දුක් දොම්නස් තුළින්ද සැනසීම උදාවේ

0
41

අප විසින් මේ ලබාගෙන තිබෙන්නේ ඉතාම දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක්. ධර්මයේ මෙය හ¾දුන්වන්නේ ක්ෂණ සම්පත්තිය ලෙසයි. එනම් ඉතාම දීර්ඝ වූ මේ සංසාර ගමනේ වැඩි කාලයක් සතර අපායේ ගෙවා, කණ කස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අපහසු වූ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීමයි. මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ ‍ෙදා්මනස්ස, උපායාස, පරිලාහ ඔස්සේ ගතවීගෙන යනවා.

උපායාස නම් බලවත් සිත් තැවුල් හෙවත් මානසික ව්‍යාකූලතාවයි. පරිලාහ නම් පිච්චෙන දැවෙන රත්වෙන ගතියයි. වර්තමානයේ මේවා හඳුන්වන්නේ ආතතිය, ක්ලමථය, වික්ෂෝපය වැනි නම්වලින්.

ඉතාම දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ සියක් ආයු ඇති බවට පැවැසුවත් සෑමදෙනාටම අවුරුදු සියයක් ජීවත් වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මවු කුසේ පිළිසිඳ ගත් දා පටන් කුස තුළ වැඩෙන කාලයත් මෙලොව එළිය දුටුදා පටන් ජීවත් වන කාලයත් අතර ඕනෑම මොහොතක් අවසන් මොහොත විය හැකිය. ඕනෑම ආශ්වාස ප්‍රශ්වාසයක් අවසන් හුස්ම විය හැකිය. එම නිසා ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමත් එම මනුෂ්‍ය ජීවිතය රැක ගැනීමට කෙතරම් අපහසුද යන්නත් අප විසින් තේරුම් ගත යුතුයි. මේ බව අප මහා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙසේය.

“කත්ථබ්බං කුසලං 

චරිතබ්බං බ්‍රහ්මචරියං

නත්ථි ජාතස්ස අමරණං”

“කුසල් දහම් කරන්න, බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න, ඉපදුණු සෑම කෙනෙක්ටම නොමැරී සිටින්නට හැකියාවක් නැහැ”

අප ජීවිතය සැපවත්ව ගත කළත් දුක් කරදර කම්කටොලුවලට මැදිව ගත කළත් ජීවත් වීමට තිබෙන කාලය සෑම ක්ෂණයක් පාසාම අවසන් වී ගෙන යනවා. සම්මතයෙන් අප සඳහන් කළ සියක් ආයුවලින් තමයි මේ සෑම ක්ෂණයක්ම ගෙවෙන්නේ. අතීත සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් සතර අපායේ ගෙවලා ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය නැවතත් මරණින් පසු සතර අපායට නොවැටෙන්නට අප කටයුතු කළ යුතුයි. මේ සඳහා අප කුමක් කළ යුතුද? විනයට ශික්ෂණයට හා සීලයට අනුව ඉගෙනීම, රැකියාව, විවාහය, දරුවන් සහ ගේ ‍ෙදාර දේපළ ආදිය සකස් කරගන්නවා සේම සමාජ යුතුකම් රටට ලෝකයට කළ යුතු සේවය ද ඉටු කළ යුතුයි.

සම්මතය තුළ අපි පණ ඇති නැති සෑම වස්තුවක්ම මමය මගේය කියන අරුතින් පරිහරණය කරනවා. එහෙත් ධර්මයෙහි පරම සත්‍යයට අනුව මේ ජීවිතයේ සැබෑ අයිතියක් අපට නැහැ. එනම් අපේම ශරීරය හෝ ජීවිතයත් ඒ වගේම මම, මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවන් කියන සියලු දෙනාමත් අනිත්‍ය, දුක්ඛ, අනත්ථ යන ත්‍රිලක්ෂණයට යටත්. මේ නිසා සම්මතයට අනුව ජීවිතය පවත්වාගෙන යන විට යම් කාලයක, යම් අවස්ථාවක අපි කැමැති අරමුණු, බලාපොරොත්තු ඉටු කරගෙන සතුටින් ජීවත් වෙනවා.

