මල් වෙලා පිපෙන්නේ ග්‍රීක දෙවිවරුන්ගේ ආත්මයන්ද?

0
571

ඉතිහාසයේ පටන් අද දක්වාම මිනිස් ජීවිතයට මල්වලින් ඇති ප්‍රයෝජන මෙතෙකැයි කිව නොහැකිය. ඒ තරමටම මල් මිනිස් ජීවිතය හා බද්ධ වී ඇත. මල්වල උප්පත්තිය ඉබේ ඇතිවූවක් නොවේ. ඒවාට බොහෝ මිථ්‍යා කතන්දර පාදක වී ඇත. මේ කතන්දර ගලා එන්නේ දාර්ශනික ඉතිහාසයක්ද සමාජීය වටපිටාවක්ද සමඟය. ග්‍රීක මිථ්‍යා කතන්දර තුළ මල් සම්බන්ධ බොහෝ සංකේතාත්ම සැඟවී ඇත. ආදරයද, පාරිශුද්ධත්වයද, ආශාවද ඒ තුළ මුල්බැසගෙන ඇත. කාලය ගෙවී යත්ම මේ මිථ්‍යා මත නූතන මල් පිළිගැන්වීම දක්වාම යම් කතන්දරමය සෞන්දර්යක් රැගෙන ඒමට පැහැදිලි කාර්යභාරයක් ඉටුකර ඇත. ඉතින් මල් සම්බන්ධයෙන් ඇති මිථ්‍යා කතන්දර පිළිබඳ අපි විමසමු.

රෝස මල

රෝස මල යනු ප්‍රේමයේ සංකේතයයි. රෝස යන නම තුළ සැඟව ඇත්තේ ආදරයට අධිපති දෙවියා වන ඊරොස් කියන නාමයයි. පුරාවෘත්තයට අනුව මල්වලට අධිපති දේවතාවිය වන ක්ලොරීස් කැලෑවෙහි ඇවිදිමින් සිටින විටෙක අප්සරාවක් ඇගේ සිරුරේ වැදී මියගියේය. ඉන් ඇය කම්පාවට පත් වුණේය. ක්ලොරීස් එය කෙතරම් ලස්සන මලක් බවට පත් කළේද කිවහොත් සියලු දෙවිවරුන් රෝස මල සලකන්නේ මල් රාජධානියේ රැජින කියාය. ආදරයේ දේවතාවිය වන ඇෆ්‍රොඩයිට් පවා එහි සුන්දරත්වයට කෙතරම් ආදරේ කළේද කියා වැටහෙන්නේ එය ඇගේ පුතු ඊරෝස්ගේ නමින් නම් කළේය.

ඇනිමෝනියා මල

ග්‍රීක බසින් ඇනිමොනි යන්නෙහි තේරුම සුළඟේ දියණිය ‘Doughter of Wind’ යන්නයි. ‘Anemos’ යනු ග්‍රීක බසින් සුළඟයි. මේවා සුළං මල් ලෙසද හඳුන්වනු ලැබේ. එම මලේ කතාව ගැහැනුන් දෙදෙනකුට ප්‍රේම කළ අ‍ෙදා්නීස්ගේ මරණය හා සම්බන්ධ වේ. පාතලයේ රැජින වන පර්සෆොනී හා ආදරයේ දේවතාවිය වන ඇප්‍රොඩයිට් (වීනස්) යන දෙදෙනා සමඟම ඔහු ප්‍රේමයෙන් බැඳුණි.

