ජෝන් වයිට්ගේ Roanoke කොලනිය අතුරුදන් කළේ පිටසක්වලයෝද?

0
673


රෝවනොක් ජනාවාසයේ අතුරුදන් වීම අද ඊයෙක සිදු වූවක්වත් මීට වසර 50කට 100කට පෙර සිදු වූ අතුරුදන් වීමක්වත් නොවේ. මෙම අතුරුදන් වීම සිදු වූවේ අද අපි දන්න ලෝක බලවතා වන ඇමෙරිකාවේ ජනාවාස ආරම්භ වූ මුල් කාලයේදීයි. එකල ඇමෙරිකාවට සංක්‍රමණිකයන් යුරෝපයේ සිට පැමිණි අතර ඔවුන්ට ජනාවාස පිහිටුවාගැනීමට හොඳ පරිසරයක් බවට ඇමෙරිකාව පත් වූවා.

එතෙක් ඇමෙරිකාව යනු ලෝකයෙන් සැඟවී තිබූ භූමි ප්‍රදේශයක් කිවහොත් සම්පූර්ණයෙන්ම නිවැරැදියි. ඉතින් ඇමෙරිකාවේ මුල් ජනාවාස ගැන කතා කරනවා නම් අපි අනිවාර්යෙන්ම දැනගත යුතුයි ඇමෙරිකාව සොයා ගත් පුද්ගලයා කවුද යන වග. ඔහු නමින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් වුවත් විචාරකයන්ගේ මතය සහ ඉතිහාස කතාවලට අනුව ඇමෙරිකාව සොයාගත් මුල්ම පුද්ගලයා ක්‍රිස්ටෝපර් කොලොම්බස් නොවෙයි. එහෙත් ඇමෙරිකාව ජනාවාස වීම ආරම්භ වූවේ කොලොම්බස්ගෙ ඇමෙරිකාව සොයාගැනීමේ සංචාරය නිසා බව අපි සැවොම දනිමු.

ඒ වගේම කොලොම්බස් ලෝකය පුරා විවිධ රටවල්වලට සංචාරය කර තිබුණත් ඔහුගේ ඇමෙරිකාව සොයා ගැනීම ඉතිහාසයට එක් වුවත් සැබැවින්ම ඇමෙරිකාව සොයාගත්තේ ඔහු විසින්මද කියන ප්‍රශ්නය බහුතරයකට නැතත්  කිහිප දෙනෙක්ට නම් මතු වෙනවා ඇති. ඔව්. ඒ ගැන සිතිය යුතුමයි. මක් නිසාද ඇමෙරිකාව සොයාගන්න නැති වෙලා තිබ්බ රටක් නෙවෙයිනෙ. ඒකත් මේ පෘථිවියෙම කොටසක් වගේම එහිද ජීවය තිබුණත් ලෝකයේ අනෙක් රටවල්වල සිටි මිනිසුන්ගෙන් සැඟවිලා තිබූ නිසයි කොලොම්බස් විසින් සොයාගත්තා කියලා කියන්නෙ. ඒ නිසා ඒ ගෞරවය කොලොම්බස්ට ලැබිය යුතුයි. හැබැයි ඒ ගෞරවය කොලොම්බස්ට ලැබිය යුතුමද?  ඇමෙරිකාවට ගොඩ බැස්ස ප්‍රථමයා ඔහුද යන වගත් සමහරකුට ප්‍රශ්නයක් ඇති කරනවා වෙන්නට පුළුවන්. කොලොම්බස් ඇමෙරිකාව සොයා ගත්තේ 1492 වර්ෂයේදියි. ඒත් මීට වසර ගාණකට පෙර විවිධ ජාතීන් මේ සැඟවී ගිය මහද්වීපයට පැමිණ තිබෙනවා.

