යුක්තිය වෙනුවෙන් පීඩා  විඳින්නෝ භාග්‍යවන්තයෝය

0
228

මෙලොව අප ජීවත් වන කාලය ඉතා සීමිතය. කාලය දුන්නකින් මුදාහල ඊතලයක් සේ ඉතා වේගයෙන් ගලායයි. ළමා, තරුණ සහ වැඩිහිටි ලෙස අපට ලැබී ඇති කාල පරාසය තුළ අප කළ කී දෑයි අවසානයේදී අපට ඉතිරිවන්නේ, කොටින්ම කියතොත් අප වපුරපු දෙයයි, අන්තිමේදී අප නෙළාගන්නේ. සමහර විට කෙනකුට තමන්ගේ තරුණ කාලය ජීවිතේ ඉතාමත් සුන්දරම කාලය විය හැකිය.

තරුණ ජවය තුළ නැවුම් අදහස්, නැවුම් සිතිවිලි, අලුත් දේ දකින්න, අලුත් දේ අත්හදා බලන්න තිබෙන ආශාව සහ කැමැත්ත තරුණ හදවත් තුළින් නිරායාසයෙන්ම ගලා එන්නකි. එම නිසා නැවුම් ලොවක් ගැන සිතීම දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එදා ක්‍රිස්තුස් වහන්සේ දූෂණයෙන්, වංචාවෙන්, බොරුවෙන්, රැවටීමෙන් දූෂිතව තිබූ ජුදා සමාජය සංශෝධනය කිරීමට සියල්ල අත්හැර දමා පාරට බැස්සේ තමන්ගේ තරුණ වියේදීය. පාපයෙන් නපුරෙන් මෙලොව මුදාගන්නට ඒ මහා කුරුසියේ ගමන යන්නට පෙර උන්වහන්සේ හුදෙකලාව කාන්තාරයේ කන්දකට ගොස් නිරාහාරශීලීව දවස් 40ක් සහ රාත්‍රි 40ක් භාවනා කළසේක (ශු. ලුක්:4/1-13). එහිදී උන්වහන්සේට පරික්ෂා තුනකට මුහුණ දීමට සිදුවිය. ආහාර පිළිබඳව පැමිණි පරික්ෂාව උන්වහන්සේ ජය ගනිමින් මෙසේ පැවැසූ සේක.

“මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේය. වසර 73ක පමණ අප රටේ දූෂිත දේශපාලනය තුළ කෑමට බීමට ලොල් වී තමන්ගේ ආත්මය පවා දූෂිත පාලකයන්ට “වෙන්දේසි” කළ එදා තරුණයන් සහ වැඩිහිටින් වැපිරූ දේයි අද මේ වන විට අප නෙළා ගන්නේ. දෙවියන් වහන්සේ අයහපතින් යහපත උදාකරවන සේක. අද කාලයේ සලකුණු කියවීමේදී අප සෑම කෙනකුටම පසක් වන්නේ පක්ෂ, පාට, කුලභේද, ආගම්භේද, ජාතිවාදී තුට්ටුවකටවත් මායිම් නොකරන බුද්ධිමත් සහ අවංක තරුණ පරපුරක් මේ මගේ දේශය තුළ බිහිව ඇති බවයි. “කන්න දෙනව නම් අපට බොන්න දෙනව නම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ” කියන බත්බැළයන් “එහෙයියන්” “නිවටයන්” සහ රූකඩයන්,  හෙට දවසේ “ජාතක නොවන” බවට අද “ගාලු මුව‍ෙදාරට” රැස්ව අව්-වැසි නොබලා හෙට උපදින්නට ඉන්න “පුංචි පුතාට” “පුංචි දුවට” හෙටක් ඉල්ලන, රටක් ඉල්ලන වීරෝදාර තරුණ තරුණියන් “පෙර නිමිති” පළ කර ඇත.

එදා ක්‍රිස්තුස් වහන්සේට පැමිණි අනෙකුත් පරික්ෂාවන් වූයේ බලය පිළිබඳව සහ නාමය ගැන ඇති පාප පරික්ෂාවන්ය. උන්වහන්සේ එයද ජයගත්තේය. “නුඹේ දෙවියන් වන සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න. උන්වහන්සේට පමණක් සේවය කරන්න” (ලූක් 4/7) මෙලෙස උන්වහන්සේ  කවදා හෝ නැති වී යන, කාවෝ කන, දිරායන භෞතික දේවල්වලට වඩා තමන්ගේ ආත්මයට සදා සැනසීමක් දානය කරන දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තබන ලෙස දේශනා කළ සේක.

