යන්ත්‍ර, මන්ත්‍ර ඇත්ත කියලා බුදුහාමුදුරුවෝ කිව්වද?

0
702

ශරීරයේ ආභරණ පලඳිනවා වගේ දේවල් අතීත කාලයේදී, දඩයම් යුගයේදී පවා භාවිත කළ බවට සාක්ෂි ලැබී තිබෙනවා. එවැනි වස්තූන් පැලදූ විට පහසුවෙන්ම සතුන්ව දඩයම් කර ගත හැකි බව ඔවුන් විශ්වාස කළා. යමක් ශරීරයේ පැලඳීමෙන් යම්කිසි යහපතක් ලැබේ යැයි සිතීම ආරම්භ කළේ ඒ නිසා. බටහිර රටවල අය අශ්වයන්ගේ ලාඩම් ගෙදර එල්ලූ විට ගෙදරට වාසනාව ලැබෙන බව විශ්වාස කරනවා. මෙවැනි විශ්වාස බොහෝ රටවල පවතින නමුත් මෙම විශ්වාස බහුලව පවතින්නේ හින්දු ඇතුළු බොහෝ ආගම්වල නිජබිම වන ඉන්දියාවෙයි. ඔවුන් යම් දෙයක් පැලඳ සිටින අතර එයට යන්ත්‍ර යන නම භාවිත කරනවා. එය යන්ත්‍ර ලෙස හඳුන්වන්නේ යම් කිසි සලකුණක් සටහන් කළ ලෝහ පත්‍රිකාවක්, විශේෂයෙන්ම ත්‍රිකෝණයක්, රවුමක්, කතිරයක් වැනි ඒ කාලේ වැඩියෙන්ම භාවිත කළ හැඩයක් ඒ සඳහා යොදා ගන්නවා.

වැඩි වශයෙන්ම යොදාගන්නා හැඩය වන්නේ ත්‍රිකෝණ හැඩයයි. ත්‍රිකෝණ දෙකක් හෝ තුනක් ඒ සඳහා භාවිත කළා. එලෙස හැඩයක් සලකුණු කර ලෝහ කැබැල්ලක් පැලඳීමෙන් යම් කිසි ගුණයක් / යහපතක් ලැබෙන බව මිනිසුන් විශ්වාස කළා. හින්දුවරු විසින් ජේ‍යාතිෂය විශ්වාස කරනවා. මිනිසුන්ට ග්‍රහයන්ගෙන් හොඳ සහ නරක යන දෙකම සිදුවන බව විශ්වාස කරනවා. ග්‍රහයන්ගෙන් සිදුවන නරක/යහපත දුරුකර ගැනීමට යන්ත්‍ර පැලඳීම තුළින් ලැබෙන බව සිතනවා. එය ඔවුන් තුළ පවතින දැඩි විශ්වාසයක්. යම් දෙයක් ගත් විට තමන්ට යහපතක් සිදුවේ යැයි විශ්වාස කර සහ දියුණුවක් ලබා ගැනීම සඳහා පලඳින එවැනි ලෝහ කැබැල්ලක් යන්ත්‍රයක් ලෙස හඳුන්වනවා.

මන්ත්‍ර ප්‍රථමයෙන් ආරම්භය සිදුවී ඇත්තේ හින්දු ආගම තුළයි. ඔවුන් විසින් භාවනා සිදු කිරීම සඳහා “ඕම්” යන වචනය මන්ත්‍රණයක් ලෙස මුලින්ම සලකනු ලැබුවා.  “සම්බුද්ධෝ” ලෙස වචනයක් බුදු දහමේ ප්‍රකාශ කරනවා. භාවනාව සඳහා පසු කාලයේදී හින්දු ආගමේ සාහිත්‍යය තුළ ‘ඕම්’ යන ශබ්දය භාවිත කළා. එය විශ්වය ආරම්භයේ පැවති ශබ්දයක් බවට ඔවුන් විසින් විශ්වාස කරනු ලබනවා. එය තනි අකුරක් වශයෙන් දෙමළ හෝඩියෙ තිබෙනවා. ලංකාවට හින්දු ආගම පැමිණියාට පසු අපි සිංහලෙන් “ඕං” කියලා කියන්න පටන් ගත්තා. මන්ත්‍ර සියල්ලම පටන් ගන්නෙ “ඕම් නමෝ” වගේ දේවල්වලින්. පස්සේ එය වචන දෙකකට තුනකට පත් වී, වාක්‍යයක් බවට පත්වී පසුව වාක්‍ය ඛණ්ඩයක් බවට පත්වී ලොකු දිග හෑල්ලක් බවට පත්වුණා. ලෝහ පත්‍රයක යම්කිසි සටහනක් ඇඳලා එහි මන්ත්‍රයක් යම්කිසි වාර ගණනක් ජප කළාම යන්ත්‍රයේ බලය වැඩි වෙන බව විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් ඒ අය මන්ත්‍රය 108 වාරයක් කියනවා.

