ඉන්දීය හිටපු විශිෂ්ට නායකයකුගෙන්  පුංචි මාලිංග පිළිබඳව අනාවැකියක්

0
34

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමේ වරම් දිනා ගැනීමත් එහිදී දැක්වූ දස්කම් හේතුවෙනුත් ශ්‍රී  ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ විශාල අවධානයක් දිනාගත් මාතෘකාවක් බවට පත්විය. එමෙන්ම ශ්‍රී  ලංකා හිටපු නායක සහ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යැවීම මෙලෙස මතීෂ සම්බන්ධයෙන් මෙතරම් අවධානයක් යොමුවීමට හේතුවූ ප්‍රධානතම සාධකයද විය.

කෙසේ වෙතත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිල මූලික වටයේ මුහුණ දුන් අවසන් තරගය පසුගියදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟින් පැවැත්විණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මතීෂ කඩුලු ලබා නොගත්තද ඉතා හොඳින් පන්දු යවමින් ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකි. එවන් පසුබිමක් තුළ ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව යොවුන් මතීෂට ලබා දීම තුළින් මහේන්ද්‍ර සිං දෝනි කෙතරම් විශ්වාසයක් මෙම යොවුන් තරුව කෙරෙහි පැවැතියේද යන්න සාක්ෂි දරයි.

නමුත් අවාසනාවන්ත ලෙස චෙන්නයි පිල එම තරගයෙන් පරාජය ලැබුවද තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ඉන්දීය නායකයා පවසා සිටියේ එළැඹෙන වසරේ අයි.පී.එල්. තරගාවලියේදී මතීෂ චෙන්නායි පිල වෙනුවෙන් ඉතා ඉහළ දස්කම් දක්වනු ඇති බව තමා විශ්වාස කරන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දෝනි මෙසේද පැවැසීය. “අපේ මාලිංග (මතීෂ) ඉතාමත් දක්ෂයි. පිතිකරුවන්ට ඔහුගේ පන්දු හඳුනා ගැනීම ඉතාමත් දුෂ්කරයි. ඒ අනුව මම විශ්වාස කරනවා මීළඟ අයි.පී.එල්. තරගාවලියේදී ඔහු අපේ කණ්ඩායමට විශාල දායකත්වයක් දක්වාවි”

සටහන -ගමිත දෙහිපිටිය