ශ්‍රී ලනිප රැස්වීමට රා පොවා එවූ නාලාගිරියා කවුද?

0
93

සාමකාමී අරගලයට අගමැති අතහිත

ශ්‍රී  ලංකාවේ වසර 74ක දේශපාලනයේ යම් වෙනසක් ඇති කරන්නට, බලපෑම් කළ ගෝල්ෆේස් ගෝඨා ගෝ ගම පරිශ්‍රයේ අහිංසක විරෝධතාවන් නොයෙක් දුෂ්කරතා මැද ජයග්‍රහණ කිහිපයක්ම ලබාගත් බව දැන් රට හමුවේ ප්‍රදර්ශනය වී තිබේ. ගෝඨා ගෝ හෝම්, මයිනා ගෝගම වැනි නව සංකල්ප හඳුන්වා දෙමින් ගෙන ගිය එම සාමකාමී සටනට පොහොට්ටු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල විසුරුවා හැරීමටත්, මහින්ද  රාජපක්ෂට අගමැති ධුරය අත්හරින්ටත්, රාජපක්ෂවරුන්ට ඇමැතිකම් තවදුරටත් නොදීමටත්, හැකිවිය. විධායක ජනාධිපති ධුරයට ඇති භුක්තිය සහිත බලතල අඩුකරන්නට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හා ඉතා නුදුරේදී එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමටත් මේ වනවිට සුදුසු වාතාවරණයක් ගොඩනඟාගෙන ඇත. දූෂණ, අක්‍රමිකතා හා කොමිස් ගැහිලිවලට නම් දරා සිටි කැබිනට් ඇමැතිවරුන් යළි එම තනතුරුවලට පත්කිරීම වළක්වා ගැනීමටද මේ පිරිස සමත් වී ඇත.

එසේම, සාමකාමී පිරිසුදු පාලනයක් ගෙනයෑමට ගෙනගිය සටනට එරෙහි වූ දේශපාලන මුග්ධයන් ප්‍රචණ්ඩත්වය ඉදිරියට ගෙනයමින් රට විනාශ කරන්නටද ගත් පියවරද මේ වීරෝදාර විරෝධතාකරුවන් මට්ටු කරන්නට ගත් උත්සාහයද පරාජය කරන්නට ඔවුහු සමත් වූහ.

දිය යට ගින්දර

විරෝධතාකරුවන්ගේ සටන තවම අවසන් වී නැත. එහෙත්, මේ වනවිට එය යම් පසුබෑමක් නැත්නම් දියාරු වීමක් පෙනෙන්නට තිබෙන බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ. විරෝධතාකරුවන්ගේ පිරිසුදු හා අවංක සටනට බොක්කෙන්ම සහයෝගය දුන් ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දැන් ටිකක් අෑත්වී සිටින බවක් පෙනෙන්නට තිබේ. රනිල් වික්‍රමසිංහට දේශපාලන වශයෙන් සහාය දුන් ව්‍යාපාරිකයන්ද, ඔහු අගමැති තනතුරට පත්ව රටේ පාලනය භාරගැනීමෙන් පසු, එම ව්‍යාපාරික පිරිස අෑත්වී සිටින බවටද තොරතුරු ලැබෙමින් තිබේ.

එසේම, මේ අවංක තරුණ පිරිස අතරට රිංගා ගෙන සිටින කණ්ඩායම් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගන්නට දිය යටින් ගින්දර ගෙනයෑමක යෙදී සිටින බවටද ආරංචි පැතිරෙමින් තිබේ.

ටියර් ගෑස් සිනමා හලේ චැනල්_4

ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ යුද්ධයෙන් ශ්‍රී  ලංකාව බේරාගැනීමට උතුරේ යුද්ධය පරාජය කරමින් රට එක්සේසත් කළ රණවිරුවන් ඝාතකයන් ලෙස පෙන්වන්නට චැනල් _ 4 චිත්‍රපටය, ජාත්‍යන්තරයේ ගෙන ගිය ප්‍රචාරය ශ්‍රී  ලංකාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබියදී විජයග්‍රහණ සැමරුම මෙරට අනුස්මරණය කරන මොහොතක චැනල් _ 4 චිත්‍රපටය දැන් ගෝඨා ගෝ ගම පරිශ්‍රයේ ප්‍රදර්ශනය කරවන බවත්ද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසු කීවේ, “ගෝඨා ගෝ ගම” අහෝසි නොකරන බවත්, එම පරිශ්‍රයට අවශ්‍ය පහසුකම් ලබාදී තවදුරටත් එය පවත්වාගෙන යෑමට උදවු කරන බවයි.

අස්වැද්දූ ඉඩමේ අස්වැන්න සොරුන්ට ගන්න ඉඩ දෙන්න එපා

ගෝඨා ගෝ ගමට දැනට දින 45කි. තරුණ පිරිස එය රැක ගත්තේ ලෙයින් කඳුළින් හා දහදියෙනි. සටන් පාඨ උස් හ¾ඩින් කියා උගුර ලේ රස වූයේ වරක් දෙවරක් නොවේ. පරමාර්ථ සාක්ෂාත් වනතුරු ඔවුන් එය දිවි හිමියෙන් රකිනු ඇත.

ඔවුන් වැපිරූ බිමෙහි අස්වැන්න නෙළා ගන්නට විවිධ බලවේග දිෂ්ටි හෙළන බව රහසක් නොවේ. ඒවාට නතු නොවී නිර්පාක්ෂික අරගලය ඒ වූ පරිද්දෙන් රැකගැනීම තුළ විජයග්‍රහණය රැඳී තිබේ.

