රනිල් ජන අරගලය පාවා දුන්නාද?

0
113

“පොහොට්ටුවේ මැරයෝ අරගල භූමියට කඩා වැදිලා අරගලකරුවන්ට පහර දීලා ජනතාව කුපිත කළා. කුපිත වූ ජනතාව පුළු පුළුවන් හැටියට පහරදුන් අයට පහරදීලා තමන්ගේ කෝපය පිට කර ගත්තා. ඒ අතරේ හැබෑවටම ප්‍රතිවිරෝධය පාපු අයට අමතරව මංකොල්ලකාරයෝ, කුඩ්ඩොත් රිංගලා මහ විනාශයක් කළා. අන්තිමේදී අගමැති තනතුර අත්හැරලා යන්නේ නෑය කියපු මහින්දට ඉල්ලා අස්වෙන්නත් වුණා. අරලියගහ මන්දිරයේ තනි වුණා. ජනතාව  ඒක වැටලුවා. මහින්දව හමුදාව ඇවිත් එතැනින් මුදාගෙන ත්‍රිකුණාමලයේ නාවික කඳවුරක රැඳෙව්වා. අරලියගහ මැඳුරෙන් පටන් ගත් අරගල භූමියේ අයට පහර  දෙන සැලැස්ම මහ විනාශයකින් කෙළවර වුණා.”

මේ පසුගියදා සිද්ධ වුණු දේ ගැන තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල, රට පුරා තැන තැන ජනතාව කතා වූ දේය. මේ විනාශයෙන් අනතුරුව අලුත් ජවනිකාවක් රඟ දැක්වූයේය. ඒ හිස් වූ අගමැති තනතුර සජිත්ට භාරගන්න කියපු ජනාධිපති ගෝඨාගේ ක්‍රියාදාමයය. ඊට පිළිතුරක් දෙන්නට පෙරම, පෙර සූදානම් කරගෙන තිබුණු නිසාදෝ, කලින්ම කතා කරගෙන තිබුණු නිසාදෝ හිටි ගමන් රනිල් අගමැතිකම භාර ගත්තේය.

“ඇයි රනිල්ටම මේ තනතුර දුන්නේ?” බොහෝ දෙනා ඒ ප්‍රශ්නය නැඟුවේ තේරුමක් ඇතිව විය යුතුය. සැබැවින්ම රනිල්වම තෝරා ගත්තේ ඇයිද යන්න පිළිබඳ රට තොට කතා බොහෝ තිබුණේය. මේ ඒවායෙන් බිඳකි.

“පළමුවැනිම කාරණය තමයි රනිල්ව මේ මොහොතේ දැම්ම ගමන් කවුරුත් යාන්තමට හරි හිතනවා මොනවා හරි කරලා ගොඩ දායි කියලා. ඒක වෙයිද නැද්ද කියන එක කොහොම වෙතත් ජනතාවගේ පීඩනය වෙන පැත්තකට හරවන මේ වැඩෙන් රාජපක්ෂ ජනාධිපතිටත්, රාජපක්ෂ මහින්දත් ඇතුළු රාජපක්ෂ සනුහරේටම පොඩි ගැලවිල්ලක් හදාගන්න ඉඩ එනවා.”

“රනිල් යූඑන්පීයේ නායකයා වුණත් හැමදාම මහින්දලාගේ විශ්වාසවන්ත හිතවතා. ඒ විශ්වාසය දේශපාලනයට එහා ගිය එකක් බව ජනතාවට තේරිලා ඉවරයි. රනිල් විපක්ෂයේ ඉන්න කොට සජිත්ලා කැරලි ගහද්දි  එයාව මහින්ද බේරගත්තා. මහින්ද විපක්ෂෙට ගියාම රනිල් එයාලව බේරගත්තා.   මේක නාට්‍යයක්. කවුරුත් ඒ බව දන්නවා. ඉතින් ටික කාලෙකට හරි රනිල්ව දාලා මේ බරපතළ ජන විරෝධය පාලනය කර ගන්නයි රනිල්ව පාවිච්චි කළේ.”

“රනිල් අගමැති වෙච්ච ගමන් රටේ ආර්ථිකය ගොඩදාන්න ඕන කියලා කොහොම හරි සජබෙ හොඳම ටික කඩා ගන්නවා. එහෙම කළොත් සජබෙ දෙදරනවා. ඒක මහින්දලාටත් වාසියි. රනිල්ටත් වාසියි. දෙකම රනිල්ගෙන් වෙනවා. ජන විරෝධයත් වෙනත් තැනකට විතැන් වෙනවා. රනිල් හරහා මේ කුණාටුවේ බලය අඩු කරගෙන ආයේ රාජපක්ෂලා කරළියට  එන්න බලනවා.”

