මේ ශුද්ධ  වූඅරගලයකට හොඳම කාලයයි

0
194

“රට අරාජිකව දේශපාලන අස්ථාවරත්වයකට පත්වී ඇත. පාලකයන් පිල් මාරු කරමින්, පාට මාරු කරමින් බලය ලබා ගන්නට කත් අදිමින් ඇත,” ආදී ශීර්ෂ පාඨ පළවන ප්‍රවෘත්ති, විද්වත් සාකච්ඡා මණ්ඩල, සමාජ මාධ්‍ය හරහා සංසරණය වන විවිධ ලිපි දැනට පුරා සති 4ක් තිස්සේ ලාංකේය ජනතාව ලෙසින් අපි අත්දකිනු ලබනවා.

මින් පෙර නොවූ විරූ අන්දමකින් දේශපාලනික, ආර්ථික, සමාජීය මෙන්ම ආගමිකවද ජනතාව පිරිහීමකට, පීඩාවකට පත්ව ඇත. කුපිත වී වියරු වැටී කම්පිතව අන්ත අසරණ තත්ත්වයකට වැටී ඇත. මේ සියල්ලේම වගකීම පාලක පක්‍ෂය පමණක් නොව, පාලිත ජනතාව ලෙසින් සෑම පුරවැසියකුම බාර ගත යුතුව ඇත. මේ මොහොතේ රට තුළ නොයෙක් දිශාවන්හි ආරම්භ වී තවමත් පැවැත්වෙන ‘අරගල භූමි’ අලුත්ම සංස්කෘතියක් නිර්මාණය කොට ඇත. ඒ හරහා තරුණ පරපුර අද නැඟී සිටිමින් ඇති අතර මේ තුළින් රටක් තුළ ජනතාවට සුදුසු මාර්ගයක් තැනෙනවා දැයි යන්න සැක සහිතය.

ඉගෙනීමට, රැකියාවට, නිර්මාණශීලීව දියුණුව ලැබීමට යෙදවිය හැකි චින්තනයන් සියල්ලම අද එක්තැන් වී, නිස්සාර වී ඇති සේයාවක් දක්නට ලැබේ.

පවුල් තුළ දරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම මෙන්ම තමන්ගේ මූලික අවශ්‍යතාවන්ද ළඟා කර ගැනීම අද මහත් අභියෝගයක් වී ඇත. සාගරයෙන් වටවී ඇති මේ දිවයිනේ ජනතාව දැන් ජීවිත තුළ හුස්ම ගැනීමට වෙර දරමින් ගිලෙමින් සිටිති.

මේ හා සමාන ජීවිත අත්දැකීමකට මිසරයේ වහල් සේවයේ නියුතු ඊශ්‍රායල් ජනයාටද මුහුණ දෙන්නට සිදු විය.

මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු මෙහෙවරින් ඔවුහු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද ඔවුහු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ. (නික්මයාම 1/14)

දැනුදු දැරිය නොහැකි බර දරමින් ජීවත් වීමේ සටනකට සියලුම දෙනා අවතීර්ණ වී ඇත. එදා පාරාවෝ ජනතාව මත සියලු පීඩන තත්ත්වයන් පැටවූවා සේම මේ මොහොත වන විට පාලකයන් ඒ හා සමාන ක්‍රියාවලියක නිරත වී සිටිනු නොරහසකි.

“එහෙත් පීඩා විඳින්න විඳින්න ඔවුහු වඩ වඩා වැඩි වී වර්ධනය වූහ” (නික්මයාම 1/12)

මර්දනයට ලක්වන්න, ලක්වන්න සිදු වන්නේ විරෝධය අඩපණ වීමයි. ව්‍යක්ත වී ඇනහිටීම වුවත් දෙවියන් වහන්සේ මේ ජනතාව දවසින් දවස ගණනින් වැඩි කළ සේක.

අරගලයන්, විරෝධතාවන් මර්දනයට ලක් කිරීම දරුණු වෙන තැන, අද ඒවා තවත් සංවිධානාත්මකව, ශක්තිමත්ව ගොඩනැඟෙන අයුරු අපි දකින්නෙමු.

පිරිසක් පීඩා මර්දනයට බිය වී අතහරින තැන තවත් පිරිසක් ඊට ප්‍රතිවිරෝධී ලෙස එය තවත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරයි.

