මන්ත්‍රි අමරකීර්ති අමු අමුවේ මරපු නිට්ටඹුව යුද්ධයේ හැංගුණු කතාව

0
244

ගාලු මුව‍ෙදාර සහ අරලියගහ මන්දිරය අසල පවත්වාගෙන ගිය ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයක නිරතව සිටි විරෝධතාකරුවන්ට මැර පිරිසක් කළ පහරදීම්වලින් පසු ඊට ප්‍රතිප්‍රහාර ලෙස විවිධ කණ්ඩායම් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 74 දෙනකුගේ නිවාස, වාහන ඇතුළු දේපළවලට බරපතළ හානියක් සිදුකළහ. මේ නිසා ඇතැමුන්ට හිමිවූයේ සිය ඇඳිවත පමණක්ය.

මෙම ගැටුම්වලදී පොදුජන එක්සත් පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතාගේ දිවියද අහිමි විය. ඔහු සමඟ ඔහුගේ ආරක්‍ෂක රැකවලාද ප්‍රචණ්ඩකාරීන් අතින් මැරුම්කෑහ.

ඉකුත් 9 වැනිදා ඔහු අරලියගහ මන්දිරයට පැමිණියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කිරීම සඳහාය. ඒ අගමැතිවරයාගේ දැනුම්දීමකට අනුවය. මන්ත්‍රිවරයා උදෑසන 5.30ට පමණ නිවෙසින් පිටවූ අතර ජීප්රිය පදවාගෙන පැමිණියේ ඔහුගේ රියැදුරාය. ඉදිරිපස අසුනේ අතුකෝරාල මන්ත්‍රිවරයා අසුන්ගෙන සිටි අතර පසුපස අසුනේ මන්ත්‍රිවරයාගේ ආරක්‍ෂාව භාරව සිටි සැරයන් ගුණවර්ධනත් මන්ත්‍රිවරයාගේ හිතවත් මුස්ලිම්වරු දෙදෙනකුත් වූහ. සැරයන්වරයාගේ ඉණේ රාජකාරි රිවෝල්වරයද තිබිණි.

පොළොන්නරුවේ පිරිසක්ද ඔහු සමඟ කොළඹ අරලියගහ මැඳුරට පැමිණ මොහොතකට පසු අගමැතිවරයා සිය පාක්‍ෂිකයන් ඇමැතූ අතර මැති ඇමැතිවරුන් කිහිපදෙනකු අගමැතිවරයාට සහාය පළ කරමින් උද්වේගකාරී අදහස් පැවැසූහ. පිරිස අරලියගහ මන්දිරය තුළ හැසිරුණේද ප්‍රකෝපකාරීවය. ටික වේලාවකින් එලෙස හැසිරුණු ඇතැම් පිරිස් අරලියගහ මන්දිරය අසල විරෝධතාවයේ යෙදී සිටි පිරිසට පහර දෙමින් ගාලු මුව‍ෙදාරට ගොස් ගෝඨාගෝගම ප්‍රදේශයේ සාමකාමී විරෝධතාවක යෙදුණු පිරිස්වලට අමානුෂික ලෙස පහර දුන්හ.

එම මැර ප්‍රහාරය සමඟ රට පුරාම ඇති වූයේ නොසන්සුන්තාවකි. මැර ප්‍රහාරයෙන් කුපිත වූ ඇතැම් පිරිස් ඊට ප්‍රතිප්‍රහාර දෙමින් අරලියගහ මැඳුරට පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් රැගත් බස් රථ, යානවාහන ඇතුළු මැති ඇමැතිවරුන්ගේ නිවාස සහ දේපළවලටද පහර දෙමින් ඒවා විනාශ කරන්නටත් ගිනි තබන්නටත් උත්සුක වූහ. කොළඹින් ඇරඹුණු මෙම ප්‍රතිප්‍රහාරය දිවයිනේ සෑම ප්‍රදේශයක්ම අවුළුවාලන්නට සමත් විය. මෙලෙස තැන් තැන්වල ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සමඟ අමරකීර්ති මන්ත්‍රිවරයාද සිය රථයෙන් හිතවතුන්ද, ආරක්‍ෂක සැරයන්වරයාද සමඟ පොළොන්නරුව බලා පිටත් වූයේ තත්ත්වය හොඳ නැති බව තේරුම් ගිය නිසාය.