එම 108 වාරයේ විශේෂ බලයක් ඇති බව විශ්වාස කරනවා. එලෙස ජප කරලා එම ලෝහ පත්‍රිකාවේ යම්කිසි සටහනක් ඇඳ එය පලඳිනවා. එලෙස සිදුකරන්නේ ග්‍රහයන්ගෙන් වන අපල උපද්‍රව නැතිවේ යැයි යන විශ්වාසය මත. ලංකාවට හින්දු ආගම ආ පසු ක්‍රමයෙන් එය වැඩිදියුණු තත්ත්වයට පත්වුණා. ලෝහ කැබැල්ලක් සුරය ඇතුළේ දාගෙන සිටින තත්ත්වයට පත්වෙලා තිබෙනවා. හුඟාක් අය දිහා බැලුවම, වර්තමාන තරුණ පරපුරේ සමහර අය පවා සුර පලඳිනවා. බෙල්ලේ හෝ ඉණේ මේ ආදී වශයෙන් ශරීරයේ පැලඳීම සිදු කරනවා. සුරයක ඇතුළ බැලුවොත් රවුම් කළ ලෝහ පත්‍රයක් තිබෙනව දැකගන්න පුළුවන්. එය 108 වරක් මන්ත්‍ර කර බලගැන් වූ ලෝහ පත්‍රයක් යැයි ඔවුන් විශ්වාස කරනවා. එය මිනිසුන්ගේ මිථ්‍යා විශ්වාසක් පමණයි. එහි කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ලෝහ පත්‍රයකට ජප කරන භාෂාව යන්නේ නැහැ. Record වෙන්නෙත් නෑ. ස්ථිරව පවතින්නෙත් නෑ. එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ.

ඒ වගේමයි ලංකාවේ මිනිස්සු මීට අවුරුදු 2500කටත් පෙර ඒ අයට තිබුණු එකම ඇදහිලි ක්‍රමයට බවට පත් වූයේ ගස්වලට වැඳුම් පිදුම් කරන එක. තල් ගස් හා පොල් ගස් වැනි විශාල ප්‍රමාණයේ ගස් ඒ සඳහා යොදා ගත්තා. නමුත් ලංකාවට බුදු දහම පැමිණීමත් සමඟ වැඳුම් පිදුම් කළ පොල් ගස, තල් ගස වෙනුවට බෝ ගස ආදේශ කළාට පස්සේ මිනිස්සු බෝ ගසට වැඳුම් පිදුම් කර ලෙඩ රෝග සුව කර ගන්න, විභාග පාස් කරගන්න වගේ ඉල්ලීම් කළා. ඒ වගේම මිනිස්සු විශ්වාස කරනවා ගෙයක් හදන විට ඒ ගෙදර බිම අපල උපද්‍රව සහ භූත ‍දෝෂ පවතින බව. එම දෝෂවලින් ආරක්ෂා කර ගත යුතු බවත් භූමිය ආශ්‍රිතව බහිරවයන් යන අමනුෂ්‍ය කොටසක් ජීවත් වන බව විශ්වාස කරනවා. නමුත් මිනිසුන්ට එවැනි දෙයක් පෙනෙන්නේ නැහැ. ඔවුන් අමනුෂ්‍ය වර්ගයක් වන අතර ඔවුන්ගෙන් අපල උපද්‍රව සිදු වන බව විශ්වාස කරනවා. භූමියේ යම්කිසි දෙයක් කරන විට පූජා තබා බහිරවයන් සතුටු කර ඔවුන්ව භූමියෙන් ඉවත් කළ යුතු බව සිතනවා.

