කෙටි මාර්ගවලින් ඇවිත් එකපාරම පිපිලා එකපාරම පරවෙනවා

0
83

ඇය නමින් සුධාරා රන්දිනි. ඇය දශක 03කට වැඩි කාලයක් පුරාවට කලාවේ නියැළෙමින් රසික සිත් සුවපත් කරන තැනැත්තියක්. එමෙන්ම වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළ අත්දැකීම් බහුල සම්මානනීය රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශය වන හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ කාන්ති අක්කාගේ චරිතයට පණ පොවන ඇයගේ නවතම තොරතුරු විමසීමට ‘හදගැස්ම’ අප සිතුවා.

මේ දවස්වල වැඩ කටයුතු මොනවද?

ස්වාධීන රූපවාහිනි නාළිකාවේ හිතුවක්කාරි ටෙලි නාට්‍යය දැනට විකාශය වෙනවා. ජයසේකර අපෝන්සු අයියගේ සත්තෑසියේ ලන්තේරුව නම් අලුත් ටෙලි නාට්‍යයේ්ත් ටිකිරි රත්නායක මහතාගේ අලුත් වැඩකටත් සම්බන්ධ වී සිටිනවා. දැනට ටෙලි නාට්‍ය 04ක පමණ රූගත කිරීම්වලට සම්බන්ධවී සිටිනවා. වේදිකා නාට්‍ය 02කටත් ආරධනා ලැබුණා. ඒ සියල්ල සමඟ මගේ සැලෝන් එකේ වැඩ කටයුතුත් කරගෙන යනවා.

හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ කාන්ති අක්කාගේ චරිතය ගැනත් කතා නොකරම බැහැ?

ඔව්. 2007 වසරේදී විකාශය වූ ඉසුරු භවන ටෙලි නාට්‍යයේ මගේ රංගනය දැකලා 2022දී හිතුවක්කාරි ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබුණා. එයට මුල් වූයේ සුදත් මන්දාරම්නුවර මල්ලි. පිටතින් බැලූ කල කාන්ති කියන්නේ නිවාස සංකීර්ණයක ජීවත්වන කටසැර කාන්තාවක්. නමුත් ඇතුළාන්තයෙන් ඇය මානව දයාව, ආදරය, කරුණාව ආදියෙන් පරිපූර්ණ ආදරණීය චරිතයක්. මවුපියන් නොමැතිව අසරණ වූ ධනාට (සාරංග දිසාසේකර) අම්මා කෙනෙක් වන්නේ මේ කාන්ති අක්කා.

“උඹ සිංහයෙක් වගේ පෙන්වන්නට හැදුවට උ‍ෙඕ සිතේ ඉන්නේ මුවෙක් බව මේ ඔක්කොටම වඩා හොඳින්ම දන්නේ මම” කියලා කතාව තුළ දෙබසක් තිබෙනවා. එය මුළු නාට්‍ය පුරාම මගේ සිත සොරාගත් දෙබස වගේම ඉතා සුන්දර, මා වඩාත් ආස කරන, සිතට දැනෙන වචන ටිකක්. එයින් ගම්‍ය වන්නේ කාන්ති තුළ සිටින ආදරණීය ගැහැනියයි. මෙහි අධ්‍යක්ෂවරයා ජී. නන්දසේන මහතා. අධ්‍යක්ෂවරයකු විධියට ඔහු ඉතා සුන්දර, සුහදව වැඩ කරන අයෙක්. පිටපත මහේෂ් සත්සර මද්දුමආරච්චි අයියගේ.

ඔබ කලාවට පිවිස දැන් දශක 03කටත් වැඩියි නේද?

ඔව්. 1990දී ළමා ශිල්පිනියක් විධියට ජාතික රූපවාහිනි නාළිකාවේ මුතුහර වැඩසටහන හරහා තමයි මුලින්ම කලාවට සම්බන්ධ වුණේ. ඉන්පසුව නාට්‍ය වැඩමුළු ආදියට සම්බන්ධ වුණා. එතැනදී මා වසන්ත කුමාරසිරි අයියව හඳුනා ගන්නවා. ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට මාව හඳුන්වා දෙන්නේ වසන්ත කුමාරසිරි අයියා තමයි. ජාතික රූපවාහිනිය සමඟ සිදුකළ ඔහුගේ ටෙලි නාට්‍ය රැසකටම ඔහු මාව සම්බන්ධ කරගත්තා. මගේ හැකියාවන් නිසා සහ දැනහැඳුනුම්කම් ආදිය මත විවිධ නිර්මාණවලට මට දිගටම ආරාධනා ලැබෙන්නට පටන්ගත්තා. මේ වන විට ටෙලි නාට්‍ය 25-30කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තිබෙනවා.

