රනිල් අගමැති පුටුවේ  නැවත වාඩිවීම කල් තියා දැක්කේ මෙහෙමයි

0
208

රනිල් වික්‍රමසිංහ මහතා හයවැනි වරටත් ශ්‍රී  ලංකාවේ විසිහය වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් 2022-05-12 සැන්දෑවේ 6.30ට පමණ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ නායකයා වුවද 2020 මහ මැතිවරණයේදී මහජන ඡන්දයෙන් පරාජයට පත් විය. එජාප බල කොටුවක් වූ කොළඹ දිසාව ඇතුළු සමස්ත ලංකාවේම එකම මන්ත්‍රි ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි ලෙස එජාපය පරාජයට පත්වූ පළමු අවස්ථාවද එය විය.

රටේ සමස්ත  ඡන්ද සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තුවට හිමිවූ එකම මන්ත්‍රි අසුන සඳහා පාර්ලිමේන්තුව ආරම්භ වී දින 260කට පසුව රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණියේය. එසේ ආ රනිල් වසරක් යද්දී ශ්‍රී  ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීම මේ රටේ මෙන්ම ලෝකයේ බොහෝ දේශපාලන විශ්ලේෂකයන් මවිතයට පත් කාරණය විය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම පත්‍රය පිළිබඳ අධ්‍යයන කරන ශාස්ත්‍රීය ජේ‍යාතිෂවේදීන්ට නම් මේ පත්වීම ඒ තරම් පුදුමයට කාරණාවක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම සහ ග්‍රහ ගෝචරය අනුව මේ හදිසි බලය ලැබීම විමසා බලමු.

වික්‍රමසිංහ මහතාගේ ජන්ම ලග්නය මීන ලග්නය වේ. එහි ඉතා ප්‍රබල යෝග ගණනාවක් තිබේ. සිකුරු උච්ච වී ලග්නයේ සිටීම තුළින් උදාව ඇති සුවිශේෂ පංච මහා පුරුෂ යෝගය, සිකුරු මීනයේ සිටීම මඟින් ඇති වූ මහෞෂ යෝගය, හයවැනි, අටවැනි භාව අධිපතියන් ලග්නගත වීම සහ ‍ෙදාළොස් වැනි අධිපති සය වැන්නේ ස්ථානගත වීම තුළින් උදාවෙන විපරිත රාජ යෝග සහ තවත් බොහෝ යෝග ගණනාවක් බලවත් වූ කේන්දරයකි.

එම කේන්දරයේ ග්‍රහ පිහිටීම අනුව පසුගිය කාලයේ ඉතා දුෂ්කර කටුක අත්දැකීම් උදා වූ බව පෙනේ. ඉතා ප්‍රබල දේශපාලන පක්ෂයක අනාගතය බින්දුවට වැටී අනාථ විය. ලග්නාධිපති සහ රැකියා කාරක සෙනසුරු එම කේන්දරයේ කර්මස්ථානය සහ අයස්ථානයේ ගමන් කළ කාලය එම කාලයයි. එනමුත් පසුගියදා ගුරු ග්‍රහයා කුම්භ රාශියේ අසුන් ගැනීමත් සමඟ එතුමා නැවත කරළියට ඒමට හේතුවිය.

ඒ වගේම වසර සිය ගණනකට පසුව විශ්වයේ සිදුවූ 2022 අප්‍රේල් ග්‍රහ මාරු පොකුරෙන්ද ඔහුගේ ලග්නය ඉතා ශක්තිමත් විය. විශේෂයෙන් අප්‍රේල් 12 සිදු වූ රාහු කේතු මාරුව, අප්‍රේල් 13 ලග්නාධිපති ලග්නයේ අසුන් ගැනීම, ඒ වගේම රවි ග්‍රහයා වික්‍රමසිංහ මහතාගේ කුටුම්බයෙහි ලැගුම් ගැනීම, ඒ වගේම සිකුරු ග්‍රහයා අප්‍රේල් 27 ලග්නයේ අසුන් ගෙන අති ප්‍රබල ග්‍රහ බලයක් ග්‍රහ ගෝචරයෙන් නිර්මාණය වීම රනිල් වික්‍රමසිංහයන් නැවතත් සුපුරුදු දේශපාලන පරිපාලන සඳහා යොමුකිරීම පෙන්නුම් කරයි.

එසේම කුම්භ ලග්න ලංකා කේන්දරයේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ලග්නගත වීමත් වික්‍රමසිංහ මහතාගේ කේන්දරයේ රැකියා කාරක සෙනසුරු ග්‍රහයා රැකියා ප්‍රතිපාදන සපයමින් සිට දැක්මට හසු කර ගනියි. උච්ච සිකුරු සහ ක්‍ෂේත්‍ර බ්‍රහස්පති ග්‍රහයන් එක්ව මීන ලග්න කේන්දරයේ අට මහා යෝගයක් මේ කාලයේ නිර්මාණය කරයි. ඒ තුළින්ද වික්‍රමසිංහ මහතාගේ කේන්දරය වඩාත් බලවත් කර ඇත.

තවද විශේෂයෙන්ම සිකුරු ග්‍රහයා සහ රවි, කුජ ග්‍රහයන්ද උත්පත්ති කේන්දරයේ සෙනසුරුගේ නැකැත්වල ගමන් කිරීම තුළින් නැකැත් මණ්ඩලයේ ග්‍රහ පරිවර්තන කිහිපයක් මතු කර බලවත් වී තිබේ. මේ කාලයේදී අනිවාර්යයෙන්ම ලංකාවේ පාලනයට සම්බන්ධ වන ආකාරය දකින්නට පුළුවන්.

ලංකාවේ හය වතාවක් අගමැති ධුරයේ කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහගේ රැකියාව ලෙස අගමැතිකම සඳහන් කළ හැකිය. සත්‍ය වශයෙන්ම කේන්දරයට අනුව මේ හිමිකම් ලබන්නේ අහිමි වූ රැකියාව නැවත ලැබීමක් ලෙසිනි. ඒ ආකාරයට මේ ග්‍රහ ගෝචරයෙන් එම ජන්ම කේන්දරයේ ග්‍රහ බලය නැවතත් ඉස්මතු කර තිබේ.

වික්‍රමසිංහ මහතා මේ වන විට බුධගේ මහ දසාව සහ කේතුගේ අන්තර් දසාව ගත කරමින් සිටී.

දසාධිපති ලංකා කේන්දරය මතට ඇවිත් කේතු ගෝචරයෙන් උත්පත්තියෙන්ම සිටි තුලාවේද රවිත් එලෙසම මේෂයේද සිටී. මේ තත්ත්වය ග්‍රහ ගෝචරයෙන් ලංකාවේ අගමැති පුටුව නැවත රනිල් වික්‍රමසිංහ මහතාගේ දෝතට ලබාදීමක් ලෙස සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ.

දෛවඥ දිනේෂ් ගමගේ

බද්දේගම

0712134009