මාවිල්ආරු සිට වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා විජයග්‍රහණයේ 13 වැනි සැමරුම

0
85

දකුණට උතුර අහිමි වූ උතුරට දකුණ අහිමි වූ යුගයක් අපට තිබිණි. උතුරේ කොට්ටකිලංගු දකුණේ මීකිරි සමඟ නොපෑහෙන යුගයක් අපට තිබිණි. පවුලේ සාමාජිකයන් සියලුදෙනා එක්ව විනෝද ගමනක් නොගිය යුගයක් අපට තිබිණි. සිංහල – දෙමළ අලුත් අවුරුද්දට දල්වන රතිඤ්ඤා හඬට පවා මරබියෙන් සැලුණු යුගයක් අපට තිබිණි. ඒ කාලයේ උතුරේ ඥානම්ලා දකුණේ පුංචිබණ්ඩලා සමඟ ඇයි හොඳයියක් නෑ. කොටින්ම කීවොත් ඔවුන් ඒ කාලයේ සතුරන්ය. මේ සියල්ලටම පාදක වූයේ දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාව වෙළාගත් කර්කශ, කඨෝර යුද්ධයයි. එලෙස සාමයේ පරෙවියන්ට මෙරට අහස්කුස අහිමි වූ ගිනිගත් අ¾දුරු දශක තුන නිමාවූයේ 2009 මැයි 18 වැනි දිනය. ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් රන් අකුරින් සනිටුහන් කරමිනි. ඒ ජයග්‍රහණය මල් යහනා මතින් ලැබූ ජයග්‍රහණයක් නොවේ. එය දහස් ගණනකගේ ලේ ක¾දුළු මතින් උරුම වූ ජයග්‍රහණයකි.

1983 වර්ෂයේදී දෙමළ සටන්කාමීන් කියාගත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සහචරයන් විසින් යුද හමුදා සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මූලබීජ කරගනිමින් 1979 වර්ෂයේදී පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය. 1984 වර්ෂයේ සිට ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ඡයාගේ සහචරයන් විසින් උතුරු පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම ආරම්භ කළ අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුර ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීහු ක්‍රියාත්මක වූහ. ඉන් අනතුරුව තිම්පු සාකච්ඡා ක්‍රියාත්මක වුවද එම සාකච්ඡා සාර්ථක නොවීය.

ඉන් අනතුරුව දෙවැනි ඊළාම් යුද්ධය ආරම්භ වූයේ 1990 වසරේදීය. එය 1994 අගෝස්තු දක්වා පැවැතිණි. දෙවැනි ඊළාම් යුද සමයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් නිදහස් කරන බවට වූ පොරොන්දුව මත යටත් වූ පොලිස් නිලධාරීන් 113 දෙනකු ඝාතනය කළහ. එසේම නැඟෙනහිර සිංහල සහ මුස්ලිම් වැසියන් 166 දෙනකු අමානුෂික ලෙස ඝාතනය කළහ. මෙලෙස විවිධ වූ අමානුෂික ත්‍රස්ත ක්‍රියා රැසක්ම දෙවැනි ඊළාම් යුද්ධයේදී වාර්තා විය. ඒ අතර 1995 ජනවාරි 08 යුද විරාමයක් ප්‍රකාශයට පත් කෙරිණි.

1995 අප්‍රේල් 19 දින ත්‍රස්තවාදීන් විසින් ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් විනාශ කිරීමත් සමඟ තුන්වැනි ඊළාම් යුද්ධය ආරම්භ විය. ඉන්පසු ත්‍රස්තවාදීන්ට එරෙහිව රිවිරැස, රණගොස, නොනවතින රැල්ල ආදී ක්‍රියාන්විත රජයේ හමුදාවන් විසින් දියත් කළ අතර 2001 වර්ෂයේදී යළි සටන් විරාමයක් ඇතිවිය. මෙය 2003 දක්වා පැවැති අතර 2006 වසරේදී ස්විට්සර්ලන්තයේදී සාම සාකච්ඡා ක්‍රියාත්මක වුවත් ඒවාද අසාර්ථක විය. 2006 වසරේදී රජයත් එල්ටීටීඊ සංවිධානයත් අතර විටින්විට යුද ගැටුම් ඇතිවිය. ඉන් අනතරුව 2006 ජූලි 26 දින සිවු වැනි ඊළාම් යුද්ධය ආරම්භ වූයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයා වශයෙන් යුද්ධය අවසන් කිරීමේ තිර අදිටනින් යුතුවය.

