පොළොවට නොබසින පාලකයන් බේරෙට

0
54

ශ්‍රී  ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා කිසියම් හෝ පියවරක් ගැනීමෙන් තොරවම සිව්වැනි පාර්ලිමේන්තු සැසිවාරයත් අවසන් විය. ආණ්ඩුව සිටින්නේ තවමත් කණා බල්ලන් ගසමින්ය.

කොපමණ හෙණ ගැහුවත් කම්මලේ බල්ලාට වගේ වගක් නැතුවා සේම පිකටින්, උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර කොතෙක් තිබුණත් ආණ්ඩුවට ගානක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන්නට, ප්‍රථමයෙන් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා, ණය කළමනාකරණ සැලැස්මක් අනුමත කරගෙන, පැමිණෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල් ඇමැති අලි සබි්‍රට දැනුම් දී මාසයකට ආසන්න කාලයක් ගත වී තිබේ.

ණය කළමනාකරණ සැලැස්මක් තබා මේ වන විටත් මුදල් ඇමැති කෙනෙක්ද නැත. හිටපු මැති ඇමැතිවරු කතා කරන්නේ පසුගියදා ගින්නෙන් විනාශ වූ තම නිවාස හා දේපළවලට වන්දි ලබා ගැනීම පිළිබඳවය. රට ආර්ථික අර්බුදයක ගිලෙමින් තිබෙන බව ඔවුන්ට මතකත් නැත.

අඩු තරමින් තම ගෙවල් ‍ෙදාරවල්වලට ගිනි තැබුවේ කවුදැයි නිසි පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් සොයා ගන්නට හෝ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට වුවමනාවක් නැත. ඔවුන්ගේ ගෙවල් ගිනි ගනිද්දී  පොලිසිය ඉවත බලා ගන්නට හේතුව කුමක්දැයි හෝ ඔවුන් සොයා බලන්නේ නැත. ආණ්ඩුවේ අව කල්ක්‍රියාව හේතුවෙන් ඇවිළගිය මහජන විරෝධය ජවිපෙ හෝ පෙරටුගාමීන් ගේ ක්‍රියාවක් ලෙස පෙන්වා තුට්ටු දෙකේ දේශපාලන වාසියක් ලබාගන්නටද ඒ අතර ආණ්ඩුව උත්සාහයක යෙදී සිටී.

එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නට, දරුවන්ට කන්න දෙන්න හැකියාවක් නැති නාගරික පුරවැසියන්ගේ ආණ්ඩුව කෙරෙහි ඇති වෛරය දිනෙන් දින උත්සන්න වෙමින් තිබේ. එය කිසියම් හෝ මොහොතක නැවත වරක් පුපුරා යෑමට ඉඩ තිබෙන බව අපි ආණ්ඩුවට අනතුරු අඟවමු.

මාධ්‍ය විසින් ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගන්වනවා යැයි පාලකයන් දරන මතයම අගමුල පටලවා ගැනීමකි. ජනතාවගේ දැවෙන ප්‍රශ්න රට හමුවේ තැබීම වගකිව යුතු ජනමාධ්‍යයක් හැටියට අප විසින් ඉටුකළ යුතු පරම වගකීමකි. ශ්‍රී  ලාංකේය ජාතිය මුහුණ දෙන        ප්‍රශ්නවලදී අප සිටගන්නේ ජනතාවගේ පැත්තෙන් මිස ඊනියා දේශපාලනඥයන්ගේ පැත්තේ නොවේ. අප ඉටුකරන්නේ සිවුවන ආණ්ඩුව ලෙස ජනමාධ්‍යයට පැවරී ඇති පරම වගකීමය.

මහජන මුදලින් යැපෙන ජනතා නියෝජිතයන් අසීමිත වරප්‍රසාද භුක්ති විඳිමින් ජන පීඩකයින් ලෙස ක්‍රියා කිරීම කිසියම් තීරණාත්මක මොහොතක පාලකයින්ට එරෙහිව මහජන නැඟිටීමක් දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බව අප බොහෝ අවස්ථාවල පෙන්වාදී තිබේ. රට බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටියදීත් දේශපාලකයන් ඔවුන්ගේ අසීමිත පරිභෝජනය අත්හරින්නට සූදානම් බවක් නොපෙනේ.

සිඟමන් යැද ලබාගන්නා ඉන්ධන සොච්චම පවා බෙදී යා යුත්තේ කෙසේදැයි ඔවුහු නොදනිති. ජනතාවගේ දෛනික අවශ්‍යතාවන් සඳහා මගී බස් රථ, දුම්රිය, ත්‍රීවීල්, මෝටර් සයිකල් ආදියට ප්‍රමුඛත්වය දෙනවා වෙනුවට ආණ්ඩුව මේ මොහොතේත් ඉන්ධන බෙදාහැරීමේදී ඩිස්කවරි, ජගුවර්, ප්‍රාඩෝ, සුඛෝපභෝගී වාහන සඳහාද එකම හැන්දෙන් බෙදමින් සිටී. ගෑස් බෙදාහැරීමේදීද ප්‍රමුඛත්වය ලබාදී තිබෙන්නේ කොළඹ නගරයේ සුපිරි මහල් නිවාසවල, තරු පහේ හෝටල්වල, ගෑස් කාමර සඳහා අඩු නැතිව ගෑස් ලබාදීමටය.

පාලකයන් ජනතාවට ඉහළින් වරප්‍රසාද ලද පන්තියක් ලෙස සිටිනතාක් ඔවුන් ජනතාවගේ වෛරයට පාත්‍ර වීම වළක්වනු නොහැකිය. රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට ඔවුන්ද මුහුණ දිය යුතුය. ඒ සඳහා ඔවුන් මහ පොළොවට බැසිය යුතුය. නැතහොත් වැඩිකල් නොගොස් ජනතාව පාලකයන්ද බේරේ වැවට ඇද දමනු ඇත. වීදි බැස සිටින තරුණ ජනයා ආණ්ඩුවේ මැරයන්ට මුහුණ දෙමින්, ක¾දුළුගෑස් කමින් නඟන හඬ අපේ රටේ පාලකයන් තවමත් තේරුම් ගෙන නැත. ඊනියා ජනවරමක් ගැන පුරසාරම් දෙඩුවාට මේ මොහොතේ රටේ ජනතාව සිටින්නේ පාලකයන් සමඟ නොව තරුණ අරගලකරුවන් සමඟ බව ආණ්ඩුව වටහා ගත යුතුය.