ඔබ දක්ෂ සම්මානනීය රංගනවේදිනියක්?

ඔව්. තුªෂාරි අබේසේකර අක්කාගේ “හෝපලු අරණ’” ටෙලි නාට්‍ය වෙනුවෙන් 2015 වසරේදී රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී හොඳම සහාය නිළිය ලෙසින් සම්මානය දිනා ගත්තා. වේදිකාව ගත්තොත්, අඛණ්ඩව වසර 09ක් පුරාවට වයඹ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තා. එමෙන්ම චාලක රණසූරියගේ “බොක්ස්” වේදිකා නාට්‍ය වෙනුවෙන් 2010 වසරේදී රාජ්‍ය නාට්‍යය උළෙලේදී සහ යෞවන සම්මාන උළෙලේදී එකම වසරේ, එකම වේදිකා නාට්‍යයේ, එකම චරිතයකට හොඳම නිළිය සම්මානය ලබාගත් පළමු කෙනා විධියට ශ්‍රී  ලංකා වාර්තාවක් පිටුවන්නත් මට හැකිවුණා.

ඔබ සිනමාවටත් සමබන්ධ වුණා නේද?

ඔව්. ගිරිරාජ් කෞශල්‍ය මහතාගේ සුහද කොකා චිත්‍රපටයත් කතුරු මිතුරු චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. සිනමාවට පිවිසෙන්නේ ගිරිරාජ් කෞශල්‍ය අයියට පින් සිද්ධ වෙන්න තමයි.

බොහොමයක් දක්ෂයන් ගෙවල්වල සිටින විට, රංගනය පිළිබඳ පවා හරි දැනුමක් නොමැති ඇතැම් පිරිස් පුංචි තිරය සහ රිදී තිරය තුළ වැජඹෙනවා. මෙයට හේතුව කුමක්ද?

මට කියන්න තිබෙන්නේ “ඒක ඉතින් කරුමේ  කියලා තමයි.” කලාව තුළ නවකයන් සහ නව නිර්මාණ බිහිවිය යුතුයි. එය අවිවාදයෙන් යුතුව පිළිගත යුතුයි. නමුත් ඔබ කියන තත්ත්වය ලංකාවේ කලා ක්‍ෂේත්‍රයේ තිබෙන අවාසනාවද මන්දා. එය කොතැනින්, කොයි ආකාරයට විසඳාගත යුතුදැයි සිතාගන්න බැහැ. බහුතරයක් දෙනා කෙටි කාලීනව, කෙටි මාර්ග තුළින් ක්‍ෂේත්‍රයට පැමිණ එක්වරම පිපී එක්වරම පරවී යනවා. ඒ අතර සැබෑ දක්ෂයන් නිවෙසට වී මේ වන දේවල් බලා සිටිනවා. දක්ෂ කලාකරුවන්ට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අද, එදා වගේ නෙවෙයි, ඇතැම් නිර්මාණවලට කතා කරන විටදීම, මුලට දාගෙන කතා කරන්නේ. “ලෝ බජට්” කියන කතාව තමයි. මුදලට එහා ගිය යමක් නිර්මාණයට ලබා දීමට අප බලාපොරොත්තුවෙන් සිටියද, ඇතැම් විට අර ලෝ බජට් කතාව නිසාම එම නිර්මාණ අපට එපා වෙන අවස්ථා තිබෙනවා.

නව පරපුර පිළිබඳව මොනවද කියන්න තිබෙන්නේ?