ගෙදරක් හදන්න පරිසරය පවිත්‍ර කර ගොක්කොළවලින් සැකසූ කූඩුවක් වැනි දෙයක් සකසා නිවෙස සදන භූමියේ තබා පුද පූජා පවත්වනවා. බහිරවයන් මේ භූමියෙන් ඉවත් කරන්න යකැදුරන් ගෙන්වාගෙන ලොකු ශාන්තිකර්මයක් වැනි පූජාවක් පවත්වනවා. පසුව භූමියේ ආරක්ෂාවට පොඩි භාජනවල තෙල් වර්ගයක් දමා මතුරලා ආරක්‍ෂක මන්ත්‍රය කියලා එකක් කියලා ඉඩමේ හතර වටේ වළ දානවා. එයින් ගෙදරට ආරක්ෂාවක් ලැබෙනවා කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඒ අනුව පුහුල් ගෙඩි එල්ලීමත් සිදු කරන්නේ ඒ වගේ දෙයක් සඳහායි. බහිරව බලපෑම්වලින් නිවෙස ආරක්ෂා කර තබා ගැනීමට පුහුල් ගෙඩි එල්ලීම සිදු කරයි.

ගෙයක් ඉදිකරන විට ගෙදර හදන්න ඕනෑ මේ විධියට, කුස්සියේ උළුවස්ස බස්නාහිර පැත්තට එන විධියට හදන්න ඕනෑ, නැත්නම් අපල හා දෝෂ ඇති වෙනවා යනාදී විවිධ මත පවතිනවා. ඒ අනුව ඒ ගෙදර සැලැස්ම දෝෂ නැතිවන විධියට ජේ‍යාතිෂවේදියෙක් කියලා හදාගන්නවා. විශාල මුදලක් ලබා දී ගෙයක් හදන විට භූමිය පරීක්ෂා කිරීමට වෙනම ජේ‍යාතිෂවේදියෙක් ගෙන්වා ගන්නවා. ඉන් පසුව එම භූමියෙන් පස් පිඬක් අරගෙන භූමිය හොඳද නැද්ද යන්න තීරණය කරලා ගෙදරක් හදන්න පටන් ගන්නවා. නමුත් එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ.

ගෙදර හදනවිට අත්තිවාරම දැම්මාට පසුව ගෙදර අත්තිවාරම වටේම තෙල් බෝතල් වළ දානවා. ඉස්සර කාලේ ගෙවල්වල නම් වහලවල තෙල් කුප්පි එල්ලලා තිබෙනවා ඕනෑ තරම් දැකලා තිබෙනවා. ඒ දේවල් කරන්නෙත් භූමියට දෝෂ තිබෙනවා නම් ඒවායෙන් ආරක්ෂාව ලබා ගැනීමට.

ඇතැම් අය යන්ත්‍ර, මන්ත්‍ර අයහපත් දේ වෙනුවෙන්ද භාවිත කරනවා. නරක පල දෙන යන්ත්‍රයක් යම් කිසි කෙනෙක්ගේ ගෙදර වැළලූ විට මිනිස්සු විශ්වාස කරනවා අයහපතක් කරන්න පුළුවන් කියලා. ඒවා කොඩිවින ලෙස හඳුන්වනවා. සොහොනක පුලුස්සලා ඉතුරු වුණු අළු ගෙනැවිත් බෝතලයක දාලා වළලනවා. මිනී අළුවලට මිනිසුන්ගේ ලොකු බයක් තිබෙනවා. මිනිස්සු දන්නේ නැහැ අවුරුදු ලක්ෂ කෝටි ගණන් පොළොව මත මිනිස්සු මැරිලා මිනිස්සු නොමළ තැනක් සහ ඇටකටු නොදිරපු තැනක් අපිට හොයාගන්න බෑ කියලා. නමුත් මිනිස්සු මිනී අළුවලට පුදුමාකාර විධියට බියක් දක්වනවා. නමුත් මිනිසුන් තුළ පවතින ප්‍රබල විශ්වාස නිසා තමයි මේ වගේ මිථ්‍යා දේවල් කරගෙන යන්නේ. එසේ නොකළත් යම් අයහපත් දෙයක් වේ යැයි ඔවුන් සිතනවා.