මන්දයත් “මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන්නෝ ශාප ලද්දෝය.” එදා ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණි තරුණයෙක් උන්වහන්සේව අනුගමනය කරමින් තමන්ගේ ආත්මය ගලවාගැනීම සඳහා කුමක් කළ යුතුදැයි විමසා සිටියේය. “ඔබ ආඥා දන්නෙහිය, මිනී නොමරන්න, කාමමිථ්‍යාචාරය නොකරන්න. සොරකම් නොකරන්න. බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න. නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න” යැයි උන්වහන්සේ වදාළ සේක. අද අප තරුණ තරුණියන්ගෙන් ජේසුස් වහන්සේ ඉල්ලන්නේ මේ දේමය.

මේ දේශය තුළ කැරලි කෝලහාල කිහිපයක්ම සිදුවිය. තරුණ තරුණියන්ගේ වටිනා ජීවිත ටයර් සෑයට බිලිවිය. ගංගා – මුහුදුවල ගසාගෙන ගියේය. නිරුවත් සිරුරු ලයිට් කණුවලට ගැට ගසා මරා දමන ලදී. වසර  30ක පමණ යුද්ධයේ ශාපයෙන් අප දේශය ලෙයින් තෙත් විය.

උතුරේ වේවා දකුණේ වේවා දූෂිත දේශපාලකයන් බලයට එන්නට අපගේ වටිනා තරුණ ජීවිත දසදහසක් යුද්ධයට බිලිදුන්නේය. තරුණයන් එඩිතරය, සටන්කාමීය. අවංකය. ඕනෑම දෙයකට සූදානම්ය. ඒ නිසා අපේ ඉතිහාසයේ සිදු වූයේ තරුණ තරුණියන්ගේ කරමතින් ඉහළ නැඟලා නැග්ග ඉණිමගට පයින් ගහලා තළා, පෙළා දාලා ඔවුන්ව ඉච්ඡාභංගත්වයට පත්කළ සමාජයක් බිහිවීමයි. මෙය වෙනස් විය යුතු කාලයයි දැන් එළැඹිලා තිබෙන්නේ.

තරුණයන්ට මේ රට – දැය වෙනුවෙන් කරන්නට ලොකු දූත කාරියක් පැවරිලා තිබෙනවා. පළමුව ඔවුන්ගේ දෑතේ ඔවුනට රැකගන්නට පරම්පරාවන් දෙකක් දීලා තිබෙනවා. පළමුව ඔබව මෙලොවට බිහි කරලා කවලා පොවලා ඇති දැඩ කරලා නැන නුවණින් පහදලා දීලා  ඔබව උස්මහත් කළ, ඔබව යම් තැනකට ගෙන ආ ඔබේ මවුපියන්ව, ගුරුවරුන්ව සහ වැඩිහිටියන්ව රැකබලා ගැනීමයි. දෙවැනුව අපේ අයියා, අක්කා යන මඟ මොකක්ද කියලා ඔබ දෙන ආදර්ශය දිහා ළඟින්ම ඉඳන් බලා ඉන්න. ඔබේ මල්ලිලාව, නංගිලාව රැකබලා ගැනීමයි.

එපමණක් නොව හෙට උපදින පුංචි පුතාට දුවට සාමයෙන් සමාදානයෙන් කිසි  බියක් සැකක් නැතිව සැබෑ මනුෂ්‍යයන් ලෙස උදාර පෞරුෂයකින් යුතුව මේ මගේ දේශය තුළ ජීවත් වීමේ අයිතිය ලබා දීමයි. එම නිසා මොන චණ්ඩ මාරුත හැමුවත් දළරළපෙළ ප්‍රචණ්ඩව බාධා කළත් මේ වැඩිහිටි සහ බාල පරපුරේ “ජීවිත නෞකාව බලාපොරොත්තුව සහ සැනසීමේ “සහනදායක” තොටුපළ කරා ගෙන යෑමේ “සුක්කානම” බාරගත යුත්තේ වීරෝදාර අවංක තරුණ තරුණියන්ය.