හුදෙක්ම මානුෂීය මෙහෙයුමක් පමණක්ම වූ මේ මෙහෙයුම වූ අතර නැඟෙනහිර මානුෂීය මෙහෙයුම නමින් එය හැඳින්වීය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 2006 ජූලි 21දා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක සිවිල් වැසියන් 30,000ක පමණ පිරිසගේ ජල සැපැයුම අත්හිටු වූ අතර මාවිල්ආරු මුදාගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතාවන් සැපිරීම වෙනුවෙන් සිවු වැනි ඊළාම් යුද්ධය ආරම්භ විය. ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට ඉතා පහසුවෙන් මාවිල්ආරු මුදාගත හැකි වූ අතර ඉන් අනතුරුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් වූ තොප්පිගල මුදාගැනීමෙන් අනතුරුව නැඟෙනහිර පළාතේ එල්ටීටීඊ බලය සහමුලින්ම ඉවත් කර නැඟෙනහිර පළාත මුදාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවන් හැකිවිය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තිර අදිටන වූයේ කෙසේ හෝ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමයි. ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමට එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හිමිවූයේ දැවැන්ත පිටුබලයකි. මේ සඳහා යුදබිමේ නායකත්වය එවකට යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ලබාදුනි.

නැඟෙනහිර ජයග්‍රහණයෙන් පසුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරු පළාතට පමණක් සීමා වූ අතර උතුරු පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීම සඳහා වූ උතුරු මානුෂීය මෙහෙයුම ඇරඹුණේ ඉන් අනතුරුවය. සාම්ප්‍රදායික යුද උපක්‍රම පසෙකට දා මෙරටටම ආවේණික වූ යුද උපක්‍රමයන් ඔස්සේ ඇරඹුණු උතුරු මානුෂීය මෙහෙයුම එල්ටීටීඊ සංවිධානයේ අවසානය උදාකර වීය. මේ අතර කොටි සංවිධානය සිය වයඹ දිග සැපැයුම් කේන්ද්‍රස්‌ථානය ලෙස පවත්වාගෙන ගියේ මන්නාරමට නුදුරු සිලාවතුර මුහුදු කොටි කඳවුරයි.

උතුරු මානුෂීය මෙහෙයුමේ සුවිශේෂීම සිදුවීමක් වූ‍යේ නාවික හමුදාවේද සහාය ඇතිව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිලාවතුර මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීමයි. හමුදාවේ ප්‍රහාරක බලයට මුහුණපෑමට නොහැකි වූ මුහුදු කොටි සිය කඳවුර හැර දමා පලා ගිය අතර 2007 සැප්තැම්බර් 2දා සිලාවතුර පාලනය රජයේ හමුදාවන් සතුවිය.

2007 සැප්තැම්බර් අවසන් සතියේදී මන්නාරමේ සහල්නැළිය නමින් හැඳින්වූ ප්‍රදේශය මුදාගැනීමේ මෙහෙයුම පළමු වැනි කාර්ය සාධක බළකාය මඟින් දියත් කරන ලද අතර අයහපත් කාලගුණ තත්ත්වයකට මුහුණපෑ මෙම බළකායේ සෙබළු 2007 දෙසැම්බර් 22දා උලියන්කුලම් නගරය අල්ලා ගත්හ. එම සටනින් මාස කිහිපයකට පසු 2008 ජුනි 22දා මන්නාරමේ සහල්නැළිය ප්‍රදේශය මුළුමනින්ම මුදාගනු ලැබීය.

මේ වනවිට කිතුනු ජනතාවගේ මුදුන්මල්කඩ වූ මඩු සිද්ධස්‌ථාන ප්‍රදේශය මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබිණි. ඊට උර දුන්නේ 57 වැනි සේනාංකයයි. 2007 දෙසැම්බර් 22දා තම්පනායි ගම්මානයද සින්නපන්ඩිවිරිච්චාන් සහ පෙරිපන්ඩිවිරිච්චාන් නගර ද හමුදාව තමන් සතු කරගත් අතර 2008 අප්‍රේල් 25දා සුප්‍රසිද්ධ මඩු දේවස්‌ථානය අවට ප්‍රදේශය ආරක්‍ෂක හමුදාව මුදාගැනීමට සමත් වූහ. 2008 මැයි 17දා පාලම්පිඩ්ඩි හා 2008 ජුනි 26දා පෙරියමඩු ගම්මානයද හමුදාව විසින් මුදාගනු ලැබීය. මේ අතර මන්නාරම සහල්නැළිය මුදාගැනීමෙන් පසු පළමු වැනි කාර්ය සාධක බළකාය මන්නාරමේ පුනරින් මාර්ගයේ පිහිටි සුප්‍රසිද්ධ මුහුදු කොටි කඳවුරක්‌ වූ වෙඩිතල්තිව් කඳවුර අල්ලා ගැනීමට සැලසුම් කළහ. කොටි ත්‍රස්‌තයන් වන්නියට අවි ආයුධ ගෙන ඒමට භාවිත කළේ මෙම කඳවුරයි. කමාන්ඩෝ බළකාය සහ ගජබා රෙජිමේන්තුවේ සහායෙන් 2008 ජූලි 16දා වෙඩිතල්තිව් මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීමට හැකි විය.