යම්කිසි කෙනකුගේ රැකියාවේ යම් ප්‍රශ්නයක් ඇති බව සිතන්න. නමුත් ඒ වගේ වෙලාවට හිතෙනවා රැකියාවේ ප්‍රශ්න ඇති වුණේ ගෙදර දෝෂයක් නිසා කියලා. පසුව මොකක්ද වෙලා තිබෙන්නේ කියලා බලන්න සාස්තරකාරයෙක් ළඟට යනවා. ඒ වගේමයි දරුවකුට අසනීපයක් හැදුණාම ගෙදර දෝෂයක් නිසා අසනීපය හැදුණා කියලා හරි ඉඩමේ අපලයක් නිසා ලෙඩේ හැදුණා කියලා හිතනවා. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මිනිස්සු බය වෙලා පාරම්පරික විශ්වාස නිසා අපල උපද්‍රවවලින් ආරක්ෂා වීමට එක එක දේවල් කරනවා. දරුවෙක් ඉපදුණහම තමන්ට කැමති නම දාන්නත් බෑ. ජේ‍යාතිෂවේදියෝ කියන අකුරින් තමයි නම දාන්න ඕනේ. එහෙම නොදැම්මොත් ඒ ළමයාට අපල එනවා වගේ දම්වැල් ගොඩකින් බැඳිලා මිථ්‍යා විශ්වාසවලින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ.

මිනිස්සු විසින් සිදුකරන අපල මුදු පැලඳීම සම්බන්ධව එතුමා දැක්වූයේ මෙවැනි අදහසක්.

මිනිස්සු ග්‍රහයන් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ අතීතයේදී ග්‍රහවස්තූන් සොයාගත්තට පස්සේ. ග්‍රහයන්ගෙන් පලාපල වෙනවා කියලා මිනිස්සු විශ්වාස කළා. සමහර ග්‍රහයන්ගෙන් යහපතත් සමහර ග්‍රහයන්ගෙන් අයහපත් සිදුවෙනවා කියලා විශ්වාස කළා. ඒ සිතුවිල්ල කාලයක් ගතවෙලා මිනිස්සු යම්කිසි කෙනකු උපදින වෙලාවේදී අහසේ ග්‍රහලෝකවල පිහිටි ස්ථානය මත සටහන් කරන්න පටන් ගත්තා. ග්‍රහයෝ හතක් තිබෙනවා. නමුත් ජේ‍යාතිෂවේදීන් ග්‍රහ වස්තු 9ක් භාවිත කරනවා. කේතු සහ රාහු ලෙස නව ග්‍රහයන් දෙදෙනෙක්ද ඒ හා සම්බන්ධ කරගෙන භාවිත කරනවා. ඒ අනුව දරුවකු ඉපදුණාම ළමයට වාසනාව තිබේද නැද්ද යනාදිය බලලා කේන්දරයක් ලෙස හැඳින්වෙන පත්‍රිකාවක් හදනවා. කේන්දරයට අනුව තමයි ළමයාගේ ජීවිතය ගත කරන්න සිදුවෙන්නෙ. අවසානයේදී විවාහය සිදුකරන විට විවාහ වන අනෙක් කෙනාගේ කේන්දරය ගැළපෙන්නේ නැතිනම් විවාහය සිදු කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙලා තිබෙනවා. තමන් කැමැති කෙනාව විවාහ කරගන්නවත් බෑ.

ඒ අනුව කේන්දරය ජීවිත කාලය තුළ මිනිසුන්ව බැඳගෙන සිටින දම්වැලක් බවට පත්වෙලා තිබෙනවා. ග්‍රහයන් භ්‍රමණය වනවිට ග්‍රහයන් සිටින ස්ථානය අනුව ජේ‍යාතිෂවේදීන් විසින් සිකුරු ඉන්නේ මේෂ රාශියේ බුධ ඉන්නේ මීන රාශියේ. මේ යනාදී වශයෙන් සඳහන් කර පත්තරවල දමනවා. උපන් වේලාව මත ලග්න 12කට තමයි බෙදීම සිදුකර තිබෙන්නේ. කාලෙන් කාලෙට ග්‍රහයන් වෙනස් වීම පදනම් කරගෙන මේ කාලයේදී මෙම ග්‍රහයන් වෙනස් වීම ඉතා හොඳයි, මේ ලග්නයට මේ වගේ දෙයක් අනාගතයේදී වෙනවා කියලා ජේ‍යාතිෂවේදියෝ කියන්න පටන් ගන්නවා. මේ අපල දුරු වෙන්න යන්ත්‍රයක් දාන්න ඕනෑ, අපල මුද්දක් දාන්න ඕනෑ කියලා කියනවා. ලග්නයට අනුව පලාපල කියලා, කරන්න ඕනේ ප්‍රතිකර්ම කියනවා. නැත්නම් සමහර අපලවලට මැණික් ගල් පලඳින්න කියනවා. තොවිලයක් තබන්න කියනවා. නමුත් එයින් කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එලෙස එවැනි දේවල් සිදු කර අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කරමින් කාලය ගත කරමින් රැවටීමක් පමණයි සිදුවන්නේ.