“මේ වෙලාවේ ටිකක් පස්සට ගිහිල්ලා රනිල් ඉස්සරහට දාලා රාජපක්ෂවරු ගේමක් ගහන්නයි යන්නේ. අකුණු ගහන වෙලාවට ගෙදර තියෙන යකඩයක් එළියට දානවා වගේ රනිල්ව කරළියට දැම්මා. රනිල් දැන් ආර්ථිකය හදන වැඩේ කරලා පෙන්නුවේ නැත්නම්  එතැනින්ම එයා ඉවරයි. ජනතාව අතර තව තවත් පිරිහෙනවා. මොනවා හරි කරලා ගොඩ දැම්මොත්  ඒකෙන් සජබෙට අවාසි වේවි කියලත් මහින්දලා හිතනවා.” ජනතාවගේ මේ අදහස් මෙසේ පෙළ ගස්වද්දී සිතෙන දෙයක් නම්,

“හරි! රනිල් මේ කුණාටුවේ බරපතළකමට මුහුණ දෙන්නේ තනියම නොවෙයි නම් එයාට මේ ගේම ගහන්න පිරිසක් ඕනෙමයි. සජබ, ජාජබ සෘජුව ආණ්ඩුවට  එකතුවෙලා සහාය දෙන්නෙත් නෑ. සජබ විපක්ෂයේ සිටගෙන හොඳ දේට උදවු කරන බව කියනවා. එහෙම වුණොත් පොහොට්ටුවේ ටීම් එකත් අරන් තමයි රනිල්ට මේ ගේම ගහන්න වෙන්නේ. කොහොමද එයා මේ ගේම ගහන්නේ කියලයි හිතන්න ඕන” යන්නය.

පසුගිය 16දා රනිල් ජාතිය අමතා ගේම් එක කෙසේ වෙතත් රටේ තත්ත්වය ගැන කියූ කතාව කාගේත් අවධානයට ලක් වුණේය.

“ගේම් එක ගහන්නේ කොහොමද කියන එක පොඩ්ඩකට පැත්තක තියලා රනිල් කියූ කතාවේ තිත්ත ඇත්තක් තියෙනවා” සමහරු එසේ කියන්නට වූහ.

“බෙහෙත් අර්බුදය උග්‍රයි. අත්‍යවශ්‍ය  ඔෟෂධ 14ක් හිඟයි. හෘද රෝග බෙහෙත් නැත්තටම නෑ. පෝලිම් පාලනය කරන්න නම් ඇමෙරිකන් ඩොලර් මිලියන 75ක් කඩිනමින් අවශ්‍යයි. අඟහරුවාදා වනවිට ගෑස්වලට මුදල් ගෙවනවා. ඉන්දියාවෙන් ඩීසල් ලැබුණා. ඒත් භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 5ක්වත් හොයා ගන්න බෑ. ඩොලර් නැතිව තෙල් නැව් 3ක් දින 40ක් මුහුදේ. පෙට්රල් තියෙන්නේ දවසකට විතරයි. රාජ්‍ය – පෞද්ගලික  එක බැංකුවකවත් ඩොලර් නෑ. ඉදිරි මාස කිහිපය ඔබට _ මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කරන්න වෙනවා. දවසකට පැය 15ක් විදුලිය කපන්න වේවි. තෛල් සංස්ථාවට, විදුලියට ඩොලර් කෙසේ වෙතත් එක රුපියලක්වත් හොයාගන්න නෑ. අකැමැත්තෙන් වුණත් අපට සල්ලි අච්චු ගහන්න වෙනවා. බිලියන 372ක් පාඩු විඳින ශ්‍රී  ලන්කන් පෞද්ගලීකරණය කළ යුතුයි. සියලු පක්ෂ එකමුතුවෙන් වහාම ජාතික සභාවක් පිහිටුවිය යුතුයි”

රනිල්ගේ ජාතිය අමතා කළ කතා කිරීමේ සාරාංශය මෙසේය. එය ජනතාව අතරට කාන්දු වෙන්නට හැරි කටුක යථාර්ථයක් සේ  පෙණුනත්  රනිල් ඉහළින් ගහන්නට හදන ගේමේ සාර්ථක ඉලක්කයන් හි ඉඟිද නැතිවා නොවේ යැයි පෙනෙන්නට තිබෙන්නකි. එම කතාවේ එක් තැනක රනිල් මෙසේ කියයි.