ජීවත්වනවා යනු ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආඝ්‍රහණ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසින් සිතුවිලි පරිහරණ කිරීමයි. මේ ආකාරයට ඇසෙන් රූප, කනෙන් ශබ්ද වශයෙන් අරමුණු පරිහරණය කරන විට තමන් කැමැති පරිදි ප්‍රිය වස්තු ලබන්න, පරිහරණය කරන්න පුළුවන් නම් එය සැප ලෙස හඳුන්වනවා. ඒ වගේම ඇසට රූප, කනට ශබ්ද ආදී වශයෙන් අරමුණු අපට කැමැති ආකාරයෙන් පරිහරණය කිරීමට නොලැබෙන විට, වෙනස් වනවිට ශෝකයක් ඇති වෙනවා. එය දුක ලෙස හඳුන්වනවා.

ඔබ විනය ශික්ෂණය අනුව ජීවත් වෙමින් අප කැමැති අරමුණු ලබාගනිමින් එනම් කැමැති පරිදි ගෙයක් ‍ෙදාරක් හදාගෙන, කැමැති පරිදි හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් ලබාගෙන, රසවත් පෝෂ්‍යදායී ආහාර ලබාගෙන සැපවත් ජීවිතයක් ගත කරනවා වන්නට පුළුවන්. නමුත් අනිත්‍ය, දුක්ඛ, අනත්ථ යන ත්‍රිලක්ෂණයට යටත්ව ජීවිතයක් ගත කරන්න සැලකිලිමත් විය යුතුයි. අපි මොනතරම් සැප සැප කියලා දේවල් කළත් රෝමකූපයක තරම් අයිතියක් අපට නැති බව පැහැදිලියි. පසුගිය අවුරුදු දෙක තුළ කොරෝනා උවදුරේදී අපට ලැබුණු අත්දැකීම් අනුව ඒ බව පැහැදිලි වෙනවා.

භෞතික ලෝකය තුළ මොනතරම් සැප සම්පත් තිබුණත් කායික ලෙඩ දුක් නිසා අප මොනතරම් අසරණ වුණාද? සැප තාවකාලිකයි. ඒ ගැන සිතා අඬන්න දුක්වන්න අවශ්‍ය නැහැ. බුදු දහමේ සඳහන් වන පංචශීලයට අනුව දාන, ශීල, භාවනා ආදී පුණ්‍ය කර්මවල යෙදෙමින් ශීල, සමාධි, ප්‍රඥා යන ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගෙන ජීවිතය පවත්වාගෙන යන්න. එවිට සැප ඉදිරියේ උද්ධාමයට පත්වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. තමන් කැමැති අරමුණු පරිහරණය කිරීමට ලැබෙන විට උපේක්ෂාවට පත්වෙන්න අනතිමානී වන්න.

සැපය දුකක් බවට පත්වෙන විට එනම් ශරීරය රෝගී වනවිට, ප්‍රිය වූ අය තමන් හැර යන විට ආදී අවස්ථාවලදී ජීවත්ව සිටින අප විසින් ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන ධෛර්යෙන්, විශ්වාසයෙන්, වීර්යයෙන් කටයුතු කළ යුතුයි. අපි සැප කියලා ජීවත් වෙනවා කියලා පරිහරණය කරන සෑම අරමුණක්ම හුස්ම ටික තිබෙනකම් පමණයි. විඥානය ශරීරයෙන් ඉවත්වෙලා ගියවිට මම මගේ කියලා අල්ලාගත් ලෝකය අවසන් වෙනවා. කවා පොවා නාවා පිරිසුදු කර හැඩ බැලූ ශරීරය ආදාහනය කළ යුතු වෙනවා. 

ලෙඩ දුක් ඇතිවෙන විට ප්‍රතිකාර කරන්න එක් රැස් කළ ධනය විනාශ වී ගියා නම් නුවණින් සහ ධෛර්යමත්ව නැවත එම ධනය උපයා ගැනීමට කටයුතු කරන්න. සමහර දේවල් තිබෙනවා අපට නැවත හදාගන්නට, ගොඩනඟා ගන්නට නොහැකි. උදාහරණයක් ලෙස අපගේ සමීපතමයෙක් මිය ගියහොත් අපට ඒ පුද්ගලයාව නැවත ලබාගන්නට බැහැ. අපට කළ හැකි වන්නේ ජීවත් වන කාලය තුළ මනුෂ්‍යත්වය මතුකරගෙන ඔවුනොවුන්ට යුතුකම් ඉටු කිරීම, ආදරය කරුණාව දැක්වීම පමණයි. තමන්ගේ නිවැසියන්ගෙන් පටන්ගෙන එදිනෙදා මඟතොටදී හමුවන පුද්ගලයන්ට පවා මනුෂ්‍යත්වයෙන් යුතුව සැලකිය හැකි නම් එය උතුම් ක්‍රියාවක්.