පොදුවේ ගත්විට යන්ත්‍ර මන්ත්‍ර, පුහුල් ගෙඩි එල්ලීම වැනි මිථ්‍යා දේවල් පිළිබඳව සිදුකිරීමට පෙලඹවීමක් ඇති වුණේ ඇයි? එහි ආරම්භය සිදුවූයේ කෙසේද? මගේ එම ප්‍රශ්නය සඳහා එතුමා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

යම්කිසි දෙයක් පැලදූ විට දඩයමක් ලැබෙයි කියලා විශ්වාසය මත තමයි ආදි කාලයේදී මිනිස්සු විශ්වාස කරන්න ආරම්භ කළේ. යම් සිදුවීමක් සිදුවීමෙන් පසු තවත් සිදුවීමක් සිදු වූ පළමු සිදුවීමත් සමඟ සම්බන්ධ කිරීමක් මිනිස්සු විසින් සිදුකරනවා. මෙහෙම හිතන්න. මම උදෙන්ම රැකියාවට යන්න පිටත් වෙලා පාරෙ යද්දී මගේ ඉස්සරහට කළුපාට ඇඳගත්තු කෙනෙක් මුණගැසෙනවා. තවත් ටිකක් දුර යද්දී මාව ලිස්සලා වැටෙනවා. එතකොට මම හිතනවා කළු පාට ඇඳුම් ඇඳගත්ත කෙනෙක් දැක්ක නිසා තමයි මම ලිස්සලා වැටුණෙ කියලා. එහෙම නැත්නම් මට එදාට බස් එක වරදිනවා. නැත්නම් කෝච්චිය වරදිනවා. එතකොට මම හිතනවා උදෙන්ම හම්බෙච්ච කෙනා නිසා තමයි මේ වගේ දෙයක් වුණේ කියලා. මේ ආකාරයෙන් අපට ජීවිතයේ සිදුවන යම්කිසි සිදුවීමකට පසුව වෙනත් බලවත් සිදුවීමක් සිදු වූ විට මීට පෙර සිදු වූ සිද්ධිය ගළපා විනිශ්චය කිරීම සිදුකරනවා. ඒ නිසා තමයි මිනිස්සු මේ විධියට මිථ්‍යා විශ්වාස කරන්න පෙලඹිලා තිබෙන්නේ.

ඇත්ත වශයෙන්ම මෙවැනි මිථ්‍යා විශ්වාසයන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නෑ. එයින් සිදු වන්නේ අනිසි ප්‍රතිවිපාකයක් පමණයි. තවත් අය එවැනි විශ්වාස නිසා මහත් දුකට පත් වෙලා තිබෙනවා. එවැනි අත්දැකීම්වලට මුහුණ දීපු අය මාත් එක්ක කතා කරලා තිබෙනවා. මම එවැනි එක් සිදුවීමක් කියන්නම්. එක් අයෙක් එයාගේ ගෙදර ලස්සනට හදාගෙන ඉඳලා තිබිලා තිබෙනවා. නමුත් දිනක් ජේ‍යාතිෂ වේදියෙක් ඇවිල්ලා ගෙදර උපද්‍රව දෝෂ තියෙනවා නම් ඒක නැති කරලා දෙන්න පුළුවන් කියලා තිබෙනවා. ඊට පස්සේ එම ජේ‍යාතිෂවේදියා කියා ඇත්තේ කුස්සිය හදල තිබෙන දිශාව වැරදි නිසා නිවෙසට අපල පවතින බව. එම උපද්‍රව දෝෂය ඉවත් කර ගැනීමට කුස්සිය වෙනත් ස්ථානයක නැවත ඉදිකරන්න පවසලා තිබෙනවා.

