අලි අගලේ බෝක්කුවෙන් පැන්න  වල් අලියා කළ හදියක්

0
38

වැල්ලවාය, ආනපල්ලම වන වගා රක්ෂිතයේ ගම්මානයට කඩා වැදුණු අලියකු 3 කණුව ගම්මානයේ නිවාස දෙකකට අලාභ හානි කර තිබේ. අලියා මෙසේ පහරදී ඇත්තේ වයෝවෘද්ධ කන්තාවක් සිටි නිවෙසකට හා මවත් දියණිය හා ඇයගේ දරුවන් දෙදෙනා පමණක් ජීවත් වන නිවෙස් දෙකකටය. මෙම අලියා ගම්වැදී ඇත්තේ අලි අගලේ බෝක්කුවක් ආසන්නයෙන් රිංගා ප්‍රධාන මාර්ගයට ගොඩවීමෙනි. පහරදීමෙන් නිවෙස් දෙකේ මුළුතැන්ගෙවල්වලට හානි සිදුවී ඇති අතර දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන ඔවුන් මේ හේතුව නිසා තවත් අසරණ වී සිටිති.

වනජීවී නිලධාරීන් පැමිණ අලියා එළවා දැමීමට කටයුතු කර ඇති අතර කොට්ඨාස භාර මන්ත්‍රි චන්දිම කුමාර ද සිල්වා මහතා පසුගියදා අලියා ගොඩ වූ ස්ථානයෙන් යළි අලින්ට ඒමට නොහැකි වන සේ, ජේ සී බී යන්ත්‍රක් යොදා ගනිමින් පස් වැටියක් දමා අවහිර කරන අයුරු දක්නට ලැබිණි.

නිවෙස් හිමි කාන්තාව වන ඒ.ඩී. චන්දිමා කුමාරි මෙසේ කීවාය, ඒ වෙලාවේ විදුලිය තිබුණේ නෑ. අපි අලි වෙඩි දාලා එළවන්න හැදුවා. උෟ ඒවා පාගලා දැම්මා. ගියේම නෑ. කුස්සියේ කන්න දෙයක් තිබුණෙත් නෑ. පස්සේ තෙල් පන්දමක් හදලා අපි විසි කළා. අපි ගඩොල් කැටයක් කපලා ජීවත් වෙන්නේ. ආයෙ මුල ඉඳලාම ගේ හදාගන්න වෙලා තියෙන්නේ. තවත් කෙනකුට මෙවැන්නක් වෙන්න ඉඩ තියන්න එපා.

වැල්ලවාය – ජී.අයි. රොෂාන්