මහ බැංකු අධිපතිගේ අනතුරු ඇඟවීම

ගාලුමුව‍ෙදාර සාමකාමී උද්ඝෝෂණයට විරුද්ධ වූ පිරිස්, රටේ ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්නට, දේපළ විනාශ කරන්නට, පහර දෙන්නට හා අහිංසකයන් මරා දමන්නට කටයුතු කළ බව රහසක් නොවේ. මේ නිසා රටේ සාමකාමී බවක් හෝ නීතිය ආරක්ෂා වීමක් සිදුවූයේ නැත. රට පුරා පැවැති යම් නොසන්සුන්තාවකි. ඇඳිරි නීතියද ක්‍රියාත්මක කරන්නට සිදුවිය. ශ්‍රී  ලංකා මහ බැංකුවේ අධිපති ධුරය භාරගත් ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසුවේ, ඉදිරි සති දෙක තුළ රටේ දේශපාලන ස්ථාවර බවක් ඇති නොවන්නේ නම් තමා ධුරයෙන් ඉවත්ව යන බවයි. දැන්  ඔහු කියන්නේ රට ප්‍රගතිය කරා යන බවක් හා දේශපාලන ස්ථාවර බවක් ඇතිවෙමින් තිබෙන බවයි. එය සමස්ත ශ්‍රී  ලාංකිකයනට ඇසෙන හොඳ පණිවුඩයකි. අපි දැන්  ඒ මඟේ යමින් රට සංවර්ධනය කරමින්, සැනසිල්ලේ ජීවත්විය හැකි වාතාවරණයක් ඇති කර ගන්නවාද නැත්නම් යළි අගාධයට යන්න පාර කපා ගන්නවාද?

ශ්‍රී ලනිප කණ්ඩායම් රැස්වීමට නාලාගිරියා රා පොවා ගෙන එයි

රනිල්ගේ ආණ්ඩුවට සහයෝගය ලබාදීම හා අමාත්‍ය ධුර ලබා ගැනීමට අදාළව පසුගිය 13 වැනිදා පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අවසන් වූයේ උණුසුම් වාද විවාද සහිතවයි. ශ්‍රී ලනිපයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පිරිසක් අමාත්‍ය ධුර ලබා ගැනීමට එකඟතාවක් සහිතව පෙර සූදානමක් ඇතිව ඔවුන් මේ රැස්වීමට සහභාගි වී සිටි බවක් ඔවුන්ගේ හැසිරීමෙන් හා කතා විලාසයෙන් පෙනෙන්නට තිබිණි. ඔවුන්ට අවශ්‍ය තීරණය ගැනීමට සභා රැස්වීම අවිධිමත් ආකාරයට සිදුකිරීමේ අභිලාෂයක් තිබූ බව පෙනී ගියේ එක් සාමාජිකයකුට හොඳටම මත්පැන් පොවා කැන්දාගෙන ඒමයි. එක් මධ්‍යම කාරක සභිකයකු කැබිනට් එකට කීවේ නාලාගිරියකු රා පොවා කැන්දාගෙනැවිත් තිබුණු බවයි. නාලාගිරියා ලෙස ඔහු හැඳින්වූයේ උෟව බින්තැන්නේ චාමර සම්පත්ය.

රැස්වීම ආරම්භයේ සිටම චාමරගේ මතය වූයේ රනිල්ගේ ආණ්ඩුවට සහයෝගය ලබාදී ඇමැති තනතුරු ලබාගත යුතු බවයි. ඔහුගේ මේ මතයට විරුද්ධව කවුරුන් හෝ වෙනත් අදහස් ප්‍රකාශ කළේ නම් චාමර සියලු දෙනාටම එරෙහිව බාධා කරන්නට විය. ඇතැම් විටෙක ඔහුගේ භාෂා විලාසයද වෙනස් වී පරුෂ වචන කී අවස්ථාද තිබිණි.

විනයක් නොමැතිය ශීලාචාර බවක් නැතිව මධ්‍යම කාරක සභා රැස්වීම ඉබාගාතේ පවත්වාගෙන යෑම ගැන මධ්‍යම කාරක සභිකයන් බොහෝ දෙනෙක් දැඩි කනස්සල්ල පළ කළහ.  කොළඹ දිස්ත්‍රික්කයේ තිලංග සුමතිපාල රැස්වීම අමතමින් චාමර සම්පත්ගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කළේය. පක්ෂයේ වැදගත් තීන්දු තීරණ ගන්නා උත්තරීතර මධ්‍යම කාරක සභාව දැඩි විනයක් සහිතව පවත්වාගෙන යා යුතු බවත් මත්පැන් පානය කර අශෝභන ලෙස නොපැමිණිය යුතු ස්ථානයක් බවත් කී තිලංග සුමතිපාල මේ තත්ත්වය සභාපතිවරයාගේ අවධාරනයට යොමු කළේය.

දක්ෂිණාංශික ඩීල් දේශපාලනයට තිලංග නෑලු

චාමර සම්පත් දසනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන මෙහි අන් සාමාජිකයන්ගේ මතවලටද ඇහුම්කන් දිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

පක්ෂ ලේකම්තුමා සහ තමා ඇතුළු 16 දෙනකු රනිල්ගේ යහපාලන ආණ්ඩුවේ තනතුරු අතහැර පාර්ලිමේන්තුව තුළ රනිල්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කර එළියට පැමිණියේ රනිල්ගේ ජරාජීර්ණ දක්ෂිණාංශික ඩීල් දේශපාලනය ශ්‍රීලනිප මතවාදය හා නොගැටෙන නිසා බවද ඔහු පෙන්වා දුන්නේය.  එසේම රනිල් වැනි අයකු සමඟ ආණ්ඩු කිරීමට අප පක්ෂය කිසි ලෙසකින්වත් එකඟ නොවිය යුතු බව තිලංග සුමතිපාල දැඩි ලෙසම කියා සිටියේය.

තිලංගගේ දීර්ඝ කතාවෙන් පසුව කාරක සභිකයන්ගෙන් 80%ක් පමණ තිලංගගේ අදහස්වලට පක්ෂව කරුණු ඉදිරිපත් කළහ. 