යම්කිසි හානියක් වේ යැයි යන බිය මත ඔවුන් සදා තිබූ කුස්සිය වෙනුවට කුස්සිය නැවත ඉදිකර තිබෙනවා. පසුකාලීනව කුස්සිය වෙනස් කළ එකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ කියල ඒ අයම කියනවා. මෙවැනි මිථ්‍යා දේවල් විශ්වාස කිරීම නිසා ඇත්තටම මුදල් හා කාලය වැයවීමක් පමණයි සිදු වන්නේ. මෙවැනි මිථ්‍යාවලින් විපතක් මිසක් සැපතක් කවදාවත් ලැබෙන්නේ නැහැ. මෙවැනි මිථ්‍යාවලින් පිරුණු සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. අපේ රටේ රාජ්‍ය නායකයාගේ පටන් බොහෝ මිනිස්සු මේවා විශ්වාස කරනවා.

විද්‍යාවට අනුව විශ්වයේ පවතින්නේ බලවේග හතරයි. ඊට අමතරව කිසිදු බලවේගයක් විශ්වය තුළ නෑ. ගුරුත්වාකර්ෂණ බලය ඉන් එකක්. අනෙක් බලය වන්නේ විද්‍යුත් චුම්බක ශක්තියයි. එම බලය භාවිත කර තමයි අපි භාවිත කරන විද්‍යුත් උපකරණ ක්‍රියා කරන්නේ. ලෝක පැවැත්ම සහ විශ්වයේ පැවැත්ම ගුරුත්වාකර්ෂණ බලය නිසා සිදුවන දේවල් නිසා ගුරුත්වාකර්ෂණ බලය ප්‍රබලම බලය බවට පත්වනවා. පරමාණුව තුළ ප්‍රබල බලවේග දෙකක් පවතිනවා. ඒවානම්, ප්‍රබල ආකර්ෂණය සහ දුබල ආකර්ෂණය බලය. එම බල දෙක නිසා අපට පරමාණුක ශක්තිය ලබා ගැනීමට ක්‍රම දෙකක් හරහා හැකි වී තිබෙනවා. ඒ අනුව එම බලවේග හතර පමණයි විශ්වයේ පවතින බලවේග බවට පත්වන්නේ. ඊට අමතරව කිසිදු බලවේගයක් විශ්වය තුළ නොපවතී. මිනිසුන් විශ්වාස කරන විශ්ව ශක්තිය වැනි කිසිදු බලයක් විශ්වය තුළ පවතින්නේ නැහැ. ඒවා නාමික බලයන් පමණයි. එවැනි බලයක් සත්‍ය ලෙස පවතිනවා නම් ඔප්පු කර පෙන්වීමට හැකි විය යුතුයි. නමුත් එවැනි බලවේග පවතින බවට ඔප්පු කර පෙන්වීම සිදු කරන්න බෑ.

අපි ජේ‍යාතිෂවේදීන්ට යම් අභියෝගයක් ලබා දුන්නා. පුද්ගලයන් දහ දෙනකුගේ උපන් තොරතුරු සහ උපන් ස්ථාන සම්බන්ධව තොරතුරු ආරෝග්‍ය ශාලාවකින් අප ලබාගෙන ඉන්පසුව අපි ජේ‍යාතිෂයට අභියෝගයක් ලබා දුන්නා මෙම දහදෙනාගේ වෙන් වෙන්ව ගැහැනු අයද පුරුෂයන්ද නැතිනම් මියගිය අයද ජීවත් වන අයද යනාදී ලෙස ඔවුන්ගේ තොරතුරු පවසන්න කියලා. එසේ නිවැරදිව පිළිතුරු ලබා දුන්නොත් ලක්ෂ දහයක් ලබා දෙන බවත් අප විසින් ප්‍රකාශ කළා. නමුත් කිසිදු ජේ‍යාතිෂවේදියකුට එම අභියෝගයට මුහුණදී නිවැරදි පිළිතුරු ලබා දීමට හැකියාව ලැබුණේ නැහැ. මේ දේවත් කියන්න බැරි ජේ‍යාතිෂවේදියෝ යම් කෙනෙක්ගේ අනාගතය ගැන කියන්නේ කොහොමද? ඒ වගේම ලංකාව තුළ පවතින්නේ විකෘති වූ බුදු දහමක්. බුදු දහම තුළ කාගෙවත් පිහිටක් බලාපොරොත්තු වීම පිළිබඳව නොපවතී. යන්ත්‍ර මන්ත්‍ර මිනිසුන් විශ්වාස නොකළ යුතු දේවල් කියා බුදුන් විසින් බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කර ඇත. නමුත් මිනිස්සු තවදුරටත් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති මිථ්‍යාව විශ්වාස කරමින් ඉන්නවා.

සමාජවිද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර

රමෝද් ජයවර්ධන