මේ පැන නැඟී ඇති අර්බුදයන්ට දේශපාලනික හා ආර්ථික විසඳුම් සෙවීමටත් ඒ සඳහා වගකිව යුත්තන් පෙලඹවීමටත් අද සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන්, සමාජීය මෙන්ම ආර්ථික විශේෂඥයන් පෙරමුණ ගෙන ඉදිරිපත්වී ඇත. ඒ අතර මේ සියල්ලටම ඉහළින් ජනතාවගේ ආධ්‍යාත්මික බලය බලගැන්වීමට ආගමික නායකයන්ද කටයුතු කරනු ඇත. 

පන්සල්, පල්ලි, කෝවිල්, මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව ජනතාව ආගමික නැඹුරුවට යොමු කිරීමට විශේෂ වූ දේව මෙහෙයන් සංවිධානය වෙමින් පවතිනවා ඇත. ඒ මන්දයත් මිථ්‍යාව හික්මවනු ලබන්නේ සහ මේ මොහොතේ උද්දීපනය වන ජව සම්පන්න හැඟීම් පාලනය කරනු ලබන්නේ ආගමික නැඹුරුවයි.

ජනතාව විසින් නොව දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කරගන්නා නායකයකු තුළිනුයි උන්වහන්සේ ගැලවීම උදා කරන්න සැලසුම් කරනු ලබන්නේ.

“ඊශ්‍රායල් ජනයා වහල් සේවය නිසා සුසුම්ලමින් මොරගැසූහ. ඔවුන්ගේ වහල් සේවය නිසාම ඔවුන්ගේ කන්නලව්ව දෙවියන් වහන්සේ වෙත පැමිණියේය. උන්වහන්සේ ඊශ්‍රායල් ජනයාගේ දුක බලා ඔවුන්ට කරුණාව පෙන්වූ සේක.”

අඩු පෝෂණ කෑම, අස්ථිර අඩු පහසුකම් නිවාස, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය ආදී නානාවිධ අඩන්තේට්ටම්වලට මේ ජනයාට මුහුණ දෙන්නට සිදුවූ අතර ඔවුන්ගේ මොරගැසීම් එසවූයේ දෙවියන් වහන්සේ වෙතටයි. මේ නින්දිත තත්ත්වයෙන් මිදීම ලබා දිය හැකි එකම තැනැත්තා උන්වහන්සේ බව ඒ ජනතාව විශ්වාස කළ නිසාය.

අද බොහෝ ප්‍රදේශවල ජනතා හඬ අවදි වී ඇත. “පාලකයනි සවන් දෙන්න…” ලෙසින් අපි ඉල්ලා සිටින්නේ, කෑමොර දෙන්නේ පාලකයන් හට ඉවත් වී යන්න කියාය. එලෙසින්ම දැන් ජාත්‍යන්තර ප්‍රජාවටද ඇසෙන්නට අපගේ හඬ අවදි කර ඇත.

උදෑසන, දහවල්, රාත්‍රිය නොතකා, අව්ව වැස්ස, රස්නය, සීතල නොබලා අපි පොදි බැඳෙමින් කෑ මොර දෙමින් පාලකයන්ට ‘අසව් අසව්’ කියමින් පාරවල් පුරා, මංසන්ධි පුරා, නගර පුරා රැස් වෙමින් උද්ඝෝෂණ, වැඩ වර්ජන, හර්තාල් පවත්වන්නෙමු. එනමුදු පාලක ව්‍යුහයේ සිදු විය යුතු වෙනස්කම් තවමත් සිදුවී නොමැත.

නමුත් අපි කී දෙනෙක් සියල්ල වෙනස් කළ හැකි සියල්ලේ මැවුම්කරුවාණන් සහ බලය හිමි සර්ව බලධාරී තැනැන්වහන්සේට කන්නලව්ව කර ඇත්ද?

රාත්‍රියක්, දවාලක්, අව්ව වැස්ස නොතකා අරගල භූමිවල නිදි වරා කෑ ගසන අපිට පල්ලියේ එක් විනාඩි 5ක හෝ කාලයක් මේ දුක්බර පීඩාව වෙනුවෙන් මිඩංගු කර ඇත්ද?

බොහොම උනන්දුවෙන් උදේ‍යාගයෙන් අරගලවලට පෙළපාළිවලට එකතු වෙන අපි කෙතරම් උනන්දුවකින් ආශාවකින් දෙවිඳුන් ළඟ රැස් වෙනවාද?

