පරමාණු බෝම්බයක් ගහාන්න හදන NOLAN ගේ OPPENHEIMER

0
240

එකම වැඩේ දෙසැරයක් කරන්න වුණොත් කියවන ඔබට පමණක් නෙවෙයි ලියන මටත් වෙසමුණියා අවේෂ වෙන බව අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. නමුත් එකම ෆිල්ම් එක දෙසැරයක් බලන්න වෙන අවස්ථා නැතුවාම නෙවෙයි. ඒ ඇයි කියලා කියන්න ගියොත්.

හරියටම හරි ඔයාලට මතක් වුණේ ක්‍රිස්ටෝපර් නොලාන් නම්, කියවන ඔයාලා ෆිල්ම් පිස්සෝ කියලවත් නොලාන්ගේ die hard ෆෑන්ස්ලා කියලවත් ටැග් ගහගන්න ඕනේ නෑ. මොකද නොලාන් බොසාගේ ෆිල්ම් එකක් දෙසැරයක් බලලා තේරුම් ගත්තා කියන්නෙත් මේ අවුරුදු 70-80ක් වුණ ජීවිත කාලය ඇතුළත ලබාගන්න පුළුවන් මාර ජයග්‍රහණයක්. ටයිප් එකේ වැඩක්. බොසාගේ අන්තිමට ආව TENET ෆිල්ම් එක මතකනේ. මගේ හොඳම යාළුවෙක් තාම ෆිල්ම් එකේ තේරුම හොයනවා. මට තේරුණු දේ හරිද දන්නේ නැති නිසා මම උත්තර දෙන්න ගියෙත් නැහැ. හැබැයි මම හිතන්නේ යාළුවා තාම තේරුම හොයනවා.

ක්‍රිස්ටෝපර් නොලාන් කියන්නෙම සිනමාව ඇතුළේ භෞතික විද්‍යාවෙන් වැඩ දාලා තමන්ගේ ෆිල්ම් බලන ක්‍රවුඩ් එක ඩාම් කරලා ඩූම් කරවන ජාතියේ ඩිරෙක්ටර් කෙනෙක්. ඔහු ඩිරෙක්ට් කළ Batman trilogy හැර අනෙක් සියලුම ෆිල්ම් පට්ට twist එක්කම ඉවර වුණ ෆිල්ම් කියලා ඔයාලට මතක ඇතිනේ. ගිය දේ ගියාවේ කියලා අපි දැන් බලමු නෝලාන් සර් අල්ලන්න හදන අලුත්ම අඩව්ව මොකද්ද කියලා.

ඔපන්හයිමර් සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙලා තිබෙන්නෙ American Prometheus: The Triumph and Tragedy of J. Robert Oppenheimer කියන චරිතාපදානය. එය කායි බර්ඩ් සහ මාටින් ජේ. ශර්වින් කියන කතුවරුන්ගේ එකතුවෙන් ලියැවුණු කෘතියක්.

ඒ වගේම මේ කෘතිය 2006දී හොඳම චරිතාපදානය සඳහා වූ ජුලියස්ටර් ත්‍යාගය පවා දිනාගන්නවා. ජූලියස් රොබට් ඔපන්හයිමර් උපදින්නේ 1904 අප්‍රේල් 22 වැනිදා නිව්යෝර්ක් නගරයේ. ඔහු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ලෝක යුද්ධ අවධියේදී ලොස් ඇලමෝස් පර්යේෂණාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේද ඔහුයි. ඔපන්හයිමර් පරමාණු බෝම්බයේ පියා විදිහට තමයි බොහෝ දෙනා දන්නෙ. දෙවැනි ලෝක යුද සමයේ රසායනික අවි නිපදවීම සහ ඒ පිළිබඳ පර්යේෂණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාවේ මූලිකත්වයෙන්

