චන්ද්‍රග්‍රහණයේ ඇතුළාන්තය  තත්කාල හෝරා ශාස්ත්‍රය ඇසුරින් ජූලි 13න් පසු සියල්ල එක තැන නවතියිද?

Date:

මෙම වර්ෂයේ සිදුවන ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය 2022 මැයි මස 16 වැනි දින සඳුට නීච රාශියක් වූ වෘශ්චික රාශිය තුළ සිදුවිය. එම අවස්ථාවේ විසා නැකැතේ 4 වැනි පාදය උදාව පවතී. එනමුත් චන්ද්‍රග්‍රහණ සම්බන්ධයෙන් පලාපල ප්‍රකාශ කිරීමේදී චන්ද්‍රග්‍රහණය සිදුවන අවස්ථාව නොව පසළොස්වක පෝය ලබන අවස්ථාව පදනම් කර ගනිමින් පලාපල ප්‍රකාශ කළ යුතු බව ලෝකායන ජේ‍යාතිෂයෙහි සඳහන් වේ.

එසේ හෙයින් ග්‍රහණයට ලක්වන සඳු උදාවන මොහොත පදනම් කරගනිමින් තත්කාල හෝරා ශාස්ත්‍රය අනුව ශ්‍රී ලංකාවට අදාළව පලාපල ප්‍රකාශ කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ. මැයි මස 15 වැනි රිවි දින ප.ව. 12.44ට වෙසක් පුර පසළොස්වක සඳු උදාවිය. එය ග්‍රහණයට ලක්වන සඳු උපත ලැබූ අවස්ථාවයි. ඒ අවස්ථාවේ තත්කාලය කාක පක්ෂි මරණ අවස්ථාවේ පසුවේ. කුජ හෝරාවේ ශනි පංචමය හා ශනි සූක්ෂ්ම හෝරාව යෙදී ඇත.

ඒ අනුව සුබ තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකිය. ගැටුම් උත්සන්න වීමක් පෙන්වයි. උද්ඝෝෂණ, වැඩවැරීම් දිනෙන් දින ඉහළ යයි. ජනතාවගේ දෛනික අවශ්‍යතා පෙරටු කොටගත් අරගල මේ අතර ප්‍රධාන වේ. ජීවිත හානි සමඟ බිහිසුණු අපරාධමය තත්ත්වයන් අනාගතයේ නිර්මාණය වේ. ලග්නාධිපති මෙන්ම රාජ්‍ය කාරක රවි 10 වැන්නේ සතුරුව සිටී. රාජ්‍ය නියෝජනය කරන, සතුරු පීඩාවට පත් රවිට උපදෙස් දෙනු ලබන්නේ ගතානුගතික වෙනස් කළ නොහැකි, මුරණ්ඩු, තමාගේ මතයෙහිම එල්බගත් මිත්‍ර ලෙසින් සිටින බුධ විසිනි.

රාජ්‍ය තන්ත්‍රය ගනුලබන සියලු තීරණ අනුමත කරන තත්ත්වයක්ද මෙහිදී පෙන්වයි. සිවුවැන්නාධිපති 7 වැන්නේ තැන්පත් වීමෙන් ඍතු විපර්යාස, නායයෑම්, ගංවතුර ආදී ස්වාභාවික විපත් ඇතිවේ. අකුණුවලින් ආරක්ෂා වීම වැදගත් වේ. කෘෂිකර්මාන්තයට ස්වාභාවික විපත් හරස් වේ. ධාන්‍ය වර්ගවල මිල තවදුරටත් ඉහළ යයි. ආකර, පතල් කර්මාන්ත අනතුරු තත්ත්වයකට පත්වේ. පෝලිම් යුගය මඳකට අඩුවන තත්ත්වයන් ඇති වුවත් එහි ස්ථිර තත්ත්වයක් ඇති නොවේ. මහජන ගොඩනැඟිලිවලට අලාභහානි සිදුවේ. මෙතෙක් කිසියම් මට්ටමකින් ඉදිරියට පැමිණි විරුද්ධ පක්ෂය පසුගාමී තත්ත්වයක් ගන්නා බව පෙන්නුම් කරයි. පස්වැන්නාධිපති 8 වැන්නෙහි තැන්පත්ව ඇත.

දරු උපත් සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්වයි. එමෙන්ම දරිද්‍රතාව හා කුසගින්නෙන් පෙළෙන ජනතාව අපේක්ෂා කරන සහනදායක තත්ත්වයන් දියත් නොවේ. විදේශ සබඳතා කිසියම් සුබදායි මට්ටමකට පත්කර ගැනීමට රාජ්‍ය තන්ත්‍රය සමත් වේ. යුද්ධ, කෝලාහල ඇතිවේ. ශ්‍රී ලංකාවෙහි දකුණු දිශාවෙහි මහජන උද්ඝෝෂණ හා විරෝධතා අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව ඉහළ යයි. වෙන කවර දිනටත් වඩා මහජන සමඟිය වැඩිවේ. ජාති ආගම් භේද පසෙකලා මහජනතාවගේ එකමුතුකම කැපීපෙනේ. මේ අතර මහජනතාවට හිතකර අපේක්ෂා කළ හැකි පාර්ලිමේන්තුවක් බිහිවේ. එහෙත් එයට පොදුජන අපේක්ෂා ඉටුකළ නොහැකි තත්ත්වයක පවතී.