“2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අය-වැය වෙනුවට අලුත් අය _ වැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරලයි තියෙන්නේ. එය සහන අය-වැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම”

මෙය ජනතාවට පොරොන්දුවක් වගේම බලාපොරොත්තුවක් ඇති කරවන උත්තේජකයන් සපයන්නක් මෙන් මතුවන්නකි.

“මොනවද සහන? කිරිපිටි – තෙල් _ ගෑස්, අත්‍යවශ්‍ය ආහාර පාන මිල අඩු කරනවද? අඩුවෙයිද?”

ජනතාව එහෙමත් හිතන්නට පුළුවන. ඒ තරමටම ඔවුන් වටා පෙළ ගැසුණු විසඳුමක් නැති ප්‍රශ්න වැලක්ය.

ඔහු රාජ්‍ය සේවකයන් භීතියට පත් කරමින් අනතුරක් පෙන්වා “මට බොරු කියන්න බෑ. මේකයි ඇත්ත” ය කියා නොකියා කියමින් රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නට බැරිවන තත්ත්වයක් තිබෙන බවත් කීවේය. එසේ වුවත් එම වැටුප් ගෙවන්නටම ඕනෑ නිසා “අකැමැත්තෙන් වුණත් සල්ලි අච්චු ගහන්න කියන්න වෙනවා. ඊට අවසර දෙන්න වෙනවා” කියා කීවේය.

“මහින්දත් කළේ ඕකමනේ. සල්ලි අච්චු ගහන එක සීමාව ඉක්මවලා ගිහින් අපි ලොකු අනතුරක ඉන්න බව ආර්ථික විශ්ලේෂකයෝ විතරක් නෙවි විපක්ෂ දේශපාලනඥයනුත් කිව්වානේ. ඉතින් රනිල් ඇවිත් කරන්නෙත් ඒකමනේ.”

කාට හෝ එසේ ප්‍රශ්න කරන්නට සිත් දෙනු ඇත. එහෙත් රනිල් තමන්ට දිගටම යම් කාලයක් වෙනුවෙන් මුදල් අච්චු ගහන්නට තවදුරටත් ඕනෑ වන නිසා ඊට ඉඩක් ලබාගන්නට මෙසේ කීවා වෙන්නට පුළුවන්ය. ඒ නිසා රට යථා තත්ත්වයට පත්වන තුරු “සල්ලි අච්චු ගහන  එක ගැන ලොකු විරෝධතා එපා” යන්න රනිල් නොකියා කියනවා වන්නටද පුළුවන.

ඉන් සිදුවන අනර්ථය මෙසේ යැයි කියන්නටද ඔහු අමතක නොකළේය.  එය මෙසේය.

“කෙටි කාලීනව අපි මුහුණ දෙන්නට යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩිවෙන්න ඉඩ තියෙනවා.”

The Hindu පුවත්පත රනිල්ගේ උප්පරවැට්ටි හා ගේම් ගැන නොකියමින් ජාතිය අමතා කළ කතාව හා ගළපමින්, එහි තැන් කිහිපයක් උපුටා දක්වමින් පැවැසුවක් මෙහි සටහන් තැබීම වටින්නේය.

“වික්‍රමසිංහ මහතා ජර්මානු නාට්‍ය රචක බර්ටෝල්ට් බේ‍රෂ්ට්ගේ ‘කොකේසියානු හුණුවටයේ කතාව’ උපුටා දක්වමින් කියා සිටියේ තමා ඉදිරියේ ඇති අභියෝගාත්මක කර්තව්‍ය ඉස්මතු කර දක්වමිනි. ඔහු තම තත්ත්වය උපමා කළේ ගෘෘෂාගේ චරිතයටය. තමාගේ නොවන දරුවකු වඩාගෙන කැඩිච්ච ලණු පාලමකින් එගොඩ වන තත්ත්වයකටය. “මෙය ඊටත් වඩා දුෂ්කර කටයුත්තක්” බවද ඔහු කීවේය. ප්‍රපාතය ගැඹුරු වන අතර එහි පතුලක් නොපෙනෙන අතර පාලම තුනී වීදුරුවලින් සාදා ඇති බවත්, අත්වාරුවක්ද නොමැති බවත් තමන්ගේ කාරිය වන්නේ දරුවා ආරක්ෂිතව අනෙක් පැත්තට ගෙනයෑම බවත් ඔහු කීවේය.