ඇමැති ධුර භාර නොගෙන ආණ්ඩුවට සහාය දීමේ ශ්‍රීලනිපය තීරණය

ඒ අනුව මධ්‍යම කාරක සභාවේ අවසන් තීරණය වූයේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයන් භාර නොගෙන රටට යහපතක් සිදුවන කාරණාවලදී පමණක් ශ්‍රීලනිපයේ පූර්ණ සහයෝගය ලබාදීමටයි.

එම තීන්දුවට එකඟ නොවූ චාමර සම්පත් දසනායක සුපුරුදු පරුෂ වචන කියමින් රැස්වීම අවසන් වන්නටත් පෙර මාරු වී ගියේය. ඔහුට මත්පැන් පොවා කැඳවාගෙන ඒමට බර පැන දරා ඇත්තේ බදුල්ලේ ජේ‍යෂ්ඨයකු සහ අනුරාධපුරයේ ප්‍රබලයකු බව පසුව අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු කණ්ඩායමේ අරමුණු ඉටු නොවුණු තැන ඔවුන් අගමැතිවරයා හරහා මෛත්‍රිට ලිපියක් යොමු කරවමින් ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායමට ආණ්ඩුවේ ඇමැති ධුර භාරගන්නා ලෙස ඉල්ලීමක් කරන ලදී.  අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි මෛත්‍රි පක්ෂ නායකයා හැටියට වෙසක් පෝ දිනට පසුදින එනම් 16 වැනිදා හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවීමට දැනුම්දීමක් කළේය.  මේ අතරතුර චාමර සම්පත් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් පක්ෂය කුමන තීරණයක් ගත්තද තමා ආණ්ඩුව සමඟ එක්වන බව දැනුම්දීමක් කර තිබිණි.

මේ නිවේදනයෙන් ඇවිස්සුණු මධ්‍යම කාරක සභා මන්ත්‍රි පිරිස, පක්ෂයේ සාමූහික තීරණයට පිටින් කටයුතු කරන අයට විරුද්ධව දැඩි තීරණයක් ගත යුතු බව පක්ෂ මහලේකම් දයාසිරිට දැනුම් දුන්නේය.

මේ අතර ආණ්ඩුවේ ඇමැති ධුර භාර ගැනීමට විරුද්ධව මධ්‍යම කාරක සභාවේදී අදහස් දැක්වූ තිලංගට දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තේය. ඔහු ගත් ස්ථාවරය නැවත වරක් දැඩිව ඉදිරියට ගෙනයන ලෙසය.

මේ අතර රාත්‍රිය වන විට කොළඹ ගාමිණි තිලකසිරි, හෙක්ටර් බෙත්මගේ, මන්සිල් ගම්පහ අජිත් බස්නායක, මහනුවර සරත් ඒකනායක එදිරිවීර වීරවර්ධන, ෂාන් විජයලාල් ද සිල්වා වැනි අය අමාත්‍ය ධුර භාර ගැනීමට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට වූහ.  එසේම මෛත්‍රිට දැනගන්නට ලැබුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 54 දෙනාගෙන් තිලංග සමඟ 40කට ආසන්න පිරිසක් ඇමැති ධුර භාර ගැනීමට විරුද්ධව 16 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී විරෝධය පෑමට සූදානම් වන බවය.

මේ හේතුව නිසා මෛත්‍රි මධ්‍යම කාරක සභා රැස්වීම 19 උදේම අවලංගු කරමින් මීට පෙර ගනු ලැබූ ස්ථාවරයේම කටයුතු කරන බව අගමැතිට දැනුම් දෙන්නයි පක්ෂ ලේකම් දයාසිරිට දැනුම් දුන්නේය. ඒ අනුව දයාසිරි රංජිත් සියඹලාපිටිය හා දුෂ්මන්ත යන ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් අගමැති හමු වී තම ස්ථාවරය දැනුම් දුන්නේය.

පක්ෂයේ තීරණය එසේ වුවත් නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායමේ හයදෙනකු ඇමැති ධුර භාර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද මේ සටහන තබන අවස්ථාවේ තොරතුරු පැතිර යමින් තිබිණි. කෙසේ වෙතත් නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර සති අන්තය වන විට කැබිනට් ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටි බවද වාර්තා විය.

එ.ජා.ප.යේ සිටින රජුන් තනන්නා කවුද?

එ.ජා.ප.යේ තනි අලියා ලෙස පාර්ලිමේන්තුවට ගොස් අගමැති තනතුර භාරගෙන සිටින එ.ජා.ප. නායක රනිල් දැන් එ.ජා.ප. නායකත්ව අභ්‍යන්තර අර්බුදය නිමා කරන්නට ඉදිරිපත්ව සිටී. පසුගිය (19දා) රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොතදී රැස්වූයේ පක්‍ෂ නායකත්ව අර්බුදයට විසඳුමක් දීමටය. මේ රැස්වීමට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෝ 39 දෙනෙක් පැමිණ සිටියහ. විජයකලා මහේෂ්වරන් පැමිණ සිටියේ නැත.

රැස්වීම ඇරඹී සුළු වේලාවක් ගතවෙද්දී වජිර නියෝජ්‍ය නායකකමට තරග කරනවාදැයි සාමාජිකයෝ විමසූහ. වජිර දැන් දරන්නේ එ.ජා.ප. සභාපති ධුරයයි. ඔහු එ.ජා.ප.යේ රජුන් තනන්නකු ලෙසට කතාවක්ද පවතී. ඒ රනිල් මෙවැනි තනතුරකට ඔසවා තබන්නට එදා ගෙනගිය දේශපාලන සූත්තරද යට තිබූ බැවිනි. වජිරගෙන් ඇසූ ප්‍රශ්නයට ඔහු දුන්නේ එකම උත්තරය “නෑ…. නෑ… මම නායකකමට මිසක් නියෝජ්‍ය නායකකම්වලට තරග කරන්නේ නෑ. මොකද එ.ජා.ප.යේ හිටපු නියෝජ්‍ය නායකවරුන් හැමෝම එක්කෝ දාලා ගියා. නැත්නම් පක්ෂෙ කැඩුවා” වජිර සිනාසෙමින් කීවේය. ඔහු ඒ හින්ට් එක පාස් කළේ කාටදැයි හැමෝටම තේරිණි. නායක රනිල් කීවේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා සෙසු තනතුරු ඉක්මනින් පිරවිය යුතු බවයි.

