මම විවෘතව කතා කළේ මගේ ගැන විතරක් හිතලා නෙවෙයි

0
71

රුක්ෂානා දිසානායක කියන්නේ මෙරට නව පරපුර නියෝජනය කරන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. මේ දිනවල කොළඹ ඉතාලිය සහ නීල පබළු ටෙලි නාට්‍යයන් ඔස්සේ සිය රසිකයන්ට සමීප වන ඇය දශකයකට ආසන්න කාලයක සිට රංගන ක්ෂේත්‍රය හැඩ කරනු ලබන්නීය. පසුගිය දිනවල එක්තරා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇය සිදුකළ කතා බහක් මාධ්‍ය හරහා ප්‍රචාරය විය. ඒ සම්බන්ධව ඇතැම් පිරිස් විවිධාකාර වූ අදහස් ප්‍රකාශ කර තිබුණත් රුක්ෂානාගේ විවෘතභාවයට බොහෝ   දෙනෙක් ප්‍රශංසා කර තිබුණාය. ඉතින් ඒ පිළිබඳවත් ඇගේ රංගන වැඩ කටයුතු පිළිබඳවත් පැවැසීමට රුක්ෂානා හදගැස්ම වෙනුවෙන් එක්කාසු වුණේ මෙලෙසයි.

මේ දිනවල රුක්ෂානා තරමක් කාර්යබහුල චරිතයක්ද?

ඔව්, තරමක් කාර්යබහුලයි. ගොඩක්ම අරගල සමඟ තමයි කාලය ගෙවෙන්නේ. ඊට අමතරව නීල පබළු ටෙලි නාට්‍ය සහ කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. නමුත් රට තුළ ඇතිවෙලා තිබෙන තත්ත්වය එක්ක කලා කටයුතුත් තරමක් අඩපණ වෙලා. ඒ පිළිබඳව නම් දැඩි කනගාටුවක් තමයි තිබෙන්නේ.

 කොළඹ ඉතාලිය කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. කොහොමද එයට ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් ඉතාමත්ම හොඳයි. කොළඹ ඉතාලියේ මගේ චරිතය වන්නේ ‘මලීෂා’ කියන චරිතය. ඇය කෙළින් කතා කරන, සාධාරණයට කැමැති, රූපලාවණ්‍යාගාරයක සේවය කරන ගැහැනු ළමයෙක්. ප්‍රේක්ෂකයන් මට වගේම ටෙලි නාට්‍යයටත් ඉතාමත්ම හොඳ අදහස් දක්වනවා. මඟතොටේදී වගේම විශේෂයෙන්ම සමාජ මාධ්‍යවලදීත්.

නීල පබළු වැනි දීර්ඝ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වීම තරමක් ඒකාකාරීයි කියලා සිතුණේ නැද්ද?

ඒකාකාරීභාවයක් තිබෙනවා. පෞද්ගලිකව මම ඒ චරිතයට තරමක් අකැමැතියි. හේතුව මට එහි නැන්දා කෙනකුගේ චරිතයක් නිරූපණය කරන්න සිදු වුණා. නමුත් අපි ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජනයක් ගන්නට අවශ්‍යයි. අපිට අවශ්‍ය සෑම දෙයක්ම අපට ළඟා කරගන්න බැහැ. ඒ නිසා ලැබෙන හැමදෙයක්ම සතුටින් භාරගෙන කරනවා.

 වර්තමානයේ රටේ උද්ගත වී තිබෙන ගැටලු කලාකරුවන්ට බලපා ඇති ආකාරය කතා කළොත්?

කලාවටත් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. රටක් ස්ථාවරව තිබුණොත් පමණයි කලාවට වගේම හැම අංශයකටම යහපතක් වෙන්නේ. දේශපාලන අස්ථාවරභාවය සමඟ මුලින්ම කඩා වැටෙන ක්ෂේත්‍ර දෙකක් තමයි කලාව සහ ව්‍යාපාර ක්ෂේත්‍රය කියන්නේ. කලාව පැත්තෙන් ගත්තොත් නිෂ්පාදකවරුන් නව නිෂ්පාදන එළි දක්වන්න මැළිකමක් දක්වනවා. එය කලාකරුවන් වන අපට ලොකු හානියක්. ඒ වගේම නාළිකාවලින් ටෙලි නාට්‍යවලට ලැබෙන සහයෝගය අවම වෙනවා.

ඉතින් අපි තාවකාලික සහනයක් වෙනුවෙන් සදාකාලික අගාධයකට වැටෙන්නේ නැතිව කටයුතු කළ යුතුයි. අප යම් දෙයක් ලබා ගන්නට නම් කැපකිරීමක් කළ යුතුමයි. කොරෝනා කාලයේ වුණත් ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න නිවෙස්වලටම වී සිටින්න සිදු වුණා. නමුත් දැන් තිබෙන්නේ වෙනමම ගැටලුවක්. මම සිතන්නේ කලාකරුවන් විදිහට හොඳම දේ තමයි පෞද්ගලික අවශ්‍යතාවන් සිතන්නේ නැතිව ඉවසීමෙන් අපි හැමෝම වෙනුවෙන් රටේ ස්ථාවරයක් ගොඩනැඟීමට උදවු කරන එක.

 ඔබ ජීවිතේ නොලැබුණු දේවල් පිළිබඳව පසුගිය කාලයේදී  සමාජ මාධ්‍ය සමඟ අදහස් හුවමාරු කරගෙන තිබුණා. එවැනි දේවල් ප්‍රසිද්ධියේ පැවැසීම ඔබේ චරිතයට හානියක් යැයි සිතුණේ නැද්ද?

