ලෝකයටම රහසක් වුණු අයින්ස්ටයින්ගේ දියණියට මොකක්ද වුණේ?

0
773

ඇල්බට් අයින්ස්ටයින් 1879 මාර්තු 14 දින ජර්මානු අධිරාජ්‍යයේ වර්ටම්බර්ග් රාජධානියේ උල්ම් හි යුදෙව් පවුලක උපත ලැබූ අතර ඔහුගේ මවුපියන් වූයේ අලෙවිකරුවකු සහ ඉන්ජිනේරුවකු වූ හර්මන් අයින්ස්ටයින් සහ පෝලීන් කෝච්ය. 1880දී, ඔවුන් මියුනිච් වෙත සංක්‍රමණය වූ අතර, එහිදී අයින්ස්ටයින්ගේ පියා සහ ඔහුගේ මාමා වන ජාකොබ් විසින් ඉලෙක්ට්‍රොටෙක්නිෂ් ෆැබ්රික් ජේ. අයින්ස්ටයින් සහ සී, සෘජු ධාරාව මත පදනම් වූ විදුලි උපකරණ නිෂ්පාදනය කරන සමාගමක් ආරම්භ කරන ලදී. මියුනිච් වෙත සංක්‍රමණය වූ පසුව ඔහු ලුයිට්පෝල්ඩ් ජිම්නාසියම් හි පාසල් අධ්‍යාපනය ආරම්භ කළේය.

1894දී, හර්මන් සහ ජාකොබ්ගේ සමාගමට මියුනිච් නගරයට විදුලි ආලෝකය සැපයීමේ ලන්සුව අහිමි වූ අතර ඔවුන්ගේ උපකරණ සෘජු ධාරා (DC) ප්‍රමිතියේ සිට වඩාත් කාර්යක්ෂම ප්‍රත්‍යාවර්ත ධාරා (AC) ප්‍රමිතියට පරිවර්තනය කිරීමට ප්‍රාග්ධනය නොමැති වීම එයට හේතු විය. පාඩුව පියවීමට මියුනිච් කම්හල පවා විකිණීමට සිදු විය. ව්‍යාපාර සෙවීම සඳහා අයින්ස්ටයින් පවුල ඉතාලියට ගිය අතර, පළමුව මිලාන් වෙතද මාස කිහිපයකට පසු පවියා වෙත ද සංක්‍රමණය විය. පවුල Pavia වෙත ගිය විට, එවකට 15 හැවිරිදි අයින්ස්ටයින්, ලුයිට්පොල්ඩ් ජිම්නාසියම් හි අධ්‍යාපනය අවසන් කිරීමට මියුනිච්හි නැවතී සිටියේය. ඔහුගේ පියා ඔහු විදුලි ඉන්ජිනේරු විද්‍යාව හැදෑරීමට අදහස් කළ නමුත් අයින්ස්ටයින් ඊට එරෙහි වූයේ පාසලේ පාලන ක්‍රමය සහ ඉගැන්වීමේ ක්‍රමයට අමනාප වූ නිසාය. ඉගෙනීමේ ආත්මය සහ නිර්මාණාත්මක චින්තනය දැඩි ලෙස ඉගෙනීම තුළ නැති වී ගිය බවද ඔහු පසුව ලියා තිබිණි. එලෙසම 1894 දෙසැම්බර් මස අවසානයේදී ඔහු තම පවුල හා එක්වීමට ඉතාලියට ගියේ වෛද්‍ය සටහනක් භාවිත කර ඔහුට යන්නට ඉඩ දෙන ලෙස පාසලට ඒත්තු ගන්වමිනි.

අයින්ස්ටයින් කුඩා කල සිටම ගණිතයට සහ භෞතික විද්‍යාවට දස්කම් දැක්වූ අතර ඔහුගේ සම වයසේ මිතුරන්ට වඩා වසර ගණනාවක් ඉදිරියෙන් ගණිතමය මට්ටමක් කරා ළඟා විය. 12 හැවිරිදි අයින්ස්ටයින් ග්‍රීෂ්ම කාලය තුළදී වීජ ගණිතය සහ යුක්ලීඩීය ජ්‍යාමිතිය ස්වෝත්සාහයෙන් ඉගෙන ගත්තේය. එලෙසම අයින්ස්ටයින් වයස අවුරුදු 12දී පයිතගරස් ප්‍රමේය පිළිබඳ ඔහුගේම මුල් සාක්ෂිය සොයා ගත්තේය.

