කාවන්තිස්ස රජු භාවනායෝගී හිමිවරු වෙනුවෙන් පූජා කරපු මදුනාගල සෙනසුන

0
78

දකුණු පළාත කියන්නේ විවිධ භූ විෂමතා ලක්‍ෂණවලින් අනූන භූමි ප්‍රදේශයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කරදිය මිශ්‍ර වුණු සුළඟට දකුණේ මිනිස්සු පමණක් නොවෙයි ලංකාවේ කොහි හෝ තැනක සිටින මිනිසුන් වුවද ආදරය කරනවා වගේම ඒ සුළඟ විඳගන්න ආසා කරනවා. මදුනාගල කියන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරත්වෙල ග්‍රාමසේවා වසමට අයිති භූමියක්. භූමියක් කිව්වට ඇත්තෙන්ම මෙය සැලකෙන්නේ රක්‍ෂිත ප්‍රදේශයක් විදිහටයි. මදුනාගල ග්‍රාමය තිබෙන්නෙත් මේ ආසන්නයේමයි. මෙම මදුනාගල රක්‍ෂිතය මධ්‍යයේ මදුනාගල ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙනවා.

ආරණ්‍යය සේනාසනයක් කියන්නේ අප කාගේත් සිත් නිවෙන තැනක්. විඩාපත් ජීවිතවලට එමඟින් ලැබෙන්නේ මහත් අස්වැසිල්ලකි. මදුනාගල ආරණ්‍ය සේනාසනය පිළිබඳ අතීත කතාව ක්‍රි. පූ. 2 වැනි සියවස දක්වා දිව යනවා. මෙම ආරණ්‍ය සේනාසනයේ ගල්ලෙන් 26ක් පමණ තිබෙනවා. මේ සෑම ගල්ලෙනකම පාහේ කටාරම් කොටා තිබෙනවා. ගල්ලෙන්වල මෙලෙස කටාරම් කොටා භික්‍ෂුන් වහන්සේලාට භාවනායෝගීව වැඩ සිටීමට සුදුසු පරිදි සකස් කරන ලද්දේ කාවන්තිස්ස රජතුමා බව පුරාණ ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා. ශිලා ලේඛනවල කාවන්තිස්ස රජතුමා හඳුන්වන්නේ කාකවණ්නතිස්ස යන නමින්. කාවන්තිස්ස රජතුමා ආගමට දහමට බෙහෙවින් ළැදි පාලකයකු ලෙසයි හැඳින්වෙන්නේ. පෙර දවස මදුනාගල ආරණ්‍ය සේනාසනය සහ කරඬු ලෙන ආරණ්‍ය සේනාසනය තිබී ඇත්තේ ඒකාබද්ධවයි.

කාවන්තිස්ස රජතුමා විසින් චිත්තපුත්ත නම් මහ රහතන් වහන්සේට වැඩ සිටීම සඳහා මදුනාගල සහ කරඬුලෙන ආරණ්‍යයක් බවට සකස් කර පූජා කරදී තිබෙනවා. ඉන්පසුව චිත්තපුත්ත මහ රහතන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන් මෙහි වූ ගල්ලෙන්වල ඔවුන්ගේ ආධ්‍යාත්මික දියුණුව සලසා ගැනීමේ කාර්යයේ නිරතව වැඩ වාසය කර ඇති බව කියැවෙනවා. මදුනාගලට කාවන්තිස්ස රජතුමා පමණක් නොවෙයි, ලංකා ඉතිහාසයේ තවත් බොහෝ රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා. මහසෙන් රජුගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු මේ ස්ථානයේ සේවය කළ අයට රන් කහවණු 50 බැගින් ලබාදී ඇත්තේ මෙහි දියුණුව සඳහායි.