උපදින සෑම සත්ත්වයෙක්ම ඕනෑම මොහොතක මිය යා හැකියි කියන දැනුම අපිට තිබුණත්, ඒ පිළිබඳව සිත පුහුණු නොකර මම මගේ යනුවෙන් හොඳින් හෝ නරකින් දේවල් රැස්කර ගනිමින් කටයුතු කරන අයට අවසානයේ ඉතිරි වන්නේ දුක්ඛ ‍ෙදා්මනස්සයන් පමණයි. එවිට මේ දුර්ලභව ලැබූ ජීවිතයෙන් ප්‍රයෝජනයක් නොමැතිව යනවා. ගතවෙන සෑම මොහොතක්ම දුකින්, කෝපයෙන්, වෛරයෙන් ගත කරන්න සිදුවෙනවා. අතට ගන්න බත් පත පවා රසයෙන් යුක්තව අනුභව කරන්නට නොහැකිව යනවා. ජාති ආගම් වර්ණ භේදයකින් තොරව සෑම මනුෂ්‍යයෙක්ම ආදරය කරුණාව ලැබීමට කැමැතියි.

මේ බව තේරුම් ගෙන කුසල් ක්‍රියාවන්වල යෙදෙමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවන ලෙසයි බුදු දහමින් කියැවෙන්නේ. එසේ නොමැතිව ජීවිතයෙන් පලා යෑමට හෝ සියලුදෙනාටම වනගත වීමට බුදු දහමෙන් උගන්වන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය හැකිතාක් දුරට අනුගමනය කරමින් ජීවත් වීමට උත්සාහ ගන්න. කිසිවකුට නොමැරී සිටින්නට බැහැ. මේ බව තේරුම් ගෙන සම්මුතියට අනුකූලව මම මගේ කියූවත් පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ නැති බවත් ස්ථිර හෝ සදාකාලික වන්නේ නැති බවත් අවබෝධ කරගන්න.

වර්තමානය විවිධ හේතු නිසා අප සැමට දුෂ්කර කාලයක් වී තිබෙනවා. මේ අර්බුද සමයේ නිසි පරිදි විසඳුම් සෙවිය යුතුයි. අවවාද ලබා දෙන්න, සාකච්ඡා කරන්න, අවශ්‍ය පරිදි කටයුතු කළ හැකියි. වැරැදි නිවැරැදි කරන්න නීතියේ පිහිට පතන්න. නමුත් කිසිවිටෙක අපි අකැමැති අරමුණු ඉදිරියේ දැඩි වෛරය, ක්‍රෝධය හෝ අමනාපය ඇති කරගන්න එපා. එවිට මේවා භවාංගවල තැන්පත් වෙනවා. එනම් අකුසල කර්ම ගොඩගැසෙනවා. අපි මේ ගෙවන ජීවිතය තුළ ප්‍රශ්වාස කිරීමෙන් පසුව නැවත ආශ්වාසයක් උඩට ගන්නට නොහැකි වුවොත් එතැනින් ජීවිතය අවසන් වෙනවා.

අවබෝධයෙන් යුක්තව ගැටලුවලට විසඳුම් සොයන්න. සාකච්ඡා කරන්න. ලෝකයේ සෑමදාම හොඳ සහ නරක තිබුණා. එය තේරුම් ගෙන කටයුතු කරන්න. නමුත් මෙලොව ගත කරන කෙටි කාලය වෛරයෙන් ක්‍රෝධයෙන් ගත කරන්න එපා. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නුවණින් විමසා වර්තමානයේ පවත්නා ගැටලුවලට විසඳුම් සොයමින් සමාධිගත මනසකින් ඒවාට මුහුණ දෙන්න. සෑම අඳුරු වලාවකම රිදී ඉරක් තිබෙනවා වගේ දුක්ඛ ‍ෙදා්මනස්සයන් තුළත් සැනසීමක් සොයා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

කුශාන්ති අනුරාධා බණ්ඩාර