1896දී ඔහු භෞතික විද්‍යාව සහ ගණිතය පිළිබඳ ගුරුවරයකු ලෙස පුහුණුව ලැබීම සඳහා සූරිච් හි ස්විට්සර්ලන්ත ෆෙඩරල් පොලිටෙක්නික් පාසලට ඇතුළත් විය.

අයින්ස්ටයින්ගේ බිරිය වූ 20 හැවිරිදි සර්බියානු ජාතික Mieva Maric ද එම වසරේ පොලිටෙක්නික් පාසලට ඇතුළත් වූවාය. ගුරු ඩිප්ලෝමා පාඨමාලාවේ ගණිත හා භෞතික විද්‍යා අංශයේ සිසුන් හය දෙනා අතර සිටි එකම කාන්තාව ඇය විය. ඊළඟ වසර කිහිපය තුළ අයින්ස්ටයින්ගේ සහ මරිච්ගේ මිත්‍රත්වය ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය වූ අතර, ඔවුන් දෙදෙනාම උනන්දු වූ විෂය වූ භෞතික විද්‍යාව පිළිබඳ වාද විවාද කිරීමට සහ පොත් කියවීමට ඔවුහු පැය ගණන් ගත කළහ. අයින්ස්ටයින් මරිච්ට සිය ලිපිවල ලියා ඇත්තේ ඔහු ඇය සමඟ ඉගෙනීමට කැමැති බවයි. 1900දී, අයින්ස්ටයින් ගණිතය සහ භෞතික විද්‍යාව පිළිබඳ විභාග සමත් වූ අතර ෆෙඩරල් ඉගැන්වීමේ ඩිප්ලෝමාවක් ද ලබාගන්නා ලදී.

1901දී, ඔහු ඩිප්ලෝමාව ලබා ගත් වර්ෂයේදීම ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා ගත් අතර, ඔහුට ගුරු තනතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, ස්විස් පේටන්ට් කාර්යාලයේ තාක්ෂණික සහකාර තනතුරක් භාර ගත්තේය.

එලෙසින් ගතවූ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සමහර කොටස් සැඟව ගොසිනි. (ඔහුට ලිසර්ල් අයින්ස්ටයින් නම් දියණියක් සිටීම ද ඇතුළුව)

අයින්ස්ටයින් සහ මිලේවා මරිචි විවාහ වන්නේ 1903 ජනවාරි මාසයේදීය. නමුත් ඇල්බට් අයින්ස්ටයින් හා මිලේවා මරික්ගේ දියණිය වූ Lieserl Einstein උපත ලබන්නේ 1902 ජනවාරි 27 වැනිදා එවකට හංගේරියාවේ රාජධානිය වූ අද සර්බියාවේ කොටසක් වන Ujvidek නගරයේදීය. ඒ විවාහයට පෙරය.

1902දී Lieserl Einstein හෙවත් ඇල්බට් අයින්ස්ටයින්ගේ දියණිය ඉපදී වසරකට පසු සියලු ඓතිහාසික වාර්තාවලින් අතුරුදන් වන අතර 1986 වනතෙක් කිසිවකුත් Lieserl ගැනවත් ඇය සිටි බවටත් දැනන් සිටියේද නැත.

ලිසර්ල්ගේ උපත රහසක් වීමට ප්‍රධානතම හේතුව වූයේ ඇය විවාහයට පෙර උපත ලැබූ නිසායි. 

1901දී භෞතික විද්‍යා හා ගණිත ශිෂ්‍යාවක් වූ මිලේවා මරික් අයින්ස්ටයින් සමඟ පාසල හැරගොස් සර්බියාවට ගිය අතර ඊළඟ වසරේ ඇය දියණියක් බිහි කළාය. ඒ දියණිය ලිසර්ල්ය.

ලිසර්ල් අයින්ස්ටයින් අතුරුදන් වූ බව පැවැසුණත් මවුපියන්ගේ මරණයන් හෙවත් 1948 හා 1955දී  මරික්ගේ හා අයින්ස්ටයින්ගේ මරණයන් වනතුරු ඇය සැඟව සිටි බව පැවැසේ.

ඇයගේ අතුරුදන් වීම කෙතරම් සම්පූර්ණ වීද යත්, 1986 වන තෙක් ඉතිහාසඥයන් අයින්ස්ටයින්ගේ දියණියක් ගැන කිසි දිනක දැන සිටියේ නැත. එම වසරේ ඇල්බට් සහ මිලේවා අතර හුවමාරු වූ ලිපි සොයාගත් අතර එහිදී පර්යේෂකයන් ලිසර්ල් නම් දියණියකගේ සටහනක් සොයා ගත්තේය.