අරගල භූමි, පෙළපාළි ජනතාවගෙන් පිරී ඉතිරී යනවා සේම අපගේ ආගමික සිද්ධස්ථානත් පිරී ඉතිරී යනවා නම් කොතරම් අගනේද?

ඇසුණත් දැක්කත් නොඇසෙන නොදකින අසංවේදී බලලෝභී මිනිසුන්ගේ ඇස් කන් පාදනවා වෙනුවට නිරන්තරයෙන් ආදරණීය, දයානුකම්පාවෙන් පිරි දෙවියන් වහන්සේ අබිමුව අරගල දියත් කරන එක ඵල බරිත නොවේද?

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධව නඟින මොර ගැසීමට මම සවන් දිනිමි. එබැවින් දැන් ඉතින් එන්න මාගේ සෙනඟ වන ඊශ්‍රායල් ජනතාව මිසරයෙන් පිටතට ගෙන යනු පිණිස මම නුඹ පාරාවෝ වෙත යවමි” (නික්මයාම 3/7, 10)

“225 ම අපිට එපා” යැයි මොරදෙන අපට එසේ නම් ඊළඟට රට කරවන්න පත් කරන්නේ කවුද? නායකත්වය දෙන්නේ කවුද? යන ප්‍රශ්න නිරන්තරයෙන් පැනනඟින අතර ඒවාටද උත්තර සෙවිය යුතුව ඇත.

මිනිසුන් මොරගැසූ තැන නිවැරදි නායකත්වයට දෙවියන් වහන්සේම සුදුස්සෙක් පත් කරලීය. පාලනය නිවැරදි අතකට පත් නොවුණහොත් නැවතත් රට තුළ තිබෙන අවශේෂ සම්පත්ද කාබාසිනියා කර ලෝක සිතියමෙන්ද ශ්‍රී ලංකාව අතුගා දමන්නට බැරිකමක් නැත.

එම නිසාම මේ පත් කරලීම හුදෙක් ජනතා ප්‍රසාදය ලත්, ජනතා බහුතරයක් ලත් අයකු හෝ අයවලුන් පමණක්ම නොව, දෙවියන් වහන්සේ විසින් මෙහෙයවන ලද අය විය යුතුමය. තමන් අදහන ආගමික සංස්කෘතිය පාවා දෙමින් එම විශ්වාසයන්ද බැහැර කරමින් සහ රවටමින් අද රටේ වත්මන් පාලකයන් කටයුතු කිරීමේ ආදීනවද අප දැන් අත්විඳින ස්වභාවයට හේතු කාරණා වී ඇත.

“ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. සොයන්න, ඔබට හමුවේ තට්ටු කරන්න ඔබට ‍ෙදාර අරිනු ලැබේ. ඔබ අතරින් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයකු දෙයිද? නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයිද? මෙසේ අයහපත් වූ ඔබ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නහු නම් ඊට කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නට, ශුද්ධාත්මයාණන් නොදෙන සේක්ද?” (ලූක් 11/9, 11-13)

ඉල්ලන්නාවූ යහපත් දෙයට නිරන්තරයෙන් හඬ අවදි කරවන දෙවියන් වහන්සේට අපි කන්නලව්ව කරන්න මොරගසන්න ඉදිරියට යමු. ගෝල්ෆේස් පිටිය, අරලියගහ මන්දිරය, දියවන්නාව පමණක් නොව, අපගේ දේවස්ථාන, පන්සල්, කෝවිල්ද දෙවියන් වහන්සේ තුළ අරගල කරන ආගමික යාතිකාවන් පිදෙන ශුද්ධ වූ අරගල භූමි බවට පත් වෙමින් ජනයාගෙන් රැස් විය යුතුමය. එලෙස රැස්වෙන තැන දෙවියන් වහන්සේ පෙර කල සේම පොරොන්දු පරිදි නියමිත දිශානතියකට අපව මෙහෙයවනු ලබයි.

“මා වෙතට පැමිණෙන්නා මම කිසිසේත් ඉවත නොදමමි” (ජොහාන් 6/37)

නොනවතින ජනතා අරගලය සේම නොනවතින ශුද්ධ වූ අරගලයක් ද දියත් කරන්නට සුදුසුම කාලය එළඹී ඇත. පෙරට එන්න!