කායික, මානසික සුවය සදන  විපස්සනා භාවනාව

0
57

බුදු දහම යනු කායික හා මානසික යහපැවැත්ම පිළිබඳ ඉගැන්වීම්වලින් පරිපූර්ණ ආගමකි. එහි ඉගැන්වෙන භාවනාව මඟින් ලබාගත හැකි කායික මෙන්ම මානසික වාසිද අපමණය. වර්තමාන සමාජයේ වෙසෙන්නන් දිවි ගෙවන්නේ දැඩි කායික හා මානසික පීඩනයකින් යුතුවය.

මිනිසා නිතර වෙහෙසෙන්නේ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම උදෙසාය. එම අරමුණුවලට ළඟාවීමට නොහැකි වූ කල අපි මානසික පීඩාවන්ට පත් වන්නෙමු. මෙවැනි විටෙක බෞද්ධයන් හට මහත් ලෙස උපකාරී වන්නේ භාවනාවයි. වෙහෙසකර හැඟීම්වලින් මිදී සිතෙහි නොසන්සුන්තාව මඟහරවා ගැනීමට භාවනාවෙහි තිබෙන නිරවුල්භාවය බොහෝ උපකාරී වේ. අප පසුගිය සතියෙහි සාකච්ඡා කරනු ලැබුවේ භාවනාවේදී ඉක්මනින් සමාධිය ලබා ගැනීමට සුදුසු කමටහන් තෝරාගන්නා ආකාරයත් එම කමටහන් සඳහා ගැළපෙන පුද්ගල චරිත තෝරා ගන්නා ආකාරයත් පිළිබඳවත්ය. මෙවර ලිපියෙන් සාකච්ඡා කරන්නේ භාවනාව සහ එය ඔබගේ කාර්යබහුල ජීවිතයට උපයෝගීකර ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ යම්කිසි මිනිසකුට ඉපදෙන මොහොතේ සිට මියයන මොහොත දක්වා චිත්ත භාවනාව ඉතාමත් වැදගත් බවයි. ජීවිතයට පැමිණෙන ප්‍රශ්න, බාධක කම්කටොලුවලින් මිදීමට සහ සසරින් එතෙර වීමට යම් කෙනකුට අවශ්‍ය නම් එයට භාවනාව මනා ලෙස උපකාරී වෙයි. ඇතැම් අය භාවනාව වැඩීම සඳහා වයස් සීමාවක්, කාල පරිච්ඡේදයක් නිර්ණය කරනු ලබයි. නමුත් එය එසේ නොවේ.

ඔබගේ මනස තැම්පත් නම් නිරවුල් නම්, ඔබට භාවනාව වැඩීමට සුදුසු පරිසරයක් තිබේ නම් ඕනෑම අවස්ථාවක භාවනාවෙහි නිරත විය හැකියි. එසේම බුදුරජාණන් වහන්සේ භාවනාව වැඩීම තුළින් අපට ලැබෙන ආනිශංස පිළිබඳ දක්වා ඇත. එයින් පළමු කරුණ වන්නේ කෙනකු සතිමත් වී යෝනිසෝමනිසිකාරයකින් නැතිනම් එක අරමුණකින් ලොව දකිනවා නම් ඔහුට හෝ ඇයට තම සිත කිලිටි වන කෙලෙස්වලින් සිත පිරිසුදු කරගත හැකි වීමයි. දෙවැනි කරුණ නම් මානසික ඒකාග්‍රතාවයි. භාවනාවෙන් ලැබෙන තෙවැනි ආනිශංසය වන්නේ අධිෂ්ඨානය, වීර්යය, බුද්ධිය, සතුට, සැනසීම, ප්‍රඥාව යන දේවල් ලැබීමයි. ලොව්තුරා බුද්ධ දේශනාවෙහි උත්තරීතර ධර්ම කොටස වන්නේ භාවනාවයි. එය.

“භාවේති කුසලධම්මේ ආසේවතී වඩ්ඩෙති ඒසායාති භාවනා”

යනුවෙන් දක්වා ඇත. එසේම කතා කිරීමට වඩා අත්දැකීමට යොමුවුණු බුදු දහමෙහි ප්‍රායෝගිකම කොටස වන්නේද භාවනාවයි. භාවනාව විධිමත්ව පුරුදු පුහුණු කළහොත් එයින් ස්වයං අවබෝධය පවා දියුණුවේ. සමථ භාවනාවෙන් රගාදී ක්ලේෂයන් ආදියද විපස්සනා භාවනාවෙන් යථාවබෝධ ඥානයද දියුණු කර ගත හැකි අතර බුදුරජාණන් වහන්සේ දක්වා ඇත්තේ විෂම ගති ඇති සමාජයක ධර්ම මාර්ගයට පිවිසි පුද්ගලයා ‘සම්බෝධි පරායණ’ ලෙසයි. එහි අදහස “ඒකාන්තයෙන්ම නිවන් දකින්නා” යනුවෙනි.

