මේ ගතවෙන්නේ ක්‍රිෂ්ණයන් දේශනා කළ කලි යුගයද?

0
57

බැලු බැලූ බොහෝ තැන අසාධාරණය, අයුක්තිය රජයන දසුන්ය. ඇසු ඇසූ බොහෝ දෙය අසත්‍යයෙන්, චාටුවෙන් පිරි වදන්ය. කළ-කී බොහෝ දෑ අනෙකකු හෙළා දැකීමටය, තවෙකකු නෙරපීමට ය, අනෙකකු නැසීමටය, පැරදවීමටය, කෙටවීමටය. තමාට වඩා අනෙකා දියුණු වෙනවාට, සුවපහසු දිවියක් ගෙවනවාට කැමැති නැත. මුදලට ඕනෑම පිළිකුල් සහගත අවැඩක් කිරීමට බහුතරයක් සූදානම්ය. සදාචාරවත් දිවි පැවැත්ම, මානුෂීය ක්‍රියාකලාපය හුදු මවාපෑම්ය. සත්‍ය දැක දැකත් අසත්‍යය පිළිගන්න මිනිසුන්ය. කුසලය දැක දැකත් අකුසලය වෙත ඇදෙන මිනිසුන්ය. අහෝ මේ අප ගෙවන්නේ කලියුගය නොවේද?

හින්දු ආගමේ සඳහන් වන පරිදි කලියුගය යනු ලෝක යුග චක්‍රයේ හතරවැනි එනම් අප මේ ජීවත්වන වර්තමාන යුගය වේ. එය චක්‍රයකින් සමන්විත වන යුග හතරේ අවසානය වන අතර මෙය අඳුරු යුගය ලෙස හැඳින්වේ. හින්දු විශ්වාසයට අනුව, කලියුගය ලෝක විනාශය සිදුවන යුගය වන අතර පසුව යුග හතරේ නව චක්‍රයක් නිර්මාණය කරයි. යකඩ යුගය ලෙසද හැඳින්වෙන කලියුගය යුද්ධයෙන් හා ගැටුම්වලින් පිරී ඇත. ආධ්‍යාත්මික වශයෙන්, ධාර්මිකත්වයෙන් මිනිසුන් අෑතට ඇදී ගොස් ගුණධර්ම, සදාචාරය, ශිෂ්ටාචාරය කලියුගය පුරාවටම පරිහානියට පත් වේ.

කලි යන්නට බහුවිධ අර්ථ ඇත. එය, ආරවුල, විසංවාදය, ගැටුම, වැනි අරුත් පවසයි. කලි යනු කාලය සහ එහි විනාශය පිළිබඳ බලධාරී හින්දු දේවතාවියට දී ඇති නමයි. කාලානුක්‍රමික අනුපිළිවෙළින් යුග හතර මෙසේය.

කෘත යුගය – සත්‍ය යුගය ලෙසද හඳුන්වනු ලබන මෙය සත්‍යය, ශීලය සහ ධාර්මිකත්වයෙන් යුක්ත යුගයයි.

ත්‍රේතා යුගය – මෙය මානව වර්ගයාගේ යුගය වන අතර ආධ්‍යාත්මිකත්වයේ හතරෙන් එකක පරිහානියක් නියෝජනය කරයි.

ද්වාපර යුගය – මෙම යුගයේ ආධ්‍යාත්මිකත්වය අඛණ්ඩව පිරිහෙමින් පවතින අතර පුණ්‍ය හා පව් සමානව පෙන්නුම් කරයි.

කලි යුගය – මෙය ගැටුම් යුගයයි, හතරෙන් එකක් පුණ්‍යකර්ම සහ හතරෙන් තුනක් පාපයද දක්නට ලැබේ.