1902 පෙබරවාරි 4 වැනිදා ඇල්බට් අයින්ස්ටයින් මිලේවා මරික්ට මෙසේ ලිවීය, “ I was scared out of my wits when I got your father’s letter because I had already suspected some trouble.”

“ඔබේ පියාගේ ලිපිය  ලැබුණු විට මා බියට පත් වුණා. මොකද දැනටමත් තිබෙන කරදර ගැන සැක කළා.”

ඒ වන විට අයින්ස්ටයින් ස්විට්සර්ලන්තයේ ජීවත් වූ අතර මරිචි නැවත සර්බියාවේ ඇගේ උපන් ගමට පැමිණ තිබිණි.

ඉන් පසුවද අයින්ස්ටයින් හා මරිචි අතර දිගින් දිගටම ලිපි හුවමාරු විය.

“ඇය නිරෝගීද, ඇය දැනටමත් හොඳින් සිටිනවාද?” අයින්ස්ටයින්ට දැන ගැනීමට අවශ්‍ය විය. “ඇයට තියෙන්නේ මොන වගේ පුංචි ඇස්ද? ඇය අප දෙදෙනාගෙන් කා හට වැඩියෙන් සමානද?”

භෞතික විද්‍යාඥයාගේ ප්‍රශ්න දිගින් දිගටම ගලා ගිය අතර අවසාන වශයෙන්, ඔහු පැවැසුවේ, “මම ඇයට බොහෝ සේ ආදරය කරන අතර මම තවමත් ඇයව හඳුනන්නේ නැත” යනුවෙනි.

එලෙසම අයින්ස්ටයින් මිලේවාගෙන් ඇසුවේ, “ඔබ නැවත සම්පූර්ණයෙන්ම නිරෝගී වූ පසු ඇයව ඡායාරූප ගත කළ හැකිද?” නැත්නම් තම දියණියගේ චිත්‍රයක් සාදා තමාට එවන්නැයි ඔහු තම පෙම්වතියගෙන් අයැද සිටියේය.

කෙසේ නමුත් මිලේවා 1903 ජනවාරි මාසයේදී අයින්ස්ටයින් සමඟ විවාහ වීමට ස්විට්සර්ලන්තයේ බර්න් වෙත පැමිණියත් තම දියණිය ලිසර්ල් රැගෙන පැමිණ තිබුණේ නැත.

එම අවස්ථාවේ පටන් දරුවා සියලු ඉතිහාස වාර්තාවලින් අතුරුදන් වූ අතර ලිසර්ල් අයින්ස්ටයින් අවතාරයක් බවට පත් විය. ඇත්ත වශයෙන්ම 1903න් පසුව හමුවූ ලිපිවල එක   අකුරකවත් ලිසර්ල් යන නම අඩංගු නොවීය.

ලිසර්ල් අයින්ස්ටයින් සොයාගැනීම

ඇල්බට් අයින්ස්ටයින්ට ලිසර්ල් අයින්ස්ටයින් නම් දියණියක් සිටින බව විද්වතුන් දැනගත් විට ඇය පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ විය. නමුත් ඉතිහාසඥයන්ට ලිසර්ල් අයින්ස්ටයින්ගේ උප්පැන්න සහතිකයක් හෝ එකදු වෛද්‍ය සහතිකයක් තියා දරුවා පිළිබඳ සඳහන් කළ මරණ සහතිකයක්වත් සොයා ගැනීමට නොහැකි විය.

“Lieserl” යන නම පවා ඇගේ සැබෑ නම නොවිය හැකි බවට අනුමාන කළ අතර අයින්ස්ටයින් සහ මිලේවා ඔවුන්ගේ ලිපිවල  “ලීසර්ල්” සහ  “හැන්සර්ල්” යන ජර්මානු ජාතික නම් භාවිත කර තිබීම එයට හේතු විය.

Lieserl පිළිබඳ අබිරහසක් ඉතිරිව තිබියදී, ඉතිහාසඥයන් ඇයට සිදු වූ දේ පිළිබඳ ඉඟි එකතු කිරීමට උත්සාහ කළේය.