මෙහි පැමිණි පළමු ජාතිය ලෙසට අපිට සලකන්න පුළුවන් නෞකා සෑදීමේ ප්‍රවීණයෝ මෙන්ම ආක්‍රමණශීලී සහ මංකොල්ලකෑමට උපන් හපන්කම් තිබෙන වයිකින්වරු. ඔවුන් ක්‍රි.ව. 999දී පමණ ඇමෙරිකාවට පැමිණ වගා කටයුතු කළ බවටද සොයා ගෙන තිබෙනවා. ඉතින් වයිකින්වරු යනු මිථ්‍යා කතාවක් යැයි සිතාගෙන හිටියා නම් ඒ මතය වෙනස් කරගන්න කාලය හරි. සැබැවින්ම වයිකින්වරු නෞකා සෑදීමේ ප්‍රවීණයන්. ඔවුන් විවිධ රටවල්වලට ගොස් එහි තිබෙන ධනය, ආහාර වගේ දේවල් හොරකම් කරගෙන ඒම තමා සිදු කළේ. ඉතින් ඔවුන් සාදන විශාල නෞකා ලොකු රළ පහරවල්වලට පවා ඔරොත්තු දෙන්න හදලා තිබෙනවා.

යුරෝපය සමඟ කාලාන්තරයක් තිස්දේ විවිධ මත ගැටුම්, යුද්ධ වැනි දේ වයිකින්වරුන්ට තිබූ අතර ඔවුන් විවිධ රටවල්වලට සංචාරය කළ මුල්ම ජන කොටස ලෙසට ඉතිහාසගත වෙනවා. කොටින්ම කිව්වොත් ඔවුන් ග්‍රීන්ලන්තයට පවා සංචාරය කර තිබෙනවා. ඉතින් ඇමෙරිකාවට ගිය ලීෆ් එරික්සන් නම් වයිකින්වරයා ඇමෙරිකාවට පැමිණියේ තව වයිකින්වරු පිරිසක් සමඟ නිසා ඔවුන්ට හැකි වෙනවා මෙහි වගා කටයුතු කර කාලයක් ජීවත් වීමට. ඒත් වැඩි කාලයක් ඔවුන් මෙහෙ ජීවත් වූවේ නැහැ. නැවත ඔවුන්ගේ සුපුරුදු සංචාරය පටන් ගන්නවා. ඉතින්, වයිකින්වරුන්ගේ කාලයේ හිටපු නොමැකෙන නාමයක් තබපු කෙනෙක් විධියටයි. ලීෆ් එරික්සන්ව සලකන්නේ. ඒ වගේම ඇමෙරිකාවට පැමිණි පළමු හා එකම පුද්ගලයාත් ලීෆ් එරික්සන් නෙමෙයි. මීට පසුවද වයිකින්වරු මෙහි පැමිණ තිබෙනවා.

එහෙත් ඔවුන් මෙම භූමියේ පදිංචි නොවුණේ මක් නිසාද යන වග නම් ප්‍රහේලිකාවක්. ඒ වගේම වයිකින්වරු පමණක්ම නෙවෙයි මෙහෙට පැමිණියේ. චීනයෙන් පවා ඇමෙරිකාව සොයාගත් බවට සාක්ෂි තිබෙනවා.

ක්‍රි.ව. 1492 ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමෙරිකාව සොයා ගැනීමට ප්‍රථමව ක්‍රි.ව. 1421දී චීන ජාතිකයන් මෙහි පැමිණ ඇත. අපි සැවොම දන්නවා චීන රාජ්‍යයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා මෙන්ම ඔවුන් ඉතිහාසයේ සිටම ස්වයංපෝෂිතයි. එම නිසාම ඔවුන් නාවික යාත්‍රා හැදීමේද නියැළුණු අතර ලොව පුරා සංචාරයද කළා. මෙම සිදුවීම වෙන්නෙ චීනය මිං රාජවංශය යටතේ පාලනය වන සමයේදියි. චීනයේ මිං රාජවංශය යනු බලගතු රාජ වංශයක් වන අතර, ඔවුන්ගේ නැඟී ඒම සිදු වූ මුල් කාලයේ පටන්ම චීනයේ නාවික ශක්තිය ඉහළ නංවාලීමට ඔවුන් පෙලැඹීම නිසා චීනය දේශ ගවේෂකයන්ගෙන් මෙන්ම නාවික බලයෙන් ඉහළ තැනක් හිමි කරගත්තා.

