සුද්දගෙ කාලේ ලංකාවට ගෙනාපු මාකෝනිගෙ රේඩියෝවට විද්ද හොරු කවුද?

0
242

ගුවන් විදුලි තාක්ෂණය නම ඇසූ පමණින්ම ඕනෑම පාසල් දරුවකුගේ  මතකයට නැඟෙන්නේ ගුවන් විදුලි සංඥා ක්‍රමයේ පියා ලෙස සැලකෙන ගුග්ලියෙල්මෝ මාර්කෝනිය. මාර්කෝනි විසින්ම නිපද වූ ගුවන් විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රයක් ලංකාව සතුව තිබූ බව ඔබ නොදැන සිටින්නට ඇත. මමද දැන නොසිටියෙමි. එහෙත් ඒ පිළිබඳ මූලාශ්‍ර සහ තොරතුරු සොයා ගැනීමෙන් පසුව එම සම්ප්‍රේෂණ යන්ත්‍රය දැකබලා ගැනීමේ කුතුහලයෙන් ඒ ගැන විපරම් කෙළෙමි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කොට විශ්‍රාම ගොස් සිටින ඉන්ජිනේරුවරු මාර්කෝනිගේ යන්ත්‍රය පිළිබඳව දැනුවත්ව සිටියත්, දැනට ඉතාමත් දියුණු සම්ප්‍රේෂණ යන්ත්‍ර භාවිතයට ගැනෙන හෙයින් පැරණි මිල කළ නොහැකි කෞතුක වටිනාකමක් ඇති මාර්කෝනිගේ සම්ප්‍රේෂණ යන්ත්‍රය කොතැනක තිබේද? ඊට කුමක් වීද යන්න ගැන සතුටුදායක පිළිතුරක් නොලැබිණි. අසන්නට ලැබුණේ එකිනෙකට පරස්පර අදහස්ය. පසුකාලීනව එම යන්ත්‍රය භාවිතයෙන් ඉවත් කර ආරක්ෂිතව තිබූ බව පමණක් තතු දත් බොහෝ අය පැවසූහ.

මෙම යන්ත්‍රය අති විශාල වටිනාකමකින් යුත් පෞරාණික වස්තුවක් බව මෙරට බලධාරීන් දැන සිට නැත. ඔවුන්ට එය දැනගැනීමට ලැබී තිබෙන්නේ. ගුග්ලියෙල්මෝ මාර්කෝනිගේ දියණිය මුල්කාලීන සම්ප්‍රේෂණ යන්ත්‍රය දැක බලා ගැනීම සඳහා 1960 දශකයේ ලංකාවට පැමිණි අවස්ථාවේ දීය. ඇය පිළිගැනීම සඳහා ගුවන් විදුලි සංස්ථාවේ උත්සවයක් තිබී ඇති අතර ඇය උපදින්නටත් පෙර පියා විසින් තනන ලද යන්ත්‍රය දැක ගැනීමේ ආශාවක් ඇයට තිබී ඇත.  සම්ප්‍රේෂණ යන්ත්‍රය සිහිවටනයක් ලෙස තබා ගැනීම සඳහා දෙන ලෙස ඇය ඉල්ලා ඇතත් එවකට සිටි බලධාරීන් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

දැනට භාවිත කරන සම්ප්‍රේෂණ යන්ත්‍රවලට වඩා බෙහෙවින් විශාල එම යන්ත්‍රය පසුකාලීනව සවිකොට තිබී ඇත්තේ ඒකල පිහිටි ගුවන්විදුලි විකාශන මධ්‍යස්ථානයේය. ඒකල මධ්‍යස්ථානයේ නවීන උපකරණ සවි කිරීමෙන් පසුව මෙම යන්ත්‍රය දිගුකලක් ආරක්ෂිතව ඊටම වෙන් වූ කාමරයක තබා තිබූ බව දැනගන්නට ලැබිණි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතුව තිබෙන පැරණි උපකරණ බොහෝමයක් අතිශයින් වැදගත් ඓතිහාසික සිහිවටන වන්නේය. ඇතැම් ඒවා අපට එතරම් වැදගත්කමක් නැති වුවත් ලෝකයට ඉතාමත් වටිනා කෞතුක සම්පත්ය. එබැවින් ඒවා ආරක්ෂා කොට මතු පරපුර  සඳහා රැකදීමේ ඉතාම වැදගත් වගකීමක් පාලකයන්ට පැවරී තිබේ.