කොළඹින් පිටවූ මන්ත්‍රිවරයා

කඩවත-නුවර පාරේ ඉදිරියට පැමිණි අතර තැන තැන ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පිරිස්ද ඔහුට දක්නට ලැබිණි. තත්ත්වයේ බැරෑරුම්කම තේරුම් ගත් මන්ත්‍රිවරයාගේ රථය කිරිල්ලවල පසුකරමින් බැලුම්මහර වෙත ඇදෙන්නට වූයේ සුදු ඉරි, කහ ඉරිද කපාගෙනය.

කෙසේ වෙතත් ඒ වනවිට නිට්ටඹුව නගරයේ රැඳුණු පිරිස් උද්වේගකාරීව හැසුරුණු අතර ඊට නගරයේ ත්‍රිරෝද රියැදුරන් ඇතුළු ඒ අවට තරුණ කොටස්ද එක්ව සිටියහ. නිට්ටඹුව පසු කරමින් යන රථ සෝදිසි කරමින් රැඳුණු ඔවුන්ට අතුකෝරල මන්ත්‍රිවරයාගේ ජීප්රිය මැදිවූයේ ඔය අතරය.

මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයකු වූදා සිට ඔහුගේ රථයේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ පසුව ගමන් ගත් රථයේද ඉදිරිපස මහින්ද රාජපක්‍ෂගේ ඡායාරූපයක් අලවාගෙන සිටියේය.

වාහනය දුටු පමණින් එය පවතින රජයේ කෙරුම්කාරයකුගේ රියක් බව පිරිස හඳුනා ගත්තේ ඒ නිසා විය හැකිය. එමෙන්ම මන්ත්‍රිවරයාගේ රූපය රැගත් පින්තූරයක්ද රථයේ පිටුපස අලවා තිබිණි. 

“අපි මේ වෙඩින් එකකට ගිහින් ගෙදර යනවා” මන්ත්‍රිවරයා එසේ කීවද රථයේ සිටින පුද්ගලයා මන්ත්‍රිවරයකු බව ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පිරිස දැන සිටියේ නැත. ඔහු කවුදැයි හඳුනා ගැනීමට එක් පුද්ගලයකු රථයේ තිබූ ලියකියවිලි හාරා අවුස්සන්නට විය. ඉන් රථයේ සිටින්නේ මන්ත්‍රිවරයකු බව හඳුනාගත් පිරිස පරුෂ වචනයෙන් බැන වදිමින් මන්ත්‍රිවරයා රථයෙන් පිටතට ගෙන ඔහුට පහර දෙන්නට පටන් ගත්හ. ඒ සමඟම සැරයන් ගුණවර්ධනද මන්ත්‍රිවරයාට පහරදීම වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත් අතර කුපිත වූ පිරිස් සැරයන්වරයාටත් මන්ත්‍රිවරයා සමඟ පැමිණි පිරිසටත් පහර දෙන්නට වූ අතර ඒ සමඟ මන්ත්‍රිවරයාගේ රියැදුරාත් රථයේ පැමිණි අනෙක් අයත් මන්ත්‍රිවරයා අතහැර දිවි බේරා ගැනීමේ අරමුණෙන් පලාගියහ. එහෙත් සැරයන් ගුණවර්ධන මොහොතකටවත් මන්ත්‍රිවරයා අතහැරියේ නැත. ඔහු සිය රාජකාරිය අකුරටම කළේය. මෙවන් කලහකාරී සිදුවීමකදී සිය ප්‍රභූවරයා පිරිසගෙන් බේරාගෙන ආරක්‍ෂිත තැනකට රැගෙන යෑම පිළිබඳ මන්ත්‍රි ආරක්‍ෂකයන්ට දැනුම සහ පුහුණුව ප්‍රගුණ කර තිබුණු අතර කවුරු මන්ත්‍රිවරයා අතහැර දිව්වද සැරයන්වරයා මන්ත්‍රිවරයා අසලින් හෙල්ලුණේවත් නැත. ඒ නිසා ඔහුටද ප්‍රචණ්ඩකාරීන්ගෙන් බඩ පුරා ගුටි කෑමට සිදුවිය.