එ.ජා.ප.යේ හටගත් කැරලි 13ක් විසඳූ හැටි රවි කියයි

දැනට ප්‍රධාන තනතුරක් නොදැරුවත් පක්‍ෂයේ පැරණි සාමාජිකයකු වන රවි කරුණානායක ඔහුගේ යටි සිතේ පැලපදියම්ව තිබූ දේ කෙළින්ම කීවේය. මම වසර විසි ගණනක් නායකතුමා එක්ක වැඩ කළා. ඒ නිසා දැන් තියෙන්නේ නියෝජ්‍ය නායකයෙක් නෙවෙයි. නායකයාමයි වෙනස් විය යුත්තේ. ඒ තනතුරට මාව ඒකමතිකව පත් කරයි කියලා හිතනවා. රවි කීවේය. පක්‍ෂයට කරඋර දෙමින් කළ සේවය ගැනද සිහිපත් කළ රවි මේ පක්‍ෂයේ කැරලි 13ක් ආවා. ඒ බොහෝ දේවල් විසඳන්න මම මැදිහත් වුණායි කීය.

පක්‍ෂ නායකත්වයට දත ගසාගෙන සිටින වජිර අබේවර්ධන කීවේ සුදුසු තීන්දුවක් ගන්න නායකතුමාට ඉඩ දෙමු. ඡන්ද තියලා පක්‍ෂය භේද කරන්න නරකයි කියාය.

රවි කරුණානායක, නවීන් දිසානායක, ලක්‍ෂ්මන් විජේමාන්න, අනෝමා ගමගේ ඇතුළු පිරිස් විවිධ ප්‍රතිවිරෝධ එල්ල කරමින් දැන් නායකයා ඉවත් විය යුතු බව ඔවුන්ගේ අදහස විය. අනතුරුව රවි කරුණානායක කීවේ වජිරගේ යෝජනාවට තමා එකඟ නැති බවය.

එකඟතාවකින් නොහැකි නම් ඡන්දයකින් හෝ ප්‍රශ්නය අද ඉවර කරමුයි රවි කීවේය.

රහසිගත ඡන්දයකින් එ.ජා.ප. නියෝජ්‍ය නායකකම රුවන්ට යයි

වජිරගේ ස්ථාවරය තමයි හොඳම එක. අනිත් අයත් තරගයට ඉදිරිපත් නොවී නායකයාගේ තීන්දුවට ඉඩ දෙනවා නම් මමත් එකඟයි රුවන් විජේවර්ධන කීවේය.

එහෙත් ඡන්දයකින් ප්‍රශ්නය කෙළවර කරගත යුතු බවට දිගටම හඬ නැඟුණු හෙයින් මහ ලේකම් අකිල ඡන්ද පෙට්ටියක් රැගෙනවිත් අවශ්‍ය පසුබිම සකස් කළේය. රහස් ඡන්දයක් පැවැතියේ ඒ අනුවය. ඡන්ද පැවැතියේ නියෝජ්‍ය නායක පත්කර ගැනීමටය. අපේක්‍ෂකයන් වූයේ රුවන් හා රවියි. ඡන්දය ගණන් කරන ස්ථානයේ රවි, රුවන්, අකිල හා වජිරද සිටියහ. නායක රනිල් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරමින් නිවේදනය කළේ රුවන් ඡන්ද 28ක් සහ රවිට ඡන්ද 10ක් ලැබී තිබෙන හෙයින් රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායකයා ලෙස පත්වන බවය. අනතුරුව රවි, නවීන්, විජයමාන්න හා අනෝමා ගමගේ ඇතුළු කණ්ඩායම රැස්වීමෙන් පිටව ගියහ.

සිරිකොත සිටි පිරිස පක්‍ෂ නායකයාගෙන් විවිධ ප්‍රශ්න යොමු කරන්නට විය. ඇතැම් අයගෙන් විවිධ මත පළවන්නට විය. රුවන් විජයවර්ධනට ඡන්ද 18ක් පැහැදිලි ලෙසම තිබුණු බවත් රවි හා කරුට එරෙහි කණ්ඩායමක් අවසානයේ රුවන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කොට ඇති බවට විග්‍රහ විය.

රනිල් පක්‍ෂ නායකත්වය ගැන සඳහන් කරමින් මාස තුනකින් ඒ ගැන තීන්දුවක් ගන්නවැයි කීය. ආණ්ඩුව 20 සම්මත කරලා අලුත් මැතිවරණ කොමිසමක් යටතේ ලබන වසරේ මාර්තු – අප්‍රේල්වල පළාත් සභා ඡන්දය තියාවි කියලා අනුමාන කරනවා. අපි සූදානම් වෙන්න ඕනෑ” රනිල් කීවේය.

වජිර අද ගේම් එක එල්ල කළේ නායකතුමා වෙනුවෙන්දැයි ඇතැමුන් උපහාසාත්මකව විමසුවේය.

“මම දන්නේ නෑ. එයාගෙන් අහගන්න. හැබැයි ඔහු පක්‍ෂය භේද නොකර සූක්‍ෂ්ම ගේම් එකක් ප්ලේ කළා” යි වජිර කියද්දී රනිල් කීවේ මට දිගටම ඉන්න අවශ්‍ය නෑ. මට පෞද්ගලික ජීවිතයකුත් බලන්න තියෙනවා. පොත් දෙක තුනකුත් ලියන්න සූදානම් වෙලා තියෙන නිසා දැනට රෙස්ට් එකක් අවශ්‍යයි කියායි.

