කෝප් කමිටුවේදී ලිට්රෝ කියපු ඇත්ත

0
63

දෛනිකව බෙදාහරින ගෑස් සිලින්ඩරවලින් 60%ක්  කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස ලිට්රෝ් සමාගමේ කළමනාකාරිත්වයට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති (මහාචාර්ය) චරිත හේරත්  නිර්දේශ කළේය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යන විට මෙරට ගෑස් මිල ඉහළ දැමුවද ලෝක වෙළෙඳපොළේ එම මිල අඩුවීමේදී එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බැවින් ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව කමිටුවේදී සාකච්ඡා විය.

අධික ජන ඝනත්වයක් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රි‍ක්කවල ජීවත්වන ජනතාවට විකල්ප බලශක්ති ප්‍රභවයන්ගේ සීමා සහිත බව ඇතුළු කරුණු කාරණා සලකා බලා ඉදිරි සතියක පමණ කාල සීමාව තුළ මෙලෙස බෙදාහැරීම සිදු කරන ලෙස කමිටුව උපදෙස් ලබා දුන්නේය.

මේ වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක හිඟයක් රටේ පවතින බවත් දැනට පැමිණ ඇති නැව් ද්විත්වයෙන් දිනකට ගෑස් සිලින්ඩර 80,000 බැගින් දිවයින පුරා සිටින ප්‍රධාන නියෝජිතයන් 42ක් සහ අනෙකුත් උප නියෝජිතයන් හරහා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් මෙහිදී ලිට්රෝ් සමාගමේ සභාපති විජිත හේරත්  පැවැසීය.

පැවැති අයහපත් කාලගුණය නිසා මුතුරාජවෙලදී බෝයාව සම්බන්ධ කිරීමට අපහසු බැවින් කොළඹ වරායට නෞකාව රැගෙනවිත් ගෑස් ගොඩබෑමට සිදුවූ බවත් එම හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවූ බවත් සභාපතිවරයා පැවැසීය. එහෙත් ඉදිරියේදී නැවත සාමාන්‍ය පරිදි ගෑස් ගොඩබෑමට හැකිවනු ඇති බවත් ලිට්රෝ සභාපතිවරයා පැවැසූ අතර හැකිතාක් කඩිනමින් ගෑස් බෙදාහැරීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.

ලිට්රෝ ගෑස් බෙදාහැරීම කඩිනම් කිරීම ඇතුළු කාරණා පිළිබඳ විමර්ශනය කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තුවේදී  සාකච්ඡා වූ අතර ඒ අනුව කෝප් කමිටුව හමුවට ලිට්රෝ ගෑස් ලංකා සමා‍ගමේ කළමනාකාරීත්වය කැඳවන ලදී.

ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීමට වෙන්කර ඇති ඇ.ඩො. මිලියන 160න් ලිට්රෝ සමාගමට ලැබෙන ඇ. ඩො. මිලියන 120ක මුදල යොදා ගෑස් මිලදී ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් එම මූලික කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු මාස තුනකට ගෑස් සැපැයිය හැකි බවත් ලිට්රෝ සභාපතිවරයා මෙහිදී පැවැසීය. මේ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ‍ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකර මෙම තදබදය අවම කිරීමට වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

එසේම ලෝක බැංකුවෙන් ඇ. ඩො. මිලියන 80ක ණය පහසුකමක් ලැබීමට නියමිත බවත් ඒ අනුව නව කාලීන ප්‍රසම්පාදනයකට (Term Tender) යෑමට අපේක්ෂා කරන බවත් ලිට්රෝ සභාපතිවරයා පැවැසීය.

එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගමට රක්ෂණ සංස්ථාවේ සංචිතවලින් මේ මොහොතේ යම් මූල්‍ය ශක්තියක් ලබා දීමට ඇති හැකියාව සොයා බලා ඒ සඳහා පියවර ගන්නා ලෙසද රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට  කෝප් කමිටුව නිර්දේශ කළේය.

පවතින අර්බුදකාරී තත්ත්වය තුළ ගෑස් පෝලිම් විශාල වශයෙන් ඇති බැවින් දෛනිකව ගෑස් බෙදාහැරීම සිදුවන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අදාළ තොරතුරු වෙබ් අඩවියේ සහ දුරකථන යෙදවුමක් මඟින් පළ කිරීමට වහාම කටයුතු කරන ලෙසද   මෙහිදී කෝප් සභාපතිවරයා ලිට්රෝ සමාගමට නිර්දේශ කළේය. මෙමඟින් අදාළ අලෙවි නියෝජිතයා හරහා දෛනිකව කොපමණ සිලින්ඩර ප්‍රමාණයක් යම් දිනකදී ලැබෙනවාද යන්න පාරිභෝගිකයාට නිශ්චිත වශයෙන් දැනගැනීමට හැකියාව ලැබෙන බැවින් ගෑස් සිලින්ඩර අපේක්ෂාවෙන් මහජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිමින් සිදුවන අපහසුතාව මඟහරවා ගත හැකි බවද කමිටුව පෙන්වා දුන්නේය.

එසේම දැනට පවතින ක්ෂණික ඇමැතුම් අංකය වන 1311 වඩාත් කාර්යක්ෂම විසිහතර පැය ක්‍රියාත්මක තොරතුරු ලබාදීමේ අංකයක් ලෙසට සංවර්ධනය කරන ලෙසද ලිට්රෝ සමාගමට උපදෙස් ලබා දුන්නේය.  

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ප්‍රමාද වීම තුළ සමාගමට අධික පාඩුවක් දැරීමට සිදුවූ බැවින් සමාගම සතු සංචිත මුදල් සියල්ලම අවසන්ව ඇති බව ගෑස් සමාගමේ නිලධාරීහු පෙන්වා දුන්හ. 2021 ජනවාරි වන විට සමාගම සතුව පැවැති රු. බිලියන 15ක පමණ මුදල ක්‍ෂය වී අද වන විට රු. බිලියන 11කට ආසන්න මුදලක් බැංකුවලට ණය වීමට සිදුව ඇති බවත් ඔවුහු පැවැසූහ.

එසේම ඇමෙරිකානු ඩොලර් හිඟ වීමත්, කාලීන ප්‍රසම්පාදනය  (Term Tender) පසුගිය පෙබරවාරි 28 අවසන් වූ පසුබිමක නව ටෙන්ඩරයකට යෑම පමා වීමත් ගෑස් හිඟයකට හේතුවූ බව ලිට්රෝ සභාපතිවරයා පෙන්වා දුන්නේය. එහිදී නිලධාරීන් පවසා සිටියේ තවත් සමාගමකින් ගෑස් ගෙන්වීමට කටයුතු කරන බැවින් කාලීන ප්‍රසම්පාදන කටයුතු (Term Tender) තාවකාලිකව නවතන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් දැනුම් දුන් බවයි. මේ සම්බන්ධව ලිඛිත නියෝගයක් මුදල් අමාත්‍යාංශයෙන් ලැබුණාද යන කාරණය පිළිබඳව කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ පිළිබඳව ඉදිරි දිනකදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ලිට්රෝ සමාගම නැවත කැඳවන බව කෝප් සභාපතිවරයා පැවැසීය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි