කණපිට ගහපු බැංකු පොලියෙන් වෙච්ච අවාසියේ අවනඩුව

0
41

මහජනතාවගේ ඉහට ඉහළින් පාවෙන පොලී අනුපාත

“දහදිය නොම ගලනා ආහාර ගන්න එපා” යැයි ප්‍රවාදයක් ජන සාහිත්‍යයෙහි තිබේ. උපයාගෙන ජීවත්වීමේ වැදගත්කම එයින් අනාවරණය කෙරේ. රට නැඟිටුවන්නට මොනවා හෝ නිෂ්පාදනයක කළ යුතුය. නිපදවීමට දක්වන අලසභාවය ශ්‍රී ලංකාවේ අභාග්‍යයට හේතුවකි. හාන්සි පුටු ආර්ථිකයකට බහුතරයක් කැමැතිය. ව්‍යවසායකයන් වෙන්නට නොසිතන තරුණයන් රජයේ රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන අතර දෙතුන් මාසයක් රට ලොක්ඩවුන් කළත් වැටුප ලැබේ.

වාණිජ බැංකු, ඉතිරි කිරීමේ පොලියද එයට නොදෙවෙනි ක්‍රමයකි. ණය හා තැන්පත් පොලී අනුපාත ඉහළ යමින් තිබේ. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මැයි මාසයේ තැන්පත් හා පොලී අනුපාත ස්ථාවර කරන බව දක්වා ඇත. තව දුරටත් පොලී අනුපාත වැඩිවීම ආර්ථිකය අපහසුතාවකට පත් කරන හේතුවක් බව වටහා ගෙන තිබේ. පසුගිය මාස හය තුළ නොනවත්වා වැඩි වූ පොලී අනුපාත මෙරට මූල්‍ය වෙළෙඳපොළ කලඹා ඇති අතර ව්‍යවසායකත්වය දුර්මුඛ කරන බව නිරීක්ෂණය කළ හැක.

පොලිය හා උද්ධමනය නරක ලක්ෂණ පෙන්වයි

පොලිය හා උද්ධමනය එකම කාසියක දෙපැත්තකි. සක්‍රීය වර්ධන අවස්ථාවක පවතින ආර්ථිකයක අඩු උද්ධමන අනුපාතිකයක් පවතින අතර වාණිජ බැංකු පොලී අනුපාතද පහත අගයක තිබේ. කොවිඩ් වසංගතය බලපෑම ඉදිරියේ ආර්ථිකය කෘත්‍රිමව පාලනය කරන්නට උත්සාහ කළ ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලයේදී පොලී අනුපාත අඩු කළේය. වාර්ෂික තැන්පත් පොලී අනුපාතය  සියයට හතර දක්වා පහත දමන ලද අතර ව්‍යවසායකයන්ට අඩු පොලී අනුපාතයකට වාණිජ බැංකුවලින් ණය ලබාගත හැකි බව නිවේදනය කළේය. ප්‍රකාශයට පත් කරන ලද සහන ලැබුණ අයකු නැත. අඩු පොලී ණය රජය ඉතා වාසිදායක සේ හරවා ගත්තේය. දරුණු අලාභ වාර්තා කරන හාරසියයකට අධික රාජ්‍ය ආයතනවල තාවකාලික ණය ගැනීමේදී පිරිවැය පහත වැටිණි. විදුලියබල මණ්ඩලයේ හෝ ඛණිජ තෙල් සංස්ථාවේ බැංකු අයිරාවලට ගෙවන පොලිය පාලනය කරගත හැකි වූ බව සඳහන් කළ යුතුය.

අඩු පොලිය නියම කරන අතරවාරයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීම අඛණ්ඩව සිදුවී තිබේ. 2021 වසරේ රජයේ ණය ගැනීම රු. බිලියන 2093ක් බව ප්‍රකාශ වේ. එයට කලින් වසරේ ණය ගැනීම රු. බිලියන 868කි. පොලිය අඩු කර ණය ගැනීමට පෙලැඹුණු තරම එයින් පැහැදිලිය. 2021 අවුරුද්දේ අලුතින් අච්චු ගසන ලද මුදල් ප්‍රමාණය රු. ටි්‍රලියන 1.2කි. මේවා වරින් වර සංසරණයට නිදහස් කෙරේ. භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් කල් පිරුණ පසු පියවන්නේ මේවායෙන්ය. මුදල් සැපයුම වැඩිවන විට උද්ධමනයක් ඇති වේ. පසුගිය අවුරුද්දේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල භයානක ලෙස ඉහළ ගියේය. විනිමය අනුපාතිකය, ආනයන මිල හා එයට එකතු වන උද්ධමනය ජනතාවට මහත් හිරිහැරයක් කරන ලද බව අවිවාදිතය. ජීවන බර උහුලාගත නොහැකි වූ ජනී ජනයා මහ පාරට පැමිණ අරගල කළ අතර බලශක්ති හිඟය එය අවුළුවා මහත් විනාශයක් ඇති කළේය.