චීනයේ මෙකල රජුට පමණක් දෙවැනි වූ බලගතු නාවිකයෙක් සිටියා. ඔහු නමින් ෂෙංහි වූවා. රජුගේ සමීපතම නාවිකයා මෙන්ම රජුගේ විශ්වාසවන්තයන්ගෙන් කෙනකු වූ ෂෙංහි දේශ ගවේෂණවලට ඉතාමත් ඇලුම් කළ පුද්ගලයෙක්. එපමණක් නොව, ඔහු කෙතරම් බලගතුද කියනවා නම් ඔහුට රජුගේ අන්ත–පුරයේ සිටින කාන්තාවන් සමඟ ඇසුරු කිරීමට පවා අවස්ථාව හිමි වී තිබුණා. මෙලෙස සංචාරය කළ ෂෙංහි දකුණු චීන මුහුද, ඉන්දියන් සාගරය, අප්‍රිකා කලාපයන්, රතු මුහුද පසු කර අවසානයේදී ඇමෙරිකාවටද පැමිණියා. එහෙත් ඔවුන්ද මෙහෙ ජනාවාස කරගන්නෙ නැහැ. ඒත් යම් සාක්ෂි කිහිපයක් හමු වී තිබෙනවා චීන ජාතිකයන් පැමිණ සිටි බවට.

ඉතින් චීන ජාතිකයන්ගෙන් පසු ක්‍රි.ව. 1492 ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමෙරිකාව මුහුදේ සිට දුටුවද ඔහු ගොඩබිමට ගොඩවූයේ නැහැ. ක්‍රිස්ටෝපර් කොලොම්බස් සහ පිරිස ක්‍රි.ව. 1493දී තමා පෝට-රිකෝ වලට ගොඩබැස්සෙ. පෝට-රිකෝ යනු උතුරු සහ දකුණු ඇමෙරිකා යන කොටස් දෙක යා වෙන මුහුදු කලාපය තුළ පවතින කුඩා දූපතක්. ඔවුන් එම දූපතට පැමිණි අතර එහි භූමි ප්‍රදේශය ගැන යම් අවබෝධයක් ගත් අතර පසුව නැවත වාරයක් ඔවුන් මවු රට බලා පිටත් වූවා. ඉතින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් කෙසේ හෝ මෙහි පැමිණි අතර ඔහු දකිනවා මේ දූපතට තරමක් දුරින් තිබෙන විශාල භූමි ප්‍රදේශය.

ඉතින් ඔහු සිතන්නෙ ඒ තිබෙන්නෙ ඉන්දියාව බවයි. මෙලෙස එහි පැමිණි කොලොම්බස් එහි සිටින ස්වදේශිකයන්වත් දකිනවා. ඔහු එම ස්වදේශිකයන් ඉන්දියානුවන් බවටයි සිතන්නෙ. මක් නිසාද හමේ පැහැය සහ හැඩහුරුකම් ඉන්දියානුවන්ට සමාන නිසා. ඉතින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඔවුන්ව හඳුන්වනු ලැබුවේ රතු ඉන්දියානුවන් ලෙසයි. අදටත් ඇමෙරිකාවේ ස්වෙදේශිකයන් හඳුන්වනු ලබන්නේ රතු ඉන්දියානුවන් විධියටයි. ඒ එදා ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඔවුන්ව එසේ හැඳින්වුව නිසාවෙනි.

ඇමෙරිකා මහද්වීපය සොයාගනු ලබන්නේ යුරෝපීය දේශ ගවේෂකයකු වූ ඇමෙරිගො වෙස්පුචි විසිනුයි. ඔහුගේ උපන් රට ඉතාලිය වන අතර ක්‍රි.ව. 1492දී ක්‍රිස්ටෝපර් කොලොම්බස් දකුණු ඇමෙරිකාව සොයාගැනීමෙන් වසර 10කට පසු එසේ නම් ක්‍රි.ව. 1502 වර්ශයේදී ඇමෙරිගො වෙස්පුචි දකුණු ඇමෙරිකාව මෙන්ම එහි උතුරු කොටස වූ වර්තමාන කැනඩාව වැනි රටවල් තිබෙන උතුරු ඇමෙරිකාවද ගවේෂණය කරනවා. මුළු ඇමෙරිකා මහද්වීපයම ලෝකය දැනගන්නෙ ඇමෙරිගො වෙස්පුචිගෙ දායකත්වයෙනුයි. ඉතින් ඇමෙරිකා මහද්වීපය සොයාගැනීමේ කතාව එතැනින් ඉවර වෙන්නෙ නැහැ. වර්තමානයේ අපි හඳුන්වන ඇමෙරිකා එක්සත් ජනපදය යනුවෙන් හඳුන්වන කොටසට මුලින්ම අඩිය තියන යුරෝපියා වනුයේ ජුවාන් පොන්සෙ ඩි. ලියොන් නමැත්තායි.