මේ වනවිට කොටි ත්‍රස්තවාදීන් මල්ලාවි සහ තුනුක්කායි නගර වෙත පසුබසිමින් සිටියහ. 57 වැනි සේනාංකය මෙහෙය වූ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ කොටි ත්‍රස්‌තයන් බලාපොරොත්තු රහිත අවස්‌ථාවකදී සිය සේනාංක මෙහෙයවා එම නගර ප්‍රදේශ හමුදා පාලනයට නතු කරගනු ලැබීය. මල්ලාවි නගරය එල්ටීටීඊයේ සංස්කෘතික නගරය ලෙස හැඳින්වූ අතර මල්ලාවි 2008 සැප්තැම්බර් 2දා අහිමි වීම එල්ටීටීඊයට දැවැන්ත පසුබෑමක් විය.

කොටි සංවිධානයේ දෙවැනි දේශපාලන මූලස්ථානය වූයේ මල්ලාවි නගරයයි. මේ වනවිට මන්නාරම-පුනරින් ප්‍රදේශයේ නගර රැසක කොටි බලය ඇදවැටී තිබිණි. 2008 නොවැම්බර් 15දා මන්නාරම් පුනරින් මාර්ගය යාපනය තෙක්‌ විවෘත කිරීමට ආරක්‍ෂක හමුදාවන්ට හැකිවිය.

මේ අතර ඒ – 9 මාර්ගය පියවරෙන් පියවර මුදාගැනීම හමුදා බළසේනාවලට හැකි විය. වන්නි මෙහෙයුම දියත් වී වසර 2කට පසු 2008 නොවැම්බර් 11 උතුරු මාන්කුලම් නගරය මුදාගෙන තිබිණි. ඉන්පසු පුලියන්කුලම්, කනගරායන්කුලම් යන නගර 2008 දෙසැම්බර් 4 සහ 5 මුදාගෙන තිබිණි. ආරක්‍ෂක හමුදාවේ ඊළඟ මෙහෙයුම වූයේ එල්ටීටීඊ සංවිධානයේ හදවත මෙන්ම ප්‍රභාකරන්ගේ බලකොටුව වූ කිලිනොච්චිය මුදාගැනීමයි.

ඒ වනවිටත් පළමු වැනි කාර්ය සේනාංකය ත්‍රස්තවාදීන්ගේ ප්‍රබල බලකොටු වූ මන්නාරම, මාන්තෙයි, යෝධවැව, අඩම්පන්, ආනන්දකුලම්, නාච්චිකුඩා, පුනරින්, පරන්තන්හි එල්ටීටීඊ බලය සුනුවිසුනු කරදමා තිබිණි. මේ කාලසීමාව්දීම පළමු වැනි කාර්ය සේනාංකය 58 වැනි සේනාංකය ලෙස නාමකරණය වූ අතර එවකට බි්‍රගේඩියර්වරයකු වූ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 58 වැනි සේනාංකය මෙහෙයවමින් සිදුකළ මෙහෙයුම් නිසා 2009 ජනවාරි 02දා කිලිනොච්චිය ආරක්‍ෂක හමුදා පාලනයට නතු කරගැනීමේ මෙහෙයුම්වලට විශාල ශක්තියක් විය.

මේ අතර 53 වැනි සේනාංකය මෙහෙය වූ එවකට බි්‍රගේඩියර් කමල් ගුණරත්න සහ 55 වැනි සේනාංකය මෙහෙය වූ එවකට බි්‍රගේඩියර් ප්‍රසන්න සිල්වා එක්‌ව 2009 ජනවාරි 7දා මුහමලෙයි කොටි ආරක්‍ෂක පවුරු මුළුමනින්ම බිඳ දැමූහ. 2009 ජනවාරි 14 වනවිට ඉදිරියට ගිය බළසේනා චුන්ඩිකුලම්, පලෙයි, සොරන්පත්තු හා අයියක්‌කච්චි හරහා අලිමංකඩ ප්‍රදේශ එල්ටීටීඊ ග්‍රහණයෙන් මුදා ගත්හ.