තත්ත්වය එන්න එන්නම දරුණු විය. විශාල පිරිසක් සමඟ ගැටෙන්නට මන්ත්‍රිවරයාටත් සැරයන්වරයාටත් නොහැකි වූහ. ඒ කෙසේ වෙතත් මන්ත්‍රිවරයා කෙසේ හෝ බේරාගත යුතුව ඇතැයි සැරයන් ගුණවර්ධන සිතන්නට ඇත. ඊට හොඳම දේ මෙතෙක් සඟවාගෙන සිටි ගිනි අවිය බව ඔහුට වැටහිණි. රිවෝල්වරය සියතට ගත් ඔහු සිය ජීවිත බේරා ගැනීමේ අරමුණෙන් එහි ‘කොකා’ ගැස්සුවේය.

එම වෙඩි ප්‍රහාරයත් සමඟ මන්ත්‍රිවරයා වටා සිටි දෙතුන් දෙනකු බිම ඇදවැටිණි. ඒ සැණින් සැරයන්වරයා මන්ත්‍රිවරයාත් ඇදගෙන පිරිස අතරින් පණ බේරා ගන්නට දිවයන්නට වූහ. ඒ මොහොතේත් සැරයන්වරයා අත ආරක්‍ෂක ගිනි අවිය විය.

වෙඩි වැදුණු පුද්ගලයන් රෝහල් ගත කරන්නට පිරිස උත්සුක වෙද්දී වෙඩි ප්‍රහාරයෙන් තවත් කුපිත වූ එම පිරිස පලාගිය මන්ත්‍රිවරයාත් වෙඩි තැබූ සහායකයාත් පසුපස පන්නන්නට වූහ. පිරිස පිටුපසින් එන බව හො¼දාකාරවම දත් ආරක්‍ෂක සැරයන්වරයා මන්ත්‍රිවරයා සමඟ දිවගියේ නගරයේ පිහිටි රෙදිපිළි ආයතනයක් වෙතය. තට්ටු කිහිපයකින් සමන්විත එම ගොඩනැඟිල්ලේ තුන්වන මහලට නැඟගත් මන්ත්‍රිවරයාත් ආරක්‍ෂක නිලධාරියාත් සැඟවෙන්නට උත්සුක වෙද්දී වෙඩි ප්‍රහාරයෙන් දරුණු ලෙස කුපිත වූ පිරිස රෙදිපිළි ආයතනයට කඩා වදින්නට වූහ. ඒ වනවිට මන්ත්‍රිවරයා පැමිණි රථයද ගිනි තබා තිබිණි.

සමහරු කෑ ගැසුවේ රෙදිපිළි ආයතනයටත් ගිනි තබන බව කියමින්ය. මින් එම ආයතනයේ සේවක සේවිකාවන්ද තුෂ්ණිම්භූතව සිටියහ. ඒ සමඟ ප්‍රකෝපකාරීන්ට ඊට ඇතුළු වීමට ඉඩකඩ ලැබිණි. ඔවුන් මන්ත්‍රිවරයාත් වෙඩි තැබූ පුද්ගලයාත් සොයා ආයතනය පීරන්නට වූ අතර සුළු වේලාවකදී ඔවුන්ට මන්ත්‍රිවරයා ඇතුළු ආරක්‍ෂකයා කොටුකර ගැනීමට එතරම් අපහසු නොවූහ. ඒ සමඟ ඔවුන් දෙදෙනාට ලැබුණේ අමානුෂික ප්‍රහාරයකි. එම ප්‍රහාරය ආයතනයේ සී.සී.ටී.වී. කැමරාවල පැහැදිලිව සටහන් වී තිබිණි.

දෙදෙනාට හොඳට සැලකූ පිරිස මොහොතකට පසු තරප්පු පෙළ දිගේ ඔවුන් පහත මාලයටම ඇදගෙන ආහ. ඒ අතරමඟදීද සමහරු මොවුන්ට පහරදුන්හ. ඒ වනවිට ඔවුන් සිටියේ අවසාන හුස්ම යදිමින්ය.