ඉතින් මෙලෙස ලෝකය හඳුනාගන්නා ඇමෙරිකා මහද්වීපයේ සිටින ස්වදේශිකයන් වූ රතු ඉන්දියානුවන්ට මහත් තර්ජනයක් එල්ල කරමින් යුරෝපා රටවල්වලින් ඇමෙරිකාවේ විවිධ කොටස් ඔවුන් සතු කරගන්නවා. මක්නිසාද එවකට පැවැති යටත්විජිත අල්ලා ගැනීමේ උමතුවට යුරෝපා රටවල් හසු වී සිටි නිසායි. මෙලෙස එක්සත් ජනපදය විතරක් කොටස් 13කට කැඩී ගොස් තිබූ අතර එම කොටස් යුරෝපීයයන්ට අයිති වී තිබුණා. ඇමෙරිකා මහද්වීපය අද වන විට රටවල් කිහිපයක එකතුවක් වන බැවින් එම රටවල්වලින් එක්සත් ජනපදය විශේෂ තැනක් හිමි කරගන්නවා. මක්නිසාද අද කතාව සිදුවන්නේ එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවලයි.

 ඉතින් යුරෝපීයයන් හැම එකම අල්ලාගත්තා වගේම ඇමෙරිකාවේ කොටස් අල්ලාගත් නිසා වර්තමාන එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවල ජනාවාස පිහිටුවා ගැනීම සඳහා ජෝන් වයිට් නම් සුදු ජාතික ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ පවුල මෙන්ම තවත් ඔහු සමඟ පිරිසක් උතුරු කැරොලිනාවල පදිංචි වෙනවා. ඉතින් මොවුන් පදිංචි වීමට පැමිණි මුල් කාලයේදීම ඒ අවට කැලෑ එළිපෙහෙළි කරලා ඔවුන්ට ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් සකස් කරගන්නවා. ඉතින් මෙලෙස උතුරු කැරොලිනාවල බිම් කොටසක් අල්ලාගත් ජෝන් වයිට් ආණ්ඩුකාරවරයා ඔහුගේ පිරිස යොදවා කැලෑ එළිපෙහෙළි කරගෙන කුඩා ගම්මානයක් සකසා ගන්නවා. මේ ගම්මානය තුළ සැවොම එක්වී ආහාර ගැනීම සඳහා පිළියෙල කළ ස්ථානයක් මෙන්ම කුඩා නිවාසද ඉදි කරගන්නවා. මෙලෙස ඉදි කරගත් නිවාස කිහිපය වට කර බලකොටුවක් සකස් කරගන්නා අතර ඇතුළු වීමට සහ පිට වීමට ප්‍රධාන දොරක්ද යෙදවූ අතර සත්ත්වයන්ගෙන් මෙන්ම සතුරු කණ්ඩායම්වලින් ආරක්ෂා වීමට ඔවුන්ට එමඟින් හැකි වෙනවා.

ඉතින් රූස්ස ගස් දෙකක් කපා ඉදිරිපස ගේට්ටුව දෙපස ශක්තිමත්ව සිටුවූ නිසාවෙන් ඔවුන්ගේ බලකොටුවේ ශක්තිමත්භාවය ගැන යම් පැහැදීමක් ඔවුන් තුළ හට ගන්නවා.