නිසි ක්‍රමවේදයන් යටතේ ගුරුවරයෙක් ඇසුරු කළොත් අනිවාර්යෙන්ම භාවනාවෙන් නිසි ප්‍රයෝජන ලබාගත හැකියි.

එසේම බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ඇත්තේ.

“ද්වේමානි භික්ඛවේ බලානි” යනුවෙනි. එහි තේරුම වන්නේ “මහණෙනි භාවනාවෙහි බල දෙකක් ඇත.” යන්නයි එම බල දෙක නම්

–              පටිසංඛා බලංච

–              භාවනා බලංච යන්නයි

බලය යනු පුද්ගල ජීවිතයේ නිවැරදි පැවැත්මයි. පටිසංඛා බලය යනු සිතින් සිදුවන වැරදි තුනය. එනම්,

–              දැඩි ලෝභකමින් යුතුවීම.

–              දැඩි කේ‍රා්ධයකින් පසුවීම.

–             වැරදි දැකීමකින් යුතුවීම

කයින් සිදුවන වැරදි

–              සතුන් මැරීම

–              සොරකම් කිරීම

–              කාමය වරදවා හැසිරීම

වචනයෙන් සිදුවන වැරදි

–              බොරුකීම.

–              කේළම් කීම.

–              පරුෂ වචන කීම.

–              හිස් වචන කීම.

යන මේවා යම්කිසි කෙනකු හඳුනාගෙන ඒවායින්  ඉවත් වෙනවා නම් එය පටිසංඛා බලය යනුවෙන් හඳුන්වයි.

සමථ භාවනාව මූලික කරගත් භාවනාවෙහි යෙදීමෙන් පංච නීවරණ යටපත් කිරීමට හැකියාව ලැබෙන අතර විදර්ශනා භාවනාව මූලික කරගෙන පංච නීවරණ යටපත් කර සමාධිය දියුණු කළහොත් එහි අනිවාර්යය ප්‍රතිඵලයක් ලෙස ප්‍රඥාව දියුණුවේ. නීති මඟින් සමාජය ශිෂ්ට කිරීම තාවකාලික දෙයකි. නමුත් භාවනා ක්‍රම යොදාගෙන සමාජය යහපත් ස්ථානයකට රැගෙන ගියහොත් එහි ප්‍රතිඵලය සදාකාලිකය. බුදුරජාණන් වහන්සේ නිතරම උත්සාහ කරනු ලැබුවේ පුද්ගල අභ්‍යන්තරයට පිළියම් කිරීමටයි. එම ධර්මය පිළිගැනීමට භාවනාවත් නිවැරදිව වර්ධනය කර ගැනීමට අපට හැකියාව තිබිය යුතුය.

බුදු දහමේ මූලිකවම උගන්වන භාවනා දෙකෙන් එකක් වන විපස්සනා භාවනාවෙන් මානසික ව්‍යාධි තුනකට පිළියම් ලැබෙන බව සොයාගෙන ඇත. මෑතකදී ඇමෙරිකාව තුළ කළ පරීක්‍ෂණයකින් හොඳම මනෝ චිත්තසක ක්‍රමයක් ලෙස සතිපට්ඨානය පිළිගෙන ඇත. ගෙවල්, ‍ෙදාරවල්, යාන වාහන, උගත්කම තිබුණත් ධර්මයේ සුවය නොමැති සෑම ජීවිතයකටම වේදනාව ඇත. එම නිසා අප හැකි සෑමවිටම සිහිය දියුණු කරගත යුතුය. ශෝකය, පරිදේව, දුක්ඛ, දෝමනස්ස යන සියලු දෙයම නැති කර ගැනීමට තිබෙන එකම දෙය වන්නේ සතිපට්ඨානය පමණි.