දිනක් අ‍ෙදා්නීස් දඩයමේ යෙදී සිටි විටෙක උෟරකුගේ පහර කෑමට ලක්විය. ඔහු ඇගේ අත්දෙක මතදී මියගියේය. ඇගේ කඳුළු හා අ‍ෙදා්නීස්ගේ ලේ මුසු වී මලක් නිර්මාණය විය. ඒ ඇනිමොනි මලයි. ඇෆ්‍රොඩයිට් ඔහුගේ මරණය ගැන පසුතැවිලි වී ඇඩෝනියා නම් උත්සවය ප්‍රකාශයට පත් කළේය. එය සෑම වසරකම ගිම්හානයේ මැද භාගයේ පැවැත්වෙයි. එය කාන්තාවන්ට වෙන් වූ උත්සවයකි. වේගයෙන් වැඩෙන පැළ නිවෙසෙහි පෝච්චි තුළ සිටවන කාන්තාවන් ඉන්පසුව දැඩි හිරු රශ්මියට ඒවා විවර කර තබයි. ඒවා ඉක්මනින් වියළී ගොසින් මියයයි. එය අදෝනීස්ගේ මරණය සංකේතවත් කරයි. ඔහුගේ මරණය පිළිබඳ වැළපෙන කාන්තාවෝ ඇඳුම් ඉරා ගනිමින් තම පියයුරුවලට පහරදී ගනී. මේ චාරිත්‍රය එළිමහනක අදටත් සිදුකරන  චාරිත්‍රයකි.

පියෝනි මල

පියෝනි මල චීනයේ සාම්ප්‍රදායික මලකි. එය චීන සංස්කෘතියේ සංකේතයකි. පියෝනි යනු  චීන මල් ලෝකයේ රජු ලෙස හැඳින්වේ. මධ්‍යකාලීන යුගයේදී පියෝනි මල ඖෂධීය ගුණ නිසාවෙන් බෙහෙවින් අගය කළේය.

මෙම මල බිහිවීම පිළිබඳ මිථ්‍යාවන් දෙකක් ඇත. පළමු මිථ්‍යාව වන්නේ දෙවියන්ගේ ග්‍රීක වෛද්‍යවරයා වූ පියෝන් (Paeon) සම්බන්ධ කතාවකි. දෙවිවරුන්ට නිතිපතා වෛද්‍ය පරීක්ෂණ අවැසිය. පියෝන් යනු ඇදහිය නොහැකි තරමේ දක්ෂ වෛද්‍යවරයෙකි. ඔහුගේ ගුරුවරයා වූයේ වෛද්‍ය විද්‍යාවේ සහ සුව කිරීමේ දෙවියා වන ඇස්ක්ලෙෆියස් (Asclepius)ය. පියෝන් හේඩිස්ව (හේඩිස් යනු පාතාලයට අධිපති දෙවියාය) ඔහුට වැලඳුණු දරුණු රෝගයකින් සාර්ථක ලෙස සුව කළේය. ඉන් පසු මේ සුවකිරීම හේතුකොටගෙන ගුරුවරයා පියෝන් සමග ඊර්ෂ්‍යාව සහ කෝපය වඩවා ගත්තේය. ඔහු පියෝන්ට මරණය ලබා දුනි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සියුස් කාරුණික වී ඔහුව පියෝනි නම් මලක් බවට පත් කළේය. ඔහු මියගියේ නැතත් සදාකාලිකවම මලක් බවට පත් විය.

පියෝනි මල සම්බන්ධයෙන් තවත් මිථ්‍යාවක් පවතී. මෙහිදී පියෝනි නම් අප්සරාවක් ගැන කියැවේ. ඇගේ සුවිශේෂී සුන්දරත්වය නිසා ඇපලෝ ඇය වෙත බැඳුණි. අවාසනාවකට මෙන් ඇෆ්‍රොඩයිට් හෙවත් ආදරයේ සහ සුන්දරත්වයේ දේවතාවිය මේ පිළිබඳව වෛරයක් ඇති කර ගත්තේය. ඇගේ පළිගැනීම වූයේ පියෝනි මලක් බවට පත් කිරීමය. ඉන් පසුව ඇෆ්‍රොඩයිට් පියෝනියා නම් අප්සරාව රතු පියෝනියක් බවට පත් කළේය. ඇෆ්‍රොඩයිට් කෙරෙහි ඇපලෝට නැවතත් ආලවන්ත හැඟීම් පැමිණි පසු පියෝනියා රතු වූ බවද, පියෝනි යනු ලැජ්ජාශීලී බව සංකේතවත් කරන මල බවටත් පත්විය.