අයින්ස්ටයින් හා මිලේවා අතර විවාහයට අයින්ස්ටයින් ගේ මවගෙන් බාධා වුණු අතර ඇය දිගින් දිගටම පැවැසුවේ ඔබට අවු. 30 වන විට ඇය දැනටමත් මහලු වනු ඇති බවයි.

විශේෂයෙන්ම අයින්ස්ටයින්ගේ ලිපිවල ලිසර්ල්  ගැන අවසන් සඳහන ලැබෙන්නේ 1903 සැප්තැම්බර් මාසයේදීය. “ලිසර්ල්ට සිදු වූ දෙය  ගැන මට කනගාටුයි” ඇල්බට් මිලේවාට ලීවේය.

මාස 21ක් පමණ වයසැති ලිසර්ල්ට තද රතු උණ වැලඳී ඇති බව පෙනෙන්නට තිබූ නමුත් අයින්ස්ටයින්ගේ ලිපියෙන් ඇඟවෙන්නේ ඇය දිවි ගලවා ගත් බවයි, “මෙය සමත් වුවහොත් පමණක්,” ඔහු ලිවීය.  “දරුවා ලියාපදිංචි කර ඇත්තේ කොහොමද? පසුව ඇයට ගැටලු ඇති නොවීමට අපි පූර්වාරක්ෂාව ගත යුතුයි.”

මෙම කුඩා හෝඩුවාවන් නිසා විද්වතුන්ට න්‍යායන් දෙකක් පමණක් ඉතිරි විය. පළමුවැන්න නම් එක්කෝ ලිසර්ල් ළමා වියේදී මියගිය බවත් නැතහොත් අයින්ස්ටයින් ඇයව දරුකමට හදා ගැනීමට අත්හැරි බවත්ය.

අයින්ස්ටයින්ට  තම දියණිය සඟවා තැබීමට හේතු පැවැතිණි. එනම්, ඔහු ස්විට්සර්ලන්ත පේටන්ට් බලපත්‍ර කාර්යාලයක සේවය කරමින් සිටි නිසාත්, විවාහයට පෙර දියණියක සිටීම නිසා ඔහුට රැකියාව අහිමි වනු ඇතැයි විශ්වාස කළ නිසාත් බව පැවැසේ.

1999දී Michele Zackheim කතුවරයා Einstein’s Daughter: The Search for Lieserl කෘතිය ප්‍රකාශයට පත් කළ අතර පවුල් විස්තර ගැන සර්බියානුවන් සමඟ හෝඩුවාවන් සෙවීමට සහ සම්මුඛ සාකච්ඡා කිරීමට වසර ගණනාවක් ගත වූ පසු, සැක්හයිම් න්‍යායක් වර්ධනය කළේය. එනම් සැක්හයිම්ට අනුව, ලිසර්ල් උපත ලැබුවේ නොදන්නා ආබාධයන් සහිතවය. මිලේවා මරික් අයින්ස්ටයින් සමඟ විවාහ වීමට බර්න් වෙත යන විට ඇගේ පවුලේ අය හට ලිසර්ල් භාරදී ගිය අතර පසුව, ඇගේ දෙවැනි උපන් දිනයට මාස කිහිපයකට පෙර ලිසර්ල් මියගිය බව සඳහන්ය.

තම දියණියගේ ඡායාරූපයක් ගැනීමට මහත් ආශාවෙන් සිටි ඇල්බට්ට කිසි දිනෙක ලිසර්ල් අයින්ස්ටයින් හමු නොවුණි. එලෙසම 1903න් පසු ඔහු ඇය ගැන ලිඛිතව සඳහන් කළේ ද නැත. සමහර විට ඒ මිලේවා මරිච්ට දාව පසුව උපත ලැබූ නව දරුවා ගැන සිතූ නිසා විය හැකිය.

ලීසර්ල්ගේ උපතින් සති කිහිපයකට පසු, අයින්ස්ටයින්ගේ මව මෙසේ ලිවීය,  “මාරික් මෙනෙවිය මගේ ජීවිතයේ දුෂ්කරම හෝරා ඇති කරයි. මා හට හැකි වූවා නම්, මම ඇයව අපගේ ජීවිතයෙන් නෙරපා හැරීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා, මම ඇයට ඇත්තටම අකැමැතියි.” එහි සඳහන් විය.