මුලින්ම භාවනාවට යොමුවන නවකයකු නම් සියල්ලටම ප්‍රථම කරුණු කිහිපයකින් නිවැරදි විය යුතුයි. එහිදී ප්‍රධානම දෙය වන්නේ ශ්‍රද්ධාව සහ ශීලය දියුණු කර ගැනීමයි. ඊළඟට මිථ්‍යාදෘෂ්ටියෙන් බැහැර විය යුතුය. කායික හා වාග් සංවරය තිබිය යුතුය. දිවි හිමියෙන් තෙරුවන් සරණ යා යුතුය. එසේම උපාසක ගුණාංගද වර්ධනය කර ගැනීම ඉතා වැදගත්ය. බොහෝ විට භෞතික දේවල් කෙරෙහි නොඇලෙන ශ්‍රාවක සමාජයට ඔවුන් බලාපොරොත්තු වන සැනසීමට ලෙහෙසියෙන් ළඟා විය හැකිය.

භාවනා බලය යනු කුමක්ද යන්න විමසන කල එයට කාරණා පහක් ඇතුළත් වේ. කාරණා පහක් යටපත් කර කාරණා පහක් දියුණු කරගත යුතුය. එහිදී පංච නීවරණ ධර්ම යටපත් කර ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය, ප්‍රඥාව, සිහිය ඉස්මතු කර ගත යුතුය. මෙම මානසික ඒකාග්‍රතාව ඉතාමත්ම ප්‍රබල දෙයකි. අපගේ සතිය නමැති මිතුරා කය ඇසුරෙහිම පවත්වා ගැනීමට හැකි නම් භාවනාව පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගැනීම පහසුය.

සතිපට්ඨානය වර්තමාන සමාජයට ආදේශ කළහොත් පාසල් ළමයින් තුළට මෙම භාවනාව යන සංකල්පය ඇතුළත් කර ශක්තිමත් භාවය පුරුදු පුහුණු කළහොත් ධාරණය, චරිත සංවර්ධනය, ක්‍රමානුකූලත්වය, ප්‍රචණ්ඩකාරීත්වය අඩුවීම, අධ්‍යාපන වගකීම ඉටු කිරීම, භෞතික සම්පත් ආරක්‍ෂා කිරීම වැනි කුසලතා දරුවන් තුළ වර්ධනය කරවන්නට හැකිය. එය මනෝ විද්‍යාත්මක පර්යේෂණ තුළින්ද ඔප්පු වී හමාරය.

නූතන මනෝ විද්‍යාවේ සොයාගැනීම්වලට අනුව හෘදය ආශි්‍රත රෝගවලට හේතුවන තරහව, කේ‍රා්ධය, ඊර්ෂ්‍යාව වැනි මානසික රෝගාබාධවලට හොඳම පිළියමක් ලෙස භාවනාව හැඳින්විය හැකියි. චිත්තාවේග ඇතිවන විට ලේ ගමනාගමනය පවා අවහිර වේ. ඒවා පාලනය සඳහාද භාවනාව නිවැරදි ක්‍රමයකි. මනස කලබලව තබාගෙන ගැටලුවලට විසඳුම් සොයා ගන්නවාට වඩා මනස සන්සුන්ව තබාගෙන ගැටලුවලට විසඳුම් සෙවීම සාර්ථකය.

භාවනාව නූතනයට ගළපා ගැනීමේදී වර්තමානයට එය ඉතාමත්ම උචිත වේ. හේතුව ලෙස වර්තමානයේ තිබෙන ගැටලු නිසා ජන ජීවිතය මුළුමනින්ම අරාජික වී ඇත. මිනිසුන් සිත, කය, වචනය යන ත්‍රිත්වයෙන්ම දූෂණය වී ඇත. මේ සියල්ලටම මූලික වී ඇත්තේ අභාවිත මනසය. එම අභාවිත මනසේ ප්‍රතිඵල ලෙස වර්තමාන අර්බුද පෙන්වා දිය හැකිය.

භාවනාව පිළිබඳ කතා කරන විට නූතනයට ඉතාමත්ම ගැළපෙනුයේ විපස්සනා භාවනාවයි. විශ්වාසය මත විපස්සනා භාවනාව වැඩුවහොත් අපට ඒකාන්තයෙන්ම ප්‍රතිඵල ලබාගත හැකිය. අංගුත්තර නිකායේ ඒකධම්ම සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලිව දක්වා ඇත. මෙම කරුණු අද සමාජයට ගළපා ගැනීම තුළින් නිවැරදි සතිපට්ඨානයකින් යුතු ඥානයකින් යුතු මිනිසකු ගොඩනැඟෙන බව විවාදයක් නැත.

සචිනි බස්නායක