මේ රැස්වීමේදී වජිර තමන් ගැන ලියූ පොතක් නායක රනිල් ඇතුළු සාමාජිකයන්ට බෙදා දුන්නේය.

ගෝඨාගෝගමට පහර දුන් මුග්ධයෝ

ගෝඨාගෝගම සාමකාමී උද්ඝෝෂකයන්ට මුග්ධ දේශපාලනඥයන් කිහිපදෙනකුගෙන් බලපෑම මත පහරදීමට ගිය මුග්ධ පිරිස නැවැත්වීමට කටයුතු නොකරන ලෙස බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කර තිබුණේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

මේ පිරිස නවතන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එදින පෙරවරුවේ තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කර තිබුණත් එම නියෝග නොතකා පොලිස්පතිගේ හා මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්ගේ නියෝග මත ඔහු කටයුතු කර තිබෙන බවට රමේෂ් පතිරණ කළ ප්‍රකාශයෙන් පෙනී යයි. රටේ සේනාධිනායකයා දෙන නියෝග පවා ඔහු යටතේ සිටින පොලිස්පති හා අමාත්‍යාංශ ලේකම්වරු නොපිළිගන්නා බව පෙනී යයි. තත්ත්වය මෙසේ නම් ජනාධිපති සලකන්නේ පඹයකුගේ තත්ත්වයකටද? රටේ ජනතාව “ගෝඨාගෝහෝම්” යැයි කීම මේ අනුවද සාධාරණ දැයි කෙනකුට සිතෙන්නට බැරි නැත.

කවුරුන් කෙසේ ජනාධිපතිවරයා විවේචනයට ලක් කළත් ඔහු මේ සිද්ධියේදී රටේ නායකයා ලෙස ජනතාව වෙනුවෙන් සෘජුව පෙනී සිට ඇති බව ඔහුට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුයි. කලබලකාරී තත්ත්වයක් ඇති නොවීමට මෙහිදී ජනාධිපතිවරයා කොතරම් උනන්දු වී තිබේ ද කිවහොත් මේ අවස්ථාවේ ප්‍රහාරය වළක්වන ලෙස අවේගශීලීව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ට දුරකථන ඇමැතුමක් හරහා දැනුම්දී ඇත. රමේෂ් පතිරණ පවසන්නේ ගෝල්ෆේස් ප්‍රහාරය මේ ආකාරයෙන් හෝ වළක්වා ගැනීමට හැකිවූයේ ජනාධිපතිගේ මේ මැදිහත් වීම නිසා බවයි.

මහින්දට සමුදෙන්න පැමිණි පාක්ෂිකයන් කුලප්පු කළේ කවුද

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්ව ගිය පසුද 9 වැනිදා ඔහුට ගෞවරනීය සමුදීමකට අරලියගහ මන්දිරයේ රැස්වීම සංවිධානය කර තිබූ බව කියන රමේෂ් පතිරණ මන්ත්‍රිවරයා තමාද එහි ගියේ ඒ අදහසින් බවත් ඒ රැස්වීම අවසානයේදී මුග්ධ දේශපාලනඥයන් කිහිපදෙනෙක් එහි පැමිණි ජනතාවට අනියම් බලපෑමක් කළ බව පිළිගත යුතු බවත් ඒ බලපෑමට නතුවීමෙන් පැමිණි අයගෙන් 10%ක් පමණ පිරිසක් ගෝඨාගෝගමට පහර දෙන්න ඕනෑ කියන මානසිකත්වයෙන් ගාලුපාරට යෑම ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක් බවත් කීවේය.

රාජ්‍ය  නායකයා ලෙස, ආරක්ෂක අංශ භාර සේනාධිනායක ලෙස ජනාධිපති දුන් නියෝගය තුට්ටුවකටවත් නොසලකා කොළඹ ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කටයුතු කර තිබෙන්නේ කාගේ බලය අතට ගෙනද යන ප්‍රශ්නය අසන්නට සිදුව තිබේ. අරලියගහ මන්දිරයෙන් ගිය මැරයන් ගෝල්ෆේස්හි සිටි අහිංසක විරෝධතාකරුවන්ට පහරදීම ගැන රමේෂ් පතිරණට දැනුම්දී තිබෙන්නේ ආශු මාරසිංහ හිටපු එජාප මන්ත්‍රිවරයායි. ඒ වනවිට රමේෂ් සිටියේ ජනාධිපති මන්දිරයේ ජනාධිපති සමඟයි. වෙන්නට යන කලබලය ගැන ජනාධිපතිට රමේෂ් දැනුම් දුන්විට, තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු ඉදිරිපිටදී දුරකථන ඇමැතුමක් ගත් ජනාධිපතිවරයා “මොකක්ද මේකේ සිද්ධ වෙන්නේ” කියලා තෙන්නකෝන්ගෙන් විමසූ විට “සර්. මට 12.40ට පොලිස්පතිතුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා. මේකට ජලප්‍රහාර එල්ල කරන්න එපා කියලා.” ඔහු පවසා ඇත. එසේම මේක නතර කරන්න එපා කියලත් පොලිස්පති කී බව තෙන්නකෝන් ජනාධිපතිවරයාට දුරකථනය හරහා කීවේය.