අප පුරුදුව සිටින්නේ යමක වටිනාකම හ¾දුනා ගත්තේ නම් හැකිතාක් ඉක්මනින් එයට වැඩේ දෙන්නටය. මාර්කෝනිගේ ගුවන්විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රයට සිදු වී තිබෙන්නේ ඒ සන්තෑසියම බව පැහැදිලිය. අපට දැන ගන්නට ලැබුණු අන්දමට එම යන්ත්‍රය සවිකොට තිබූ ආවරණය පමණක් එහි තිබියදී යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇත. බැලූ බැල්මට එහි යන්ත්‍රය නොමැති බව කිසිවකුට දර්ශනය නොවේ. දැනට දැනගන්නට ඇති අන්දමට එම වටිනා සම්ප්‍රේෂණ යන්ත්‍රය ඒකල නැත. දැන් එය අපටත් නැත, මතු පරපුරටත් නැත, මාර්කෝනිගේ දුවටත් නැත. ඇගේ දරුවන්ටත් නැත.

මාධ්‍යවේදීන් හැටියට මේ යුගයේ අපද මුහුණ දී සිටින්නේ මහත් ගැටලුවකටය. කිසියම් තැනක ඇති පුරාවස්තුවක් හෝ කෞතුක භාණ්ඩයක්  පිළිබඳ විචිත්‍රාංගයක් ලියන්නට අපි බිය වෙමු. එයට හේතුව අපේ ලිපියම සොරුන්ට මඟ පෙන්වන්නක් විය හැකි බැවිනි. දැන් ඉන්නේ  බිත්තිය හාරා මුට්ටිය දමන සොරුන් නොවේ.

ප්‍රාඩෝ, ඩිස්කවරිවලින් එන සොරුය. ඇතැම් සොරු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ලොක්කෝය. නැතිනම් රාජකීය පවුල්වලට අයත් රාජකීය සොරුය. ඒ නිසා ඔවුන්ගෙන් පේන අසා වැඩක් නැත.

මාර්කෝනි විසින් තැනූ ගුවන් විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රයක් ලංකාවට දුන්නේ අහවල් එකකට දැයි කෙනෙකුට සැකයක් ඇති වෙන්නට ඉඩ තිබේ. ඒ නිසාම ඊට පසුබිම් වූ කරුණු පිළිබඳව විස්තරද මෙහි තබමි.

  බි්‍රතාන්‍ය තැපැල් සේවයේ ප්‍රධාන ඉන්ජිනේරු සර් විලියම් ප්‍රිස් ඉදිරියේ 1902 වසරේ දිනෙක පෙනී සිටි තරුණයකු තමන්ට ඕනෑම සංඥාවක් කිසියම් ආධාරකයක් නොමැතිව සැතපුම් දෙකක් දුර යැවිය හැකි බව කියා සිටියේය.

ඉන්ජිනේරුවරයා තරුණයාගේ  කතාව හාස්‍යයෙන් සැලකුවා මිස ඔහුට එය විමතිය දනවන කරුණක් වූයේ නැත. එහෙත්  ගුවන් විදුලි සංඥවලට ක්ෂිතිජයෙන් ඔබ්බෙහි ලෝකයේ ඕනෑම තැනකට යෑමේ ශක්තිය ඇති බව තරුණයා විසින් ඔප්පු කර පෙන්වූයේය.

ඒ තරුණයා ඉතාලියේ බොලොඤ්‍ෙඤා් නුවර සිට පැමිණි ගුග්ලියෙල්මෝ මාර්කෝනි නමැත්තෙකි.  ගුවන්විදුලි තරංග ප්‍රබල ජන සන්නිවේදන මාධ්‍යයක ආරම්භය වේ යැයි එදා කිසිවකු නොසිතන්නට ඇත.