කෙසේ වුවත් මේ අයට මෙය අලුත් පරිසරයක්. ඒ නිසා මුල් දවස් කිහිපය ඔවුන් මෙහි තිබෙන දෑ ගැන සෝදිසියෙන් සිටි අතර කැලෑ සත්ත්වයන්ද එක් වී දඩයම් කළා. එපමණක් නොව ඔවුන්ට අවශ්‍ය එළවළු ආදිය වගා කිරීමටද පෙලඹුුණු අතර කාන්තාවන් ටික එකතු වී කෑම බීම එහෙම පිළියෙල කරගෙන තුන් වේලම කාලා බීලා සතුටින් ජීවත් වුණා. ඉතින් මේ විධියට කාලය ගෙවීයත්ම ඔවුන් මෙම පරිසරයට හැඩ ගැසී එහි තිබෙන එම භූමියටම ආවේණික පලතුරු වර්ග එහෙම හඳුනාගෙන ඒවාද ආහාරයට ගත්තා. ඉතින් මේ ජනාවාසයේ විශේෂිතම සිදුවීම සිදුවන්නේ ක්‍රි.ව. 1587 වර්ෂයේදීයි. එම විශේෂ සිදුවීම තමා ඇමෙරිකාව තුළ බිහි කළ ප්‍රථම ඉංග්‍රීසි දරුවා බිහි කිරීම.

මෙම දරුවා උපත ලබන්නේ ජෝන් වයිට් ආණ්ඩුකාරවරයාගේ මිනිබිරිය ලෙසයි. ඇය ඉතාමත් රූමත් දරුවකු වූ අතර එම භූමියේ උපත ලබපු පළමු දරුවා වූ නිසා ඇයගේ උත්සවය හරි ලොකුවට ඔවුන් සැමරුවා. කෙතරම් සතුටින් ජීවත් වුවද තවමත් මොවුන්ට ඕනෑ එපාකම් සඳහා විටෙන් විට එංගලන්තයට පිටත්ව යෑමට සිදු වූවා. මක්නිසාද ඒ වෙනකොටත් මිනිසුන් දියුණුවේ යම් තැනකට පැමිණ සිටි නිසා ජනාවාසයක් ආරම්භයේදී ගල් යුගයේ මිනිසුන් මෙන් ජීවත් වීමට අකැමැති වීම හේතුවෙන් ඔවුන්ගේ ජනාවාසයට අවශ්‍ය භාණ්ඩ සහ ඔවුන්ට අවශ්‍ය රෙදිපිළි ගෙන ඒමට සිදු වූවා. ක්‍රි.ව. 1587දී එනම් ජෝන් වයිට්ගෙ මිනිබිරිය උපන් වර්ෂයේදී ඔහු එංගලන්තය බලා යෑමට නෞකාවට ගොඩ වූවා.

මොහු ඕනෑ එපාකම් ගෙන ඒමට පමණක් නොව එංගලන්තයේ ඔහුගේ රාජකාරීන් ගැන බැලීමටත් එක්ක තමා නැවතත් එංගලන්තයට යෑමට පිටත් වන්නේ. මෙලෙස නැව් නැඟ එංගලන්තය බලා පිටත් වීමට පවුලේ උදවියගෙන් සමුඅරන් ජෝන් වයිට් පිටත් වෙනවා. එය රළු මුහුදු ගමනක් වූ අතර දින කිහිපයක ගමනෙන් පසු ඔහුගේ ගමනාන්තය වූ එංගලන්තයට පැමිණීමට ඔහුට හැකියාව ලැබෙනවා. මෙලෙස එංගලන්තයට පැමිණි ජෝන් වයිට් ප්‍රථමව සිදු කළේ ඔහුගේ දින සටහන් තැබීම වන අතර ඔහු ආරම්භ කෙරූ ජනාවාසය ගැන තොරතුරු සැපයීමටද අමතක කළේ නැහැ. ඒ වෙනකොටත් ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශවල එංගලන්තයෙන් මෙන්ම යුරෝපයේ විවිධ රටවලින් ඇමෙරිකාවේ ජනාවාස ආරම්භ කර තිබුණ නිසා ජෝන් වයිට් යනු එලෙස ජනාවාස ආරම්භ කළ මූලිකයන්ගෙන් එක් අයකු පමණයි.