ඩැෆොඩිල්

ග්‍රීක මිථ්‍යා කතාවල ජනප්‍රිය මල්වලින් එකක් වන ඩැෆොඩිල්වලට එහි නම ලැබුණේ නාර්සියස් නම් ග්‍රීක චරිතයකිනි. නාසියස්ට දෙවියන් වහන්සේ තමන්ටම ආදරය කිරීමට ශාප කළේය. ඔහුගේ නොදැනුවත්කම හේතුවෙන් සහ ආත්මාර්ථකාමීත්වය නිසා නාසියස් තමාගේම ආත්මය ගැන උමතු විය. නාසියස් කඩවසම් මුහුණක් ඇති පුද්ගලයෙක් ලෙස ජනප්‍රිය වුවද අන් අයගේ හදවත් නිතරම බිඳ දැමූවෙකි. බොහෝ අය කීවේ ඔහු එකෝ නම් සිය පෙම්වතිය ප්‍රතික්ෂේප කර ඇයගේ  බලාපොරොත්තු සිඳ බිඳ දැමූ බවය. නාසියස් ඔහුගේ දඬුවම අවසන් හුස්ම තෙක්ම වින්දේය. ඔහු මරණය තෙක්ම ඔහුගේ පරාවර්තනය කෙරෙහි දැඩි ඇල්මකින් සිටියේය. ඔහු අවසානයේ මලක් බවට පත් විය. ඩැෆොඩිල් ලෙස නැවත නම් කරන ලද නාසියස් මල ආදරයේ අසමසම ලකුණක් විය.

සූරියකාන්ත මල

සූරියකාන්ත මල සඳහා උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ‘helianthus’ යන්නයි, එය වචනාර්ථයෙන් ‘සූර්ය’ (හීලියෝස්) සහ ‘මල්’ (ඇන්තොස්) යන ග්‍රීක වචන එක්වී නිර්මාණය වී ඇත. කහපැහැ සූරියකාන්ත මල ප්‍රීතිමත් බව, වන්දනාව සහ විශ්වාසවන්තකම සංකේතවත් කරයි, නමුත් ඇත්ත වශයෙන්ම සූරියකාන්ත මල පාවාදීමේ කුරිරු කතාවකට සම්බන්ධය.

ග්‍රීක පුරාවෘත්තවල සඳහන් වන්නේ ක්ලයිටි නම් ජල අප්සරාවකට සූර්ය දෙවියා වන ඇපලෝ ආදරය කළ බවයි. ලියුකෝතෝ නම් කුමරියක්ද ඇපලෝට ආදරය කළේය. මෙයට පළිගැනීමක් වශයෙන් ක්ලයිටි ඔවුන්ගේ අනියම් සම්බන්ධය ගැන ලියුකෝතෝගේ පියාට පැවැසුවේය. ඔහු වහාම තම දියණිය පණපිටින් වළලමින් දඬුවම් කළේය.

එය දැනගත් විට ඇපලෝ කෝපයට පත් විය. ඔහුට ක්ලයිටි සමඟ තවත් සම්බන්ධයක් තබා ගැනීමට අවශ්‍ය නොවීය. ඇගේ බලාපොරොත්තු සුන්වීම නිසාවෙන් එයට වෛරය ප්‍රකාශ කිරීමක් ලෙස සලකා ක්ලයිටි දින නවයක් ආහාර හෝ ජලය නොමැතිව නිරුවතින් ඇපලෝ දෙස බලා සිටියාය. ඔහු ඇයව නොතකා හැරීම දිගටම කරගෙන ගිය අතර ඇගේ ඛේදජනක වැඩ වර්ජනයේ දසවන දිනයේදී ඇය සූරියකාන්ත මලක් බවට පරිවර්තනය විය. ඇගේ මුහුණ සදහටම අහස දෙස බලා සිටින්නා සේම, සූරියකාන්ත මල නිරන්තරයෙන්  අහස දෙසට හැරී සූර්යයා සොයයි. ඒ සිය අහිමි වූ පෙම්වතා සොයනා අයුරිනි.