තම සොයා ගැනීමට විශාල වාණිජමය පදනමක් ඇති බව මාර්කෝනි දැන සිටියේය. ඒ නිසාම ඔහු ඉතාලියේ සිට විශාල නාවික වෙළෙඳ සමාගම් ඇති බි්‍රතාන්‍යයට පැමිණියේය. 1908 – 1911 අතර කාලය තුළ ඔහු ආරම්භ කළ මාර්කෝනි වයර්ලස් ටෙලිග්‍රාෆ් සමාගම සැලකිය යුතු තරම් ජය අත්පත් කර ගත්තා පමණක් නොව එංගලන්තය, ඉතාලිය, කැනඩාව, ඇමෙරිකාව ආදී රටවල මෙන්ම අන්තර්ජාතික කීර්තියට පත් විය.

ගුවන් විදුලිය මහජනයාට ඉතා ප්‍රයෝජනවත් වූද තව තවත් දියුණු කළ හැකි වූද ජනසන්නිවේදන මාධ්‍යයක් බව මුළු ලොවම පිළිගත්තේය. පළමුවන ලෝක සංග්‍රාමය ආරම්භ වෙත්ම යුද හමුදාව, නාවික හමුදාව සහ ඊට අදාළ වෙනත් අංශවල ප්‍රයෝජනය සඳහා ගුවන් විදුලි මාධ්‍ය යොදාගැනීම කෙරෙහි විශාල උනන්දුවක් ඇති විය. ඒ අනුව මාර්කෝනි ටෙලිග්‍රාෆ් සමාගමේ නිෂ්පාදන කටයුතු බි්‍රතාන්‍ය නාවික හමුදා අධීක්ෂණය යටතට ගන්නා ලදී.

ගුග්ලියෙල්මෝ මාර්කෝනි විසින් නිපදවන ලද ගුවන් විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රය ලංකාවට හිමි වීම පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලයකි. පෙරදිග රටවල් අතර ප්‍රථමයෙන් ගුවන්විදුලි ප්‍රචාරයක් ආරම්භ වූ රට ලංකාවය. 1922 මෙරට සිටි බි්‍රතාන්‍ය තරුණයන් සිලෝන් වයර්ලස් සමාජය නමින් සංගමයක් ද පිහිටුවාගෙන තිබී ඇත. මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ සවි කරන ලද ට්‍රාන්ස්මීටරයක් ආධාරයෙන් පළමුවෙන් ගුවන් විදුලි විකාශනයක් සිදුකර තිබෙන්නේ 1924 ජුනි 27 වැනිදා සර් විලියම් හෙන්රි මැනිං ආණ්ඩුකාරයා විසිනි.

බි්‍රතාන්‍ය අධිරාජ්‍ය තුළ බිහිවූ පළමුවන රජයේ ගුවන්විදුලි මධ්‍යස්ථානය එය විය. ඒ අනුව ලංකාව ගුවන් විදුලි ප්‍රචාරක කටයුතු ආරම්භ කළ පෙරදිග පළමුවන රට බවටද පත්විය. බි්‍රතාන්‍ය යටත් විජිතයක් වුවද ඉන්දියාවේ බොම්බායේ ගුවන්විදුලි ප්‍රචාරක මධ්‍යස්ථානය ආරම්භ කරන ලද්දේ 1927   දීය.

මෙරට 1924 දී සිදුකළ අත්හදාබැලීම් සාර්ථක වූ හෙයින් යටත් විජිත රජය මඟින් ගුවන්විදුලි ප්‍රචාරක උපකරණ මිලදී ගැනීම සඳහා මුදල් අනුමත කොට එංගලන්තයේ මාර්කෝනි සමාගමට යවා ඇත. මාර්කෝනි සමාගම  ට්‍රාන්ස්මීටර් උපකරණ ලංකාවට එවන්නේ 1925 සැප්තැම්බර් මාසයේය. දැනට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පිහිටා ඇති පරණ පිස්සන් කොටුව ඉඩමේ ඒවා සවි කරන ලදී. 1925 දෙසැම්බර් 16 වැනිදා ගුවන්විදුලි ප්‍රචාරක කටයුතු ආරම්භ කරන ලද්දේ එවකට ආණ්ඩුකාර සර් හියු ක්ලිෆර්ඩ් විසිනි.  අතුරුදන්ව තිබෙන්නේ එම සියවසක් පැරණි සම්ප්‍රේෂණ යන්ත්‍රයයි.

උදේනි සමන් කුමාර