ක්‍රිෂ්ණ දෙවියන් කලියුගය ගැන භගවද්ගීතාවේ කරුණු පැහැදිලි කොට ඇත. භගවද්ගීතාව හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ග්‍රන්ථය බව කවුරුත් දනිති. මීට වසර 5000කට පමණ පෙර ක්‍රිෂ්ණ දෙවියන් තම ආදරණීය මිතුරා වූ අර්ජුනට මෙම දැනුම ලබා දී ඇත. ඒ වගේම භගවද්ගීතාවේ කර්මය, අර්ථය, ජීවිතය ගැන කරුණු රාශියක් අන්තර්ගත වේ. ඇත්තටම ක්‍රිෂ්ණ දෙවියන් ගීතාව වදාරා ඇත්තේ ද්වාපර යුගයේ අවසානයේදී නමුත් එදා කලියුගය ගැනත් යම් යම් දේ ප්‍රකාශ කර ඇති අතර ඔහුගේ මේ අපූරු වදන් අද සියයට සියයක්ම සත්‍ය වෙමින් පවතී.

තතශ්චානුදිනං ධර්ම– සත්‍යං ශෞචං ක්ෂමා දයා

කාලේන බලිනා රාජන් නඩීක්‍ෂ්‍යත්‍යායුර්බලං ස්මෘති– (භගවද්ගීතාව – 12.2.1)

මෙහි සඳහන් වන අන්දමට කලියුගයේදී ආගමේ අරුත, සත්‍යවාදී බව, පිරිසුදුකම, ඉවසීම, කරුණාව, ආයු කාලය, කාය ශක්තිය, මතක ශක්තිය යන සියල්ල දිනෙන් දින අඩුවේ.

විත්තමේව කලෞ නෘණාං ජන්මාචාරගුණෝදය–

ධර්මන්‍යාය ව්‍යවස්ථායාං කාරණං බලමේව හි (භගවද්ගීතාව – 12.2.2)

මෙහි අදහස කලියුගයේ ධනය ඇති තැනැත්තා සිල්වත් ලෙස සලකන අතර නීතිය, යුක්තිය ක්‍රියාත්මක වන්නේ එක් බලයක් මත පමණක් බවයි.

දාම්පතේ‍ය්භිරුචිර්හේතු– මායෛව ව්‍යවහාරිකේ

ස්ත්‍රීත්වං පුංස්ත්වේ ච හි රති– විප්‍රත්වේ සූත්‍රමේව හි (භගවද්ගීතාව – 12.2.3)

මෙම වාක්‍යයට අනුව, මෙම යුගයේදී, ස්ත්‍රීන් හා පුරුෂයන් විවාහ නොවී එකිනෙකා කෙරෙහි ඇති රැවටීමෙන්, මායාවෙන් කාමාශක්තව දිවි ගෙවති. කලියුගයේදී බ්‍රාහ්මණයන් තමන් බ්‍රාහ්මණ යැයි කියාගන්නේ එකම නූල් පොටක් පැලඳගෙනය.

ලිඩිගං ඒවාශ්‍රමඛ්‍යාතෞ අනේ‍යා්න්‍යාපත්ති කාරණම්

අවෘත්‍යා න්‍යායදෞර්බල්‍යං පාණ්ඩිතේ‍ය් චාපලං වච– (භගවද්ගීතාව – 12.2.4)

මෙහි අදහසට අනුව අල්ලස් දීමට හෝ වියදම් කිරීමට නොහැකි පුද්ගලයාට උසාවියෙන් නිසි සාධාරණයක් ඉටු වන්නේ නැත. එසේම ඉතා කපටි ආත්මාර්ථකාමී පුද්ගලයා මේ යුගයේ ඉතා උගත් අය ලෙස සැලකේ.

ක්ෂුත්තෘඪ්භ්‍යාං ව්‍යාධිභිශ්චෛව සංතප්ස්යන්තේ ච චින්තයා

ත්‍රිංශද්විංශති වර්ෂාණි පරමායු– කලෞ නෘණාම් (භගවද්ගීතාව – 12.2.5)

මෙයින් අදහස් කරන්නේ මෙම යුගයේ මිනිසුන් කුසගින්න, පිපාසය සහ විවිධ කරදරවලින් අසතුටින් සිටින බවයි. නොයෙකුත් රෝග ඔහු වටකර ගනී. ඒ වගේම කලියුගයේදී අවසාන අවධිය වනවිට මිනිසාගේ වයස අවුරුදු විස්සක්, තිහක් විතර වෙයි.