The Hindu පුවත්පතේ සටහන කෙසේ වුවත් “තමන්ගේ නොවන දරුවකු වඩාගෙන දුෂ්කර වැල් පාලමෙන් ගොඩ කරවන්න හදන උත්සාහය” මෙරට මාධ්‍ය හා කාටූන් ශිල්පීන්ගේ නිර්මාණ තුළ විවිධ අරුත් ගන්්වා තිබුණේය. එවැනි කාටූන් හා විවේචනාත්මක සටහන්වල හරය මෙසේ විය. එය ප්‍රශ්නාර්ථයකින් පූර්ණ විය.

“තමන්ගේ දරුවෙක්ය කිව්වේ මහින්දගේ පුතා වෙන්න ඇති, එයා නාමල්. නාමල්ව පරිස්සමෙන් වඩාගෙන ගඟෙන් එතෙර කරන්නයි මෙයා හදන්නේ. නැත්නම් මහින්ද, බැසිල්, ගෝඨා කැමැතිවෙලා අනික් අය ඔක්කෝම කොහොම කීවත් රනිල්ව අගමැති කළේ නිකංද?”

The Standerd Times හි රනිල්ගේ “ජාතික සභාව” සහ “මණ්ඩලය” ගැන යමක් සටහන් වී තිබුණේය. එයද මෙහි ලා දැක්වීම වැදගත් යැයි සිතෙයි.

“වර්තමාන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අපි සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් ජාතික සභාවක් හෝ මණ්ඩලයක් පත්කළ යුතු යැයි ඔහු පවසයි. එමඟින් සියලු පක්ෂ හා කතිකා කරගෙන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් තීරණ ගැනීමට හැකි වනු ඇතැයි ඔහුගේ අදහසය. ආර්ථික අර්බුදය ශ්‍රී  ලංකාවේ දේශපාලන අර්බුදයක් ඇති කළ අතර රාජපක්ෂවරුන්ට ඉල්ලා අස්වන්නැයි කියන තැනට බලවත් විය.”

The Standerd Times එලෙස සටහන් තබමින් පවසන දේ තුළද යමක් ඇතැයි කියැවෙන අදහස් ඇත. ඉන් බිඳක් මෙසේය.

“රනිල් සියලු පක්ෂ එක් කරගෙන කරන්න යන දේට හවුල් කරගන්නේ යම් විදිහයකින් එම තීන්දු තීරණවලදී ඒවා කටුක වුණොත්, දුෂ්කර වුණොත් ජනතා පීඩනය, විරෝධය ආවොත් එම තීන්දු ගන්නේ සාමූහික තීන්දුවක් වශයෙන් මිස තමන් තනිවම නොවන බව දක්වන්නැයි කියන කාරණය නැති වෙන්න බැහැ.”

එහෙත් The Economist සඳහන් කරන පරිදි ලංකාවේ දේශපාලන කඩා වැටීමට මහින්දගේ ආණ්ඩුවේ තිබුණු අපරික්ෂාකාරී තීන්දු තීරණ හා ක්‍රියාදාමයන් හේතුවක් වී තිබෙන බවය.  එහි එක් විග්‍රහයක් මෙසේ විය. එය ලංකාවේ තත්ත්වය ජාත්‍යන්තරය පිළිගන්නා හැටි පිළිබඳ චිත්‍රයක් මවයි.

“අප්‍රේල් 12දා ශ්‍රී  ලංකාව කියා සිටියේ තම  රජය විදේශ ණය හිමියන්ට ගෙවිය යුතු ඩොලර් බිලියන 35ක ගෙවීම් අත්හිටුවන බවයි. ඉහළ යන ආහාර සහ බලශක්ති මිල ගණන් දැනටමත් වැරදි ලෙස කළමනාකරණය කර තිබුණු ආර්ථිකයකට දැඩි පහරක් එල්ල වී ඇත. ඒ කෙසේද යතොත් මහින්දගේ ආණ්ඩුවේ ආධාරකරුවන් පවා ජීවත්වීමේ අසීරුතා නිසා විරෝධතාවලට බැස තිබේ. ඉහළ යන උද්ධමනය හා පොලී අනුපාත සියල්ල වේදනාකාරිය.”

මේ කියන අර්බුදකාරී උද්ධමන තත්ත්වය යම් කිසි තත්ත්වයකින් හෝ පාලනය කරගන්නට රනිල් සමත්වේද නැද්ද යන්න පැවැසීමට බොහෝ දේශපාලන විචාරකයෝ පසුබාන තත්ත්වයක් හමුවේ BBC සිංහල සේවයට රනිල් පැවැසුවක් තුළ “රනිල් රාජපක්ෂවරු බේර ගන්නවා” යන්නට පිළිතුරක් දී තිබීම කැපී පෙනෙයි.