නැහැ. මම බොහොම විවෘත කෙනෙක්. ජීවිතයට නොලැබුණු දේවල් බොහොමයක් තිබෙනවා. නමුත් අපි ජීවිතේ නොලැබුණු දේවල් පිළිබඳව සිතලා කලකිරීමට ලක්වෙනවට වඩා ලැබුණු දේවල් පිළිබඳව සතුටෙන් ඉන්න පුළුවන් නම් එය තමයි විය යුත්තේ. ජීවත් වෙනවා කියන්නෙත් ඇත්තටම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ජීවිතය දිනනවටත් වඩා පරාජය කියන එක ජයග්‍රහණයේ ආරම්භයක්. අපි පුළුවන් තරම් යහපත්ව ජීවත් වුණොත් කවදාක හෝ සැනසීමෙන් ඉන්න පුළුවන්.

ආදරය සම්බන්ධව ඔබ සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ ආකාරය අප දුටුවා. එහිදී ඉස්මතු වුණෙත් ඔබේ විවෘතභාවය නේද?

ඒ ගැන මට ඇතැම් අය චෝදනා කරලා තිබුණා මගේ පෞද්ගලික දේවල් ප්‍රසිද්ධියේ කතා කරනවා කියලා. මම සිතන්නේ මම මොකක්  හරි ප්‍රශ්නයක සිටිනවා නම් සමහර විට ඒ ප්‍රශ්නයම තව කෙනකුට තිබෙන්නට පුළුවන්. ඇත්තම කතාව මගේ පෙම්වතා මට වඩා අවුරුදු දෙකකට බාලයි. ඒ නිසා ගෙවල්වලින් අකැමැතියි. මේ ප්‍රශ්නය අද බොහෝ දෙනකුට තිබෙනවා. බොහෝ අය එවැනි වේදනාවලින් විඳවන අවස්ථාත් අප දැක තිබෙනවා. මේ දේවල් හංගන්නට අවශ්‍ය දේවල් නොවෙයි. අපි කිසිම කෙනකුට වරදක් කරන්නේ නැත්නම් විවෘත වනවා කියන දෙය නරක දෙයක් නොවෙයි. මම විවෘත වෙන්නේ මම ගැන විතරක් සිතලා නොවෙයි. එය බොහෝ විට අද පොදු ගැටලුවක්.

රුක්ෂානා ඔබ ජාතීන් සහ ආගම් දෙකක් සහිත පරිසරයක් තුළ හැදී වැඩුණු කෙනෙක්. එය බොහෝ දෙනකුට නොලැබෙන අවස්ථාවක් කිව්වොත්?

ඔව්. මගේ තාත්තා මුස්ලිම්, අම්මා සිංහල. නීත්‍යනුකූලව මගේ ආගම ඉස්ලාම් ආගම. එය හරිම සුන්දර ආගමක්. එම ආගමට මම ගොඩාක් ගරු කරනවා. මම දැනුම් තේරුම් ඇති වයසට ආවට පස්සේ මට තේරුණා ආගමක් ධර්මයක් කියන්නේ නිකම්ම නිකම් වචනයක් විතරයි කියලා. අපි ජීවිතේ ගෙවන තත්පරයක් ගානේ හොයන්න ඕන මනුෂ්‍යකම සහ හොඳ කියන කාරණා පමණයි. මොන ආගමද අපි හදාරන්නේ කියන එක වැදගත් නැහැ. හොඳ කිරීම කියන දෙයක වචනයට පමණක් සීමා නොවී එය ක්‍රියාත්මක කිරීම පමණයි වටින්නේ. මම පල්ලි, පන්සලුත් යනවා. මගේ ආගම මම අදහනවා. බෞද්ධ ආගමත් අදහනවා. සෑම ආගමකින්ම කියන්නේ එකම දෙය නම් එය අදහනවා. නිවැරැදිව වටහා ගැනීම අපේ කාර්යයක්.

රංගන ජීවිතය පිළිබඳව සෑහීමකට පත්විය හැකි ලෙස ඔබට ඇගැයීම් ලැබී තිබෙනවාද?

මම රයිගම් සම්මාන උළෙලේදී සහ රාජ්‍ය නාට්‍ය උළෙලවලදී හොඳම නිළියට සහ නැඟී එන නිළියට නිර්දේශ වී තිබෙනවා. නමුත් සම්මාන නම් ලබාගන්න වුණේ නැහැ. රංගන ශිල්පියෙක්  ශිල්පිනියක් විදිහට සම්මානයක් තමයි අපේ ලොකුම අපේක්ෂාව. නමුත් දෙයක් ලැබෙන්න හැකියාව, දක්ෂතාව, වාසනාව යන සියලු දේම තිබිය යුතුයි. මැරෙන්න කලින් හෝ එවැනි සම්මානයක් ලබාගන්න පුළුවන් වුණොත් එය තමයි ජීවිතේ මම ලබන ලොකුම තෘප්තිය.

රංගන ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු ගැනත් කතා කරමු?

රටේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය උඩ අලුත් නිර්මාණ සඳහා නම් මේ දිනවල ආරාධනා ලැබුණේ නැහැ. දැනට විකාශය වන ටෙලි නාට්‍ය ටික කරගෙන යනවා. ඊට අමතරව මගේ නර්තන පාසලෙත් වැඩකටයුතු කරගෙන යනවා. රටේ පවතින ගැටලු නිසා නර්තන කණ්ඩායමේ වැඩත් තරමක් අඩාල වුණා. කෙසේ වෙතත් අභියෝග මැදින් ඉදිරියට යනවා කියන බලාපොරොත්තුවෙන් ජීවත් වනවා.

සචිනි බස්නායක

ඡායාරූප – ධනුක නිශාංග