මේ අතර මන්ත්‍රිවරයාගේ බිරිය මාලනී සිය සැමියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ රටේ පැවැති නොසන්සුන්කාරී වාතාවරණයත් සැමියා කොහේ සිටින්නේදැයි දැන ගැනීම සඳහාය. ඒත් මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. මින් ඇගේ සිතටද කිසියම් බියක් දැනුණාය. ඇය වහා මන්ත්‍රිරයාගේ රියැදුරාට ඇමැතුමක් ගත්තාය.

“කෝ මහත්තයා”

ඔහු මන්ත්‍රිවරයාගේ බිරියට තත්ත්වය පැහැදිලි කළේය.

“මහත්තයා පාරෙන් එහා පැත්තට දිව්වා. මම අනිත් පැත්තට ඇවිත් මේ ටොයිලට් එකක හැංගිලා ඉන්නේ… මැඩම් නිට්ටඹුව පොලිසියට කතා කරන්න.”

රියැදුරාගේ කතාවෙන් පසු ඇය කළ උත්සාහයේදී මන්ත්‍රිවරයාත් ආරක්‍ෂක නිලධාරියාත් රෙදිපිළි ආයතනයක ඉහළ මාලයේ රැඳී සිටින බවට ඇයට දැනගන්නට ලැබුණාය.

මේ අතර සැරයන් ගුණවර්ධනගේ බිරිය අනුෂා උදේනිද සැමියා කොහේදැයි සොයන්නට වෙහෙසුණාය. සැමියා 8 වැනිදා රාත්‍රියේ ඇය අමතා තිබිණි.

“අගමැතිතුමාගේ වැඩසටහනකට මන්ත්‍රිතුමාත් එක්ක උදෙන්ම කොළඹ යනවා.” 9 වැනිදා උදෑසනද සිය බිරිය ඇමැතූ ගුණවර්ධන ඉන්පසු ඇය ඇමැතුවේ නැත. රටේ නොසන්සුන්කාරී වාතාවරණය මත ඇය සවස තුනට පමණ ඔහු ඇමැතුවද දුරකථනයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ඇය වහා මේ බව සැමියාගේ වැඩිමහල් සොහොයුරකුට කීවාය. ඔහුද මල්ලි කොහේදැයි සොයාගන්නට උත්සුක වුවද එය සාර්ථක නොවීය. මේ වනවිට නිට්ටඹුව නගරයේ පැවැති තත්ත්වය එතරම් සුබදායි නොවීය. අතුකෝරාල මන්ත්‍රිවරයාගේත් ඔහුගේ ආරක්‍ෂකයාගේත් නිරුවත් සිරුරු වටකරගෙන පිරිස කෑකෝ ගසමින් රැඳෙන්නට වූහ. සිරුරුවල වූයේ යට ඇඳුම් පමණි. මෙය ඉතාම අමානුෂික වූයේ නිට්ටඹුව පොලිසියටවත් ඔවුන්ගේ සිරුරු අසලට පැමිණීමට ප්‍රචණ්ඩකාරීන් ඉඩකඩ ලබානොදීමය. පැය 10කට අධික කාලයක් එම මළසිරුරු නිට්ටඹුව නගරයේ සුපිරි වෙළෙඳසලක් අසල තිබිණි.  මේ වනවිට මන්ත්‍රිවරයාගේ ආරක්‍ෂක නිලධාරියාගේ වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයකු මරණයට පත්ව තිබිණි. තවත් තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ. සිද්ධියෙන් මියගොස් තිබුණේ ඉහළගමගේ හර්ෂ නදීෂාන් ජයවීර යන අයෙකි.

කෙසේ වෙතත් මේ වනවිට අතුකෝරල මන්ත්‍රිවරයා සහ ආරක්‍ෂකයා  මරණයට පත්ව ඇති බව මන්ත්‍රිවරයාගේ බිරියද දැනගෙන තිබිණි. මන්ත්‍රිවරයා සිය ජීවිතය බේරාගැනීම සඳහා  මියගොස් ඇත්තේ වෙඩි තබාගෙන බවටද ප්‍රචාරය විය. ඒ බව ඇතැම් මාධ්‍යයද පළ කරන්නට විය. මෙය කාටත් මහත් ප්‍රශ්නයක් ගෙන දුන්නේය. පසුව මෙම මරණ පහරදීමෙන් සිදුවූවක් බව හෙළි විය. කෙසේ වෙතත් රාත්‍රි දහයට පමණ නිට්ටඹුව පොලිසිය ප්‍රචණ්ඩකාරීන්ගේ පහරදීම්වලින් මියගිය මන්ත්‍රිවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ සිරුරු වතුපිටිවල රෝහල වෙත රැගෙන ගියේය.