මේ අතර ජෝන් වයිට් ආණ්ඩුකාරයා එංගලන්තයේ ඔහුට නියම වී තිබෙන රාජකාරි ටික කරගෙන ඔහුත් කාලය ගත කළා. මෙලෙස ටික කාලයක් ගත කළායින් පසුව ඔහු නැවත වාරයක් ජනාවාසය වෙත යෑමට සූදානම් වුවද ඔහුගේ පිටත්ව යෑම වසර 3ක් පමණ ප්‍රමාද වන්නේ එවකට තිබූ ඇන්ග්ලෝ – ස්පාඤ්ඤ යුද්ධය හේතුවෙනුයි. ඉතින් මෙලෙස ඔහුගේ දරුවන්, මිනිබිරිය සහ බිරිය මෙන්ම ඔහු රැගෙන ගිය පවුල් සාමාජිකයන් 100ක් පමණ ඇමෙරිකාවේ දූපතක තබා ඔහු එංගලන්තයට වී සිටියා.

මෙලෙස සියලුම බාධක අවසන් කර නොයිවසිල්ලෙන් තම පවුලේ අය සහ ජනාවාසයේ අනෙක් අය හමු වීමට ජෝන් වයිට් ක්‍රි.ව. 1590දී නැව් නඟිනවා. ඇමෙරිකා මහද්වීපයේ උතුරු කැරොලිනාවල රෝවනොක් වෙත යෑම සඳහා. ඉතින් ඔහු තවත් සහචරයන් පිරිසක් සමඟ නැව් නඟින්නෙ නිකන්ම නෙවෙයි. ජනාවාසයට අවශ්‍ය රෙදිපිළි මෙන්ම තවත් බොහෝ සැපයුම් සමඟයි. පෙර දින රාත්‍රියේ මෙලෙස ඔහුගේ බඩු මුට්ටුවලින් නැව පුරවා පසුදා උදෑසනම පිටත් වූ අතර මුහුදු ගමන සාමාන්‍ය තත්ත්වයක තිබූ නිසා ඔවුන්ට පහසුවෙන් යෑමටද හැකියාව ලැබුණා. ඉතින් මෙලෙස දින කිහිපයක මුහුදු ගමනෙන් පසුව ඔවුන් උතුරු ඇමෙරිකාවේ උතුරු කැරොලිනාවල පිහිටි ඔවුන්ගේ රෝවනොක් කොලනිය වෙත පැමිණියා.

එහෙත් ඔහු ගිය දින මෙන් නොව මෙම පරිසරය ටිකක් වෙනස් වී ඇති බවක් ඔහුට හැඟුණා. මක් නිසාද ජනාවාසය තිබෙන තැනට යන පාර ආශි්‍රත ප්‍රදේශය කැලෑවන්වල වැවෙන පඳුරු සහ ගස්වලින් වැසී ගොස් තිබූ නිසාවෙනි. හරියට කිසිම මිනිස් ජනාවාසයක් මේ අසල නැති හැඟීමක් දැනෙන ගානටම ඒ ප්‍රදේශය පාළුවට ගොස් තිබුණා. ජෝන් වයිට් සහ නෞකාවේ ඔහු සමඟ පැමිණි පිරිස සමඟ ජනාවාසය තිබෙන ස්ථානයට පැමිණියා. වට කර තිබූ ලී බැම්ම සහ ඉදිරිපස ඇතුළුවීම පෙනෙන්න තිබූ අතර මොවුන් රෝවනොක් ගම්මානය තුළට ගියද එහි කිසිම මිනිස් පුළුටක් දැකගන්න ලැබුණේ නැහැ. සෑම තැනකම උසට වැවුණු වල් ගස් මෙන්ම ඔවුන් සාදා ගියපු කුඩා නිවාස හැරුණුකොට වන සතෙක්වත් එහි සිටියෙ නැහැ. ඉතින් මේක ජෝන් වයිට්ට ලොකු ප්‍රහේලිකාවක් වගේම ලොකු දුකක්. මක් නිසාද අලුත ඉපදුණු ඔහුගේ මිනිබිරිය දැකගන්න ලැබුණේ එකම එක වතාවක් නිසාවෙනි.