පොලිස්පති SDIG තෙන්නකෝන්ට දුන් ඇමැතුම

තෙන්නකෝන්ගේ ප්‍රකාශයෙන් මල පැන්න ජනාධිපති “මමයි කිව්වේ රටේ ජනාධිපති” වහාම නවත්වනවා” කියලා. තරමක සැරෙන් කී පසු, කඳුළු ගෑස් එල්ල කර මේ ගමන හා ප්‍රහාරය නතර කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පසුගිය 19 වැනිදා ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

මේ වනවිට සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් දෙදෙනා අධිකරණය මඟින් ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ. තවත් මන්ත්‍රිවරුන් පිරිසක් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලිසියට කැඳවා තිබෙන අතර ඔවුන් පිළිබඳව අධිකරණය මොන තීන්දුවක් දෙනවා දැයි කියන්නට දන්නේ නැත.

මානව හිමිකම් කොමිසමට දුන් සාක්ෂි

ගොල්ෆේස් හි ගෝඨාගෝගමට හා එහි සිටි අහිංසක විරෝධකරුවනට පොලු, මුගුරුවලින් පහරදුන් සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අනුව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි කැඳවා ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉහළ නිලධාරීන් දෙදෙනකුගෙන් ලැබුණ නියෝග අනුව තමාට කටයුතු කරන්නට සිදුවූ බවයි. එම ප්‍රකාශයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තෙන්නකෝන් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමේදී ඔහු කියා තිබෙන්නේ පොලිස්පතිවරයාගේ හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග අනුව කටයුතු කරන්නට සිදුවූ බවයි. ඔහු මෙහිදී එම නිලධාරීන් දෙදෙනාගේ නම්ද සඳහන් කොට ඇත.

නිවාස ගිනි තබද්දී පොලිසිය අත් බැඳන් හිටියේ ඇයි

මේ අතර පසුගිය 9 වැනිදා රටපුරා මැති – ඇමැතිවරුන්ගේ හා දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළවලට ගිනි තබා විනාශ කිරීම ගැන දැඩි නොසන්සුන්තාවට පත්ව සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු සිද්ධියට පසුදින පැවැති මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්විය. මේ රැස්වීමට පොලිස්පතිවරයාද කැඳවා තිබූ අතර, ඇතැම් මන්ත්‍රිවරු එසේ මූණටම පවසා තිබෙන්නේ වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසයි. ගිනිබත් නිවාස පිහිටි ප්‍රදේශවල පොලිසි ඒවා වළක්වන්නට ඉදිරිපත් නොවීම ගැනද මන්ත්‍රිවරු පොලිස්පතිට ‍ෙදාස් පවරා ඇත. පොලිස්පති කියා තිබෙන්නේ එම පොලිසිවලට OICලා පත්කර තිබෙන්නේ පළාතේ මන්ත්‍රිවරුන්ගේ නිර්දේශ මත බැවින් ඒ පිළිබඳ වගකීම එම මන්ත්‍රිවරුන්ගේ බව කියමිනි.

පොලිස්පතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ දැඩි විවේචනයට හා දෝෂරෝපණයට මෙසේ ලක්වෙද්දී තවත් අපූරු දෙයක් සිදුවිය. එනම් OICලා 184ක් පත්කිරීමේදී එයින් 182ක්ම නිශ්චිත ක්‍රමවේදය යටතේ සුදුසුකම් සපුරා තනතුරු ලබාගෙන නැති බවයි. වෙනත් විධියකට කියනවා නම් 184කින් සුදුස්සන් ලෙස පත්ව තිබෙන්නේ දෙදෙනකු පමණි. අනෙක් පත්වීම් දේශපාලනය මත වූ ඒවා බව පොලිස්පති අමාත්‍යාංශ ලේකම්ට දැනට මාස 6කට පමණ පෙර රහසිගත ලිපියකින් දැනුම් දීමේ තොරතුරු හදිසියේ මාධ්‍යවලට ලැබී තිබීමයි.

මෙය උෟරාගේ මාළු උෟරාගේ ඇඟේ තියා කැපීමක් දැයි දන්නේ නැත.

බඩේ අමාරුවට දුන් බෙහෙතින් ලෙඩා මරණයට පත්වීම

රනිල් – සජිත් දේශපාලන වශයෙන් එක් වහලක් යට සිටියත් දැන් දෙදෙනා සිටින්නේ දෙපැත්තකය. රනිල්ව දේශපාලන බලයෙන් හුදෙකලා කළේ සජිත්ය. බඩේ අමාරුවට දුන් බෙහෙතට ලෙඩා මළාක් මෙන් සජිත් දේශපාලන වශයෙන් රනිල් පරාජය කරන්නට ගොස් රනිල් සමඟ ඔහු නායකත්වය දුන් මුළු පක්ෂයම පරාජයට පත් කළේය. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයකු ලෙස එජාපයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් මැතිවරණකට නොගොස්ම අගමැති ධුරය ලබා ගත්තේය. ඔහු නියෝජනය කරන පක්ෂයට සිටින්නේ එකම මන්ත්‍රිවරයෙකි. ඒ රනිල්ය. දැන් ඔහු පක්ෂයට මන්ත්‍රිවරු එකතු කිරීමේ සියුම් ව්‍යාපාරයක යෙදී සිටින බවක් පෙනේ. පසුගිය සිකුරාදා සජිත්ගේ සජබෙ මන්ත්‍රිවරුන් දෙදෙනකු රනිල්ගේ ආණ්ඩුවේ ඇමැති තනතුරු ලබා ගත්තේය. ඉදිරියට තවත් කිහිප දෙනකු රනිල්ට එකතුවන බවට දේශපාලන කරළියේ කතාබස් වෙමින් තිබේ. රනිල් සජිත්ට දේශපාලන පාඩමක් කියා දෙන්නට යනවාදැයි දන්නේ නැත.

අත්‍යවශ්‍ය ඔෟෂධ ගෙනෙන ‘හුස්ම’ වැඩසටහන

ඒ කෙසේ වෙතත් රනිල් පසුගියදා සජිත්ගෙන් ලොකු උදව්වක් ඉල්ලා සිටියේය සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලැබ හුස්ම වැඩසටහන හරහා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග දෙකක් ඇණවුම්කොට ලබා දෙන්නැයි අගමැති රනිල් සජිත්ගෙන් ඉල්ලීමක් කළේය. එයට එකහෙළාම එකඟ වූ සජිත් කළේ අදාළ එම ඔෟෂධය ගැන සොයා බැලීමය.