සැරයන් ගුණවර්ධන මහතාගේ නිවෙසටද නිට්ටඹුව පොලිසිය මේ බව දැනුම්දුන්නේ පසුදාය. ඒ පොලිසිය කළ දැනුම්දීමෙන් පසු ගිය විටය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිට්ටඹුව පොලිසිය විසින් ආරම්භ කෙරිණි. ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම මත ඇරඹුණු විමර්ශන අවසානයේ පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරිණි.

ඉන්පසුව මන්ත්‍රිවරයාත් ආරක්‍ෂක සැරයන්වරයාත් මියගියේ කෙසේදැයි හඳුනා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්‍ෂණයක්ද සිදුකෙරිණි. සැරයන්වරයා සතුව තිබූ ගිනි අවියද අතුරුදන්ය.

වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රමේෂ් අලගියවන්න මහතා සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළි වූයේ අතුකෝරල මන්ත්‍රිවරයා මියගියේ අධික ලෙස පහරදීමෙන් සිරුරේ අස්ථි බිඳී යෑමෙන් වූ අභ්‍යන්තර රුධිර වහනයෙන් බවය. එමෙන්ම මන්ත්‍රිවරයාගේ සිරුරේ බහුවිධ තුවාල අධික ප්‍රමාණයක් ඇති බවද වාර්තා විය.

එමෙන්ම මන්ත්‍රිවරයාගේ ආරක්‍ෂක නිලධාරි සැරයන් ජයන්ත ගුණවර්ධන මියගොස් ඇත්තේ පපු ප්‍රදේශයට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම වෙඩි උණ්ඩය ඔහුගේ පෙණහැල්ල හරහා ගමන් කරමින් සිරුර පසාරු කර පිටව යෑමෙන් බවත් හෙළිවිය. එමෙන්ම පහරදීමෙන් ඔහුගේ හිස්කබල පුපුරා යෑමෙන් මොළයට රුධිරය වහනය වී ඇති බවත් සැරයන්වරයාගේ සිරුරේද බහුවිධ තුවාල රැසක් ඇති බවත් අධිකරණය වෛද්‍ය නිලධාරියා සඳහන් කර තිබිණි.

ඒ අනුව මන්ත්‍රිවරයා දිවි නසාගෙන ඇති බවට පැතිර ගිය ප්‍රචාරය අසත්‍යයක් විය.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතාගේ උපදෙස් මත මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම මත විමර්ශන භාර සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රිවරයාගේ සහ ආරක්‍ෂකයාගේ ඝාතන සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් විමර්ශන ඇරඹීම සඳහා නිට්ටඹුව බලා පිටත්ව ගියහ.

ඉතාමත් සංවේදී සහ සංකීර්ණ මෙම විමර්ශනය පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුකෙරිණි.

ඒ අනුව මූලික විමර්ශනය ඇරඹුණේ සී.සී.ටී.වී. කැමරා උපයෝගී කරගෙනය. මන්ත්‍රිවරයාට නගරයේදී කරන ලද පහරදීම ඇතුළත් සී.සී.ටී.වී. දර්ශන, මන්ත්‍රිවරයා සහ ආරක්‍ෂකයා පහරකෑමෙන් පලායන ආකාරය, ඔවුන් නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි ආයතනයකට ඇතුළු වන දර්ශන සහ එම ආයතනය ඇතුළත දර්ශනද රහස් පොලිස් නිලධාරීන්ගේ සෝදිසියට ලක්විය.

“අපි කැමරා 150ක් විතර නිරීක්‍ෂණය කළා. රෙදිපිළි ආයතනය ඇතුළතදී මන්ත්‍රිවරයාටත් ආරක්‍ෂක නිලධාරියාටත් ප්‍රචණ්ඩකාරීන් පහරදීලා පඩි පෙළ දිගේ පහළට ඇදගෙන එන අමානුෂික සිදුවීම සී.සී.ටී.වී. කැමරාවල පැහැදිලිව සටහන් වෙලා තියෙනවා.”