ඔහු ජනාවාසය අතහැර දැමූ මිනිසුන්ව සොයා යෑමට පටන් ගත්තා. ඔහු සමඟ පැමිණි පිරිස සමඟ ඔහු ඒ අවට සෑම ස්ථානයකම සෙවූ අතර පසුව මුළු ප්‍රදේශයම පීරන්නට වුණා. අවසානයේදී ඔවුන් සැතපුම් 50ක් පමණ භූමි ප්‍රදේශයක් සොයා ගියද ඔවුන්ට කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. එම නිසාම මහත් කනස්සල්ලයට පත් වූ ජෝන් වයිට් නැවත ජනාවාසය තිබූ ස්ථානයට පැමිණෙනවා. ඔහු ඒ අසල කල්පනා කරමින් සිටියදී එකවරම ප්‍රධාන පිවිසුම දෙපස තිබෙන විශාල කඳන් දෙක දකිනවා. එහි එක් කණුවක කවුරු හෝ යම් පණිවුඩයක් තබා ඇති බවට සිතූ ජෝන් වයිට් ඒ අසලට කිට්ටු වී බැලූ අතර ඒ විශාල ශාක කඳේ “CROATOAN” යනුවෙන් ලියා තිබුණා. මේ වචනයේ අර්ථය කුමක්දැයි ජෝන් වයිට්ට හෝ ඔහු සමඟ පැමිණි මිනිසුන්ට තේරුණේ නැහැ. ඇත්තෙන්ම ජෝන් වයිට්ගේ ජනාවාසය දෙන්න හදපු පණිවුඩය මොකක් වෙන්නට ඇතිද?

සමහරවිට ඔවුන් මේ කොලනියෙන් ඉවත්ව යන්නට සැරසෙන මොහොතේ ජෝන් වයිට්ට පමණක් තේරුම් ගැනීමට රහස් වචනයක් ලියා යන්නට ඇති. එහෙත් එම වචනය ජෝන් වයිට්ට තේරුම් ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් සොයා යෑමට නොහැකි වන්නට ඇති. එසේ කළා නම් ඔවුන් මේ ප්‍රදේශය අතහැර සෑහෙන දුරක් ගමන් ගන්නට ඇති. එසේත් නැතිනම් ජෝන් වයිට් එංගලන්තයට ගිය පසු ආපසු නොපැමිණීම නිසා ඔවුන්ට බලාපොරොත්තු සුන් වූ බවක් දැනී එම ජනාවාසය එපා වී ඔවුන් එහෙන් යන්නට ඇතැයි සිතන්නට පුළුවන්.

ඒ වගේම මෙම අතුරුදන් වීම ඝාතනයක් බවටද සැකයක් පවතිනවා. මක් නිසාද මෙහි ජීවත් වූ ගෝත්‍ර පිරිස් මොවුන්ව තර්ජනයක් බවට සිතූ නිසාවෙන් මොවුන්ට පහරදී ඝාතනය කළ බවට සිතන්න පුළුවන් වුවද ජෝන් වයිට්ගේ වාර්තාවලට අනුව එහි කිසිම කලහකාරී සිදුවීමක් වූ බවට සඳහනක් නොතිබිණි. ඉතින් මේ අතුරුදන් වීම සමහර පිරිස් විසින් පිටසක්වළ ජීවී ක්‍රියාවක් ලෙසට වර්ග කළද එවැනි දෙයක් සිදු වූවා දැයි කවුරුත් නොදනී.

මිනිසුන් 100කට අධික ජනාවාසයක් එකවරම අතුරුදන් වීම කිසිසේත්ම විය නොහැකි දෙයක්. අනෙක් කාරණය නම් ඔවුන් මේ ජනාවාසය අතහැර දමා ගියා නම් ඔවුන්ගේ බඩු බාහිර ආදිය රැගෙන යා යුතුය. එහෙත් ඒ සියලුම දේ මේ කුඩා රෝවනොක් කොලනියෙ නිවාස තුළ තිබී ජෝන් වයිට්ට සහ ඔහුගේ ගෝලයන්ට හමු වී තිබෙනවා.