වරුවක් තිස්සේ ඔට්ටු වූ සජිත් එම ඔෟෂධය ගැන සියලු තොරතුරු සොයා ගත්තේය. පසුදා පාර්ලිමේන්තුවට ගිය සජිත් එම ඔෟෂධය ඇණවුම් කිරීමට ‘හුස්ම’ට ඇති හැකියාව ගැන අගමැතිවරයාට දැනුම් දුන්නේය.

එයින් දැඩි ලෙස සතුටට පත් අගමැති රනිල් ඔබතුමාට බොහෝම ස්තූතියි මේ පිළිබඳව මැදිහත්වීම ගැනයි කීවේය.

රට මුහුණ දෙන අසීරු තත්ත්වය ගැන දැඩි අවධානයකින් සිටින සජිත් ඔහුගෙන් රටට සිදුවිය යුත්තේ කුමක්දැයි කල්පනා කරමින්, පසුගිය 14 වැනිදා ශ්‍රී  ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ තානාපතිවරුන් 06 දෙනකු ඇතුළු පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය. එසේ හමුවූයේ යුරෝපා සංගමයේ, ජර්මන් ජන රජයේ, ප්‍රංශයේ, නෙදර්ලන්තයේ, ඉතාලියේ, රුමේනියාවේ තානාපතිවරුන් ඇතුළු පිරිසකි.

ආර්ථික අර්බුදය විසඳන්න සජබ සහාය

ශ්‍රී  ලංකාව දැනට මුහුණදෙන අසීරු තත්ත්වය පිළිබඳව මේ හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ සජිත් ශ්‍රී  ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. තානාපතිවරුන් සියලු දෙනාම පාහේ එම ඉල්ලීමට සහාය දැක්වීමට ඇති හැකියාව ගැන සජිත්ව දැනුවත් කර ඇත.

එදිනම සජිත්ගේ පක්ෂයට දේශපාලන වාසිදායක කරුණක්ද යෙදිණි. ඒ ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එච්.එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික්, ෆයිසල් කාසිම් සහ සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ ලංකා මහජන කොංග්‍රසයේ ඉෂාක් රහුමාන් යන අය විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් හමුවූහ. ඔවුන් සජිත්ට දැනුම් දුන්නේ තමන් සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබාදෙන බවත් ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමඟ එක්ව සිදුකරන බවත්ය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ මේ සියලු දෙනාම රජය සමඟ ඡන්දය දුන් අයයි.

දියසේන කුමාරයා ඩීල්වලින් හිර වෙලා

සජබ මන්ත්‍රි කණ්ඩායම සාකච්ඡාවක යෙදී සිටියදී ගයන්ත කරුණාතිලක පොඩි පහේ හින්ට් එකක පාස් කළේය. රට බේරා ගන්නා දියසෙන් කුමාරයා වගේ ආපු අගමැති රනිල්ට අද මුළු රටම හිනා වෙනවා. ඩීල්වලින් එතුමා හිරවෙලා ඉවරයි.

මෙහිදී පක්ෂ නායක සජිත් දෙසට හැරෙමින් නලින් බණ්ඩාර කීවේ” තවදුරටත් ඔබතුමා මේ ගැටවලට නම් අහුවෙන්න එපා. රටේ ඉල්ලීම ‘ගෝඨා ගෝ හෝම්’ අපේ ඉල්ලීමත් ඒක. ඒ ඉල්ලීම ඔබතුමා පාවලා දෙන්නේ නෑ කියලා මුළු රටම විශ්වාස කරනවා” කියායි.

සජිත් කීවේ අපි ගන්න තීන්දු හැමදාම ගන්නේ ජනතාව වෙනුවෙන්. මොන තරම් අවාසි වුණත් ජනතාවට එරෙහි තීන්දුවක් අපි ගන්නේ නෑයි කියායි.

“ගෝඨා ගෝ හෝම් කියන එක පාවා දෙන්න අපට ලජ්ජා බයක් තියෙනවා” යැයි ද සජිත් කීවේය.

චමල් රාජපක්‍ෂගේ ප්‍රමාද වූ බණ

ජනාධිපති ධුරයේ වාර දෙක අවසන් වූ පසු මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් සමුගත්තා නම් ඉතා හොඳ බව පවසන මහින්දගේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්‍ෂ එසේ අයින් වූවා නම් මෙවැනි දුක් කරදරවලට මුහුණ දෙන්නට සිදු නොවන බවත්, පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සහෝදර ප්‍රේමය කුලුගන්වන ප්‍රකාශයක් කර තිබිණි.

ඇත්ත වශයෙන්ම විය යුතුව තිබුණේ එයයි. නමුත් අයියේ දැන් ඔයා ප්‍රමාදයි. පවුලේ වැඩිමලා ලෙස එදා  මල්ලීට ඔය දැනමුතුකම දුන්නා නම් මහින්ද අද ජොලියේ ඉන්නවාය. දැන් වෙන්න ඕනෑ සියලු විනාශයන් සිදුවී හමාරය. ගෞරවාන්විතව දේශපාලනයට සමු දෙන්නට එදා අවශ්‍ය වූයේ නැත. එවැනි දෙයක් කියන්නට එදා චමල්ට තත්ත්වයක් තිබුණේද නැත. 17 වැනි ව්‍යවස්ථාව ඉවත් කර 18 ගෙනත් පසුව එයත් ඉවත් කර 19 ගෙනත් එයත් ඉවත් කර 20 ගෙනාවේ එදා තිබූ බලය පිළිබඳව රාජපක්‍ෂ පවුලට තිබූ උන්මාදයයි. අද ලොකු අයියා කරන මේ දේශනය මතක බණක් පමණි.

