැඩි ඉඩකඩක් පවතියි. මේ පිළිබඳව විශේෂයෙන්ම තේරුම්ගත යුතු පුද්ගලයා වන්නේ ස්වාමිපුරුෂයායි. තම බිරිය සමඟ සියලුම කාර්යයන්වලට උර දීමට ස්වාමිපුරුෂයාට හැකියාවක් ඇත්නම් මෙවැනි තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාවක් ලැබෙයි. තම බිරියගේ යම් යම් වෙනස්වීම් කෙරෙහි බලපාන හේතු සාධක හඳුනා ගනිමින් ඇයව තේරුම් ගනිමින් විවාහ දිවිය ගෙවන්නට අවැසි අවබෝධය ස්වාමිපුරුෂයකු වශයෙන් ඔබට තිබිය යුතුමය. එසේ නොමැතිව ඔබ ඇයට තව තවත් පීඩනය එල්ල කිරීමක් සිදු කළහොත් ඇය තව තවත් අසරණ වනු ඇත.

ස්වාමිපුරුෂයා / පියා ලෙස ඔබ :-

මෙවැනි තත්ත්වයන්වලදී අවශ්‍ය සියලු උපකාර ඉතා සමීපව සිදුකළ හැකි සුදුසුම තැනැත්තා පියායි. රෑ දෙගොඩ යාමේදී දරුවා හඬනවා නම් පියාට දරුවා බලා ගැනීමට බොහෝ විට ඉඩකඩ තිබෙන අතර එමඟින් මවට තරමක් විවේක ගැනීමට හැකිවෙයි. එමෙන්ම දරුවාගේ නැපි සේදීම, දරුවා නෑවීම වැනි අවස්ථාවලදී බිරියට උදවු කිරීම ඔබට කළ හැකි වේ. එමඟින් මවුපියන් දෙදෙනාගේම සහයෝගය හා එකමුතුවෙන් තම දරුවා හදා ගැනීමට හැකිවන අතර මවගේ විෂාදමය තත්ත්වයන් පවා පහව යයි.

මානසික අවපීඩනයට නවීන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ඇත.

 – මානසික උපදේශනය.

 – ඖෂධ ප්‍රතිකාර.

 – විද්‍යුත් කම්පන ප්‍රතිකාර

විෂාදයට ගොදුරු වූවන් සමඟ ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් වන අතර ප්‍රත්‍යක්‍ෂ ඔෟෂධ ප්‍රතිකාර ලබා ගැනීම අනෙක් ක්‍රමයයි. නමුත් බෙහෙත් ගැනීම ආරම්භ කළ මුල් කාලයේදීම රෝගය සුව වන්නේ නැත. මුල් කාලයේදී කරකැවිල්ල, ක්ලාන්තය, තොලකට වේළීම, මල බද්ධය වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. තවද අධික ලෙස මානසික අවපීඩනයට ලක් වූවන් සඳහා Shock Treatment ප්‍රතිකාර ක්‍රමයද ලබාදෙයි.

මානසික අවපීඩනයට ලක්වූවකුට කළ හැකි ප්‍රතිකාර ලෙස,

– උපරිම ලෙස ආදරය කරුණාව

   ලබාදීම.

– සුදුසුකම් ලත් වෛද්‍යවරයකු

   වෙත ගෙන යෑම.

  • – දොම්නසට හේතුවූ කරුණු

   ඇයගෙන් ඉවත් කිරීමට උත්සාහ

   ගැනීම.

– නිසි තීරණ ගැනීමට උදවු කිරීම.

– මත්පැන්වලට හා දුම් පානයෙන්

   වළක්වා ගැනීම.

– රෝගියාට ‍ෙදාස් පැවැරීමෙන්

   වැළැකීම.

එසේම මානසික අවපීඩනයන්ට මුහුණ දෙන පුද්ගලයන් එයින් මුදාගෙන හැකිතාක් ප්‍රායෝගික ඉලක්කයන් කරා යොමු කිරීම සමාජය සතු ඉතා භාරදූර වගකීමකි.

සචිනි බස්නායක

රූමි රූබන්

විශේෂඥ

මනො වෛද්‍ය

කරාපිටිය

ශික්ෂණ රෝහල