හයසින්ත් මල

හයසින්තස් යනු කඩවසම් ස්පාටන් කුමරෙකි. එමෙන්ම ග්‍රීක මිථ්‍යා කතාවල වීරයෙකි. ඔහුගේ පෙනුම පිළිබඳව ඇපලෝ දෙවියන්ගේ මෙන්ම දේව මණ්ඩලයේ අවධානයට සහ කතාබහට ලක්විය. දිනක් ඇපලෝ සහ හයසින්තස් කවපෙත්ත විසිකිරීමේ තරගයක යෙදුණි. හයසින්තස්ට ඇපලෝව විස්මයට පත් කිරීමට අවශ්‍ය වූ අතර ඔහු කවපෙත්ත පසුපස හඹා ගියේය. Zephyrus නම් වූ බටහිර සුළඟේ දෙවියා ඔහුගේ සුළඟ චලනය කිරීමට මෙම මොහොත තෝරා ගත්තේය. ඒ මොහොතෙහි සෙපයිරස් හයසින්තස්ගේ කවපෙත්තට පිඹිමින් ඔහුගේ හිසට වදින්නට සලස්වා ඔහුව මරා දැමීය. ඇපලෝ විනාශයට පත්වූ හයසින්තස්ගේ ආත්මය පාතාලයට ගෙන යෑමට හේඩිස්ට ඉඩ නොදුන්නේය. ඒ වෙනුවට ඔහු හයසින්තස්ව මලක් බවට පරිවර්තනය කළේය.

ඩෙල්ෆීනියම් මල (ලාර්ක්ස්පූර්)

ඩොල්ෆින් යන අරුත දෙන පුරාණ ග්‍රීක වචනය වන (delphínion) යන වදනින් මෙම ඩෙල්ෆීනිම් යන්න බිඳී ආවකි. ඩොල්ෆින් මත්සයාගේ හැඩැති මලක් වන මේ ශාකයට එහි නම ලැබුණේ කෙසේදැයි විමසා බලමු. ග්‍රීක මිථ්‍යා කතාවල එන අචිලස්ගේ මරණයෙන් පසු, එනම් ට්‍රෝයි සටනින් පසුව අජැක්ස් සහ යුලිසෙස් අචිලස්ගේ සිරුර අසල සිට එකිනෙකා සමඟ සටන් කළෝය. නමුත් කවරෙක් නිරායුධව සටන් වැදිය යුතුද? යන ප්‍රශ්නය පැනනැඟිණි. යම් සාකච්ඡාවකින් පසුව, ග්‍රීකයෝ පැවසූයේ ආයුධ යුලිසෙස්ට ලබාදිය යුතු බවය. 

මේ හේතුවෙන් අජැක්ස් කෝපයෙන් කෝපයට පත්ව ඔහුගේ කඩුව අතට ගෙන සියදිවි නසා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ රුධිරය යුද බිමේ වැගිරිණි. නයිට්ස්පූර් ලෙසද හැඳින්වෙන ලාර්ක්ස්පූර් ලෙසද මෙන්ම මෙම ඩෙල්ෆීනියම් නම් මල පිපුණේ අජැක්ස්ගේ ලේ වැගිරී තිබූ තැනිනි. Ajax කියන නාමයේ මුල් අකුර වන ‘Ai’ යන අකුරු (ග්‍රීක භාෂාවේදී Ajax යන්න ලිවීමේදී ‘Ai’ අක්ෂර යෙදේ. ඒ අනුව Ajax යන්න Aias ලෙස ලියවේ) Ajax සිහි කිරීමක් ලෙස මල් පෙති මත දිස්වන බව විශ්වාස කෙරේ.