එමෙන්ම සැක්හයිම් තර්ක කරන්නේ, “ඔහු අතිමහත් දක්ෂ නිර්මාණශීලී බුද්ධිමතකු වුවත් බියකරු පියකු බවත්, ඔහුගේ දරුවන්ට කිසිසේත් කරුණාවන්ත නොවුණු බවත්ය.” එසේ පැවැසීමට හේතුව නම් ඔහු තම පුතුන් දෙදෙනා මරිච් සමඟ තනිකොට දෙවැනි විවාහයක් සිදු කර ගැනීමයි. එමෙන්ම තම පළමු බිරිය මානසික අවපීඩනයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කාන්තාවක් බවත්  Schizophrenia රෝගයෙන් පෙළෙන තම බාල පුත් එඩ්වඩ් කිසිදින නොඉපදුණා නම් යැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් ඔහු වරෙක කනගාටුවෙන් පාපෝච්චාරණය කර ඇත.

නමුත් ඊට විරුද්ධව එල්ල වන කරුණ නම් පසුව හමුවූ ලිපිවලින් ඔහු ඔහුගේ පළමු බිරිය හා දරුවන් කෙරෙහි අනුකම්පාව දක්වා තිබීමයි.

එලෙසම ඔවුන්ට උපකාර කිරීමට ඔහුගේ 1921 නොබෙල් ත්‍යාගයෙන් කොටසක් පිරිනමා ඇත.

අනෙක් අතට තම පුත් එඩ්වඩ්ගෙන් කවි හා පින්තූර ලැබීම කොතරම් සතුටක් ලැබුවාදැයි හා තමන් වගේම සිටි දරුවා සුව කළ නොහැකි මානසික රෝගයකට ගොදුරු වූ බවත් ඔහු තම දෙවැනි බිරිය එල්සා සමඟ විවෘතව සාකච්ඡා කර තිබිණි.

1904දී මිලේවා නැවතත් ගැබ්ගෙන ඇති බව ඔහු තේරුම් ගත්තාය. ඇල්බට්ගේ ප්‍රතිචාරයට බියෙන් ඇය එය පැවැසීමට බිය විය. නමුත් ඔහු තම බිරියට පැවැසුයේ ඔහු ඒ පිළිබඳ සතුටු වන බවත් ඇයට නව lieserl කෙනකු ලැබෙන බව ඔහු නොදැකිය යුතුද යන්න පිළිබඳ යම් අදහසක් ඔහු දැනටමත් ලබා දී ඇති බවත්ය.

1904 මැයි මාසයේදී ඔවුන්ගේ පුත් හාන්ස් ඇල්බට් අයින්ස්ටයින් ස්විට්සර්ලන්තයේ බර්න් හි උපත ලබන අතර ඔවුන්ගේ දෙවැනි පුත් එඩ්වඩ් 1910 ජූලි මාසයේදී සූරිච් හි උපත ලැබීය. මෙම යුවළ 1914 අප්‍රේල් මාසයේදී බර්ලිනයට ගිය නමුත්, අයින්ස්ටයින් හා ඔහුගේ ඥාති සොහොයුරියක වන එල්සා අතර ඇති සම්බන්ධය දැනගත් පසු මාරිච් පුතුන් සමඟ සූරිච් වෙත ආපසු ගියේය. අයින්ස්ටයින් සහ මරිච් වසර පහක් වෙන්ව 1919 පෙබරවාරි 14 දින දික්කසාද විය. දික්කසාද විසඳුමේ කොටසක් ලෙස, අයින්ස්ටයින් මරිච්ට ඔහුගේ අනාගත (1921) නොබෙල් ත්‍යාග මුදල ලබා දීමට එකඟ විය.

එලෙස 1919දී, විවාහයෙන් වසර 16කට පසු තම බිරිය මානසික අවපීඩනයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කාන්තාවක් බව පවසමින් ඇයගෙන් දික්කසාද වි තම ඥාති සොහොයුරියක් වන එල්සා අයින්ස්ටයින් සමඟ විවාහ විය.

ඉන්පසුව 1933දී එක්සත් ජනපදයට සංක්‍රමණය විය. 1935දී එල්සාට හෘද හා වකුගඩු ආබාධ ඇති බව හඳුනා ගන්නා ලද අතර 1936 දෙසැම්බර් මාසයේදී ඇය මිය ගියාය.

මෙලෙසින් ඇල්බට් අයින්ස්ටයින්ගේ ජීවිත කතාව තුළ මහත් ගැටලුවක් වූ ලිසර්ල් අයින්ස්ටයින්, අදටත් නොවිසඳුණු අබිරහසක් වී හමාරය…!

චානුක සහන්