“සාමාන්‍යයෙන් මනුෂ්‍යයකුට පහර දීලා ඔවුන්ගේ ඇඳිවතත් ගලවලා ඒ අතර බිම දිගේ ඇදගෙන ඇවිත් එතනදීත් පහරදීලා ඔවුන්ගේ යට ඇඳුම් පමණක් ඉතිරිව නිරුවත් කරලත් පහර දෙන දර්ශන ඉතාමත් අමානුෂිකයි. පාකිස්තානයේත් ශ්‍රී ලාංකිකයකු ඔය විදිහට මැරුවා.”

“මේ නිසා මේ සිද්ධියේ විමර්ශන ඉතා සංකීර්ණයි, සංවේදීයි. මේ විදිහට හැසුරුණු පුද්ගලයන් එකින් එක අපි හඳුනා ගනිමින් පවතිනවා. මේ වනවිට හඳුනාගත් කිහිප දෙනකුම අපි සොයනවා. ඔවුන් නිවෙස්වල නැහැ. ඒ අතරින් හතර දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතිරි අයත් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නවා.”

“ඒ වගේම පොලිස් සැරයන්වරයාගේ රිවෝල් එක නැහැ. මාලය, ජංගම දුරකථනය, මන්ත්‍රිවරයාගේ අතේ තිබුණු මුදු මුකුත් නැහැ. ඒවා කොල්ලකාලා. අපි ඒ ගැනත් හොයනවා.”

ජේ‍යෂ්ඨ රහස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එමෙන්ම ඇමැති ආරක්‍ෂක අංශයට අනුයුක්තව රාජකාරි කොට මරණයට පත්ව සිටින අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන මහතාගේ සිරුරේ වෙඩි වැදීමේ තුවාල තිබීම මහත් ගැටලුවක් බවත් එම වෙඩි වැදීම කෙසේ වූවාද යන්න තහවුරු කිරීමට රජයේ රසපරීක්‍ෂකවරයාගේ සහාය ලබාගන්නා බවද රහස් පොලිසිය සඳහන් කළේය. එම වෙඩි තැබීම ඔහු විසින් සිදුකර ගත්තේද නැතහොත් පිටස්තරයකු ඔහුට වෙඩි තැබුවේද යන්න සෙවීම විමර්ශනවල අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.

සිද්ධිය වූ ස්ථානයට රජයේ

රසපරීක්‍ෂකවරයා මෙන්ම අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් මෙන්ම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාත් කැඳවා නිරීක්‍ෂණ සිදුකළ බවත් විමර්ශනය සඳහා එම නිරීක්‍ෂණද උපයෝගී කර ගන්නා බවත් රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම නිට්ටඹුව රෙදිපිළි ආයතනයේ පිරිසගේ සාක්කිද විමර්ශන සඳහා උපයෝගී කර ගන්නා බවද වාර්තා වේ.

මේ අතර මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මන්ත්‍රිවරයා සමඟ සිටි ආරක්ෂක නිලධාරියාගේ ස්වයංක්‍රිය ගිනිඅවිය පිළිබඳ තොරතුරක් අනාවරණය කරගත හැකි විය.

ඒ තොරතුරු මත නිට්ටඹුව ප්‍රදේශයට ගිය නිලධාරීන් නිට්ටඹුව මූලස්ථාන පොලිසිය ඉදිරිපිට එළවළු සහ පලතුරු වෙළෙඳසලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදී.  ඔහු යුද හමුදාවේ හිටපු සෙබළකු වන අතර ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී එම වෙළෙඳසල ආසන්නයේ සඟවා තිබූ ගිනිඅවියක් නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා ලදී.