නෙලුම් මල

ක්‍රිස්තු පූර්ව 3000ට පෙර හරප්පා යුගයේ පවා නෙලුම් මල ගැන සඳහන් වී ඇත. බුද්ධ ධර්මයේද මේ පිළිබඳ බොහෝ කතාන්දර සඳහන් වේ. එමෙන්ම නෙලුම් මල පාරිශුද්ධත්වයේද  සංකේතයකි. හින්දු ත්‍රිමූර්තියේ එන බ්‍රහ්ම උපත ලැබුවේ විෂ්ණුගේ නාභියෙන් පැනනැඟුණු නෙලුම් අංකුරයකිනි. මෙහි අදහස ආරම්භයේදී නෙලුම් ජලයේ උපත ලැබුවත් ජලයට ඉහළින් සිටින බවය. එබැවින් බ්‍රහ්මයා පද්මජ (නෙලුමින් උපන්) යන නාමයෙන්ද හැඳින්විණි. අත් හතරක් ඇති විෂ්ණු එක් අතකින් නෙලුම් මලක් රැගෙන සිටීමෙන් සංකේතවත් කරන්නේ ජීවිතය පිළිබඳ ලබා ඇති දැනුමයි. නෙලුම් මල ලෝකයට සශ්‍රීකත්වය සහ සෞභාග්‍යය ලබාදීමේ සංකේතයක් ලෙසද සැලැකේ.

කානේෂන් මල

මිථ්‍යා කතා හා සම්ප්‍රදායන්  තුළ කානේෂන් යනු නිතර නිතර මතක් වෙන මලකි. පුරාණ ග්‍රීසියේදී කානේෂන් මල බොහෝ විට චාරිත්‍රානුකූලව ඔටුනු නිර්මාණයට සහ මල් මාලා සෑදීම සඳහා භාවිත කළේය. පුරාණ රෝමයේ මේ මල “බ්‍රහස්පතිගේ මල” ලෙසද හැඳින්වූ අතර දෙවියන්ගේ නියෝජිතයා වූ රජුට ගෞරව කිරීම සඳහා භාවිත කළේය.

කානේෂන් මලේ ඉතිහාසය වසර 2000කට වඩා අෑත අතීතයට දිවයන බැවින් කානේෂන් මල පිටුපස බොහෝ මිථ්‍යාවන්, කතාන්දර සහ සංකේත තිබීම පුදුමයක් නොවේ.

ලෝකයේ වගා කරන මල් අතුරින් පැරණිම මලක් වන කානේෂන්හි විද්‍යාත්මක නාමය ‘dianthus’ යන්නයි. එය “ආදරයේ මල” හෝ “දෙවියන්ගේ මල” යන්න අදහස් කරන්නකි. මෙහි නම ඇතිවීම පිළිබඳ තවත් කතාවක් ඇත. නමුත් එය අවිනිශ්චිත එකකි. ඇතැමුන් විශ්වාස කරන්නේ පුරාණ රෝමානුවන් කානේෂන් සහිත මල්මාලා පැලඳ සිදුකරන උත්සවයක් වන ‘කොරොනේෂන්  (කිරීටය)’ යන වචනයෙන් මෙම නාමය පැමිණි බවයි. ක්‍රිස්තියානි පුරාවෘත්තයකට අනුව, ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසු කානේෂන් මල මුලින්ම දර්ශනය වූ අතර, කන්‍යා මරියතුමිගේ කඳුළු පොළොවට වැටුණු තැන්වල එය වර්ධනය වූ බව ප්‍රකටය. කානේෂන් මල මාතෘ ආදරය සමඟද සම්බන්ධ කෙරේ. වික්ටෝරියානු යුගයේදී, කානේෂන් මලේ වර්ණයෙන් තමා අගය කරන්නෙක්ට රහසිගත පණිවුඩයක් යැවීමේ මාර්ගයක් ලෙස එය භාවිත කළේය. ඝන වර්ණයක මලක් නම් ‘ඔව්’ යන අරුතද,  ‘මට ඔබ සමඟ සිටිය නොහැක’ යන අරුත ගෙන දීමට කහ පැහැ මල්ද යවා ඇත. එය ‘නැත’ යන අදහස ද අරුත් ගන්වයි.