තවත් සමහරෙක්ට සිතෙන්නට පුළුවන් ස්වභාවික ව්‍යසනයකින් හෝ රෝගයක් ව්‍යාප්ත වීම නිසා රෝවනොක් කොලනියේ හිටපු මිනිසුන් මියයන්නට ඇති කියලා. එහෙත් එලෙස රෝගයක් පැමිණියා නම් නැති නම් ස්වාභාවික ව්‍යසනයක් පැමිණියානම් අපට ප්‍රශ්න දෙකක් පැනනැඟෙනවා. පළමු ප්‍රශ්නය නම් මෙම ජනාවාසයට ස්වාභාවික හානියක් විධියට සුළි කුණාටුවක් එසේත් නැතිනම් භූ කම්පනයක් වූවා නම් මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වී යා යුතුයි. සුළු කුණාටුවක් පැමිණියා නම් මේ අවට ගස් කොළන් ඔවුන්ගේ ජනාවාසය වගේ දේවල් බිමට සමතළා වී තිබිය යුතුයි.

එසේත් නැතිනම් මොවුන්ට රෝගයක් වැලඳී එය ව්‍යාප්ත වූවේ නම් මිය යන පළමු පුද්ගලයා මේ ජනාවාසය අසලම භූමදාන කළ යුතුයි. එසේ නම් ජනාවාසයට යාබදව සුසාන භූමියක් නිර්මාණය වී තිබිය යුතුයි. ඒත් එහෙම කිසිම සලකුණක් දකින්නට ලැබුණෙ නැහැ. කිසිම මිනිසෙක් භූමදානය කළ ලකුණක්වත් ආදාහනය කළ ලකුණක්වත් දකින්නට නැහැ. එමෙන්ම ව්‍යාප්ත වී යන රෝගයක් වැලඳුණා නම් එකා පිට එකා මිය යා යුතුයි. සෑම තැනකම මළ සිරුරු තිබිය යුතුමයි. එහෙත් මළ සිරුරක් තියා ඇට සැකිල්ලක්වත් දක්නට ලැබුණෙ නැහැ. ඉතින් මේ ජනාවාසයට කුමක් සිදු වන්නට ඇතිද යන්න අබිරහසක් වූවේ මේ නිසාවෙනි.

ඒත් වර්තමාන ඉතිහාසඥයන් පවසන ආකාරයට මේ කාලයේදී මේ ප්‍රදේශයට දිගු නියඟයක් පැමිණ තිබෙනවාලු. ඒ නිසාවෙන් පානයට ජලය සහ ආහාර හිඟකම හේතුවෙන් ජනාවාසයේ මිනිසුන් ගොඩක් අසරණ වෙන්නට ඇති කියා මතයක් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් එයින් පෙනී යන්නේ ජනාවාසව සිටි සියලුම පිරිස එකට සංවිධානය වී මෙම ප්‍රදේශය අතහැර දුරකට පිටත්ව යන්නට ඇති කියායි. එසේ නම් ඔවුන් ගිය ප්‍රදේශය කොහෙද යන වග නම් සිතාගැනීමට අපහසුයි. මක් නිසාද ඇමෙරිකාව ඉතා විශාල භූමියකට හිමිකම් කියන නිසාවෙනි.

එම ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඔවුන් මිය නොගොස් ජීවත් වන බවයි. ඒ බව නොදත් ජෝන් වයිට් ඔහුට හැකි සීමාව පමණක් පිරික්සා ඉතුරු ජීවිත කාලයේ දුකින් සිටින්නට ඇති. ජෝන් වයිට් නොපැමිණිය නිසා ඒ දුක හිතේ තියාගෙන ඔහුගේ පවුලේ අය මහලුවී මිය යන්නටද ඇති. ඒත් එම ප්‍රකාශයේ තිබෙන ප්‍රශ්නය නම් CROATOAN යනුවෙන් ලියා තිබූ වචනයේ තේරුමයි. මෙම වචනය කුමක්ද කියා තේරුම් ගැනීමට අදටත් නොහැකි වී තිබෙන නිසා කාලයට යට වී මේ සියලු ප්‍රකාශ සහ සියලු මතයන් ප්‍රතික්ෂේප වන තරමට මේ කතාව අබිරහසක් ලෙස ලෝකය වැලඳගෙන හමාරයි.

ධනංජය මධුෂාන්