ප්‍රභූ ආරක්ෂකයන් සඳහා ඇමැති ආරක්ෂක අංශය විසින් එම “එම්.පී. ටුවෙන්ටි ටූ” ගිනිඅවිය අතුකෝරල මන්ත්‍රිවරයාගේ ආරක්ෂාව භාරව සිටි සැරයන්වරයාට නිකුත් කළ ගිනි අවිය බවට නිලධාරීන් විසින් හඳුනා ගන්නා ලදී.  විමර්ශන නිලධාරින් සැක කරන්නේ එම ගිනිඅවිය මන්ත්‍රිවරයා සහ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව රෙදිපිළි ආයතනයට පලාගිය මොහොතේ ඔවුන්ට පහර දී උදුරාගන්නට ඇති බවය.

මේ අනුව මෙම ගිනිඅවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද පියවර ගන්නා බව වාර්තා වේ.

මේ අතර ඉකුත් සිකුරාදා අමරකීර්ති මන්ත්‍රිවරයා ඝාතනයේ ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විණි. ඒ. සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු මතය.

29 හැවිරිදි සැකකරු බස් රියැදුරෙක් බව නිලධාරීහු කියති.  මන්ත්‍රිවරයාගේ රථය නතර කර ගන්නා පිරිස  අතර සිටි මෙම සැකකරු රථයේ තිබූ මන්ත්‍රිවරයා සතු ලිපිලේඛන හාරා අවුස්සා  මන්ත්‍රිවරයා  ජීප්රියෙන් බස්සවා  මුල් පොලු පහර එල්ලකර ඇති බවත් අනාවරණය වී තිබේ. ඉන් අනතුරුව සෙසු පිරිස මන්ත්‍රිවරයාට දිගට හරහට පහර දී ඇති බවත් විමර්ශනයේදී හෙළි වී තිබේ.

මේ අනුව සිකුරාදා වන විට අමරකීර්ති මන්ත්‍රිවරයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 08කි.

කෙසේ වෙතත් සැරයන් ගුණවර්ධන සිය ප්‍රභූවරයා කිහිපවතාවක්ම බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා අයුරු දකින්නට ඇති බවත් මෙවන් රාජකාරියක නිරත නිලධාරියකුට ඉවසීම හොඳින් පුහුණු කර ඇති අතර මෙවන් තත්ත්වයකදී ප්‍රභූවරයාද ආරක්‍ෂිතව රැගෙන යෑම සම්බන්ධයෙන්ද මනා පුහුණුවක් ලබාදී ඇති බවත් ඇමැති ආරක්‍ෂාවට සම්බන්ධ වූ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

2019 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත්වූ අමරකීර්ති අතුකෝරල මහතා පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයාද වන්නේය. 58 හැවිරිදි හෙතෙම එක්දරු පියෙකි.

මැදිරිගිරිය, බිසෝබණ්ඩාර ගම්මානයේ ඉපදුණු ජයන්ත ගුණවර්ධන 8 දෙනකුගෙන් යුත් පවුලේ පස්වැනියා වූ අතර බිසෝබණ්ඩාර මහා විද්‍යාලයෙන් සහ දිවුල්කඩවල ජාතික පාසලෙන් සිප්සතර හදාරා 1993 පොලිස් සේවයට එක්වී ඇත. 1995 වසරේදී ඇමැති ආරක්‍ෂාවට එක්වූ ඔහු ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා සහ බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුරු දේවප්‍රිය සහ චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන්ගේද ආරක්‍ෂක නිලධාරියා ලෙස රාජකාරි කොට මීට වසර දෙකකට කලියෙන් අතුකෝරල මන්ත්‍රිවරයාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස රාජකාරි කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතාගේ අවසන් කටයුතු පොලිස් සහ යුද හමුදා ආරක්‍ෂාව මධ්‍යයේ ඉකුත්දා පොළොන්නරුව, 28 කණුව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

ජනතා නියෝජිතයකු වූ ඒ මහතාගේ අවසන් කටයුතුවලට පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර දසනායක මහතා පමණක් සහභාගි වීම විශේෂත්වයකි. එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කිසිදු පක්‍ෂයක දේශපාලනඥයකු හෝ සහභාගි නොවීමද කිසිදු දේශපාලන පක්‍ෂයක හෝ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ ශෝක පණිවුඩ එවා නොතිබීමද දක්නට ලැබූ විශේෂිතම සිදුවීම විය.

කීර්ති මෙන්ඩිස්