දුරේ වාර්යයනං තීර්ථං ලාවණ්‍යං කේශධාරණම්

උදරංභරතා ස්වාර්ථ– සත්‍යත්වේ ඝාර්ෂ්ට්‍යමේව හි (භගවද්ගීතාව – 12.2.6)

මෙහි අදහසට අනුව, මිනිසුන් අෑත ගංගා සහ පොකුණු වන්දනීය දේ ලෙස සලකනු ඇත. නමුත් ඔවුන් අසල ජීවත් වන මවුපියන් හෙළා දකිනු ඇත. මේ හැර හිසෙහි විශාල කෙස් කලඹක් තිබීම සුන්දරත්වය ලෙස සලකනු ලබන අතර බඩ පිරවීම පමණක් ජනතාවගේ අරමුණ වනු ඇත.

අනාවෘෂ්ට්‍යා විනඩ්ක්ෂ්‍යන්ති දුර්භික්ෂකරපීඪිතා–

ශීතවාතාතපප්‍රාවෘ  හිමෛරනේ‍යා්න්‍යත– ප්‍රජා– (භගවද්ගීතාව – 12.2.7)

කලියුගයේ කිසිදා වර්ෂාවක් නොලැබෙන අතර ඒ හේතුවෙන් නියඟයක් ඇතිවේ. එසේම, සමහර විට එය සීතල වන අතර සමහර විට එය ඉතා උණුසුම් වේ. සමහරවිට කුණාටුවක් ඇති වන අතර තවත් විටෙක ගංවතුරක් ඇති වේ. මෙම තත්ත්වයන් නිසා මිනිසුන් කැලඹීමට හා විනාශයට පත්වනු ඇත.

අනාඪ්‍යතෛව අසාධුත්වේ සාධුත්වේ දංභ ඒව තු

ස්වීකාර ඒව චෝද්වාහේ ස්නානාමේව ප්‍රසාධනම් (භගවද්ගීතාව – 12.2.8)

මේ යුගයේ මුදල් නොමැති පුද්ගලයා අධාර්මික, අපිරිසුදු, වටිනාකමක් නැති අය ලෙස සලකනු ලැබේ. විවාහය යනු දෙදෙනකු අතර ඇතිකරගත් හුදු එකඟතාවක් පමණක් වන අතර ජලස්නානයම පාපයන්ගේ පාරිශුද්ධත්වයට හේතු වන බව සලකයි.

දාක්ෂ්‍යං කුටුම්බභරණං යශෝර්ථේ ධර්මසේවනාම්

ඒවං ප්‍රජාභිර්දුෂ්ටාභි– ආකීර්ණේ ක්ෂිතිමණ්ඩලේ (භගවද්ගීතාව – 12.2.9)

මෙම ප්‍රකාශයට අනුව ධර්ම සේවනය සිදු කරනු ලබන්නේ ලෝකයට, ලෝකයාට පෙන්වීමට පමණි. පෘථිවිය දූෂිතයන්ගෙන් පිරී යනු ඇත, බලය ලබා ගැනීම සඳහා මිනිසුන් එකිනෙකා මරා දමනු ඇත.

ආච්ඡින්නදාරද්‍රවිණා යාස්‍යන්ති ගිරිකානනම්

ශාකමූලාමිෂක්ෂෞද්‍ර ඵලපුෂ්පාෂ්ටිභෝජනා– (භගවද්ගීතාව – 12.2.10)

මෙම වාක්‍යයට අනුව, සාගතයෙන් හා අධික බදුවලින් පීඩා විඳින මිනිසුන්ට තම නිවෙස් අතහැර පාරේ සහ කඳුකරයේ ජීවත් වීමට බල කෙරෙනු ඇත. කොළ, මුල්, මස්, වල් මී පැණි, මල් සහ බීජ පවා අනුභව කිරීමට ඔවුන්ට බල කෙරෙනු ඇත.