ශ්‍රී ලංකාවට අදාළ කුම්භ ලග්නය අනුව සැලකීමේදී ප්‍රසිද්ධ කුමාරයකුගේ මරණය සිදුවේ. 10 වැන්නෙහි චන්ද්‍ර ග්‍රහණය සිදුවීම හේතුවෙන් රාජ්‍ය නායකයාට මානසික ශාරීරික හා පීඩා ඇතිවෙයි. නැතහොත් උසස් ප්‍රභූවරයකුගේ මරණය සිදුවෙයි. මේ අයුරින් කුජ හා ශනි වසර දෙකකට වරක් සංයෝගවීම ඇතිවේ. මේ සංයෝගය සිදුවූ රටවලට බිහිසුණු තත්ත්වයන් උදාවී ඇත. ශනි, කුජ, කුම්භ රාශියේ සංයෝගයෙන් භයානක කැරලි කෝලාහල, යුද්ධ, මිනීමැරුම් හා රාජ්‍ය නායකයාට හා ආණ්ඩුවට අනතුරු හා විපත්ති ඇති කරයි. මේ තත්ත්වය දැනටමත් පෙළගැසෙමින් ඇත. සූර්ය ග්‍රහණය තරම් චන්ද්‍ර ග්‍රහණය ප්‍රබල නොවේ. එහි ප්‍රතිඵල මාස 4ක් පමණ පවතී. මේ කාලය තුළ සුළු සහනදායි තත්ත්වයක් පෙන්නුම් කළද, ජූලි 13 දිනයෙන් පසු අප රට බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවේ.

පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාව  කෙරෙහි අප්‍රසාදය දැනට වඩා තීවෘ ස්වභාවයක් ගනු ඇත. විවිධ ජන නායකයන් මතුවන අතර එයද ගැටුම්කාරී තත්ත්වයන් උත්සන්න වීමට හේතුවේ. නැවතත් සෙනසුරු ග්‍රහයා දීර්ඝ වක්‍ර චලිතයකින් පසු ජූලි 13 වැනි දින මකර රාශියට පැමිණේ. මකර රාශිය කුම්භ රාශියෙන් 12 වැන්නයි. ඒ කාලය තුළදී නැවතත් රෝගපීඩා බහුල යුගයක් හා දරිද්‍රතාව හා අගහිඟකම් බහුල කාලයක් උදාවෙයි. සියල්ල එකතැන නවතින තත්ත්වයක් උදාවේ. එවැනි තත්ත්වයක් මේ වනතුරු සිදුවී නැත.

දැනටමත් එදා වේල පිරිමසා ගන්නා තත්ත්වයකට හෝ පත්වීමට පාලන තන්ත්‍රයට නොහැකි වී ඇත. මේ තත්ත්වයෙන්ම ජූලි 13 දක්වා පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. ගුරු හා සිකුරු ස්වක්ෂේත්‍ර හා උච්ච බලයෙන් යුතුව දෙවැන්නෙහි තැන්පත්වීම හේතුවෙන් විදේශ සහයෝගය ලැබී සුළු සහන කාලයක් උදාවේ. ජීවන වියදම අනපේක්ෂිත අයුරින් ඉහළ යෑමට රජය ගන්නා සහනදායි වැඩපිළිවෙළද හේතුවේ. අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන සියලුම භාණ්ඩවල මිල දෙගුණ තෙගුණ වේ. මහජනතාව මැතිවරණයක් අපේක්ෂා කළද රටේ පවතින මූල්‍ය තත්ත්වය හේතුවෙන් මේ වසර අවසානය දක්වා මැතිවරණ නොපැවැත්වෙනු ඇත. රුපියලේ මූල්‍යමය අගය තවදුරටත් පහළයෑම හේතුවෙන් අද පවතින මිලට හෙට භාණ්ඩ ලබාගත නොහැකි තත්ත්වයක් උදාවේ.

මානසික අසහනය තීවෘ වේ. සියදිවි හානිකර ගැනීම් වැඩි අගයක් ගනී. ලේ වැගිරීම් හා සාහසික අපරාධ වැඩිවන කාලයකි. මිනිසුන්ගේ මානසික පීඩාකාරී තත්ත්වය එයට හේතුවයි. පසුව පසුතැවිලි වෙනවාට වඩා හැකිතාක් දුරට ඉවසීමෙන් යුතුව ක්‍රියාකිරීමට සියලුදෙනා අදිටන් කරගත යුතු කාලයයි මේ. අගහිඟකම් මධ්‍යයේ වුවද ධාර්මික වන්න. එය ඔබට යහපතක්ම උදාකරනු ඇත.

ජේ‍යාතිෂවේදී

ආර්.ජී. සෙනෙවිරත්න

පිටිගල

0718078665

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

යාපනයේ වෙළෙඳසලක ඩීසල් ලීටරය 1000ට විකුණලා

යාපනයේ - අලවෙඩ්ඩි ප්‍රදේශයේ වෙළෙඳසලක ඩීසල් ලීටර් 300ක් සඟවා...

බහුවිශ්ව සංකල්පය අනාගතයේදී සැබෑවක් වෙයිද?

මේ ලෝකයට පළමුවෙන්ම පැමිණියේ “කුකුළද? බිත්තරයද? අපි පුංචි කාලයේදී...

මිනිස්සු නිසා අභ්‍යවකාශයට හැදුණු කුණු කතා

කුණුගොඩවල් ගැන කතා කරන්න ගියොත් කිසිවෙක්ට සුබදායී ප්‍රසන්න හැඟීමක්...

කැඩුමට බිඳුමට නොවරදින Computer අත්බෙහෙත්

අපි පරිගණකයක් අරගෙන කාලයක් යනකොට විවිධ විවිධ හේතූන් නිසා...