සුප්‍රසිද්ධ අලිමංකඩ මුදා ගැනුණේ 2009 ජනවාරි 9දාය. ප්‍රභාකරන්ගේ කේන්ද්‍රස්‌ථානය වූ මුලතිව් අල්ලා ගැනීමේ මෙහෙයුම 59 වැනි සේනාංකය භාරව සිටි බි්‍රගේඩියර් නන්දන උඩවත්තගේ සැලසුම මත ආරම්භ විය. ඝන වනාන්තරය ඔස්‌සේ ඉදිරියට ගිය බළසේනා මුලතිව් දකුණේ පිහිටි කොටින්ගේ වන් ෆෝ බේස්‌ කඳවුර අල්ලා ගත්හ. 2009 ජනවාරි 25දා මුලතිව් කොටි කේන්ද්‍රස්‌ථානය ඇදවැටීම නිසා කොටි නායකත්වය මුලතිව් කුඩා ප්‍රදේශයකට කොටු වූහ.

ඒ වනවිට 58 වැනි සේනාංකය ධර්මපුරම්, මුරුසමොඩෙයි එල්ටීටීඊ බලකොටු සුනුවිසුනු කරමින් සිය බලය තහවුරු කරගෙන සිටි අතර ඔවුන් තවත් එල්ටීටීඊ කේන්ද්‍රස්‌ථානයක් ‌වූ විශ්වමඩු අල්ලා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුම ව්‍යර්ථ කිරීම සඳහා කල්මඩුකුලම් ජලාශයේ බැම්ම පුපුරුවා හැරීමට ත්‍රස්තවාදීහු ක්‍රියා කළහ. එහි අරමුණ වූයේ විශ්වමඩු අල්ලා ගැනීමට එන යුද්ධ ටැංකි ඒකකය කල්මඩුකුලම් ජලාශයේ ජල ධාරා මඟින් බාධා කිරීමයි. නමුත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ඒ උත්සාහයන් ව්‍යර්ථ කරමින් එවකට බි්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතු 58 වැනි සේනාංකය ඉදිරියටම ගියහ.

ඉන් අනතුරුව 58 වැනි සේනාංකය සුගන්ධිපුරම්, පුදුකුඩිඉරිප්පු මංසන්ධිය, ඉරනපලායි සහ පුදුමාතලන් ප්‍රදේශවලදී එල්ටීටීඊ සංවිධානය සලිත වන ආකාරයේ ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශවල බලය තහවුරු කරගත්හ. ඉන් නොනැවතුණු 58 වැනි සේනාංකය වෙල්ලමුල්ලිවයික්කාල් දක්වාද ගමන් ඇරැඹූයේ එල්ටීටීඊ සංවිධානය මෙරටින් තුරන් කර රට එක්සේසත් කිරීමේ තිර අදිටනිනි. ඒ වනවිටත් එල්ටීටීඊ සංවිධානය අහිංසක සිවිල් වැසියන් ලක්ෂ ගනණක් මිනිස් පළිහක් ලෙස යොදාගනිමින් සිටි අතර එම අහිංසක දමිළ ජනතාව නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවේද 58 වැනි සේනාංකයයි. එම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලොව මෙතෙක් දියත් කළ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලෙසද ඉතිහාසයට එක්වෙයි.

මෙතෙක් ආ ගමන්මඟේ යුද හමුදාව ගොඩනඟමින් සිදුකළ මෙහෙයුම්වලට ගුවන් හා නාවික හමුදාවන් ලබාදුන් දායකත්වය සුළුපටු නොවේ.

වෙල්ලමුල්ලිවයික්කාල්හිදී අවසන් එල්ටීටීඊ  බිම්කඩද අත්පත් කරගත් බව එවකට හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත නිල වශයෙන් දැනුම්දුන්නේ උතුරු මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්ත ග්‍රහණයේ තිබූ වැඩිම භූමි ප්‍රමාණයක් අත්පත් කරගත් 58 වැනි සේනාංකයේ එවකට සේනාංකාධිපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසිනි. පසුව නන්දිකඩාල් කළපුවේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයා ගැනීමත් සමඟ සාමයේ පරෙවියන්ට මුළු ශ්‍රී ලංකා අහස් තලයම යළි උරුම විය.

දිලංක ගුණතිලක