කෙසේ වෙතත් 1946 වර්ෂය වනවිට මදුනාගල ආරණ්‍ය සේනාසනය සම්පූර්ණයෙන්ම වල් පැළෑටිවලින් වැසී ගොස් තිබිණි. ආරණ්‍ය සඳහා වූ රාජ්‍ය අනුග්‍රහය අඩුවීම මෙයට හේතුව ලෙස දකින්න පුළුවන්. ඒ වනවිට භික්‍ෂුන් වහන්සේලා වෙනුවට මෙහි රැඳී සිට ඇත්තේ දඩයක්කරුවන්ය. නමුත් 1946 වසරේ දෙසැම්බර් මාසය වනවිට වතුරුවිල මහ නායක හිමියන් මදුනාගලට වැඩම කර ඇත. උන්වහන්සේගේ පැමිණීමත් සමඟ මදුනාගල ආරණ්‍ය සේනාසනය නැවතත් භික්‍ෂුන් වහන්සේලාට භාවනා කිරීමට සුදුසු පරිදි සකස් කෙරිණි. මෙහි පිහිටා තිබෙන සෑම කුටියකටම පාහේ සක්මනක්ද තිබෙනවා. සක්මන කියන්නේ භාවනායෝගී භික්‍ෂුන් වහන්සේලා සක්මන් භාවනාවේ යෙදෙන කොටසයි.

ඇතැම් අවස්ථාවන්වලදී මෙහි යන වන්දනාකරුවන් සක්මනේ වැඩ සිටින භික්‍ෂුන් වහන්සේලා සමඟ කතා කිරීමට උත්සාහ දැරීම සහ කෑ කෝ ගැසීම් නිසා උන්වහන්සේලාගේ දැහැන් බිඳී යනවා. එම නිසා ඔබ මදුනාගලට ගියොත් ස්වයංවිනය ආරක්‍ෂා කර ගනිමින්, ඒ අවට පරිසරයත් පිරිසුදුව තබා ගැනීම ගැනත් සැලකිලිමත් වන්න. මදුනාගල ආරණ්‍ය සේනාසනයට යන මාර්ගය වංගු සහිත මාර්ගයක්. එම මාර්ගය දෙපස කටු පඳුරු, පතොක්, ගන පඳුරු වනාන්තර සහ මදුනාගල රක්‍ෂිතය දැක බලා ගන්නට පුළුවන්. හම්බන්තොට ශුෂ්ක කලාපීය ප්‍රදේශයක් බව අපි කවුරුත් දන්නා කාරණයක්. එම නිසා මේ පරිසරය උෂ්ණාධිකයි. නමුත් මදුනාගල රක්‍ෂිතය ගස්වැල් බහුල නිසා රස්නය තරමක් පාලනය වෙනවා.

මෙහි යන ඔබට භාවනායෝගී භික්‍ෂුන් වහන්සේලාට දානය පිළිගැන්විය හැකියි. ඒ වගේම නිවැරදිව භාවනා කරන්නේ කොහොමද කිලයත් ඉගෙන ගන්න පුළුවන්. කාර්යබහුල ජීවිත ගෙවන බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන මානසික නිදහස උපරිමයෙන් ලබා ගැනීමටත්, ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමටත් හැකි වෙනවා.

ඔබ දානය පිළිගැන්වීමට හෝ නැරඹීමට එහි යනවා නම්, තැනට ගැළපෙන ආකාරයට ඇඳුම් ඇඳීමටත්, මත්පැන් පානය නොකිරීමටත් සිහියේ තබාගන්න. මක්නිසාද මෙහි වැඩවාසය කරන්නේ, භාවනානුයෝගී භික්‍ෂුන් වහන්සේලායි. ඒ වගේම ඔබගේ ශිෂ්ටත්වය තබා ගැනීමට කාරුණික වන්න. මදුනාගල රක්‍ෂිතයක් බව මම පෙරදී පැවැසුවනේ. ඒ නිසා මෙහි විවිධ සත්ත්ව විශේෂ රැසක්ද ජීවත් වෙනවා. ඔවුන්ටත් කරදරයක් හිරිහැරයක් නොකිරීමත් ඔබගේ යුතුකමක්. අවශ්‍ය නම් ඔබට පෙර සඳහන් කළ පරිදිම මෙහිදී ධර්මය ශ්‍රවණය කිරීම, දන් පිළියෙල කර පිළිගැන්වීම, භාවනාවට අවශ්‍ය උපදෙස් ලබාදීම වැනි කාරණා සපුරා ගන්නට පුළුවන්.

මදුනාගල ආරණ්‍ය සේනාසනය මෙරට සේනාසන අතුරින් තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින්ද යුක්ත පුදබිමක්. එම නිසා එය ආරක්‍ෂා කර ගනිමින් ඔබගේ ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කර ගැනීමට හැකි නම් බොහෝ අගනේය.

දුමිඳු ලංකා බණ්ඩාර

වැඩි විස්තර දැනගැනීම සඳහා

0776205101