කොරියානු සංස්කෘතිය තුළද මේ කානේෂන් මල ඉමහත් කාර්යභාරයක් ඉටුකරයි. තරුණ ගැහැනු ළමයින්ගේ වාසනාව පුරෝකථනය කිරීම සඳහා පේන කීමේදී කානේෂන් මල විසල් කාර්යයක් ඉටුකරයි. කපන ලද මල් තුනක් දරුවාගේ හිස මත තබා එහි පළමුව පරව යන මලෙන් ඇගේ අනාගතය පිළිබඳ යම් ඉඟියක් ලබා ගැනීම මෙහිදී සිදුවේ.

මුලින්ම ඉහළට වෙන්න තැබූ කානේෂන් මල පරව ගියහොත්, එයින් අදහස් කරන්නේ ගැහැනු ළමයා පසුකාලීන ජීවිතයේදී බොහෝ අභියෝගවලට මුහුණ දෙන බවය. මැද තැබූ කානේෂන් මල මුලින් පරව ගියහොත් එයින් අදහස් වන්නේ ඈ තරුණ වියේදී බොහෝ ලෙස දුක්විඳින බවයි. පහළ මල මුලින්ම පරව ගියහොත් එයින් අදහස් වන්නේ ඇගේ මුළු ජීවිතයම කැළඹිලිවලින් පිරී යනු ඇති බවය. මින් අදහස් වන්නේ සාමකාමී ජීවිතයක් කිසිදු අවස්ථාවකදී ලැබෙන්නේ නැති බවය. ජීවිතය කුසුමක් මෙන් පිපී පරව යන බව එය සංකේතීයව අදහස් කරයි.

ටියුලිප් මල

ෆර්හාඩ්ගේ සහ ෂිරින්ගේ කතාව ඉරානයේ සහ තුර්කියේ මෙන්ම ඉන්දියාවේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා වූ බොහෝ සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් තුළ බෙහෙවින් ජනප්‍රියය.  මෙම කතාවට පර්සියානු සම්භවයක් ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරයි.

ෆර්හාඩ් කලාකරුවකු වූ අතර (පුරාවෘත්තයට අනුව ඔහු ගල්කරුවෙක් හෝ බිතුසිතුවම්කරුවෙක් විය) ෂිරින් නම් කුමරිය සමඟ ආදරයෙන් බැඳී සිටියේය. ඇගේ මවුපියන් දෙදෙනා ඇයට ෆර්හාඩ් හා විවාහ වීමට ඉඩ දීමට අකැමැති විය. නමුදු ෆර්හාඩ්ට ඇය අමතක කළ නොහැකි විය. ඇයව මුණගැසීමට ඔහුට විශාල පාෂාණ කුට්ටියක් හාරා දිගු උමඟක් කැපීමට සිදුවිය. සියලු දෙනා පුදුමයට පත් කරමින්, ඔහු සාර්ථක වූ අතර රජු ඉන් අසතුටට පත් විය.

රජු ෂිරින් කුමරිය මියගිය බව කීමට පණිවුඩකරුවෙක් යැව්වේය. මෙය බොරුවක් බව ෆර්හාඩ්ට නොවැටහිණි. එය ඇසූ ෆර්හාඩ් ඉන් කලබලයට පත්විය. ඔහු සියදිවි නසා ගත්තේ උමඟ හෑරීමට භාවිත කළ මෙවලම්වලිනි. මේ ආරංචිය දැනගත් ෂිරින් ෆර්හාඩ්ගේ දේහය බලන්න ගියාය. ඉන් දැඩි ශෝකයට පත්වූ ෂිරින් කුමරියද ෆර්හාඩ්ගේ දේහය අසලදී සියදිවි නසා ගත්තාය. ඔවුන්ගේ මරණින් පසු ගලාගිය රුධිරය එකට එකතු වූ අතර එම ස්ථානයේ රතු ටියුලිප් මලක් පිපුණි. රතු ටියුලිප් අදටද නොමියෙන ආදරයේ සංකේතය වේ. එමෙන්ම එය රහසේ පෙම් කරන පෙම්වතුන්ගේ ආදරය සංකේතවත් කරන මල ද වේ.

ගිහාන් සචින්ත