ජේ‍යෂ්ඨ පුරවැසියන්ට වැඩි පොලියක් නැත

මූල්‍ය ආයතනවල අභ්‍යන්තර තොරතුරුවලට අනුව රජයට අයත් ඇතැම් බැංකු තැන්පත් සඳහා සියයට විසිතුන දක්වා වාර්ෂික පොලියක් ගෙවන්නට සූදානම්ය. මෙම තැන්පත් විශාල මුදල් ප්‍රමාණයක් හා විශේෂිත ගිවිසුම් අනුව බව දැක්වේ. කෙසේ වෙතත් එවැනි පොලියක් ගෙවීමෙන් පසු ආර්ථිකයක ඇතිවන භයානක ප්‍රසාරණය හා විකෘතිය බරපතළය.

තැන්පත් සඳහා අඩුම තරමින් සියයට 20ක හෝ පොලියක් අවුරුද්දකට ගෙවන වාණිජ බැංකුවක් එම තැන්පත් සඳහා ගෙවන්නට ඉපැයීමක් කළ යුතුය. උපයන්නේ ණය නිකුත් කිරීමෙන් විය හැකිය. රජයට හෝ වෙනත් ව්‍යවසායකයකට ණය ගැනීමේදී විශාල පොලියක් ගෙවන විට ලාභය නංවන්නට සිදුවේ. දැනට පවතින අමුද්‍රව්‍ය මිල, බලශක්ති පිරිවැය, වැටුප් වියදම් හා රජයේ බදු එකතු කළ පසු බැංකු ණය සහිතව කරගෙන යන ව්‍යාපාරයක නිෂ්පාදන මිල වැඩිවීම ගැන පුදුම විය යුතු නැත. අවසාන වන්දිය ගෙවන්නේ සාමාන්‍ය පාරිභෝගිකයන්ය.

පොලිය වැඩි කරන්නට හේතු වන  පරිදි තීරණ ගන්නා බලධාරීහු ඇතිවිය හැකි සහ දැනටමත් නිර්මාණය වී ඇති අවදානම කෙරෙහි සලකා බැලිය යුතුය.

ආර්ථිකය නිසි පරිදි කළමණාකරණය වන කාල පරිච්ඡේදය තුළ පොලී අනුපාත සාමාන්‍ය මටට්මක පැවැති අතර එහිදී අවාසියක් සිදු වූ බව තක්සේරු කළ ජේ‍යෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් ලක්ෂ පහළොවක් දක්වා අතිරේක පොලියක් වෙනම ගෙවන්නට තීරණය කළ බව මතක් කළ යුතුය. එය සියයට පහළොවක වාර්ෂික පොලියකි. දැන් වාතාවරණය අනෙක් පැත්තට හැරී තිබේ. ජේ‍යෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පත්වලට අඩු පොලියක් ගෙවන අතරවාරයේ සෙසු තැන්පත්කරුවන් සඳහා පොලී අනුපාතය ඉහළය. පොලියෙන් ජීවත් වූ, බෙහෙත් ගන්නට එම ආදායම වැය කරමින් සිටි විශ්‍රාමිකයන් පිරිසකට අවාසියක් සිදුවී ඇත.

පොලියෙන් යැපෙන සමාජයක් හැදීම අවැඩකි

බැංකු හා මූල්‍ය ආයතනවල පොලී අනුපාත සියයට දහයක සිට සියයට විසිතුන දක්වා පරාසයක බව අධ්‍යයන වාර්තා පෙන්වයි. ලීසිං සහ ෆිනෑන්ස් සමාගම්වල පොලිය ඉහළම තැනකය. සමාජයේ එක්තරා කොටසකට සිය ධනය මූල්‍ය ආයතනවල තැන්පත් කිරීම පමණක් ප්‍රමාණවත්ය. එතැනින් එන පොලිය සරු ආදායමකි. කෘෂිකාර්මික හෝ කාර්මික අංශයේ නිෂ්පාදනයක් කරන පිළිවෙළ වෙනුවට තමන් සතු ධනය බැංකු ගත කිරීම සුදුසු තත්ත්වයක් නොවේ. එයින් ව්‍යවසායකත්වයක් හදන්නේ නැත. රටක් දියුණු කරන්නට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාලයක් අවශ්‍යය. බැංකුවක තැන්පත් කර පහසුවෙන් උපයන ප්‍රමාණයට වඩා ධනයක් මහන්සියෙන් උපයා ගත හැකි තැනකට රට හැරවීම අවශ්‍යම කරන කාරණයකි.