පවත්වාගෙන ගිය මෑන්හැටන් ව්‍යාපෘතිය මෙහෙයවන්නා වූයේ රොබට් ඔපන්හයිමර්. 1945 ජුලි 16 වැනිදා නිව් මෙක්සිකෝවේ ජොනාර්දා දෙල් මුඒටෝ කියන කාන්තාරයේ තමයි ටි්‍රනිටි නමින් නම් කරපු පළමුවැනි පරමාණු බෝම්බ පිපිරීම අත් හදා බලන්නෙ. ඔපන්හයිමර් මෙය ටි්‍රනිටි කියන නමින් නම් කිරීමට ජෝන් ඩොනේ නම් කවියෙක්ගේ කවියක් බලපෑ බව තමයි පවසා තිබෙන්නේ. මේ දරුණු ගණයේ ටි්‍රනිටි මෙහෙයුම සිදු කිරීමෙන් අනතුරුව 1945 අගෝස්තු මස ජපානයේ හිරෝෂිමා සහ නාගසාකිවලට පරමාණු බෝම්බ මුදා හැරුණා. ඔපන්හයිමර් භගවත් ගීතාව උපුටා දක්වමින් මෙහෙම කියනවා.

“මම දැන් මරණය බවට පත්ව ඇත, මම ලෝකය විනාශ කරන්නා වෙමි. (Now I am become Death the destroyer of worlds)” අවසානයේ ඔහු කීවේ ඔහු ලෝකය නසන්නා වන විෂ්ණු බවය.

ඔපන්හයිමර්ට ෆ්‍රෑන්ක් කියලා සහෝදරයෙක් සිටියා. ඔහුගේ බිරිය වුණ කැතරින් කියන්නෙ ජර්මානු ඇමෙරිකානු සම්භවයක් ඇති කාන්තාවක්. කැතරින් කියන්නෙ ඇමෙරිකානු කොමියුනිස්ට් පක්ෂයේ නිත්‍ය සාමාජිකාවක් වගේම ජෛව විද්‍යාඥවරියක්.

මතකද බැට් මෑන් බිගින්ස් ෆිලුමෙ Scarecrow ඒ වගේම මෑතක ටෙලි සීරීස් ලෝකය කඹපු Peaky Blinders එකේ තෝමස් ෂෙල්බි මේ චරිතවලට පණ පොවපු කිලියන් මර්ෆි තමයි රොබට් ඔපන්හයිමර්ට රඟපාන්නෙ. ඒ වගේම චැප්ලින්ට රඟපාපු හෝම්ස් මහත්තය මතකද? කවුරුත් එයාව දන්නවනේ. සරල හැඳින්වීමක් කළොත් Marvel universe එකේ Iron man නොහොත් රොබට් ඩවුනි ජූනියර් තමයි ලෙවී ස්ට්‍රවුස්ගෙ චරිතයට පණ පොවන්නෙ. ඇකඩමි සම්මානලාභී රමී මලික්, එමිලි බ්ලන්ට්, කෙනෙත් බර්නාග් මෙන්ම විශාල නළු නිළියන් රැසකගේ සහභාගිත්වයෙන් මේ වන විටත් මේ සිනමා පටයෙ රූගත කිරීම් සිදුවෙනවා.

මේ ෆිල්ම් එකේ Shooting ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ. කැල්ෆෝනියා සහ නිව් ජර්සි යන ප්‍රාන්තවල සිදු කෙරෙනවා. ඒවා කොහොමින් කොහොම වුණත් නොලාන් බොසාගේ භයානකම පුරුද්ද නිසා සිනමා ලෝකය පමණක් නෙවෙයි සමස්ත ලෝකයම බය වෙලා ඉන්නේ කිව්වොත් වැරැදි නැහැ. මොකද නොලාන්ට CGI (computer-generated imagery) අරහං නෙහ්! මේ ෆිල්ම් එක පරමාණු බෝම්බයක ස්ටෝරි එකක් නිසා මෑන් ඇත්තටම බෝම්බයක් පුපුරවයිද දන්නේ නැහැ. කොහොම වුණත් දැන්ම පූර්ව නිගමන දෙන එක හොඳ මදී. ට්‍රේලරයක් හරි ටීසරයක් හරි ආවොත් අපි ඒ ගැන නතචර එක ඔස්සේ කතා කරමු.

රමෝද් ජයවර්ධන/ගිහාන් සචින්ත