ඩීමන් ආනන්දගේ නවකතාවල සිටි ලේ බොන කළු වවුලා ඇවිත්

අද මේ පාර්ලිමේන්තුව පාලනය කරන්නේ මන්දිරයක ඉන්න රෑට එළියට එන පියඹලා යන ලේ බොන කළු වවුලෙක් බව මාතලේ දිස්ත්‍රික් සජබ මන්ත්‍රිනි රෝහිණි කවිරත්න පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරුන්ට අනතුරු ඇගැවීමක් කළාය.

ඩීමන් ආනන්දගේ නවකතාවල ඉන්නවා කළු වවුලෙක්, යනුවෙන් මේ ඊනියා කළු වවුලා පිළිබඳව මෙසේ හඳුන්වා දුන් මන්ත්‍රිවරිය වැඩිදුරටත් වවුලා ගැන මන්ත්‍රිවරුන්ට විස්තර කර දුන්නේ මෙසේය.

දවල්ට ඉන්න කපුටට වඩා, රෑට මන්දිරෙන් එළියට එන මේ කළු වවුලා භයානකයි. ලේ උරා බොනවා. හප කරනවා.

අද මේ රටත් ඒ තැනට පත්වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ මේ කළු වවුලටද කියන එක මේ කරන සමහර වැඩවලින් හිතෙනවා. මේ කළු වවුලාගෙන්  (කුරුල්ලාගෙන්) බේරෙන්න කියලා මොකද අද එතුමා (රනිල්) අද හුනුවටයේ ගෘෘෂාගේ චරිතය රඟපානවා කිව්වා. හැබැයි දරුවාගේ හැබෑ අම්මා වෙච්ච නතාලියට වඩා ගෘෘෂා දරුවාට ආදරේ බව දන්නවා. අසඩක් ඔබට හොඳ තීන්දුවක් ලබාදේවි. ඒ නිසා මම පක්ෂ නායකයන්ගෙන් ඉල්ලනවා අද මේ රටේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගන්නා පටු අවස්ථාවාදී න්‍යාය පත්‍රවල ඉන්නේ නැතිව එකතුවෙලා මේ ගිනි ගොඩ නිවන්න සහයෝගය දක්වන්න කියලා කියනවා. එකතුවෙලා තීරණයක් ගන්න කියලා මම ඉල්ලනවා.

කළු කුරුල්ලාට බය නැති රෝහිණි

රටට අනතුරක් කරන්නට යන මේ කළු වවුලා ගැන රෝහිණී කවිරත්න මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුවේදී “කළු කුරුල්ලා” ලෙසද හඳුන්වා දුන්නාය.

මන්ත්‍රිවරිය මේ භයානක කළු වවුලා ගැන හැඳින්වීම කෙළේ ඇය නියෝජ්‍ය කථානායක ධුරයට තරග වැද පරාජයට පත්වී දිනකට පසුවය. ඇය මේ තරගයෙන් පරාජයට පත්වූවාද නැත්නම් පරාජය කළාදැයි කියන්නට දන්නේ නැත. එසේ නොකීවත් ඇය සජබ වෙනුවෙන් තරගයට ඉදිරිපත් කෙළේ හදවතින්ම ඇති කැමැත්තටදැයි දන්නේ නැත. කෙසේ වෙතත් ඇය තරගයට ඉදිරිපත්ව තිබෙන්නේ හද කීරි ගැස්සවූ සිද්ධියක් සමඟය. සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඇය ඒ බව හෙළිදරව් කළාය.

මිනිස්සු කියන්නේ ගෝඨාගෝහෝම් කියලා. මගේ නම මේ තනතුරට යෝජනා කළ බවට විපක්ෂ නායකයාගේ ට්විටර් පණිවුඩය දකිනතුරු මම ඒ බව දැන හිටියේ නෑ. නියෝජ්‍ය කථානායක ධුරයට කවිරත්න මහත්මියගේ නම යෝජනා කළේ සජබ නායක සජිත් ප්‍රේමදාසයි. ස්ථිර කළේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයායි.

පසුගිය 16 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදීද කවිරත්න මන්ත්‍රිවරිය කීවේ මේ ආණ්ඩුව කරන්නේ ජනාධිපති – අගමැති නොවෙයි. කළුපාට කුරුල්ලෙක්. ඇය එසේ කියන්නේ කපුටාටයි. කපුටා කවුරුන්දැයි දැන් මුළු රටම දන්නා බැවිනි.

නියෝජ්‍ය කථානායක ධුරයට පොහොට්ටුවෙන් අජිත් රාජපක්ෂගේ නමද, සජබෙන් කුමාරි කවිරත්න මහත්මියගේ නමද ඉදිරිපත් වී තිබූ අතර අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම මතය වී තිබුණේ කාන්තාවක් එම තනතුරට පත්වීම වඩා හොඳ බවයි. ඒ අනුව තරගයකින් තොරව කවිරත්න මහත්මිය පත්කර ගැනීමට පසුගිය 16 වැනිදා උදේ දක්වාම එකඟත්වයක් තිබිණි. එසේ තිබියදී පොහොට්ටු මන්ත්‍රි කණ්ඩායමේ හදිසි රැස්වීමක් පවත්වා, අජිත් රාජපක්ෂ මහතාට ඡන්දය දී ඔහු දිනවිය යුතු බව බැසිල් රාජපක්ෂ පවසා තිබේ. මේ අවස්ථාවේ නියෝජ්‍ය කථානායක ධුරයද තම පක්ෂය දිනාගත යුතු බවද ඔහු පවසා ඇත. අවසානයේ රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වූයේ බැසිල්ගේ මැදිහත්වීම අනුවයි.

බෙනට් රූපසිංහ