කෙසේ හෝ ප්‍රසිද්ධ වන්නට උත්සාහ ගන්නා රැල්ලට යන ඇතැම් නවකයන් හරි පව්. මොකද ඔවුනට නිසි  මඟපෙන්වීමක් නැහැ. ඕනෑම ක්‍ෂේත්‍රයක රැකියාවකට වුණත් බඳවා ගනු ලබන්නේ, නිසි සුදුසුකම් මතයි. සම සුදු කරගත් පමණින්, කොණ්ඩය වර්ණ ගන්වාගත් පමණින් ඕනෑම තරුණියකටත් කාය වර්ධන මධ්‍යස්ථානයකට ගොස් ඇඟ හදාගත් පමණින් ඕනෑම තරුණයකුටත් ඉතා පහසුවෙන්, ඕනෑම වෙලාවකදී අද වන විට කලා ක්‍ෂේත්‍රයට පැමිණිය හැකියි. නමුත් වෘත්තීමය දැනුම, වෘත්තියට ගරු කිරීම, ප්‍රවීණයන් සමඟ සුහදව කටයුතු කිරීම ඔවුන් තුළ නැහැ. අද සිටින බාල පරපුර මෙවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ ඔවුන්ගේ වරදින්ම පමණක් නොවේ. එයට මුහුකුරා ගිය වැඩිහිටියන් තුළ ඇති දුර්වලතාත් හේතුවී තිබෙනවා.

අද වන විට පුංචි තිරය තුළ ඇතැම් බාල බොළඳ නිර්මාණවලට වැඩි ඉඩක් හිමිව තිබීමට හේතුව අප සතුව හොඳ රසවින්දයක් සහිත නිර්මාණ නොමැතිකමද?

නැහැ. පුදුමාකාර ලස්සන නිර්මාණ රැසක් විකාශය කරගැනීමට නොහැකිව පෝලිම්වල ගොඩගැසී තිබෙනවා. ඒ අතර ළද-බොළඳ නිර්මාණ කිහිපයක් දීර්ඝ කලක් තිස්සේ විකාශය වෙනවා. මා සිතන පරිදි ඒවා ප්‍රේක්ෂකයෝ ඉල්ලන නිර්මාණ නොවෙයි. “අපි ලබා දෙන්නේ, රසිකයන් අපෙන් ඉල්ලන දේ තමයි” මෙය ඇතැමුන් නිතර පවසන කාරණාවක්. නමුත් කෙදිනකවත් රසිකයෝ චැනල්වලට කතා කොට බාල-බොළඳ නිර්මාණ විකාශය කරන්නැයි ඉල්ලීම් කරන්නේ නැහැ නේ. වගකිවයුතු ආයතනවල ඉහළ පුටුවල සිටින මිනිසුන් රසඥතාවක් සහිත හොඳ ඔළුවක් තිබෙන අය විය යුතුයි. වසන්ති චතුරානි නිෂ්පාදනය කළ “සකුණ පියාපත්” නම් ටෙලිනාට්‍ය පසුගියදා විකාශය වී අවසන් වුණා. හොඳ නිර්මාණ ලබා දුන් විට මිනිසුන් ඒවා ආදරයෙන් වැලඳ ගන්නවා. නිර්මාණකරුවන් විධියට පෙළගැසී මෙය තමයි කලාව තුළ සිදුවිය යුත්තේ යනුවෙන් එක් තැනකට පැමිණියහොත්, මේ රට සහ කලාව අද වැටිලා තිබෙන තැනින් ගොඩගත හැකියි.

ඔබගේ පවුලේ විස්තරත් කියමු?

මගේ ගම පොල්ගහවෙල. මගේ පවුලේ අක්කලා සතර දෙනයි, අයියලා දෙන්නයි. මගේ මවත් හොඳම කලාකාරිනියක්. ඇය ප්‍රේමා බන්දුල. ඇය දැන් ජීවතුන් අතර නැහැ. රොඩීගම චිත්‍රපටයේ ඩොමී ජයවර්ධන මහතා වැනි අය සමඟ පවා ඇය රංගනයේ යෙදී තිබෙනවා. මම විවාහකයි. ඔහු චාමින්ද ගුණරත්න. ගිත්සර මියුසික් සෙන්ටර් යනුවෙන් මගේ පුතාගේ නමින් අප ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මගේ පුතා ගිත්සර යොමිත් ගුණරත්න. ඔහුට අවුරුදු 6යි.

දිනූෂා මනෝරි නිශ්ශංක