මෙරට ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර අංශයේ බිඳ වැටීමක් ඇති බව මූල්‍ය අරමුදල පෙන්වාදී තිබේ. එකී ව්‍යවසායකයන්ගේ ආදායම සියයට හතළිහකින් පමණ අඩුවී ඇති බව දක්වයි. සෑම නගරයකම වෙළෙඳසල් වසා ඇත. නිවාස හා කඩ කාමර කුලියට දෙන බව දක්වන දැන්වීම් බහුලය. මේවා නැවත නඟාසිටුවන්නට මූල්‍ය ක්‍රමයෙන් පිටිවහලක් තිබිය යුතුය. ව්‍යවසායකින් එය වටා යැපෙන, එයින් ආදායම් මාර්ග සකස් කරගන්නා සෑහෙන පිරිසක් ජීවත් වෙති. ආර්ථිකයක සජීවී බව එන්නේ එතැනින්ය.

මෑත කාලයේ දුෂ්කරතාවලට මුහුණ දුන් ව්‍යාපාර හා කර්මාන්තවලට වැඩිවන පොලිය ගෙන එන ආශීර්වාදය කුමක්ද? ඒවා බංකොලොත් වන බව ඉතාම පැහැදිලිය. එතැනින් ඇති කරන ආර්ථික රික්තය රටට අවැඩදායක වනු ඇත. බැංකු ගිණුමක තැන්පත් සොයා බලා ලැබෙන පොලියට අධිභාරයක් පැනැවීම පහසු කාර්යයකි. රජයේ ආදායම තරකර ගත හැක. ව්‍යවසායකින් ලැබෙන සෘජු හෝ වක්‍ර ප්‍රතිලාභ එයට වඩා කීප ගුණයකින් ප්‍රබලය.

ආයෝජන කැඳවන්නට ප්‍රාග්ධන සැපයුමක්

දැනට පවතින ආර්ථිකය නඟාසිටුවීම සඳහා වහාම අලුත් ආයෝජන කැඳවිය යුතුය. නිෂ්පාදනය නංවන අතර අපනයනය කෙරෙහි නැඹුරුව තීරණාත්මකය. පසුගිය මාස හත තුළ මාසයකට ඇමෙරිකානු ඩොලර් මිලියනය ඉක්මවන අපනයන ආදායමක් උපයාගෙන ඇත. එහෙත් රටට අවශ්‍ය තෙල් නැවක් සඳහා ගෙවන්නට විනිමය නැත. මෙම ව්‍යුහය වෙනස් කරන්නට අවශ්‍ය කරන අතර එහි ලා දෙස් විදෙස් ආයෝජන වැදගත්ය. ශ්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම් වන ව්‍යවසායකයෝ සලකා බලන කරුණු කිහිපයක් ඇත. විශ්වාසය වඩා වැදගත්ය. ප්‍රමාණවත් යටිතල පහසුකම් අවශ්‍යය. ව්‍යවසාය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනයෙන් කොටසක් රට තුළ ඇති ඉතිරි කිරීම්වලින් ලබාගත හැකි විය යුතුය. දැනට ඇති ඉහළ පොලී අනුපාත ඉතිරි කිරීමේ ප්‍රවණතාව නංවනු ඇත. එහෙත් එම ඉතිරි කිරීම්වලින් ව්‍යවසායකත්වයට දෙන දිරිය ප්‍රශ්න කළ යුතුය. ඉතා අධික පොලියකින් නිෂ්පාදන පිරිවැය පාලනය කරන්නේ නැත.

මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම අඩු ලුහුඬුකම් ගැන ප්‍රමාණවත් අවධානයක් දැක්වීම වටී. බැංකු හා මූල්‍ය ආයතනවල ඉතිරි කිරීම්වලට ගෙවන වැඩි පොලිය සමඟ ජනතාව අතට එන ආදායම වැඩිවන නමුත් එය පිටුපස හඹා එන සංකීර්ණ ගැටලු පවතින දුෂ්කරතා තවත් තීව්‍ර කරන්නට ඉඩ තිබේ. වහාම කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ යුතු අතර බැංකු පද්ධතිය ශක්තිමත් කරන උපායකටද අවතීර්ණ විය යුතුව තිබේ.

ශාමින්ද වත්තේගෙදර