එය තවත් ලේ හලා ගැනීමකින් නොවිය යුතුය. අවිහිංසාවාදී දර්ශනය පෙරදැරිකරගත් “මහත්මා සටනක්” විය යුතුය. එදා ඉන්දියාවේ පියා වන මහත්මා ගාන්ධි තුමාගේ “අවිහිංසාවාදී (Non – violence)” දර්ශනයට යම්තාක් දුරට තේමාවී තිබුණේ ක්‍රිස්තුස් වහන්සේගේ  කන්ද උඩ දේශනාවයි. (මතෙව් 5/3-15) එහි වගන්ති කිහිපයක් මෙසේ දැක්විය හැකිය. බැති සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔවුහු තෘප්තිමත් වන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. සාමය ඇතිකරන්නෝ භාග්‍යවන්තයෝය. ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය කියනු ලබන්නෝය.

එය ලූක් – 6/20-23 දේව ශේෂයේ  තවත් විස්තර කරන්නේ මෙලෙසිනි. අහෝ ධනවත් වූ ඔබට වන විපතක මහත ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාරය.

අහෝ දැන් පුෂ්ටිමත්ව සිටින ඔබට වන විපතක මහත, ඔබට සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත, ඔබ හඬා වැළපෙනු ඇත. අහෝ මිනිසුන් ඔබ පසසන විට ඔබට වන විපතක මහත, ඔවුන් පියවරු බොරු දිවැසිවරයන්ටත් කළේ එයමය.”

ක්‍රිස්තුස් වහන්සේ සැබෑ තරුණ නායකයෙක් ලෙස සෑම විටම කළේ සත්‍යයට සාක්ෂි දැරීමයි. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමයි. ජුදාකරයේ තැනින් තැනට යමින් උන්වහන්සේ දේශනා කළේ මායාවන්ට රැවටී පාපයේ දම්වැල්වලින් බැඳ දමා කඩතුරාවන්ගෙන් දෑස් වැසී සිටි ජනතාවට ඒ වහල් බැමි කඩා බිඳ දමා සත්‍යය දකින්න අවදිවන්න කියායි. උන්වහන්සේට දසවධ දී කුරුසියක ඇණ ගසා මරා දැම්මත් සත්‍යය කවදාවත් මරා දමන්නට එදා සිටි පාලකයන්ට නොහැකි විය.

ප්‍රධානියකු මිනිසුන් මෙහෙයවයි. සැබෑ නායකයකු මිනිසුන්ට මඟපෙන්වයි. ප්‍රධානියකු අධිකාරිත්වය මත යැපේ. නායකයකු යහපත් අධිෂ්ඨානය මත ගමන් කරයි. ප්‍රධානියකු පවසන්නේ “මම” යනුවෙනි.  අවංක නායකයකු පවසන්නේ “අපි” යනුවෙනි. ප්‍රධානියකු ගමන් කරන හැටි දනී. නමුත් ප්‍රායෝගික නායකයකු යමක් කරන අන්දම පෙන්වා දෙයි. ප්‍රධානියකු පවසන්නේ “ඔබ ඉස්සරහට” යන්න” යනුවෙනි.

සැබෑ ජනහිතකාමී නායකයකු පවසන්නේ “අපි ඉස්සරහට යමු” යනුවෙනි. ක්‍රිස්තුස් වහන්සේ සැබෑ එ‍ෙඩ්රකු ලෙස පාපය වනසා දමා අඳුර දුරුකර ලෝකයට “ආලෝකයක්” ගෙන ඒම සඳහා කුරුසිය කර දරා ලේ දහදිය වගුරවමින් තනිව, හුදෙකලා ගමනක් ගිය සේක, ඒ තමා තුළ තිබූ තදබල “ආත්ම විශ්වාසය” පෙරදැරි කරගෙනයි. “පොරොව ගස මුල තබා තිබේ. පල නොදරන ගස් කපා දමන කාලය පැමිණ ඇත.” (මතෙව් 3/16) අලුත් අහසක්, අලුත් පොළොවක් තුළ නව මිනිසුන් ලෙස නැඟී සිටින්නට කාලය පැමිණ ඇත.

 සමහර විට මෙය අපට දෙවියන් වහන්සේ දුන් අවසන් අවස්ථාව (Last Chance) වන්නටද බැරි නැත. එම නිසා “අලුත් ලොවක්” ගැන සිතන පතන මේ මාගේ දේශයේ වීරෝදාර තරුණ තරුණියන්ට ඒ දැඩි ආත්ම විශ්වාසය සහ දේවාශීර්වාදය ලැබේවා!