මෙහි සඳහන් සියලු කරුණු අද කෙමෙන් කෙමෙන් යථාර්ථයක් බවට පත්වෙමින් පවතී. පත්තරයක් බැලුවත්, ප්‍රවෘත්තියක් ඇසුවත් වැඩි වශයෙන් ඇසෙන්නේ කලියුගයේ දූෂිත බව පෙන්වන නපුරු, අධම, දුක්ඛිත කථා පුවත්ය. මව-පියා නොහඳුනන දරුවන්, දුව-පුතා නොහඳුනන මවුපියන්, තම බඩවියත ගැන පමණක් හිතන අධාර්මික පාලකයන්, අල්ලසට යටවුණු උගතුන්, සුදු ඇඳගනෙ කළු චරිත රඟපාන මහත්වරුන්, මේ නිදසුන් කිහිපයක් පමණි. මුදලට අද සියල්ලම යටපත් වී ඇත. සත්‍යයට, යුක්තිගරුක බවට අද ඉඩක් නැත.

මුදල් නැතිනම් ඔහු පහත්, අධම, කිසිවකුගේ සැලකිල්ලට ලක් නොවන තැනැත්තෙකි. ධනයට සියල්ලෝම යට වී ඇත. බලයට වහල් වී සත්‍යය අසත්‍යය කරමින්, යුක්තිය අයුක්තිය කරමින්, නීතියේ හිඩැස් හදමින්, නීතිය නමමින් බොහෝ අනර්ථකාරී වැඩකටයුතු සිදුවේ. ධනය ඇතිනම් ඔහු උගතා, ජගතා, සිල්වතා, ලෙස පැසසුමට ලක්වේ. ආගම දහම අද වන විට අවභාවිත වෙමින් පවතී. සත්‍යය දැකගත හැක්කේ කලාතුරකින්ය. ඉවසීම කරුණාව නොමැතිකම නිසා බොහෝ විනාශ වෙමින් පවතී.

අප මේ දිවි ගෙවන්නේ නිරන්තරයෙන්ම අයහපත, අනර්ථය වෙත අපව ඇද දමන එවන් සමාජ වටපිටාවකය. නමුත් මේ ඉතින් කලියුගයනේ, මේ යුගයේ  හැටි මෙහෙම තමයි යනුවෙන් සිතමින් වැරදි කිරීමට පෙලඹීමත්, අප කරන සියලු වැරදි සාධාරණීකරණය කරන්නට යත්න දැරීමත් යුක්තියුක්ත නොවේ. කලියුගය වුවත් සත්‍ය යුගයක් කරගැනීමට නොහැකිකමක් නැත. එය තමා කරන කියන දේ හා සිතුවිලි පරම්පරාව මත රඳා පවතී.  ලොවක් අයුක්තිය, අසාධාරණය, විෂමාචාර පසුපස හඹා යද්දී ඔබට හැකි නම් යුක්තිගරුක, සාධාරණ, සදාචාර සම්පන්න දිවියක් ගත කරන්නට, ඔබ සුවිශේෂී පුද්ගලයෙකි.

බොරුවෙන්, වංචාවෙන් ලොවක් මුළා කරමින්, රවටමින් දිවි ගෙවන මිනිසුන් සිටින යුගයක ඔබට හැකිනම් අලාභය විඳිමින්, නින්දා ඉවසමින් සත්‍යයේ හඬ පතුරුවන්නට, ඔබ සැබැවින්ම උතුම් තැනැත්තෙකි. ධනයෙන්, බලයෙන් ලොවක් වසඟ කරගෙන තම පහත් අභිමතාර්ථයන් කෙලෙස හෝ ඉටුකරගැනීමට වෙර දරන ලොවක ඔබට හැකිනම්  හැම අපහසුතාවක්ම විඳගෙන මානුෂීය ගුණයන්ගෙන් පිරිපුන් සාධාරණ දිවි පෙවෙතක් ගත කරන්නට, ඔබ මේ ලෝකයෙහි විශිෂ්ට පුද්ගලයෙකි. යුක්තිගරුකව, සාධාරණව සාදාචාරවත් ධාර්මික දිවියක් ගත කරන්නේ නම් ලෝකය සහ ලෝකයා කලියුගය ගෙවූ නමුත් ඔබ ගෙවන්නේ සත්‍ය යුගයයි.