“අද පවතින තත්ත්වය හමුවේ යළිත් රාජපක්ෂ පවුලේ කිසිවකුටත් ජනපති වීමට තියා මන්ත්‍රිවරයකු වෙන්නවත් පුළුවන් දැයි කියන්න බැහැ. රටේ මාධ්‍ය ආයතන තමයි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වීරයන් කළේ. මම ඒ අයට විරුද්ධව නඩු 380ක් දැම්මා. ගෝඨාට ඡන්දය දෙන්න එපා කිව්ව එක නාළිකාවක් කරුණා කරලා කියන්න. මාධ්‍ය තමයි මේ ඔක්කොම කළේ.”

තමන් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා යැයි ජනතාව අතර පවතින විශ්වාසය රනිල් කිසියම් විදිහක ගැඹුරින් සිතනවා වන්නට පුළුවන. ඔහුගේ පිළිතුර තුළ ඔහුට බලය තිබුණු කාලයේ රාජපක්ෂවරුන්ට විරුද්ධව නඩු පවරන්නට කටයුතු කළ බව කියමින් යම් ආරක්ෂකවාදී  ප්‍රකාශයක් කර තිබේ. නඩු පැවරුවත් එහි ක්‍රියාකාරි ඉදිරි පියවරක් තැබුවාද ඊට නිසි  සැපයුම් කළාද යන්න කා අතරත් කතා බහට ලක්වූවකි. එනිසා “රාජපක්ෂවරු යළි එන්නේ නැත” යන්නත්, “මම ඔවුන්ව රැකගන්නේ නෑ” යැයි නොකියා කීමත්  ඔහුගේ දෙදරීම දක්වන්නකැයි කියැවේ. එය මහ පොළොවේම නිවැරදි කළ හැක්කේ රනිල්ගේ අනාගත ක්‍රියාපටිපාටිය හරහාම බැව් පෙනෙයි.

දෛවෝපගත සිදුවීම නම් පොහොට්ටුවට  එරෙහිව එජාපයෙන් ඡන්ද ව්‍යාපාරයට බට රනිල්ට ලංකාවේ එකදු තැනකින් මන්ත්‍රි ආසනයක් දිනාගත හැකි නොවීමය. සමානුපාතික මැතිවරණ ක්‍රමයට පින් සිද්ධ වෙන්න ඔහුට ලැබුණේ “පිනට ලැබුණු මන්ත්‍රි ආසනයක්”ය. එජාපයේ බලගතුම ක්‍රියාශීලී තරුණ කණ්ඩායම මැතිවරණයේදී ඉතා කෙටි කාලයකදී සජිත්ගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ බලගතුම විපක්ෂ කණ්ඩායම බවට පත්වී තිබේ. රනිල් සිටියේ විරුද්ධ පක්ෂයේය. දැන්  ඔහු ගෝඨා සමඟ කතිකා කරගෙන මහින්දගේ ආශීර්වාදයෙන්, බැසිල්ගේ හා නාමල් ඇතුළු රාජපක්ෂවරුන්ගේ සහයෝගයෙන් පොහොට්ටු මන්ත්‍රින් අති බහුතර කණ්ඩායමේද, ශ්‍රී ලනිපයේද සහාය ලබමින් ආණ්ඩුවේ අගමැතිය.

එහෙව් අගමැති රනිල් තමන්ගේ හිටපු ගෝලබාලයන් හා හිටපු නියෝජ්‍ය නායකයා වූ සජිත් ඇතුළු කණ්ඩායමට ආණ්ඩු පක්ෂයේ රැළ මැද සිටිමින් උපහාසාත්මක කතා කියමින්, උසුළු විසුළු කරන කතා ගොතමින්, ප්‍රති ප්‍රහාර දෙමින් ප්‍රහාරක ස්ථාවරයකය.

රනිල් කොයිතරම් කපටි කයිරාටිකයකු වුවද මේ ගේම හරියට ගැහුවේ නොමැති නම් බෙල්ල යන්නේ ඔහුගේය. ඒ ගියත් පක්ෂයක් හැටියට නියෝජනය වන්නේ ඔහු පමණය. යළි බලය ඇල්ලීම කෙසේ වුව මන්ත්‍රි සංඛ්‍යාව වැඩි කරගෙන නැවත වරක් අලුත් ආණ්ඩුවක ගේමක් ගහනවා කෙසේ වුව ඔහුට ඇත්තේ මේ අවස්ථාව පමණක්ම විය හැකිය. ඒ නිසා රැකෙම්වා, මියෙම්වා යැයි කියමින් රනිල් යන්නේ අතුරේය. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.

සජිත් රෝහිත ලියනගේ