ඉන්දීය මානුෂීය ආධාර තොගය ශ්‍රී ලංකාවට භාරදෙයි

0
324

ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන රුපියල් බිලියන 2ක මානුෂීය ආධාර තොගය අද (මැයි 22) නිල වශයෙන් මෙරටට ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආධාර තොගය මෙරටට ලබා දී ඇත.

එම ආධාර තොගයේ සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක් සහ මෙට්‍රික් ටොන් 25කට අධික ඖෂධ හා වෛද්‍ය සැපයුම් අඩංගු වේ.

මැයි 18 වන දා තමිල් නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් මෙම ආධාර තොගය චෙන්නායි වරායෙන් මෙරටට පිටත් කර එවන ලදී.

තමිල් නාඩු රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ සැපයීම යටතේ පැමිණෙන පළමු තොගය මෙය වන අතර එහි මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.5කට වඩා අධික ය.

මෙම මානුෂීය ආධාර තොගය මෙරට උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත් ඇතුළුව රට පුරා සිටින ප්‍රතිලාභීන් අතර බෙදා හැරීමට නියමිත ය.