ඉන්ධන නොදුන්නැයි කියා පිරවුම්හල් හිමියාගේ නිවස ගිනිබත් කරලා (PHOTOS)

0
433

කැකිරාව, රනජයපුර ප්‍රදේශයේ පිහිටි ලංකා IOC ඉන්ධන පිරවුම්හල හිමිකාර ව්‍යපාරිකයෙකුගේ දෙමහල් නිවසට ඊයේ (මැයි 21) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා විනාශකර ඇතැයි ඉපලෝගම පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රි විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර ගිණි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ, ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ බිරිද සහ දරුවන් දෙදෙනා බව පොලිසිය පැවසීය.

සිද්ධිය සැලවීමත් සමග අසල්වැසි ගම්වාසීන් හා ඉපලෝගම පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දමා නිවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර ඇත.

ගිනි ගැනීම හේතුවෙන් එම දෙමහල් නිවසට හා එහි තිබූ දේපළවලට බරපතළ හානි සිදුව තිබේ.

දරුවන්ගේ පාසැල් පොත්පත් ද ගින්නෙන් විනාශ වී ඇති අතර එලෙස පොත්පත් අහිමි වූ පාසැල් දරුවන් අතර හෙට (මැයි 23) දිනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුවියක් ද සිටින බව අප වාර්තාකරු පැවසීය.

ඊයේ ( මැයි 21) ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් රනජයපුර ප්‍රදේශයේ පිහිටි ලංකා IOC ඉන්ධන පිරවුම්හලට පැමිණ තිබූ අතර පිරවුම්හලේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් පෝලිමේ සිටි ඇතැම් පිරිසකට ඉන්ධන ලබා දීමට නොහැකිව ඇති බව ත් ඉන් ප්‍රකෝපයටපත් පිරිසක් එම පිරවුම්හල් හිමියාගේ නිවසට මෙලෙස ගිනි තබන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ප්‍රසංග ඒකනායක – මඩාටුගම